පුරවැසි කොලම

විශේෂඥ වෛද්‍ය
අනුරුද්ධ පාදෙණිය

අප සෑම සිංහල අලුත් අවුරුද්දකදීම සතුට, සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරනවා. එය යථාර්ථයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. එහි එක් පියවරක් වශයෙන් එළඹෙන අලුත් අවුරුද්දේදි මුරුංගා නැවත සමාජය තුල ප‍්‍රවර්ධනය කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා, යෝජනා කරනවා මේ අලුත් අවුරුද්දේ දේශීය මුරුංගා දඩු කැබැල්ලක් සිටුවන්න කියා. අද පවතින වස විසෙන් යුතු ආහාර සංස්කෘතියෙන් මිඳි අප නිවැරදි ආහාර රටාවකට අනුගත වෙමින් යන කාල වකවානුවක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වශයෙන් අපගේ බලාපොරොත්තුව නිවැරදි දැනුම ඔබ වෙත ලබා දීමයි. එමෙන්ම එම වෙනස සඳහා අවශ්‍ය කරන ක‍්‍රියාපටිපටිය ඔබ වෙත ලබා දීමත් අපගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ නිසා මේ වර්ෂය අර්ථවත් කර ගනිමින් අපි දේශීය මුරුංගා දඩු කැබැල්ලක් වැටේ සිටුවා ගනිමු.

මුරුංගා පිළිබඳ කියවීම, බෙදාහැරීම සහ දැනුවත් කිරීම දේශයේ නිරෝගීකම ප‍්‍රවර්ධනය සඳහා වැදගත් වේ. මෙහි පදනම සෞඛ්‍ය, ආර්ථික හා කෘෂි කර්මාන්ත යන අංශයන්ගෙන්ද විග‍්‍රහ කිරීම මේ ලිපියේ අරමුණයි.

Miracle Tree (ප‍්‍රතිහාර්යයේ ගස), Tree of Life (ජීවයේ ගස) ලෙස මුරුංගා ගස හඳුන්වයි. මුරුංගා ඉතා කාර්කශක දේශගුණයට පවා ඔරොත්තු දෙන ශාකයකි. වස විස භාවිතයෙන් තොරව වගා කල හැකි එමෙන්ම සෑම කොටසක්ම ආහාරයට යොදා ගත හැකි මිහි මවගේ දායදයකි මුරුංගා.

අලුත් අවුරුද්දට වටිනාකමක් දෙමු – මුරුංගා දණ්ඩක් වැටේ සිටවමු

සිංහල අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර වාරිත‍්‍ර සියල්ල සැකසි ඇත්තේ මිනිසාගේ යහපත සාක්ෂාත් කර ගැනිමට දායක වන අයුරනි. එහිදි ආහාර පාන, සෞඛ්‍යය, ආර්ථික, හිතමිත‍්‍රකම් වැනි මිනිසෙකුගේ සාමාන්‍ය දිවියේ සියලුම අංශ ආවරණය වන අයුරින් චාරිත‍්‍ර සැකසි ඇත.

එහිදි අපගේ මෙම ඉල්ලීම ඉටු කිරීමට වැඩ ඇල්ලීමේ නැකත ඔබට අවස්ථාවක් කර ගත හැක. දේශීය මුරුංගා දණ්ඩක් වැටේ සිටුවා ගැනීමෙන් වැඩ අල්ලා අලුත් අවුරුද්ද අර්ථවත් කර ගත හැක. වැඩ ඇල්ලිමේ නැකතේදි වැටේ මුරුංගා දණ්ඩක් සිටුවීම සිදු කලොත් වඩා යහපත්ය. ඒ අවස්ථාවේදි බැරි වුනත් මේ අවුරුදු සමයේදි කෙසේ හෝ වැටේ මුරුංගා දණ්ඩක් සිටුවීම අපගේ යෝජනාවයි. අපගේ මේ යෝජනාව අන් අයටත් කියා ඔවුන්වද මේ භාරදූරකාර්ය සඳහා එක්රැස් කර ගැනීම ඔබගේ යුතුකමයි.

