දේශීය පුවත්

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් දින 6කට පසුව සයින්දමරුදුවලදී සිදුකළ බෝම්බ පුපුරුවා ගැනීම් හේතුවෙන් පිරිමින් තුන්දෙනකු, කාන්තාවන් තුන්දෙනෙකු සමග කුඩා දරුවන් හය දෙනකු ද මරණයට පත්විය. එලෙස මරණයට පත් වූ පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා එම අවස්ථාවේදීම ඞී.එන්.ඒ. පරීක්‍ෂණයක් ද සිදුකර ඇත. එම ඞී.එන්.ඒ. පරීක්‍ෂණයේදී මාන්කඩුව අංක 105/106 යන ලිපිනයේ පදිංචි කව්දා උම්මාගේ ඞී.එන්.ඒ. සමග ද මරණයට පත් වූ කාන්තාවන්ගේ ඞී.එන්.ඒ සැසඳීමක් සිදුකරන ලද අතර, එම පරීක්‍ෂණය සිදුකරන ලද්දේ පුලස්තනි මහේන්‍ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ද එම බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ය. එලෙස පුලස්තනි හෙවත් සාරා මළවුන් අතර සිටි ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ මාන්කඩුව අංක 105, 106 ලිපිනයේ පදිංචිව සිටි ඇයගේ මව වූ කව්දා උම්මා ගේ ඞී.එන්.ඒ. ය. එම ඞී.එන්.ඒ. පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල අනුව තීරණය වූයේ පුලස්තනි හෙවත් සාරා 2019 අපේ‍්‍රල් 26 වැනි දින සයින්දමරුදුවලදී සිදු වූ බෝම්බ පුපුරවා ගැනීමෙන් මරණයට පත් වී නොමැති බවයි. එසේ වුවත් සරත් වීරසේකර ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබිණේ සාරා ජීවතුන් අතර සිටීද යන්න තීරණය කිරීම සඳහා ඞී.එන්.ඒ.පරීක්‍ෂණයක් සිදුකරන බවයි.

එසේ වුවත් පුලස්තනි හෙවත් සාරා ජීවතුන් අතර සිටින බව පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන් සාක්‍ෂිකරුවන් කිහිපදෙනකුගේ සාක්‍ෂි අනුව ද පැහැදිලි විය.

එම සාක්‍ෂිකරුවන් අතර 2020 ජුලි 21 වැනි දින එම කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිල්කන්ද මහතා සහ කල්මුණේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ යෝගේෂ්වරම් අරුණ මහතා ද ඇත.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිල්කන්ද මහතා කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පළමුවෙන් ම ප‍්‍රකාශ කර සිටියේ, සහරාන් සහ තව්හිද් ජිමාත් සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකාවක් ලෙස කටයුතු කර 2019 අපේ‍්‍රල් 26 වැනි දින අංක 183/ඹ්, තුන්වන හරස් වීදිය, බෙල්මෙරිය, සයින්දමරුදු යන ස්ථානයේදී සිදු වූ බෝම්බ පිපිරීමෙන් පසුව සාරා කලවන්චිකුඩි සහ තමන්කඩුව යන ගම්මාන ආශ‍්‍රිතව සැඟවී සිටින බව යම් අයකු දැක ඇති බවත්, ඇයට ඉන්දියාවට පලායෑම සඳහා සහයෝගය ලබාදුන් පුද්ගලයන් පිළිබඳව ද තොරතුරු ලැබුණු බවත් ය.

