දේශීය පුවත්

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකීම ආණ්ඩුවට ඇති බවත් “මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය බලගන්වන්නේ ද ඉහත ගමන අර්ථාන්විත සහ බලසම්පන්න කිරීමට බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ (10) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“මේඩ් ඉන් ශ්‍රී ලංකා, සන්නාමය සමග බැඳුණු සංස්කෘතියක් හදන්න අපි පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා මූලික පියවර තැබුවා. ඒ යටතේ දැනට අදියර දෙකකින් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තත්වයෙන් උසස් නිෂ්පාදන සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ප්‍රදානය කොට තිබෙනවා. ඒ වගේම දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට, නිෂ්පාදකයාට දෙස් විදෙස් වෙළෙඳපොළ අවස්ථා ලබාදීම සඳහා අපි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එම ක්‍රියාමාර්ග අනුව දැනටමත් ඉදිරි පියවර ගෙන තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි මෙවැනි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශන’ රටපුරා පැවැත්වීම. දෙවැන්න සියලු තත්වයෙන් උසස් දේශීය නිෂ්පාදන, අන්තර්ජාලය ඔස්සේ ඕනෑම දෙස් විදෙස් ගනුදෙනුකරුවෙකුට සෘජුව ලබාගත හැකි මඩේන්ස්‍රිලන්ක.ඔර්ග් අන්තර්ජාල වෙළඳ ද්වාරය අංග සම්පූර්ණ කොට පවත්වාගෙන යාම. එම කටයුත්ත මේ වසරේ මැද භාගය වන විට සිදු කිරීමට අපේක්ෂිතයි. දෙවැන්න තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා බලයලත් අලෙවිසැල් දේශීය වශයෙන් සහ විදේශීය රටවල ස්ථාපිත කිරීම. මේ වන විටත් චීනයේ බීජිං නුවර එවැනි බලයලත් අලෙවි සැලක් අපේ දේශීය තරුණ ව්‍යවසායකයකු විසින් අරඹා තිබෙනවා.

“අභියෝගය සාමූහිකව ජය ගැනීම”
මහා පරිමාණ නිෂ්පාදකයාගේ නිෂ්පාදන සමග තරග වැදීමට දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදනවල තිබෙන ගුණාත්මකභාවයේ අඩුවක් නිසා නොවෙයි, ඔවුන්ට තම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට, අලෙවිකරණයට අවශ්‍ය කරන මහා මුදල් කන්දරාව යෙදවීමට නොහැකි නිසයි. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට තනිව ජයගත නොහැකි ඒ අභියෝගය සාමූහිකව ජය ගත හැකි පියවරක් විදිහටයි අපි මේ ‘මේඩ් ශ්‍රී ලංකා සන්නාමය’ ප්‍රවර්ධනය කරන්නේ. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය’ මිනිසුන්ගේ සිත් තුළ තදින් තහවුරු කර එම සන්නාමය සහිත ඕනෑම නිෂ්පාදනයක් මිළදී ගැනීමට පැකිළෙන්නේ නැති සමාජයක් බවට අපේ සමාජය පරිවර්තනය කිරීමයි අපේ ඉලක්කය.

“දේශීයත්වය මත පදනම් වූ පාලන තන්ත්‍රයක්”
එදා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දේශීයත්වය මත පදනම් වූ පාලනතන්ත්‍රයක් බලගන්වන බවට පොරොන්දුවක් ලබා දුන්නා. එම පොරොන්දුව කර්මාන්ත අමාත්‍යාංශය හැටියට සාක්ෂාත් කිරීමට වඩා නිවැරදිව පෙරමුණු ගැනීමටයි මෙම වැඩපිළිවෙල ජනගත කළේ. අපට රටක් හැටියට කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිව තිබෙනවා. ඒ නිසයි වසර කිහිපයකට පසුව ජනතාවට අවුරුදු සැමරීම සඳහා සූදානම් වීමට හැකිව තිබෙන්නේ. පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් අවුරුදු සැමරුම නතර වූවා. 2019 වසරේ දී අවුරුදු සමයේ අවසන් භාගයේ සහරාන්ලාගේ ත්‍රස්ත ප්‍රහාරය රටට එල්ල වුණා. මේ තත්ත්වය තුළ අප රටේ විනෝදාස්වාද කර්මාන්තය කඩා වැටී තිබෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මෙය සියලු තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින්, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලීම ඉටු කරමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය අනුරාධපුරයට ගෙන ආවා. මේ වෙළෙඳ ප්‍රදර්ශනය හා සමගාමීව කොළඹ පදනම් මාවතේ ද තවත් මෙවැනි වෙළඳ ප්‍රදර්ශනයක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

