පුරවැසි කොලම

* ෆේස් වොෂ්, වයිට් ක‍්‍රීම්, සන් ක‍්‍රීම් ඇතුළු තවත් රූපලාවන්‍ය ද්‍රව්‍ය ඒ අතර
* ප‍්‍රමිතියෙන් තොර ආලේපන පිළිකා අවධානම සහිතයි

රුවන් ජයවර්ධන

මේ දිනවල සමාජය තුළ බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ විෂ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පිළිබඳවය. බොහෝ දෙනෙක් ඒ පිළිබඳව වැඩිපුර විමසිලිමත් වන ආකාරයක්ද දැකගත හැක. රට තුල එවැනි අවධානමක් පවතින වටපිටාවක් තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට තවමත් යොමු නොවී පවතින මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව මේ වනවිටත් ප‍්‍රකට වෙළෙඳනාම ව්‍යාජ ලෙස භාවිත කරමින් සිදුකරගෙන යනු ලබන මහා පරිමාණ රූපලාවන්‍ය ආලේපන ජාවාරම් කීපයක් ඇතුළු එම ගබඩා සංකීර්ණ ගණනාවක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් කටයුතුකර ඇත.

එම වැටලීම් හරහා අත්අඩංගුවටගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර (පිළිකා අවධානම සහිත) ශරීර ආලේපන තොගයන්ය. ඉන් එක් සිදුවීමක් වාර්තාවන්නේ කොළඹ වේල්ල වීදිය පොලිස් බල ප‍්‍රදේශයෙන්ය.

ඉකුත් දිනක වේල්ලවීදිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබෙන එක්තරා තොරතුරක් හරහා මෙම මහා පරිමාණ ජාවාරමේ තොරතුරු කීපයක් හෙළිදරව් කර ගැනීමත් සමග පොලිසිය විසින් ඒ පිළිබඳව බස්නාහිර පළාත් පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත්කොට ඇත. ඒ අනුව එහි සහකාර අධ්‍යක්‍ෂ ජසූර් මහතාගේ උපදෙස් පිට කාර්යභාර නිලධාරී ඉසුරු පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත. ඒ අනුව වේල්ලවීදිය පොලිස් ස්ථානයේ ද සහාය ඇතුව ඉකුත් මාර්තු 02 දා වේල්ලවීදියේ එක්තරා පටුමඟක පිහිටි ගබඩාවක් පරීක්‍ෂා කරන නිලධාරීන් පිරිස එහි තිබී ඉහත සඳහන් සැක කටයුතු ආලේපන තොගය අත්අඩංගුවට ගෙන ඇත. එහිදී දමිළ ජාතිකයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිස සමත් වන අතර සැකකරුවන්ගෙන් වැඩි දුරටත් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම විෂ සහිත ආලේපන පකිස්තානයේ සිට මෙරටට ආනයනය කර ඇති බවය. අත්අඩංගුවට ගත් ශරීර ආලේපන අතර විවිධ නම් සඳහන් මල්ටි විටමින් කී‍්‍රම් වර්ග මුහුණු ආලේපන කී‍්‍රම් වර්ග මෙන්ම හිරු එළියෙන් ආරක්‍ෂා වීම පිණිස භාවිත කරන ආලේපන ඇතුළු තවත් ආලේපන වර්ග රැසක් හමුවී ඇත. ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් බස්නාහිර පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ එම ආලේපන වර්ග මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳ ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් ලියකියවිලි කිසිවක් සැකකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් ඒ අනුව අත්අඩංගුවට ගත් ඇතැම් ආලේපන ප‍්‍රමිතියෙන් තොරව මෙරට නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයන් බවට සැකයක් පවතින බවත්ය. කොළඹ වේල්ලවීදියේ පිහිටි මෙම රහස් ගබඩාවේ තැන්පත්කොට තිබී ඇති මෙම විෂ රසායන ඇතුළත් ශරීර ආලේපන වසර දෙකක් පුරා රට පුරා බෙදා ඇති බවට මේ වනවිට සිදුකොට ඇති විමර්ශන ආදියෙන් හෙළිවී ඇත. වසර දෙකක කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ලක් තුළ මෙම රහස් ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර රට පුරා මෙම ආලේපන තොග වශයෙන් අලෙවි කිරීම පිණිස ව්‍යාපාරික ජාලයක් ද කි‍්‍රයාත්මකව තිබී ඇත.

