පුරවැසි කොලම

2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මතු වූ නව කොරෝනා වෛරසය මේ වන විට වසර එක හමාරකට කිට්ටු කාලයක් තිස්සේ මුළු ලෝකයටම, සමස්ත මානව වර්ගයාටම වදදෙමින් සිටින්නේය. පියවි ඇසට නොපෙනෙන, නැනෝ මීටර් 125ක තරම් වූ විෂ්කම්භයක් ඇති ඉතා කුඩා ක්‍ෂුද්‍ර අංශුවක් මුළු ලෝකයම, මුළු මානව සංහතියම ගිලගෙන හමාරය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, නව කොරෝනා නොහොත් කොවිඩ්-19 වෛරසය දරුණු ගෝලීය වසංගතයක් බවට පත්වී හමාරය. මෙම ලිපිය ලියන මොහොත වන විට, ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටි 13 ඉක්මවා තිබෙන අතර, මියගිය ගණන කෝටි 3කට කිට්ටු වී ඇත්තේය. පළමු අදියරේදී, යම්තාක් දුරකට සාර්ථක ලෙස පාලනය කරන ලද සමහර රටවල පවා, දෙවෙනි තුන්වැනි රැළි වශයෙන් කොරෝනා වසංගතය යළි යළිත් හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය.

නිදසුනක් ලෙස, කොරෝනා ආසාදිතයින් ගෙන් රෝහල් ඇඳන් පිරී ඉතිරී යාම වැළැක්වීමේ අරමුණින්, පසුගිය අප්‍රේල් 3 වැනිදා සිට, තුන්වැනි වරටත් රට යළි වසා දැමීමට ප්‍රංශ රජය තීරණය කරනු ලැබුවේය. පසුගිය අප්‍රේල් 2 වැනිදා පමණක්, ප්‍රංශයේ කොරෝනා ආසාදිතයින් 46,677 දෙනෙකු සහ කොරෝනා ආශ්‍රිත මරණ 304ක් වාර්තා වී ඇත්තේය. කොරෝනා ආසාදිතයින්ගේ ගණන මෙයාකාරයට සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් දැඩි සත්කාර ඒකකවලට දරාගත නොහැකි තරමට රෝගීන් ඇතුළත් වන හෙයින් මෙම තීරණයට එළඹි බව ප්‍රංශ රජය නිවේදනය කරන්නේය. මෙම අගුලුදැමීමේ ක්‍රියාවලිය මාසයක් පුරා දියත් කෙරෙන අතර, එම කාලය තුළ දිනපතා රාත්‍රී 7 සිට පසුදින උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේය. පසුගිය සති කිහිපය තුළ අසල්වැසි ඉන්දියාවේ ද තත්ත්වය නරක අතට හැරුණු අතර, දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින්ගේ ගණන ලක්‍ෂයකට කිට්ටු වී ඇත්තේය. පසුගිය අප්‍රේල් 3 දිනට පෙරාතුව ගතවූ පැය 24ක කාලය තුළ, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 93,249ක් හමු වූ බව වාර්තා වන්නේය. එම පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 513ක් වාර්තා වී ඇත්තේය. මෙම පසුබිම තුළ, කොරෝනා ආසාදිතයින් බහුල ලෙස හමුවන ප්‍රාන්ත වසාදැමීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත්තේය.

මේ අතර, කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට මානසික රෝගී තත්ත්වයක් හෝ ස්නායු රෝගයක් වැළඳීමේ අවදානමක් ඇති බව, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේය. පසුගිය මාස හයක පමණ කාලය තුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 236,000ක් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇත්තේය. පර්යේෂණයට සහභාගී වූ අය අතුරින් 17%ක පමණ පිරිසක් කාන්සිය වැනි මානසික ආබාධවලින් පෙළෙන බවත්, 17%ක් ක්ෂණිකව ඉරියව් වෙනස් කරන බවත් අනාවරණය වී ඇත්තේය. මෙම තත්ත්වයට හේතුව කොරෝනා වෛරසය විසින් මොළයට සෘජුව ඇතිකරන බලපෑමද, නැතිනම් කොරෝනා වැළඳීම නිසා ඇතිවන ආතතියද යන්න ස්ථීරවම කිව නොහැකි බව අදාළ පර්යේෂකයෝ අවධාරණය කරති. කෙසේ වුවද, නව කොරෝනා නොහොත් කොවිඩ්-19 වෛරසය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බව මෙම පර්යේෂණයෙන් යළි තහවුරු වන්නේය. ඇතැම් විශේෂඥයන්ගේ ඇගයීම්වලට අනුව, පසුගිය වසර සියයක පමණ කාලයක් තුළ මානව වර්ගයා මුහුණ දුන් දරුණුතම වසංගතය මෙය වන්නේය.

