පුරවැසි කොලම

(ඉංග්‍රීසියෙන් Bay of Pigs, ජර්මන් වලින් Schweinebucht – කොහොම කීවත් ඌරු බොක්ක)

අද 2021 අප්‍රියෙල් 17!
1961 අප්‍රියෙල් 15 ඇමෙරිකාව හොර පාරෙන් කියුබාව ආක්‍රමණය කලා. අප්‍රියෙල් 17 වෙනකොට කියුබාව ආක්‍රමණය මැඩ පැවැත්වූවා!

අවුරුදු 60 ට පස්සේ මේ කතාව අපිට වැදගත් වෙන්නෙ ලෝකෙ දුවන හැටි තේරුම් ගන්න. අපිට තියෙන අභියෝගය තේරුම් ගන්න.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව එක රටකට තවත් රටක් ආක්‍රමණය කිරීම තහනම්!

අපි දන්නවා ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගත්තා එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසමේදි! එතන කලේ බොරුව! ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කලේ නෑ. යුද්ධයේ සත්‍ය ඇතුලත්, එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලයේ සිටි ආරක්ෂක නිලධාරී ඇන්තනි ගෑෂ් විසින් නිකුත් කල වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යටපත් කලා. ලංකාව චීනයත් එක්ක තියෙන හිතවත්කම නිසා එක අතකින් ලංකාව දුර්වල කිරීමටත් අනික් අතට නේටෝ සංවිධානයට හිතවත් රජයක් ලංකාව තුල පිහිටවීමටත් පාර කපා ගැනීමට තමයි එහෙම කලේ.

ඇමෙරිකානු ජනතාව යනු හරිම හිතවත් මිනිස්සු කොටසක්. ඔවුන් නීතිගරුකයි. ඒ වුනාට ඇමෙරිකානු රාජ්‍යයේ ජාත්‍යන්තර වැඩසටහන දුවන්නෙ ඇමෙරිකාවෙ ප්‍රධාන ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කරගන්න. එයට තර්ජනයක් වෙන හැම කෙනාවම ඇමෙරිකාව නීති විරෝධීව හෝ පැත්තකට තල්ලු කරලා දානවා. රටින් පිට දේවලට ඇමෙරිකාවට නීති අදාල නෑ. ඕකට තමයි අද ලොකයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය කියන්නේ. අද චීනයේ හුවාවේ සමාගමට තම ජංගම දුරකථන හරහා තම සේවා දායකයින්ට ගූගල් සේවා දෙන එක තහනම් කර තිබෙන්නෙත් මේ පසුබිම මතයි.

කැස්ත්‍රෝ බලයට එන්න කලින් කියුබාව පාලනය කලේ ඇමෙරිකාවේ සහයෝගය ලබපු ඒකාධිපති බැටිස්ටා. කැස්ත්‍රෝ, ආජන්ටිනියානු ජාතික වෛද්‍යවරයෙකු වූ චේ ගුවේරාගේද සහය ඇතුව 1959 දී බැටිස්ටාව එලවලා දැම්මා.

කියුබාවෙ ආදයම් මාර්ගය එකම භෝගයක් මතයි යැපුනෙ. ඒ සීනි. උක් ඉඩම් පාලනය කලේ ඇමෙරිකානු සමාගම්. තමුන්ට ජනතාවගෙ ජීවන තත්වය උසස් කිරීමට අවශ්‍ය වූවත්, සමාගම් කීපයක් විසින් පමණක් රටේම ඉඩම් පාලනය කිරීමෙන් රටේ ධනය පිටට ඇදෙන නිසා කැස්ත්‍රෝ එම ඉඩම් ජනසතු කිරීමට කටයුතු කලා. ඒ අනුව තනි පුද්ගල ඉඩම් අයිතිය හෙක්ටයාර් 40 ට සීමා කරලා ඊට වැඩි ඉඩම් ජනසතු කලා. ඇමෙරිකානු සමාගම් ඒ ගැන කැස්ත්‍රෝ සමග උරණ වුණා. මේවයෙන් ඉඩම් ගොඩක් අයිතිව තිබුනෙ ඇමෙරිකානු United Fruit Company (UFC) සමාගමට. UFC සමාගමේ ප්‍රධාන කොටස් කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වෙලා හිටියා ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ (CIA) අධ්‍යක්ෂක ඇලන් ඩලස්.