මාහිල්කන්ද මහතා කොමිෂන් සභාව හමුවේ තවදුරටත් සාක්‍ෂි ලබා දෙමින් ප‍්‍රකාශ කර සිටියේ, තමාගේ තොරතුරුකරුවකු පාන්දර 3.00 ට පමණ මඩකලපුව – කල්මුණේ මාර්ගයේ මඩකලපුව දෙසට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී මාන්කඩු යන ප‍්‍රදේශයේදී බටර් පාට 250 අංකය දරන කැබ් රථයක් නතර කර තිබෙන අයුරු දැක ඇති බවත්, ඉන් අනතුරුව අතුරු මාර්ගයක සිට පැමිණි සාරා එම කැබ් රථයට ගොඩවන අයුරු ද ඔහු දැක ඇති බවත් ය. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මාහිල්කන්ද මහතා ප‍්‍රකාශ කර සිටියේ, සාරා බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට ගොස් ඇති බවත්, ඒ සඳහා ඇයගේ මවගේ නැඟණියගේ ස්වාමිපුරුෂයා සහ එම ස්වාමියාගේ සහෝදරයා අනුබල දී ඇති බවත් ය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සාරාට ඉන්දියාවට පලා යෑම සඳහා උදව් උපකාර කළ එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනෙක් පුද්ගලයා විදේශගත වී ඇති බවත් පැවසීය.

එම කොමිසන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන් කල්මුණේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂක යෝගේෂ්වරම් අරුණ මහතා ප‍්‍රකාශ කර සිටියේ මාන්කාඩු අංක 105/106 යන නිවසේ මුස්ලිම් ඇඳුමින් සැරසුණු කාන්තාවක් සිටින අයුරු සමහර පුද්ගලයන් විසින් දැක ඇති බවයි. එමෙන්ම යෝගේශ්වරම් අරුණ මහතා කොමිෂන් සභාව හමුවේ තවදුරටත් සාක්‍ෂි ලබා දෙමින් ප‍්‍රකාශකර සිටියේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මාන්කාඩුවේ පිහිටි එම නිවසට ගිය බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උප පොලිස් පරීක්‍ෂක යෝගේශ්වරම් මහතා ප‍්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේදී සාරාගේ මව වූ කව්දා උම්මා නිවසේ රැඳී සිටි බවත්, සාරා මුස්ලිම් අයකු සමඟ විවාහ වී ගිය බවත් යළි නොපැමිණි බව ඇය පැවසූ බවත් ය.

එම සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂියට අමතරව පුලස්තනි හෙවත් සාරා පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා සිටින තවත් පුද්ගලයකු පිළිබඳව ද සඳහන් කළ හැක. එම පුද්ගලයා වන්නේ සාරා පාන්දර 3.00 ට පමණ ගොඩ වූ බටර් පාට ඩබල් කැබ් රථයේ ඉදිරිපස වම්පස අසුනේ රැඳී සිටි කලවන්චිකුඩි පොලිස් ස්ථානයේ සේවය කළ අබුබකර් ය. වාර්තා වන ආකාරයට මෙම අවස්ථාව වනවිට අබුබකර් පසුවන්නේ ද අත්අඩංගුවේය. අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු මොනවා කිව්වාද කියා අප දන්නේ නැත. නමුත් අබුබකර් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවට සාක්‍ෂිකරුවකු ලෙස කැඳවූවා නම් ඔහු පිළිබඳව අපට යම් හෝ අදහසක් ලබා ගැනීමට ඉඩ තිබිණි. ඒ එම කොමිෂන් සභාව හමුවට කැඳවූ සමහර සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි වාර්තා කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමි නොවුණත් එම කොමිෂන් සභා වාර්තාවේ හෝ අබුබකර් පිළිබඳව සඳහන් කරන බව පැහැදිලිය. නමුත් නීතිපතිවරයා වෙනුවෙන් කොමිෂම ඉදිරියේ පෙනී සිටි ජිනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජිනරාල් සරත් ජියමාන්න මහතා විසින් පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ හෝ රැඳවුම් භාරයේ සිටින ඕනෑම පුද්ගලයකු සාක්‍ෂිකරුවකු ලෙස විමර්ශන කොමිසමට කැඳවීම පිළිබඳව විරෝධතාවය ප‍්‍රකාශ කිරීම නිසාත්, එම විරෝධයට අබුබකර් ද හසුවීම නිසා එම අවස්ථාවන් ගිලිහී ගිය බව පැහැදිලිය.