ශ්‍රී ලංකාවේද, මීට වසරකට පෙරාතුව (2020 මාර්තු මාසයේ දී) ප්‍රථම වතාවට කොරෝනා ආසාදිතයෙකු හමු වූ අතර, දැඩි සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමට අපට හැකි විය. සති ගණනක් රට පුරා පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කොට, 2020 අප්‍රේල් අග භාගයේ සිට රට ක්‍රමයෙන් විවෘත කරනු ලැබූ අතර, රටේ ජන ජීවිතය ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වන්නට පටන් ගත්තේය. එහෙත්, 2020 ඔක්තෝබර් 4 වැනි දින, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන කාන්තාවකට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරුවීමෙන් පසුව ඇරඹුණු දෙවෙනි රැල්ල තවම නිමවී නැත්තේය. මේ වන විට, මෙරටින් හමු වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ ගණන 95,000ට ආසන්න වී තිබෙනාතර, කොරෝනා ආශ්‍රිත මරණ ගණන 600ට කිට්ටු වී ඇත්තේය. මීට සති කිහිපයකට පෙරාතුව දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින්ගේ ගණන 700-800 දක්වා ඉහළ ගොස් තිබුණද, මේ වන විට එම ගණන 100-200 දක්වා අඩුවීම සැනසිලිදායක කරුණක් වන්නේය. මෙම අඩුවීමට හේතුව පීසීආර් පරීක්‍ෂණ අඩුකිරීම බවට ඇතමෙකු තර්ක කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන්නේය. පීසීආර් පරීක්‍ෂණ කරනු ලබන්නේ පළමු පෙළ ආශ්‍රිතයින්ට බැවින්, ආශ්‍රිතයින් අඩුවීම නිසා පීසීආර් පරීක්‍ෂණ ප්‍රමාණයේ අඩුවීමක් ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය. ඒ අතර, අහඹු පරීක්‍ෂණ නවත්වා නැති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේය. කෙසේ වුවද, පසුගියදා යාපනයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින් නිසා අලුත් පොකුරක් ඇතිවීමේ තර්ජනයක් මතුව ඇත්තේය.

මේ අතර ලෝකයේ සෙසු රටවල පරිදිම, ශ්‍රී ලංකාවේ ද කොවිඩ්-19ට එරෙහි එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීම ලබන අප්‍රේල් 19 දින සිට ආරම්භවීමට නියමිතය. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම පසුගිය ජනවාරි 19 දින ආරම්භ වූ අතර, දෙවෙනි මාත්‍රාව සති 10-12 අතර කාලයකට පසුව ලබාදීම වඩා යෝග්‍ය බව පැවසෙන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ මීළඟ තොගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව යුනිසෙෆ් සංවිධානය පසුගියදා අනාවරණය කළේය. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන එන්නත අපනයනය කිරීමේ ප්‍රමාදයක් පවතින අතර, ශ්‍රී ලංකාව මුදල් ගෙවා ඇණවුම් කරන ලද එන්නත් තොගයද ප්‍රමාද වෙමින් පවතින්නේය. එමෙන්ම, ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගියහොත්, ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත සෙසු රටවලට ලබාදීම තවත් ප්‍රමාද විය හැකි යැයි සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවාලා මහතා අනතුරු අඟවන්නේය. කෙසේ වුවද, ලබන මැයි අග වන විට, තවත් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු විශ්වාසය පළකරති. ඊට අමතරව, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද වාර්තා වන්නේය. මේ අනුව බලනා විට, මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට යනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු තැබිය හැක්කේය.