මොහු තීරණය කළා කැස්ත්‍රෝව බලයෙන් පහකිරීමට. ඉස්සෙල්ලාම කියුබාවෙන් සීනි ගන්න එක නැවැත්වූවා. ඊට පස්සේ ඇමෙරිකානු ගුවන් යානා යොදවල කියුබානු උක් වගා බිම් වලට ගිනි බෝම්බ වට්ටලා ඒවා ගිනි ගන්න සැලැස්වූවා. ඒ 1959 ඇමෙරිකාවේ අයිසන්හවර් ජනාධිපතිවරයාගේ කාලෙදි. ඔහු ජනාධිපති වෙන්න කලින් හමුදා නිලධාරියෙක් හැටියට නේටෝ කඳවුරේ Supreme Allied Forces Commander කියන මහා බලවත් තනතුර දැරුවා.

මේ ගිණිතැබීම්වලට විරුද්ධව කියුබාව එජා සංවිධානයට චෝදනා කලා. එවිට ඇමෙරිකාව කලේ “පට්ටපල් බොරු කියන්න එපා” කියමින් කියුබාවේ චෝදනාව වෙනතකට යොමු කිරීමයි.

අයිසන්හවර් ජනාධිපතිවරයාගෙ උප ජනාධිපති වුනේ පසුකලෙක ජනාධිපතිවරයෙකු වූ රිචඩ් නික්සන්. මේ කාලෙදි ඇලන් ඩලස් කියුබානු මාෆියාව අල්ලගෙන කැස්ත්‍රෝට වහ දීල මරන්න සැලසුම් කලා. සැලසුම් කරපු හෝටලේට අදාල දවසේ කැස්ත්‍රෝ ආපු නැති නිසා එතුමගෙ ජීවිතේ බේරුනා. කියුබාව නැවතත් එජා සංවිධානයට පැමිනිලි කලා ඇමෙරිකාව කැස්ත්‍රෝව මරන්න සැලසුම් කරන බවට. ඇමෙරිකාව ඒකත් බොරුවක් කියලා එජා සංවිධානය තුල තහවුරු කරලා ලෝකෙ ඇස් වැහුවා.

ඊට පස්සේ අයිසන්හවර් ජනාධිපති සහ ඇලන් ඩලස් එක්කහු වෙලා වෙනම ආක්‍රමණ ව්‍යාපෘතියක් පටන් ගත්තා. එක රටකට තව රටක් ආක්‍රමණය කිරීම තහනම් නිසා මොවුන් මේකට යොදාගත්තා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත් වෙන විදේශගත කියුබානු ජාතිකයන්ව.

මේ ගොල්ලන් 12,000 ක් මධ්‍යම ඇමෙරිකාවෙ තියෙන ගෝතමාලාවෙ කඳුකර ප්‍රදේශයකට අරන් ගිහින් හොර රහසේ ඔවුනට යුද පුහුණුව දුන්නා. ඔවුන්ට ඇමෙරිකාවෙන් මුදල් ගෙව්වා. මෙහෙම පුහුණු කරපු සොල්දාදුවන්ගෙන් 1400 ක්, 1961 අප්‍රියෙල් මුල ගෝතමාලාවෙ සිට නිකරාගුවාවෙ මුහුදු තීරයට බස් රථ වලින් රැගෙන ආවා. එවකට නිකරාගුවාවෙ නායකව සිටි ඇමෙරිකානු ගැති ජෙනරාල් ලුවී සෝමෝසාගෙ සහය මේ වැඩේට ලැබුනා.

නිකරාගුවාවෙ මුහුදුතීරයේ සිට බෝට්ටු වලින් මේ කුලී සොල්දාදුවන් කියුබාව බලා පිටත්වන අතරෙ නිකරාගුවාවෙන් B-26 නම් බෝම්බ දමන යුධ ගුවන් යානා කියුබාව දෙසට පිටත් වුනා. ඒවා ඇමෙරිකාවෙන් සපයන ලද ගුවන් යානා වූවත් ඒවා කියුබානු ගුවන් යානා ලෙසට පාට සහ සලකුණු වෙනස් කර තිබුණා. එනම් ගුවන් යානා බඳෙහි කියුබානු ගුවන් හමුදාවේ ගුවන් යානා වල මෙන් “FAR” සලකුණ සඳහන් වූවා.

ඇමෙරිකාව විදේශගත කියුබානුවන් යොදාගනිමින් ගෝතමාලාව තුල ගෙන යන කුමන්ත්‍රණය කැස්ත්‍රෝගේ රහස් ඔත්තු සේවාවට ආරංචි වුණා. ඇමෙරිකාව තම රට ආක්‍රමණයට සූදානම් වන්නේ යැයි කියමින් කියුබාව නැවතත් එජා සංවිධානයට පැමිණිලි කලා.