“කවර ආකාරයකවත් ත්‍රස්තවාදයට ඉඩ නැහැ”
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ රජය එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදය විසින් එල්ල කොට ඇති අභියෝගයට මුහුණ දෙමින් තිබෙනවා. මේ වන විට ඉස්ලාම් අන්තවාදය පතුරුවා හරින සංවිධාන ගණනාවක් තහනම් කර, පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට අපේ රජය පියවර ගත්තා. කවර ආකාරයකවත් මර බියක්, ත්‍රස්තවාදයක් ඇති නොවීමටයි අපේ රජය පියවර ගනිමින් තිබෙන්නේ. කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදෙමින්, ජාතික ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොදී, අපොස (සා.පෙ) අසමතුන් ලක්ෂයක් මෙන්ම උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගනිමින් අපේ රජය අපේ සමත් බව පෙන්වා දෙමින් සිටිනවා. එපමණක් නොවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැනි ගිවිසුම් අවලංගු කරමින්, ජිනීවා මානව හිමිකම් උගුලෙන් ඉවතට එමින් අපි රජයක් ලෙස මේ රටේ ස්වෛරීභාවය තහවුරු කර දෙමින් සිටිනවා. මෙවැනි සාර්ථක ගමනක් යමින් සිටින විට විවිධ කුමන්ත්‍රණකාරී බලවේග බලනවා එම ගමන අනෙක් පැත්තට හරවන්න.

“රන්ජන්ට හිරේදි හිතුනු දේ”
“රටේ සම්පත් විකිණීම, රාජ්‍ය නායකයාගේ නාස්තිය” ආදී චෝදනා අපේ ආණ්ඩුවට එල්ල කරන්න බැරි වුණාම රජය විසින්ම ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක සංයෝග තිබෙන බව හඳුනාගත්තාම එය චෝදනාවක් ලෙස එල්ල කරන බංකොලොත් විපක්ෂයක් තමයි අද තිබෙන්නේ. පසුගිය දිනවල මේ අයගේ විකාරරූපී හැසිරීම පාර්ලිමේන්තුව තුළ දැකගත හැකි වුණා. රන්ජන් රාමනායක වරදකරු වූයේ රජයට අපහාස කරලා නොවෙයි, අධිකරණයට අපහාස කරලා. අධිකරණයට අපහාස කිරීමකට වරදකරු වුණාම ඉහළ අධිකරණයට අභියාචනය කළ හැකියි. නමුත් රටේ ඉහළම උසාවියෙන් වරදකරු කළාම අභියාචනය කළ හැකි වන්නේ නැහැ. එවිට එම වරදකරුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට හෝ පවතින ආණ්ඩුවට ගතහැකි ප්‍රතිකර්ම නැහැ. එවිට මන්ත්‍රී ධුරය අහිමි වීම අනිවාර්යයක්. රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වුණාම එක දවසක් කෑගහනවා. ඊළඟ දවසේ පුරප්පාඩුවේ වෙනත් අයකු දිවුරුම් දෙනවා. ඒ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති.

“දුබල මාතෘකා අල්ලා ගැනීම”
ඒ නිසා මේ බංකොලොත් විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගන්න ප්‍රබල මාතෘකා නැති බව ඔබට පැහැදිලියි. ඔවුන් අද දුබල මාතෘකා අල්ලාගෙන විකාර නටනවා. යාපනය නගර සභාවේ නගරාධිපතිවරයා නැති බලයක් ආරෝපණය කරගෙන එල්ටීටීඊ නිල ඇඳුම සහිත පොලිසියක් නගරයේ රථවාහන හසුරුවීමට යොදවා තිබුණා. අපේ රජය නගරාධිපති සහ එම නීතිවිරෝධී කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගත්තා. මේ රටේ ඒකීයභාවයට හෝ නීතියට අභියෝග කිරීමට අද කිසිවකුට බැහැ. රජයක් හැටියට අපි එයට ඉඩ තියන්නේ නැහැ. මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගෙන නිර්මාණය කර දුන් ගමනක් එහි තිබෙන අඩුපාඩු නැති කරලා වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකීම අපට තිබෙනවා. අපි මේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය’ බලගන්වන්නේත් ඒ ගමන වඩා අර්ථාන්විත කරන්න, ඉතා බලසම්පන්න කරන්නයි. අනුරාධපුරයේ දේශීය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කර දෙමින් ඔවුන්ව ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බවට සපථ කරමින් සැමට “සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් නවරත්න බණ්ඩාර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.04.11



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More