සිංහල අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබට දේශීය මුරුංගා දණ්ඩක් රැගෙන යා හැක. එය හිතවත්කම් අලුත් කරගන්නවා සේම නිරෝගී පරපුරක් බිහි කර ගැනිමට රැකුලක් වනු ඇත.

වැටේ මුරුංගා ගසෙන් අප ලබන ප‍්‍රයෝජන

සාමාන්‍යයෙන් ශාඛයකින් ලැබෙන ප‍්‍රයෝජන වන ඔක්සිජන් නිපදවීම, සෙවන ලබා දීම, පස ආරක්ෂා කිරීම වැනි ප‍්‍රයෝජන මුරුංගා ශාඛයෙනුත් ලැබේ. නමුත් ඊටත් වඩා ඉහළ පෝෂණීය ප‍්‍රයෝජනයන් මුරුංගා මිනිස් සිරුරට ලබා දේ.

අතීතයේ ශ‍්‍රී ලාංකීකයා මුරුංගා ගසේ අගය හදුනා ගත් අතර විවිධාකාරයේ ප‍්‍රයෝජන එහින් ලබා ගන්නා ලදි.

මුරුංගා කරල් ආහාරයක් ලෙස අප පරිභෝජනය කරනවා. ඒ වගේම ඖෂධයක් ලෙසද මුරුංගා ප‍්‍රයෝජනවත් වේ. මුරුංගා පත‍්‍ර වියලා සකසා ගැනීම තුලින් අප හට තේ වැනි පානයන් නිෂ්පාදනය කර ගත හැකියි. මුරුංගා දඩු හෝ පැළ ගෙවත්තේ වැට මායිමට සිටුවිමෙන් ඉඩමේ ඉඩ අඩු නොකොට ගසක් සිටටුවා ගැනිමේ හැකියාව මෙන්ම ඉඩමේ මායිමද ආරක්ෂා කර ගත හැකිය. නාගරිකරණය වෙමින් පවත්නා වර්තමාන ශ‍්‍රී ලංකාවේ ආහාර භෝගයක් සිටුවා ගැනිමට කියු විට නිදහසට කරුණු ලෙස පවසනුයේ ඉඩකඩ නොමැති බවයි. නමුත් වැට මායිමට සිටුවීම තුලින් ඉඩකඩ නොමැති ගැටලුවද විසඳා ගනිමින් පෝෂණය ලබා ගනිමින් නිරෝගීභාවයද තහවුරු කර ගත හැකිය.

විදේශ රට වල කෘෂි කර්මාන්තයේදි මුරුංගා කොළ වියලා කුඩා ලෙස සකසා දියර පොහොරක් ලෙස භාවිතා කෙරේ. මුරුංගා පොහොරක් ලෙස භාවිතය තුලින් ඵලදාව වැඩි දියුණු කර ගැනිමට හැකි වී තිබේ.

මුරුංගා ඇට ජල පිරිපහදුවට යොදා ගන්නා බවද අධ්‍යයනයන් වලදි හදුනා ගෙන ඇත. අපටද එම තාක්ෂණය නිවැරදිව අධ්‍යයනයකින් පසුව ප‍්‍රයෝජනවත් භාවිතාවක් කල හැක.

* මුරුංගා පෝෂණ ගුණය

දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය නිර්මාංශීකව සපුරා ගැනීමේ පිළියමක් ලෙස මුරුංගා භාවිතා කල හැක.

මුරුංගා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහිත (කිරි මෙන් කිහිප ගුණයක) ප්‍රෝටීන පමණක් නොව විටමින, ක්ෂුද්‍ර පෝෂක ප‍්‍රභවයක් ලෙසද භාවිතා කළ හැක.

