දේශීය පුවත්

යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබුණේ ඔවුන්ට විශේෂ නිල ඇඳුමක්ද ලබාදෙමිනි.

පරිසර රාජකාරී සඳහා මොවුන් සේවයට බඳවාගත් බව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පැවසුවද එම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද දැක ගැනීමට හැකිවුණි.

එල්ල වූ තවත් චෝදනාවක් වන්නේ මෙම නව සේවකයන්ගේ නිල ඇඳුම එවක එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ නිල ඇඳුමට සමාන බවය.

යාපනය පොලීසිය මේ පිළිබඳ විමර්ශනයක් සිදුකළ අතර එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හා ලකුණු ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා ඊයේ අලුයම අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු ඊයේ පස්වරුවේ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

සැකකාර නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නිතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාය.

එහිදී යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නගරාධිපතිවරයාට අවවාදකර ඇත්තේ නීතිය දැන, නීතිය කඩකිරීම සුදුසු නොවන බවය.

එමෙන්ම මතභේදයට තුඩු දී ඇති සේවකයින් එම රාජකාරීවලින් ඉවත්කර ඇති බවට දැනුම් දීමක් පොලීසියට සිදුකර ඇත්දැයි මහෙස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියේ ය.

එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බව මෙහිදී පොලීසිය අධිකරණයට ප්‍රකාශකර තිබුණි.

කෙසේවෙතත් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා,

“එල්ටීටීඊ පොලීසියේ ඇඳුමක් වගේ කියන එක, මොන නිල් පාට ඇඳුමක් දැක්කත් පොලීසිය බය වෙන එක මිසක් වෙන කිසිම අපරාධයක් කරලා නෑ, කියන එක මම මහෙස්ත්‍රාත්තුමාට ප්‍රකාශ කළා. ඒ මොකද පොදුවේ පිරිමි පාර්ශ්වය වැඩිපුරම අඳින්නේ නිල් පාට. කාකි ඇදුමක් ඇන්දොත් පොලිසියේ ඇඳුම ඇන්ද කියල චෝදනා කරන්න පුළුවන්. මහෙස්ත්‍රාත්වරයා පොලීසියෙන් අහල තිබුණා එල්ටීටීඊ ලාංඡනය මෙයාලගේ නිල ඇඳුමේ තිබුණද කියලා. ඒ වෙලාවේ පොලීසිය නැහැ කියලා කිව්වා. ඒකට අපි පිළිතුරු දුන්නා එයාලගේ ඇඳුමේ තිබ්බේ යාපනය මහනගර සභාවේ ලාංඡනය කියලා. ඒ නිසා වෙන කවුරුත් එයාලා වැරදි කියලා දකින්න අවස්ථාවක් නැහැ. මේක මහනගර සභාවේ නීතිමය පියවරක්, ඒ නීතිමය කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ නගරාධිපතිවරයා. කොළඹ මහනගර සභාවට කරන්න පුළුවන් නම්, ඇයි යාපනය මහනගර සභාවට කරන්න බැරි?”

ඇප ලැබීමෙන් පසු අධිකරණ භූමියේදී අදහස් දැක්වූ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ප්‍රකාශ කළේ,

“මේක යාපනයේ මහනගර සභාවේ කටයුතුවලට පොලීසිය තර්ජනය කරපු අසුබ දවසක්. මහනගර සභාවේ ස්වාධීන කටයුතු වලට අත ගහන්න පොලීසියට අයිතියක් නෑ. රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට පොලීසිය අනවශ්‍ය විදිහට බාධා කරනවා කියලයි මම විශ්වාස කරන්නේ. මේ සම්බන්ධව අවශ්‍ය හැම තැනකටම ගොස් නීතිමය කටයුතු කරන්න මම සූදානමින් ඉන්නවා. මම යාපනය නගරය පිරිසිදුව තියාගන්න ගත්තු තීන්දුව වැරදි ද? ඒ වගේම මම මේ නගරය පිරිසිදුව තියාගන්න ඕනි කියල හිතපු එක ත්‍රස්තවාදය කියලද මේ රටේ නීතියේ තියෙන්නේ?”
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More