දේශීය පුවත්

රජයේ නිල ප්‍රකාශකයා ලෙස ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව උතුරේ සිවිල් ජනතාව මරා දැමූ බවට’ රාජිත සේනාරත්න ඇමැතිවරයා සිදු කළ ප්‍රකාශය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ කුප්‍රකට සුදු කොඩි කතාවටත් එහා ගිය හානියක්‌ ශ්‍රී ලංකාවට හා මෙරට ආරක්‍ෂක හමුදාවන්ට සිදුකර ඇති බව ජාතික නිදහස්‌ පෙරමුණ පෙන්වා දෙයි.

ඊයේ (17) පිටකෝට්‌ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා එසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

”කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ රජයේ නිල ප්‍රකාශකයාටයි. එම වගකීම දරන රාජිත සේනාරත්න මහතා පෙරේදා (16) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා, ශ්‍රී ලංකාවේ හමුදාව අතින් සිවිල් වැසියන් මියගිය බව. එසේම ඔහු ප්‍රකාශ කළා, උතුරේ කොටි සැමරුම් සිදු කිරීමට අයිතියක්‌ ඇති බව. අපි දන්නවා, කොටි සංවිධානය අදටත් ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්‌ වූ ත්‍රස්‌තවාදී සංවිධානයක්‌. එම තහනමට ලක්‌ වූ සංවිධානය වෙනුවෙන් සැමරුම් සිදු කළ හැකි බවයි රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ හමුදාව අතින් උතුරේ සිවිල් වැසියන් මියගිය බවයි ඔහු පැවසුවේ. මේ රටේ යුද හමුදා ප්‍රකාශකවරයා ළ`ග තබා ගෙන ඒ ප්‍රකාශය කළාම එයට තවත් වලංගුභාවයක්‌ ලැබෙනවා.

පසුගිය 13 වැනිදායින් ඇරඹුණේ, දසදහස්‌ ගණනින් දිවි පුදලා, දසදහස්‌ ගණනින් ශරීර අවයව පූජා කරලා මේ රටට සැබෑ සාමය උදාකර දුන් සැබෑ රණවිරුවන් සමරන සතියයි. මේ ආණ්‌ඩුව මැයි 19 වැනිදාට යෙදී තිබූ එම විජයග්‍රහණයේ සමරුව දැන් වසර කිහිපයක සිට නවතා දැමුවේ එය තමන්ගේ ‘සංහිඳියා වැඩපිළිවෙළට’ බාධාවක්‌ කියලයි. නමුත් සංහිඳියාවට බාධාවක්‌ කියලා විජයග්‍රහණයේ සමරුව නතර කරපු මේ ආණ්‌ඩුව අද උතුරේ කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් සමරුම් පවත්වන්න ඉඩ දී තිබෙනවා.

‘රාජිත ප්‍රභාගේ නිවුන් සහෝදරයෙක්‌ ද?’

‘ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා උතුරේ සිවිල් වැසියන් මරා දැමුවා. උතුරේ බෙදුම්වාදී දේශපාලනඥයන්ට කොටි සැමරීමට අයිsතියක්‌ තිබෙනවා’ කියා රජයේ නිල ප්‍රකාශකයා ලෙස කියනකොට අපට සැක හිතෙනවා, ‘රාජිත සේනාරත්න ප්‍රභාකරන්ගේ නිවුන් සහෝදරයෙක්‌ ද?’ කියා. ඇත්තෙන්ම මේක සරත් ෙµdන්සේකා හිටපු හමුදාපතිවරයා සිදු කළ ‘සුදු කොඩි කතාවට’ සමාන කතාවක්‌. මේක ‘දෙවන සුදු කොඩි කතාව’ ලෙස සැලකිය හැකියි. කැබිනට්‌ ප්‍රකාශකගේ මේ කතාව යොදා ගෙන උතුරේ බෙදුම්වාදී දේශපාලනඥයන් සහ දෙමළ ඩයස්‌පෝරාව රටට බොහෝ හානි සිදු කරන්න පුළුවන්. අපට අමතක නැහැ, සුදු කොඩි කතාව යොදා ගෙන රටටත් අපේ ආරක්‍ෂක හමුදාවටත් මේ අය සිදු කළ හානිය. මේ රාජිතගේ ‘දෙවන සුදු කොඩි කතාවෙන්’ ඊටත් වැඩි හානියක්‌, අපකීර්තියක්‌ සිදු කිරීමේ ව්‍යාපෘතියක්‌ බෙදුම්වාදීන් අරඹාවි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් පිළිබඳ පරීක්‍ෂණයක්‌ සිදු කෙරෙන මොහොතක, මෙවැනි කතාවක්‌ ඔවුන්ට හොඳ සාක්‌ෂියක්‌ බවට පත්වීම වළක්‌වන්න බැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා ළ`ග තබා ගෙන තමයි, රාජිත සේනාරත්න මේ ප්‍රකාශ සිදු කළේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරී අතුරින් එකක්‌ තමයි යුද හමුදාවේ ගෞරවය රැකීම. නමුත් ඔහු රාජිත සේනාරත්න මහතාට හමුදාව අපකීර්තියට පත් කරන්න ඉඩ දී නිහ`ඩව බලා සිටියා. ඒ අනුව ඔහුත් හමුදාවේ ගෞරවය කෙළෙසීමට දායක වූවා. ඒ නිසා අපි කියනවා, ‘කරුණාකර ඔය ධුරයෙන් ඉල්ලා අස්‌වෙන්න’ කියා.