පහත දැක්වෙනුයේ මුරුංගා ග‍්‍රෑම් 100 ක අඩංගු පෝෂණ ගුණයයි.


මුරුංගා පිලිකා නාශක ගුණය වැඩි කර ප‍්‍රතිශක්තිය වඩවයි. එමෙන්ම, අධිරුධිර පීඩනය අවම කිරීම, රුධිරගත කොලොස්ටරෝල් සහ සීනි මට්ටම පාලනයට උපකාරි වේ.

මුරුංගා ආහාරයට එක් කර ගැනීම අපස්මාරය, හිසරදය ඇතුලු ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝග සඳහා හිතකර බව සොයාගෙන ඇත. තවද, මුරුංගා මල බද්ධය ඇතුලු ආහාර ජීර්ණපද්ධතිය ආශ‍්‍රීත රෝග සඳහා යෝග්‍ය වේ. මුරුංගා තුල අඩංගු විටමින් හා ක්ෂුද්‍ර පෝෂක ඇස් පෙනීම වර්ධනය සඳහා උපකාර වනු ඇත.

මුරුංගා වල ඇති විටමින් ඇතුලු ක්ෂුද්‍ර පෝෂක වල ගුණයන් එහි ඇති ප‍්‍රතිඔක්සිකාරක ගුණයන් නිසා,

* සම රැලි වැටීම වැළැක්වීම

* වර්ණවත් සමක් ලබා දීම

* තුවාල සුවවීම වේගවත් කිරීම

* හිසකෙස් වල වර්ධනය සිදු කරයි

මුරුංගා භාවිතය මිනිස් සිරුරේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය අක්මාව සන්ධිගත රෝග, මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රීත රෝග සඳහා හිතකරයි. රක්තහීනතාව මැඩලීමට අවශ්‍ය යකඩ මුරුංගා තුල ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

වියලි මුරුංගා කොළ පිටි ග‍්‍රෑම් 100 ක අඩංගු පෝෂණ ගුණය

* කෙසෙල් වල මෙන් 15 ගුණයක් පොටෑසියම්

* කිරි වල මෙන් 17 ගුණයක් කැල්සියම්

* යෝගට් වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්

* බිත්තරයක මෙන් 4 ගුණයක් ප්‍රෝටීන්

* කැරට් මෙන් 10 ගුණයක් විටමින් ඒ

* නිවිති වල මෙන් 25 ගුණයක් යකඩ

* ඇපල් වල මෙන් 5 ගුණයක් තන්තු

* දොඩම් වල මෙන් 7 ගුණයක් විටමින් සි (අමු මුරුංගා කොළ සංසන්දනය)

මුරුංගා ශාකයේ කොටස් ආහාර ලෙස ලබා ගත හැකි ආකාර

ආහාරයක් වශයෙන් අපගේ අවධානය මුරුංගා කරල් වෙත පමණක් යොමු වුවද ශාඛයේ අනෙක් කොටස්ද ආහාරයේදි භාවිතා කල හැක.

* කරල් – ව්‍යංජන වශයෙන්

* පත‍්‍ර – ව්‍යංජන, මැල්ලුම්, සම්බෝල වශයෙන් හා සුප්, කැඳ සඳහා

* මල් – ව්‍යංජන වශයෙන්, තම්බා පානයක් ලෙස

* ඇට – ව්‍යංජන වශයෙන් (කබලේ බැද)