මේ අතර ඉකුත් 23 දා මෙවැනිම ආකාරයේ වැටලීමක් සිදු කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට හැකි වූහ. ඒ සඳහා පොලිසියේ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහයද ඔවුන්ට හිමිවූහ. එම වැටලීම සිදු කරනු ලබන්නේ බොරැල්ල කොටා පාර පිහිටි එක්තරා ස්ථානයකදීය. එම වැටලීමේදී සොයාගත් තොරතුරුවලට අනුව එම සැකකටයුතු මුස්ලිම් ව්‍යාපාරිකයාට අයත් තවත් එවැනිම ගබඩාවක් පිටකොටුව කේසර් වීදියේ වෙළෙඳ සංකීර්ණයක සිව්වන මහලේ පවත්වාගෙන ගොස් තිබූ රහස් ගබඩාවක් වටලන නිලධාරීන් ඒ තුළ තිබී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ප‍්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි ප‍්‍රමිතියෙන් තොරව මෙරට නිෂ්පාදනය කොට ලෝක පූජිත වෙළෙඳාම යටතේ රට පුරා අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන තොගයක්ය. එහි තිබී ෆේස් වොෂ්, වයිට් ක‍්‍රීම්, සන් ක‍්‍රීම් ඇතුළු තවත් රූපලාවන්‍ය ද්‍රව්‍ය පිරවූ පෙට්ටි පෙට්ටි 43 අත්අඩංගුවට ගන්නා අතර එම එක් පෙට්ටියක ඇසුරුම් 1500 අධික ප‍්‍රමාණයක් තිබී ඇත. මෙම මහා පරිමාන ජාවාරම කාර්යාලය බොරැල්ල කොටා පාරේ එක්තරා ස්ථානයක පවත්වාගෙන ගොස් ඇත. එහි තිබී අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර ව්‍යාජ ලෙස සකස් කරන ලද ලෝක පූජිත වෙළෙඳනාම ඇතුලත් ලේබල් තොගයක් හිස් ඇසුරුම් තොගයක් බිල්පත් ඇතුළු තවත් සැකකටයුතු භාණ්ඩ රැසක් තිබී ඇත.

මේ සම්බන්ධ සැකපිට මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇත්තේ එම රූපලාවන්‍ය ආලේපන ජර්මනිය පකිස්තානය වැනි රටවලින් මෙරට ගෙන්වන ලද ඒවා බවය. කෙසේ වෙතත් ඒ බව ඔඵ්පු කිරීමට නිශ්චිත සාධක ඉදිරිපත් කිරීමට එම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා අපොහොසත් වී ඇත. මේ සම්බන්ධයෙන් අප විසින් පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් අප කළ විමසීමකදී ඔහු විසින් ප‍්‍රකාශ කර සිටයේ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය ව්‍යාජ ලෙස මෙරට නිෂ්පාදනය කොට ඇති බවත් ප‍්‍රමිතියෙන් තොර එවැනි නිෂ්පාදන දිගින් දිගටම පාවිච්චි කිරීම හේතුවෙන් චර්ම පිළිකා ආදිය ඇතිවීමේ අවධානමක් පවතින බවත්ය.