උතුරේ කොටි සැමරුම් පවත්වන්නේ මියගිය පිරිසක්‌ සැමරීමට නොවෙයි. උතුරේ යළි බෙදුම්වාදය පණගන්වන්නට සහ ඊළම කරා යන ගමන යළි අරඹන්නටයි. උතුරේ බෙදුම්වාදී දේශපාලනඥයන්ට සහ දෙමළ ඩයස්‌පෝරාවට උවමනා යළි උතුරේ පාසල් දරුවාගේ කරේ සයනයිඩ් මාලය එල්ලන්නයි. 2009 මැයි 19 වැනිදා අපේ රණවිරුවන් විසින් අඩ තබනු ලැබුවේ එම ඊළම කරා යන ගමනටයි. එම දේශපාලන ව්‍යාපෘතියටයි. අද රාජිත සේනාරත්නලා මෙවැනි ප්‍රකාශ කරලා දෙමළ බෙදුම්වාදයට ඔක්‌සිජන් දීමයි සිදු කරන්නේ.

මේ ආණ්‌ඩුව බලයට පැමිණි දා පටන් අපේ රණවිරුවන්ට වින කිරීමයි සිදු කළේ. පළමුවෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට සඳහන් වාර්තාව පිළි ගත්තා. ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවලිය පිළිගෙන අපේ හමුදාවට එරෙහිව යුද අපරාධ සිදු කළ බවට පරීක්‍ෂණයක්‌ පවත්වන්න එක`ග වුණා. බුද්ධි අංශ නිලධාරීන් පමණක්‌ නොව බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා ද හිරේ දැම්මා. අපේ හමුදාවන් ‘අතුරුදන් වීම’ නැමති යුද අපරාධය සිදු කළ බව ඔප්පු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය හැදුවා. මුලින් ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ සම්මත කර ගත්තා. පසුව කොටි හිතවාදීන් කොමසාරිස්‌වරුන් ලෙස පත් කරලා එම කාර්යාලය විවෘත කළා. ඒ විතරක්‌ නොවෙයි, දෙස්‌, විදෙස්‌ අධිකරණවලින් අපේ රණවිරුවන් වරදකරුවන් කිරීමට පුළුවන් ආකාරයට ‘තැනැත්තන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කළා. බටහිර බලවතුන්ගේ, දෙමළ ඩයස්‌පෝරාවේ උවමනාව අනුව යමින් මේ ආණ්‌ඩුව ගෙවී ගිය වසර තුන පුරාම සිදු කළේ රණවිරුවන්ගෙන් පලිගැනීමයි.

මේ ආණ්‌ඩුව රණවිරු සැමරුම් නතර කළේ සංහිඳියාවට ඒක බාධාවක්‌ කියලයි. අපේ රණවිරුවන් දිවි පිදුවේ දෙමළ තරුණයන්ගේ කරේ සයනයිඩ් කරල බඳින එක නතර කරන්න. ඔවුනට නිදහසේ අධ්‍යාපනය ලබන්න ඉඩකඩ හදලා දෙන්න. දෙමළ දේශපාලනඥයන් ඝාතනය කරන එක නතර කරලා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න ඉඩ හදලා දෙන්න. කොටින්ම සිංහල, දෙමළ, මුස්‌ලිම් මේ රටේ සියලූ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය හදලා දෙන්න. එහෙම පිරිසක්‌ සැමරීම සංහිඳියාවට බාධාවක්‌ වෙන්නේ කොහොම ද? ඒ නිසා රණවිරු සැමරුම්, සංහිඳියාවට බාධාවක්‌ නොවෙයි එය තවදුරටත් ශක්‌තිමත් කරන එකක්‌. කෙසේ වෙතත් මේ රාජිත සේනාරත්නගේ ප්‍රකාශයෙන් ‘සුදු කොඩි කතාවටත්’ වඩා වැඩි හානියක්‌ අපේ රටට, හමුදාවට සිදුවීම වැළැක්‌වීමට බැහැ.”

මෙම මාධ්‍ය හමුවට කඩුවෙල මහා නගර සභා මන්ත්‍රී චන්න පැතුම් දර්ශන පීරිස්‌ සහ කැස්‌බෑව නගර සභා මන්ත්‍රී රණවිරු රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්‌ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More