* තෙල් – ඇට වලින් ලබා ගත් තෙල් සලාද වලට යොදාගත හැක

* වස විසෙන් තොර
කෘෂි සංස්කෘතියක් කරා…

අපගේ පැරණ්නෝ කෘෂි සංස්කෘතියේදි පරිසර හිතකාමිව, මිනිස් සිරුරට අහිතකර නොවන අයුරින් කටයුතු කරන ලදි. එහිදි චන්ද්‍ර මාස ක‍්‍රමය හදුනා ගනිමින්, කෘමි සතුන්ගේ ජීවන චක‍්‍රය අධ්‍යයනය කරමින්, දේශගුණ, කාලගුණ විපර්යාසයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව වගා කටයුතු සිදු කරන ලදි. නමුත් වර්තමානයේ එම උරුමයන් තැකීමකින් තොරව වස විස යොදාගනිමින් කෘෂි භෝගයන්හි ඵලදාව වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරයි. වස විස භාවිතය තුලින් සිදු වනුයේ අපගේ නිරෝගිභාවය අහෝසි වීමත්, පස නිසරු වීමත්ය.

නමුත් මිනිස් සිරුරට හිතකර සහ පරිසර හිතකාමිව නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා මුරුංගා පත‍්‍ර ප‍්‍රයෝජනයට ගත හැක. මෙහිදි පත‍්‍ර කුඩු කර දියර ලෙස භෝග වලට ඉසීම සිදු කෙරේ.

* රුපියල ශක්තිමත් කරමු.

ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් රුපියල ශක්තිමත් කිරීමට මුරුංගා උපයෝගි කර ගත හැකිය.

මුරුංගා ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකි නිසා ආහාර වේල් විවිධත්වයෙන් යුතුව සකසා ගත හැක. එමෙන්ම පෝෂණ ගුණයෙන් ඉහල බැවින් ආහාර වේල පරිපූර්ණ වේ.

මුරුංගා ආහාරයට ගැනීම තුලින් ප‍්‍රතිශක්තිය ඉහළ නැංවෙන් අතර ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත්භාවය නිසා වෙනත් රෝග වෙත ගොදුරු වී ඒ වෙනුවෙන් වැය වන ධනය හෝ සම්පත් ඉතිරි වේ.

මුරුංගා නිෂ්පාදන ගෘහ කර්මාන්තයක් ලෙස ආදායම් ඉපයීමට භාවිතා කල හැක. මෙවැනි විධික‍්‍රම තුලින් ගෘහ ආර්ථිකය ඉහළ නංවා රුපියල ශක්තිමත් කල හැක.

* රටේ ආර්ථිකයට ඇති දායකත්වය

මුරුංගා පත‍්‍ර අපනයනය කල හැකි සම්පතකි. දැන් දැන් බටහිර රටවල පුද්ගලයන් Vegan නිර්මාංශ ප‍්‍රවණතාවය අනුගමනය කරයි. එහිදි ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට මුරුංගා යොදාගත හැකිය.

අපගේ දේශගුණ තත්ත්වයන් යටතේ පහසුවෙන් වගාකල හැකි නිසා යහපත් කර්මාන්තයක් ලෙස රටපුරා ව්‍යාප්ත කිරීම මගින් රටේ ආර්ථික දියුණුවට දායක විය හැක

* අලූත් අවුරුද්දේ අපගේ දායකත්වය

හැකි හැම නිවසකම වැටට දේශීය මුරුංගා දඩු කැබැල්ලක් හෝ පැළයක් සිටවමු යන්න මේ සිංහල අලුත් අවුරුද්දේ අපගේ පණිවුඩයයි. ඒ තුලින් වැටත්, පෝෂණයත්, සෞඛ්‍යයත්, ආර්ථිකයත්, තිරසාර බවත් රැකගැනීමට අප සබුද්ධික වෙමු.

* මානසික සුවය

ඔබ මෙම වසරේ වැටේ මුරුංගා දණ්ඩක් සිටුවුවහොත් ඊළග වසරේ ඔබගේ අවුරුදු කෑම මේසය ඔබගේ ගෙවත්තේ මුරුංගා මගින් පෝෂණය කර ගත හැකි වේ. එය ඔබගේ නිරෝගී සුවය මෙන්ම මානසික සුවයටද යහපත් බලපෑමක් සිදු කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More