දේශීය පුවත්

හමුදාව විසින් උතුරේ සියලු ව්‍යාපාරික ක්‍ෂේත්‍ර ආක්‍රමණය කිරීම හේතුවෙන් උතුරේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සියල්ල ඇහිරී ඔවුන්ගේ ජීවිත දිනෙන් දින පරිහානියට පත් වෙමින් තිබෙන බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ උතුරෙන් හමුදාව ඉවත් විය යුතු බවට මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් හමුදාවත් ආණ්ඩුවත් කෝපයට පත්වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි නොවේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමැතිවරයා මෙසේද කීය.

මම ප්‍රකාශ කර සිටියේ උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති නිසා හමුදාව උතුරේ තවදුරටත් රැඳී සිටීම අනවශ්‍ය බවයි. එමෙන්ම හමුදාවකට විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය නැති බවත් නවීන තාක්ෂණය හා උපකරණ භාවිතය මඟින් එක් ගොඩනැඟිල්ලක සිට ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාව තිබෙන බවත් මම ප්‍රකාශ කර තිබුණා.

පසුගිය ආණ්ඩුව සිදු කළේ ගෝඨාභය මහතා යටතේ රාජාණ්ඩුවක් ඇති කිරීමට උත්සාහ දැරීමයි. වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයට හේතු වී ඇත්තේ ලෝකයේ රටවල් කිහිපයකද මැදිහත්වීම මත මෙම සම්මුතිවාදී ආණ්ඩුව බිහිවීමයි. එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට අපගේ ජනතාවත් බොහෝ සහයෝගය ලබා දුන්නා.
ආණ්ඩුව කවරක් සිතයිද හමුදාව කවරක් සිතයිද යන්න අප සිතීම ඵලක් නැති කාර්යයක්. ආණ්ඩුව කුමක් කළ යුතුද හමුදාව කවරක් කළ යුතුද යන්න පෙන්වාදීම අපගේ වගකීමයි.

උතුරේ ජනතාවට අයත් ඉඩම් අක්කර 6,000ක් තවමත් අරක්ෂක අංශ සතුව පවතිනවා එහෙත් ඔවුන් පවසන්නේ එතරම් ප්‍රමාණයක් නොමැති බවයි. සංඛ්‍යා ලේඛන එකිනෙකට පරස්පරයි. මේ වන තෙක් නිදහස් කොට තිබෙන්නෙ සුළු ප්‍රමාණයක් පමණයි. රක්ෂිත සියල්ලක්ම තවමත් පවතින්නේ ආරක්ෂක අංශ සතුවයි.
ආරක්ෂක අංශ සතුව පැවැති හා පවතින ඉඩම්වල ඉතා වටිනා වාණිජමය වටිනාකමින් යුත් විශාල ගස් වවා තිබුණා. ඒවා බොහොමයක් කපා ඉවත් කර තිබෙනවා. එම ගස් කවර ස්ථානයට රැගෙන ගියාද යැයි අප දන්නේ නැහැ.

කොළඹින් ලැබෙන බලපත්‍ර බව කියමින් නියමිත ප්‍රමාණයටත් වඩා කළුගල් කොළඹට කඩා රැගෙන යනවා. මෙම කටයුතු සඳහාත් ආරක්ෂක අංශවල සහාය ලැබෙනවා. එමඟින් සනාථ වන්නේ වත්මන් ආණ්ඩුවේ සහායද මේවාට ලැබෙන බවයි. උතුරේ පාරම්පරිකව ධීවර කටයුතු කෙරෙනු ස්ථාන දකුණේ ඇතැම් පුද්ගලයන්ට ලබාදී තිබෙනවා. මේ හේතුවෙන් අප පාරම්පරික ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ග බිඳ වැටී තිබෙනවා.

ඒ 09 මාර්ගය දෙපස බොහෝ කඩවල් පවත්වාගෙන යනු ලබන්නේ ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ගේ මිතුරන්, නෑදෑයන් හෝ සමීපතමයන් විසින්. ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් අපට ගොස් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඊට හොඳම උදාහරණය තිරුමුරුකණ්ඩි ප්‍රදේශයයි. එහි ඉඩම් අක්කර 1,702ක් ආරක්ෂක හමුදාව යටතේ පවතිනවා. එහෙත් එම ප්‍රදේශවලට අප කිසිවකුට යෑම තහනම්.