මේ වන විට ඇමරිකාවේ ජනාධිපති ඡන්දෙ ඉවරවෙලා හිටපු උප ජනාධිපති නික්සන් පරදවලා ජනාධිපති බට පත් වෙලා හිටියෙ ජෝන් F. කෙනඩි මහත්තයා. CIA අධ්‍යක්ෂක ඇලන් ඩලස් පසුගිය රජය කාලේ ගෝතමාලාව හරහා කරගෙන ගිය කැස්ත්‍රෝ රජය පෙරලීමේ වැඩ පිලිවෙල කෙනඩි ජනාධිපතිවරයාට කීවා. කෙනඩි වැඩේ අනුමත කලා. කෙනඩිට ඕන වුනේ ඇමෙරිකාවේ නම ගෑවෙන්නෙ නැතුව විදේශගත කියුබානුවන් හරහාම වැඩේ කරන්න.

මේ වන විට එජා සංවිධානයට ඇමෙරිකාවේ කුමන්ත්‍රණය ගැන හෙලිකල කියුබානු තානාපති රවුල් රෝවා මහතා, ෆ්ලොරිඩාවේ වෙසෙන කියුබානු ජනයා කියුබාවට එරෙහිව ගොනු කල ආකාරයත්, එසේ ගොනු කල ෆ්ලොරිඩාවේ සහ ගෝතමාලාවේ අදාල ස්ථාන වල ලිපිනයන්ද දින වකවානුද එජා සංවිධානය හමුවේ හෙලිකලා. එහෙත් එහි එවකට සිටි ඇමෙරිකානු තානාපති ඇඩ්ලේ ස්ටීවන්සන් ඒ සියල්ල බොරුවක් බව ප්‍රකාශ කලා. මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකාවේ පැත්ත ගත්තා.

නිකරාගුවාවේ සිට පිටත් වූ කණ්ඩායම කියුබාවේ ඌරුබොක්ක (Bay of Pigs) නම් රට තුලට බොක්කක් මෙන් කැවී ඇති පෙදෙසට ගොඩ බැස්සා. ඒ අතර නිකරාගුවාවෙන් පිටවූ ගුවන් යානා කියුබාවේ හවානා, සැන්තියාගෝ නගර වල ගුවන් තොටුපලවල් වලට බෝම්බ දාලා ආපහු නිකරාගුවාවට ගියා. ඒත් කියුබාවේ ගුවන් යානා සියල්ල විනාශ වුනේ නෑ. කියුබානු හමුදාව ඉතිරි වූ ගුවන් යානා වලින් විත් බෝට්ටු වලින් පැමිණි කුලී හමුදාවන්ට පහර දුන්නා.

එජා සංවිධානයට කීප විටක් පැමිණිලි කලත් වැඩක් වුනේ නැති බැවින් ආක්‍රමණයට ලෑස්ති වීමට කැස්ත්‍රෝ විසින් ජනතාව ලෑස්ති කලා. කියුබානු ගුවන් යානා මගින් හතුරු බෝට්ටු වලට පහර දුන් පසු ජනතාව ඉතුරු ටික බලා ගත්තා. ඇලන් ඩලස් සහ කෙනඩි හිතුවෙ මුල් ප්‍රහාරය දුන් පසු කියුබාව තුල කැස්ත්‍රෝ විරෝධී රැල්ලක් හැදිලා ආණ්ඩු පෙරලියක් වෙයි කියලා. කැස්ත්‍රෝ ඒක කලින්ම තේරුම් ගෙන ජනතාව ලෑස්ති කරලා තියපු නිසා ඒක එහෙම වුනේ නෑ.

ආක්‍රමණය අසාර්ථක වුණා. කෙනඩි ඇමෙරිකානු ජනතාව ඉදිරියේ සමාව ගත්තා. කෙනඩි විසින් ඇලන් ඩලස්ව CIA අධ්‍යක්ෂක ධූරයෙන් එලවා දැම්මා. පසුකාලෙක කෙනඩි ජනධිපතිවරායව ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තා හරහා ඝාතනය කරවන්නට ඇලන් ඩලස් ක්‍රියා කලයි කියලත් කියවෙනවා.