කෙසේ වුවත් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිල්කන්ද මහතා 2020 ජූලි 21 වැනි දින කොමිෂන් සභාව හමුවේදී ලබා දුන් සාක්‍ෂිය අනුව පෙනී යන්නේ පුලස්තනි මහේන්‍ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සිටින හොඳම තොරතුරුකරුවා වන්නේ කලවන්චිකුඩි පොලිසියේ සේවය කළ අබුබකර් බව ය.

කෙසේ වුවත් මේ වනවිට ආරක්‍ෂක අංශවල මෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව අවධානයෙන් සිටින සියලූ දෙනාගේ අවධානය පුලස්තනි හෙවත් සාරා පිළිබඳව යොමු වී තිබෙන්නේ, ඉන්දියානු ඔත්තු සේවයක් විසින් 2019 අපේ‍්‍රල් 10 වැනි දින එවකට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා වෙත ලබා දී ඇති තොරතුරු හේතුවෙනි. එම තොරතුරේ සඳහන් වී ඇත්තේ සහරාන්ගේ කණ්ඩායම විසින් නුදුරු දිනයකදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කරන බවයි. එම තොරතුරේ ප‍්‍රහාරයට සහභාගි වන සහරාන් ඇතුළු පුද්ගලයන් 6 දෙනකු පිළිබඳව මෙන්ම ප‍්‍රහාරය එල්ල විය හැකි ආකාර 4 ක් පිළිබඳව ද සඳහන් වී ඇත. ප‍්‍රහාරය පිළිබඳ එම තොරතුරු ඉන්දීය ඔත්තු සේවය විසින් ලබාගන්නට ඇත්තේ පුලස්තනී හෙවත් සාරා හරහා බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ජාතික තව්හිද් ජිමාත් සංවිධානයේ කි‍්‍රයාකාරිනියක මෙන්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අච්චි මොහම්මදු හස්තුන්ගේ බිරිඳ වීම නිසා ද සාරාට ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකි වන්නට ඇත.

එහෙත් එම තොරතුරු ඉන්දියානු ඔත්තු සේවය වෙත ඍජුව ලබා දුන්නේ සාරා විසින් ද යන පැනය කෙනෙකුට මතු කළ හැක. එබදු පැනයක් මතුවිය හැක්කේ කලවංචිකුඩි පොලිස් ස්ථානයේ සේවය කළ අබුබකර් සාරාව මෙහෙයවා ඇති බව පෙනෙන්නට තිබෙන බැවිනි. එසේ වුවහොත් සහරාන්ගේ නායකත්වයෙන් පැවැති ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව සාරා විසින් ලබාදුන් තොරතුරු ඉන්දියානු ඔත්තු සේවය වෙත ලබාදුන් පුද්ගලයා විය හැක්කේ අබුබකර්ද?.

එය කෙසේ වුවත් සාරා ඉන්දියාවට පලාගියා නම් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගන්නට ඇත්තේ 2019 අපේ‍්‍රල් 26 වැනි දින සයින්දමරුදුවල දී බෝම්බ පුපුරා යෑමට පෙර ද විය හැක.