නිසි ප‍්‍රමිතියෙන් තොර ශරීර ආලේපන මරණීය අවධානමක් සහිත වන බැවින් රටම මරණයේ උගසට තබන මෙවැනි කූට ව්‍යාපාර පිළිබඳ මින් පෙර ද අප විසින් හෙළිදරව් කොට ඇත. මෙවැනි හෙළිදරව් කිරීම් හරහා තරමක් දුරට හෝ රට දැනුවත් කිරීම යුතුකමක් කොට සලකන අප මෙම මහා පරිමාණ ජාවාරම් ජාලය පිළිබඳ බස්නාහිර පළාත් පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ ජසූර් මහතාගෙන් විමසීමක් සිදුකළ අතර ඒ සඳහා පිළිතුරු ලබා දුන් සහකාර අධ්‍යක්‍ෂවරයා,
”පසුගියදා වේල්ලවීදියේ තොග ගබඩාවක් වැටලීම හරහා සිදුකර ගත්තෙ එක ජාවාරමක තොරතුරු පමණයි. දැනට අපට වාර්තා වෙමින් පවතිනව කොළඹ හා ඒ අවට මේ ආකාරයේම තවත් මහා පරිමාණ ජාවාරම් රාශියක් කි‍්‍රයාත්මකයි කියල. මේ අය කරන්නෙ ශරීරයට නුසුදුසු විවිධ ආලේපන වර්ග මේ රටට ගෙනැල්ල ව්‍යාජ තොරතුරු සඳහන් ලේබල් යටතේ මේව රට පුරා බෙදාහරින එකයි. දැනට අප විසින් හඳුනාගත් කී‍්‍රම් වර්ග 10කට අධික ප‍්‍රමාණයක් තියෙනව. ඒ සියල්ලම ශරීරයට ඉතාමත් අහිතකර ආලේප බවට පරීක්‍ෂණ මගින් අප විසින් හඳුනාගෙන තිබෙනව. ප‍්‍රශ්නය වෙලා තියෙන්නෙ මේව මේ රටට ගේන්නෙ කවුද ඒ ගෙනැත් රට පුරා මේව බෙදාහරින්නෙ කවුද කියන තොරතුරු සොයා ගැනීමට යෑමේදී යම් යම් දුෂ්කරතා පැන නඟිනව. ඒකට මූලිකම හේතුව තමයි මේ ආලේපන මෙරට ගෙන්වීමේදී මේ ජාවාරම්කරුවන් ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ඒව රටට රැගෙන ඒම.

ඇත්තට ම දැන හෝ නොදැන මේවා මිලදී ගන්නා ජනතාව දිගින් දිගට ම එම ආලේපන පාවිච්චි කිරීම තුළ අධික සංකූලතාවයන්ට පත්වීම, නිත්‍යානුකූලව ප‍්‍රමිතියෙන් යුක්ත ශරීර ආලේපන ගෙන්වා අලෙවි කරන සමාගම් ඒ කටයුත්ත නිසියාකාරව සිද්ධ කරද්දී තවත් පිරිසක් විසින් නීති විරෝධීව සිද්ධ කරන මෙම ජාවාරම නතර කරන්න ඉදිරියේදී අපි තව තවත් වැටලීම් සිද්ධ කරනව. ඒ සඳහා රහස් පොලිසියේ සහාය පවා ලබා ගන්න අපි තීරණය අරන් තියෙනව. ඒ වගේම මේ කටයුත්ත මර්දනය කරන්න

පාරිභෝගික සහයෝගයත් අපට අවශ්‍යයයි. ඒ හින්ද පාරිභෝගිකයන්ට පුළුවන්කම තිබෙනව තමන් මිලදී ගන්න යම් ශරීර ආලේපන කී‍්‍රම් වර්ගයක් පිළිබඳව කුමන හෝ සැකයක් අවිශ්වාසයක් පවතිනව නම් පාරිභෝගික සේවා අධිකාරියට කතා කරල ඒ බව අපට දැනුම් දෙන්න. 1977 දුරකථන අංකයට අපව අමතන්න පුළුවන්. කීපදෙනෙක් විසින් කරගෙන යන මෙම මහා පරිමාණ ජාවාරම නතර කරන්න නම් පාරිභෝගික සහාය අපට අත්‍යවශ්‍යයි කියල නැවතත් මතක් කර සිටිනවා.

සහකාර අධ්‍යක්‍ෂවරයා පවසන ආකාරයට රට තුළ කි‍්‍රයාත්මකව පවතින්නේ එවැනි තත්ත්වයක්ය. ප‍්‍රමිතියෙන් යුක්ත සෞඛ්‍යාරක්‍ෂිත රූපලාවන්‍ය ආලේපන මෙන්ම මරණීය අවධානම සහිත ආලේපනයන් ද බොහෝය. ඒවා ජාවාරම් ලෙස පිරිසක් විසින් සිදුකරගෙන යන ආකාරය පිළිබඳව උදාහරණ ආදිය ද බොහෝය. රූපය පැහැපත් කිරීම පිණිස උමතුවෙන් මෙන් වෙහෙසෙන බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවට පත්ව ඇත්තේ දැනටමත් ඔවුන් මෙම මහා පරිමාණ ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති බවත් පැහැපත් රුවක් යට මරණීය අවධානමක් පවතින බවත්ය. එබැවින් රූපයට වඩා ජීවිතය පැහැපත් වීම වැදගත්කොට සලකන්නේ නම් මහා විපතකින් මිදීම පිණිස තවමත් කාලය හරස් වී නැති බව අපගේ වැටහීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More