ඇමෙරිකාවට තිබුනු තවත් ප්‍රශ්ණයක් තමයි කියුබාව එකල සෝවියට් දේශයට ලංවීම. ඇත්තටම කැස්ත්‍රෝට විශේෂයෙන් සෝවියට් දේශය පස්සෙ යන වැඩ පිලිවෙලක් තිබුනෙ නෑ. ඔහු හිටියෙ ඉන්දියාව, ලංකාව, ඊජිප්තුව වගේ නොබැඳි ප්‍රතිපත්තියක. හැබැයි ඇමෙරිකාව කියුබානු සීනි ගන්න එක නැවැත්තුවම සෝවියට් දේශය සීනි අරගෙන කියුබාවට තෙල් දුන්නා. අන්තිමට ඇමෙරිකාව Bay of Pigs ආක්‍රමණය කරල අමු අමුවෙ එජා සංවිධානය තුල “නෑ නෑ අපි එහෙම කරේ නෑ, කියුබාවෙම කට්ටියක් තමයි ඒක කළේ” කියලා ලෝකෙට කොලේ වහන කොට එවකට සෝවියට් දේශයේ හිටපු නායකයා වූ නිකීටා කෲෂෙව් කියා සිටියා, “ආක්‍රමණය නවත්වන්න, කියුබාව තනියෙන් නොවන බවත්, කියුබාවට තවත් යාලුවො ඇති බවත් දැන ගන්න” කියා.

ප්‍රහාරය සාර්ථක වූවා නම් ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයේ රජයක් පිහිටවීමට අවශ්‍ය උදවියගෙන් යුත් රජයක් (මංගල – රාජිත-අනුර කියලා හිතමු) ෆ්ලොරිඩාවේ ලෑස්ති කරලයි තිබුනෙ. ප්‍රහාරය අසාර්ථක වූ නිසා එම කණ්ඩායම විසුරුවා හැරියා.

අපිට තේරුම් ගන්නට තියෙන්නෙ මේකයි!
කියුබාව වට්ටන්නට ඇමෙරිකාව එජා සංවිධානයට බොරු කීවා මෙන්ම තමයි ලංකාව අමාරුවේ දමන්නට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන් මානව හිමිකම් සමුලුවට සත්‍ය වසන් කලෙත්. මේක ලංකාවට එරෙහිව ආ ජිනිවා යෝජනා වල තිරෙන් පිටුපස කතාව තේරුම් ගැනීමට එක උදාහරණයක් පමණයි. තවත් උදාහරණයක් තමයි 1954 දි CIA මැදිහත් වීමෙන් ගෝතමාලාවේ යාකොබෝ ඇරබෙන්ස්ගෙ රජය පෙරලීම.

තවත් අපිට තේරුම් ගන්න පුලුවන් දේ තමයි ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ රටවල ජාත්‍යන්තර දේශපාලනය තීරණය කෙරෙන්නේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් නොව එම රටවල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වල දීර්ඝකාලීන වැඩපිලිවෙල මත බව.

කියුබාවට ඕන විදියට තමුන්ගේ ආර්ථිකය කරගෙන යන එක කියුබාවෙ වැඩක්. ඒකට ඇගිලි ගහන්න ඇමෙරිකාවට ජාත්‍යන්තර නීතියෙන් ඉඩක් නෑ. එසේ කිරීම යුධ අපරාධයක් වෙනවා (Act of Aggression). එසේම ලංකාවට තමුන්ට ඕන හිතමිතුරන් තෝරගන්න එක ලංකාවේ අයිතිය. පසුගිය කාලේ ලෝකෙ තවත් ස්වාධීන රටක් යයි කියන ස්විට්සර්ලන්තය විසින් චීනය සමග එහි සේද මාවත ව්‍යාපෘතියට අනුබද්ධව ඩොලර් බිලියන් ගාණක ගිවිසුම් අත්සන් කලා (යුරෝපීය සංගමයෙ විරෝධය අතරේ). ඒක ස්විට්සර්ලන්තයේ අයිතිය.

ඇමෙරිකාව තේරුම් නොගන්න දේ තමයි කිසිම බලවතෙකුගේ පැත්තක් නොගන්න ස්වාධීන රටක් ලෙසට ලංකාවට ගොඩනැගෙන්නට දීමේ තියෙන වටිනාකම! ඒක කණගාටුවට කරුණක්! අද තියෙන අළුත් බලවතුන් ගැටෙන තත්වයකට ආවම සමනය කරන්නත්, පැත්තකට නැති කවුරුහරි ඉන්න එපැයි.

කොහොමහරි මොන මොන බාධක ආවත් කියුබාව නම් තාමත් අභියෝග වලට සාර්ථකව මුහුණ දීලා ලෝකෙ ඉස්සරහ කෙලින් ඉන්නවා! ඒ වගේම කියුබාව වෙනුවෙන් පෙනී හිටින්න යුරෝපයේ නේටෝ රටවලම ජන කොට්ඨාශයකුත් බිහිවෙලා ඉන්නවා.

– රනිල් ජයනෙත්ති –

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More