ඒ පිළිබඳව සැක හැර පැවසිය හැක්කේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු සයින්දමරුදුවල දී බෝම්බ පුපුරා ගිය දිනය වූ අපේ‍්‍රල් 26 වැනි දින “දිවයින” පුවත්පත ඇතුළු තවත් පුවත්පත්වල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පළ කර ඇති නිවේදනයක් හේතුවෙනි. එම නිවේදනය මගින් සාරා, ශාහිඞ්, අබ්දුල්හක්, ෆාතිමා ලතීෆා, සාදික් අබ්දුල්හක්, මොහොමඞ් රිල්වාන්, ෆාතිමා කාදීය යන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතා ඇත. එම නිවේදනයට අනුව අපේ‍්‍රල් 26 වැනි දින ආරක්‍ෂක අංශ විසින් සයින්දමරුදු අංක 183/ඊ තුන්වන හරස් වීදිය, බෙල්මරිය යන ලිපිනයේ පිහිටි නිවස ආරක්‍ෂක අංශ විසින් වටලන අවස්ථාව වනවිටත් ආරක්‍ෂක අංශ විසින් තමා ලූහුබඳින බව පුලස්තනි හෙවත් සාරා දැන සිටින්නට ඇත. සාරා ඉන්දියාවට පළා යෑම සඳහා එම හේතු සාධකයන් සියල්ල බලපා හැකි වුවත් ඇයත් සමග කලවංචිකුඩි පොලිසියේ අබුබකර් ද පලා නොගියේ ඇයි ද යන පැනය අප හමුවේ පවතී. එබඳු පැනයක් පැන නඟින්නේ මීට ඉහත ද සඳහන් කර ඇති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිල්කන්ද මහතා කොමිෂන් සභාව හමුවේ 2020 ජුලි 21 වැනි දින ලබාදුන් සාක්‍ෂිය හේතුවෙනි. මාහිල්කන්ද මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර සිටියේ බටර් පැහැති කැබ් රථයේ වම්පස ඉදිරිපස අසුනේ රැඳී සිටි කලවංචිකුඩි පොලිස් ස්ථානයේ අබුබකර් තම තොරතුරුකරු දැකීමත් සමගම එම බටර් පැහැති කැබ්රථය වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇති බවයි. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මාහිල්කන්ද මහතාගේ සාක්‍ෂිය අනුව පෙනී යන්නේ සාරා ඉන්දියාව බලා යෑමට මන්නාරමෙන් බෝට්ටුවකට ගොඩවී ඇත්තේ එම අවස්ථාවෙන් සුළු මොහොතකට පසුව බවයි.

මෙහිදී ගැටලූව පැනනඟින්නේ එම අවස්ථාවේදී කලවංචිකුඩි පොලිසියේ අබුබකර්ට තමා ද අත්අඩංගුවට පත්විය හැකි බව එම අවස්ථාවේදී කල්පනා නොවූයේ ඇයි ද යන්නයි. කල්පනා වූවා නම් ඔහුත් සාරා සමග පලා නොගියේ ඇයි? එසේ නොමැති නම් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිල්කන්ද මහතාගේ තොරතුරුකරු අබුබකර් ලෙස හඳුනාගෙන ඇත්තේ වෙන පුද්ගලයෙක් ද?

එසේම අබ්දුල් රාසික් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේදී ලබාදුන් සාක්‍ෂිය අනුව ද පුලස්තනි පිළිබඳව පළවන වාර්තා පිළිබඳව සැක සංකා මතුවන බව සඳහන් කළ යුතුයි. අබ්දුල් රාසික් එම කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර සිටියේ සාරා තමාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් තමන් හස්තුන්ගෙන් සහ ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූ බවත් ඒ පිළිබඳව කල්මුණේ පොලිසියට පැමිණිලි කළ බවත් දැන්වූ බවයි. සාරා කල්මුණේ පොලිසියට පැමිණිලි කළ බව සඳහන් කර ඇති බැවින් අබ්දුල් රාසික්ගේ ප‍්‍රකාශය පිළිබඳව ආරක්‍ෂක අංශවලට සොයා බැලිය හැක. අබ්දුල් රාසික්ගේ එම ප‍්‍රකාශය සත්‍ය නම් ඊළඟට පැන නඟින ගැටලූව වන්නේ සාරා සිය සැමියා වූ හස්තුන්ගෙන් සහ ඉස්ලාම් ධර්මයෙන් ඈත් වූවා නම් තව දුරටත් හස්තුන් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග රැඳෙමින් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව තොරතුරු ලබාගන්නේ කෙසේද යන්නයි. අබ්දුල් රාසික්ගේ සාක්‍ෂියේ සත්‍යභාවය කෙසේ වුවත් පුලස්තනි හෙවත් සාරා 2019 අපේ‍්‍රල් 26 වැනි දින සයින්දමරුදු බෙල්මරිය ලිපිනයේ පිහිටි නිවසේ බෝම්බ පුපුරා යන තුරු ජාතික තව්හිද් ජමාත් සංවිධාන සමග රැඳී සිට ඇති බව සහරාන්ගේ බිරිඳ වූ ෆාතිමා කාදියා විසින් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය මගින් පැහැදිලි වී ඇත.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More