ආරක්ෂක අංශ උතුරේ ආරක්ෂක කටයුතුවලට වඩා සිදු කරනු ලබන්නේ වාණිජමය කටයුතුයි. දකුණු ආසියාව සඳහා වන නීති අධ්‍යාපනය පිළිබඳ ආයතනය පසුගියදා ග්‍රන්ථයක් එළිදක්වනු ලැබුවා. එහි ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස හමුදාව විවිධ ව්‍යාපාරවල නිරතව සිටින බව දැක්වෙනවා. ආපන ශාලා, සංචාරක කර්මාන්ත, විශ්‍රාම ශාලා හා හෝටල්, පෙර පාසල්, ගොල්ෆ් ක්‍රීඩාංගණ පවත්වාගෙන යෑම කෘෂිකාර්මික ගොවිපළවල් පවත්වාගෙන යෑම, ඇතුළු තවත් වාණිජමය කටයුතු රැසක් ආරක්ෂක අංශ විසින් සිදු කෙරෙන බව එහි සඳහන්.

යාපනය කන්කසන්තුරෙයි තල්සෙවණ ස්ථානය මීට හොඳම උදාහරණයයි. එම ස්ථානයට සංචාරක ආකර්ෂණය ඉතා වැඩියි. 2010 වසරේ සිටි එම ප්‍රදේශය ආශි්‍රත ධීවර කටයුතු සඳහා යොදා ගත හැකි ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් පවතින්නේද හමුදාව යටතේයි. එම සංචාරක ස්ථානය කවරකු විසින් පවත්වාගෙන යනු ලබන්නේද යන්න කවුරුත් දන්නේ නැහැ.

සුන්ඩිකුලම් උද්භිද උද්‍යානය 2012 වසරේ සිටම පවතින්නේ ආරක්ෂක අංශ සතුවයි. එම ස්ථානයේ පවතින නවාතැනත් පවත්වාගෙන යනු ලබන්නේ ආරක්ෂක හමුදාව විසින්මයි. එය කවරකුට අයත්දැයි අපිද නොදන්නෙමු. කිසිදු විනිවිදභාවයකින් තොරවයි, මේවා සිදුවන්නේ.

පලාලිවල අක්කර 180ක ඉඩමක ආරක්ෂක අංශ සිය පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබනවා. වව්නියාව මැණික්ෆාම් ඉඩම්වල ගොවිපොළවල් පවත්වාගෙන යනු ලබනවා. කන්කසන්තුරේ මුහුදු තීරය ආශි්‍රත ඉඩම් අක්කර රැසක්ම පවතින්නේ නාවික හමුදාව සතුවයි. එහි ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සියල්ලක්ම සිදු කරනු ලබන්නේ අපගේ ධීවර ජනතාව විසින් පෙර ධීවර කටයුතු සඳහා යොදාගනු ලැබූ ස්ථානයි. තවද එම ස්ථානයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර තනි පුද්ගලයන්ට අයත් වනු ඇති බවට අපට සැකයක්ද පවතිනවා. දෙස් විදෙස් සංචාරකයන්ට මුහුද නැරැඹීම සඳහා සියලු සංචාරක පහසුකම් සපයන්නේද මෙම නාවික හමුදාව විසින්මයි. හමුදාව විසින් සංචාරක ගුවන් සේවාවක්ද පවත්වාගෙන යනු ලබයි.

ආරක්ෂක අංශ උතුරේ සිට සිදු කරනු ලබන්නේ කුමක්ද යන්න සමස්ත ජනතාවම දැනගත යුතුයි. උතුරේ බෞද්ධයන් ජීවත් නොවන ස්ථානවල බුදුපිළිම වහන්සේ ස්ථාපිත කිරීමට උත්සාහ කරන්නේද හමුදාවයි. මහවැලි අධිකාරිය හා එක්ව උතුරේ සිංහල ජනපද ස්ථාපිත කිරීමට මැදිහත් වන්නේද හමුදාවයි. නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන්නේද හමුදාවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More