කෙසේ වුවද, එන්නත්කරණ ක්‍රියාවලිය දියත් කළ පමණින් කොරෝනා වසංගතය ඉක්මනින් මෙරටින් තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකිය. විශේෂයෙන්, බහුතර ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අතහැරිය හොත්, කොරෝනා වසංගතය තව බොහෝ කාලයක් අප රට තුළ හොල්මන් කිරීමට ඉඩ ඇත්තේය. සිංහල-දමිළ අලුත් අවුරුදු සමයේදී ජනතාව සෞබ්‍ය උපදෙස් නිසියාකාරව නොපිළිපැද්දෙත්, තුන්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවන්නේ මෙම පසුබිම තුළය. අලුත් අවුරුදු සමයේදී ජනතාව සියයට සියයක් පාලනය කිරීම අපහසු බැවින්, ඉදිරි දින කිහිපය තුළ සංචරණ සීමාකොට සෞබ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේය. පසුගියදා නිකුත් කෙරුණු මාර්ගෝපදේශ මාලාවට අනුව, අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි සහ සංගීත ප්‍රසංග පැවැත්වීම සපුරා තහනම් වන අතර, ගම්වල කුඩාවට සංවිධානය කෙරෙන අවුරුදු උත්සවවලට ද 100කට වැඩි පිරිසක් සහභාගී වීම තහනම් වන්නේය. අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේදී, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ආහාර පිසීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල්ගෑම වැනි චාරිත්‍ර නිවසේ සිටම කළයුතු බවටත්, අවට නිවෙස් සමඟ කැවිලි-පෙවිලි හුවමාරු කරගැනීම සහ නෑගම් යාම නොකළයුතු බවටත් එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේය.

මේ අතර, අවුරුදු උත්සව අධීක්‍ෂණය කිරීමේ කටයුත්ත හරිහැටි ඉටුකිරීම අසීරු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසන්නේය. බොහෝ ප්‍රදේශවල ජනතාව දැනටමත් සෞබ්‍ය උපදෙස් උල්ලංඝණය කිරීමට පටන්ගෙන ඇති හෙයින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය විසින් කරනු ලබන අනතුරු ඇඟවීම සුළුකොට තැකිය නොහැක්කේය. වසරකට වැඩි කාලයක් එක දිගට කොරෝනාවෙන් බැටකන ජනතාව මෙවර අලුත් අවුරුද්ද ජයටම සැමරීමට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත්තේය. විශේෂයෙන් පසුගිය වසරේ හරිහැටි අවුරුදු සැමරීමට නොහැකි වූ හෙයින්, බහුතර ජනතාව මෙවර අලුත් අවුරුද්ද ජයටම සැමරීමට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත්තේය. බොහෝ නගරවල කඩසාප්පු පාරිභෝගිකයන් ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනාතර, වැඩි දෙනෙකු ශාරීරික දුරස්ථභාවය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවක් පෙනෙන්නට ඇත්තේය. අවුරුදු සමයේ සංචරණ කටයුතු සීමා කරන්නැයි, සෞඛ්‍ය බලධාරීන් පුන පුනා ඉල්ලා සිටියද, බොහෝ දෙනෙකු අවුරුදු සමයේ රට පුරා චාරිකා කරන්නට සූදානම් වන බවක්ද පෙනෙන්නට ඇත්තේය. සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශවල හෝටල් කාමර වැඩි හරියක් දැනටමත් දේශීය සංචාරකයන් විසින් වෙන්කරගෙන ඇති බව වාර්තා වන්නේය.

යටකී පරිදි, එක දිගට දිගු කලක් කොරෝනාවෙන් පීඩා විඳින ජනතාවට මෙවර අලුත් අවුරුද්ද සැමරීමට කිසියම් ඉඩකඩක් විවර විය යුතු බවට කිසිදු විවාදයක් නැත්තේය. අනෙක් අතට, සෞඛ්‍ය උපදෙස් අමතක කොට හිතුමතේ අවුරුදු සැමරුවහොත්, සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන පරිදි තුන්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පුළුල්ය. තුන්වැනි කොරෝනා රැල්ලක් ඇතිවුවහොත්, අලුත් අවුරුද්ද සැමරීම පසෙකලා තවත් මාස ගණනක් නිවෙස්වලට කොටුවී සිටීමට අපට සිදුවිය හැකිය. පසුගිය වසරේ පරිදිම, වෙසක්, පොසොන් වැනි වැදගත් ආගමික උත්සව සැමරීමෙන්ද වැළකී සිටීමට අපට සිදුවිය හැකිය. කෙටියෙන් කියතොත්, තුන්වැනි කොරෝනා රැල්ලක් ඇතිවුවහොත්, මුළු ජන ජීවිතයම තව බොහෝ කාලයකට අඩාල විය හැකිය. කොරෝනා පැතිරීම වැළකෙන පරිද්දෙන්, සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපදිමින් අලුත් අවුරුද්ද සැමරීමට අදිටන් කරගනිමු යැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More