පුරවැසි කොලම

සති අන්ත සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන උපාධි – පශ්චාත් උපාධි – ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ දැන්වීම්වලින් ද, ඒවායේ උපාධි ප්‍රදානෝත්සවවල ආකර්ෂණීය ඡායාරූපවලින් ද සැරසුණු පිටු – අතිරේක බලන විට හැඟෙන්නේ, වර්තමානයේ මෙරට තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, ඒවාට යොමුවීමට තරුණ ප්‍රජාවේ ඇති ශාස්ත්‍රාභිලාෂය, පර්යේෂණ කොට පශ්චාත් උපාධි හදාරා නව දැනුමක් සමාජයට එකතු කරන්නට ඇති කැමැත්ත, ඉහළ වෘත්තිකයින් තුළ පවා නව පර්යේෂණ කිරීමට – ආචාර්ය උපාධිය හැදෑරීමට ඇති අරමුණ පිළිබඳ පහන් සංවේගයකි.

විදේශීය විශ්ව විද්‍යාලවල මෙන් ම, මෙරට රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද උසස් අධ්‍යාපන ආයතනවල ද මුදල් ගෙවා / නොගෙවා විවිධ පාඨමාලා හදාරමින් මූලික උපාධි, ශාස්ත්‍රපති, විද්‍යාපති, දර්ශනපති, දර්ශන සූරි (PHD) ආදී පශ්චාත් උපාධි මෙන්ම, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදී සහතික/ ප්‍රතිඵල ලබන්නට දිවා රෑ නොතකා ශාස්ත්‍ර ගවේෂණය කරමින්, ක්ෂේත්‍රය පිළිබඳ දෙස් විදෙස් මූලාශ්‍ර පරිශීලනය කරමින් පර්යේෂණ කරමින් තරුණ – වැඩිහිටි – වෘත්තික – ශිෂ්‍ය ප්‍රජාව ගන්නා අසීමිත වෙහෙස කෙතරම් විය හැකි ද?

බොහෝ ආයතනවල (රජයේ හා පෞද්ගලික) ඉහළ නිලතල දරන ඇත්තන්ගේ කාර්ය බහුලත්වය කෙතරම් ද යත්, හුස්ම ගැනීම ඉබේ සිදු නොවී තවත් වැඩක් ලෙස කරන්නට සිදු වී නම්, හුස්ම ගැනීමට බැරිවීම නිසා මෙබඳු වෘත්තිකයින් ගණනාවක් කාර්ය බහුලත්වය මැද ආයතන පරිශ්‍ර තුළම මියැදී අවසන්ය. එහෙත් කෙතෙරම් කාර්ය බහුල වුව මේ ඇත්තන් ඊළඟ උසස්වීමට හෝ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට යාමට හෝ අවැසි පශ්චාත් උපාධි – වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නේ විස්මයජනක ලෙසිනි. ඒ ඔවුන්ගේ විශිෂ්ට කළමනාකරණ හැකියාව, විශේෂයෙන්ම කාලය කළමනාකරණය සම්බන්ධ දක්ෂතාව ලෙස කෙනෙකුට පෙනී යා හැකිය. ඇත්තෙන්ම එසේ නොවනවා ද නොවේ.

විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන පාඨමාලා පිළිබඳ අවකාශ ප්‍රමාණයෙන් විශාල දැන්වීම් පුවත්පත් පිටු පුරා පළවන අතරේ, එම පුවත්පත්වල ලුහුඬු දැන්වීම් පිටුවල – අතිරේකවල සෙන්ටිමීටර් 4×2 තරම් කුඩා අවකාශ ප්‍රමාණයේ තවත් දැන්වීම් විශේෂයක් පළවෙයි. (මෙබඳු “දැන්වීම්” මීට පෙර බෙහෙවින්ම වූයේ අන්තර්ජාලයේ ය.)

මේ එබඳු දැන්වීම් කිහිපයකි.

“ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, (PHD) පාඨමාලා සඳහා පැවරුම් සහ නිබන්ධ. මුළු ක්‍රියාවලියම බැහැරින් සිදුකිරීමේ සේවය (දුරකථන අංකය)”
“උපාධි සහ පශ්චාත් උපාධි සඳහා නිබන්ධ, පර්යේෂණ නිබන්ධ, පර්යේෂණ වාර්තා, ඉදිරිපත් කිරීම්, සියලුම විෂය ක්ෂේත්‍ර සඳහා, දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා ඉහළ ගුණාත්මයෙන් යුතුව, නියම වේලාවටම සිදුකරදෙනු ලැබේ. (දුරකථන අංකය)”
“CIM සියලුම අදියරවල පැවරුම් / විශිෂ්ට සාමාර්ථ්‍යයක් සහතික කිරීම සමඟ ශ්‍රී ලංකාව පදනම් කරගත් විදේශීය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මුළු පාඨමාලාවේ අදියර 3 ම ආවරණය කරයි.(දුරකථනඅංකය)”

“CIM / ICBT / HND/ උපාධි BMS ඩිප්ලෝමා / උපාධි IDM / HND පැවරුම් පිළිගත් වෘත්තිකයින් කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබේ. (දුරකථන අංකය)”
“KDU කොළඹ විශ්වවිද්‍යාලය APITT / CFPS / BCAS මහන්සි නොවී සම්පූර්ණ කරගන්න වෘත්තිකයින් කණ්ඩායමක් මගින් (දුරකථන අංකය)”
“ඕනෑම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක LLM, MBA, Bsc, PHD මහන්සියක් නැතිව වෘත්තිකයින් කණ්ඩායමක් මගින් කර ගන්න(දුරකථනඅංකය)”
“MSU කොළඹ විශ්වවිද්‍යාලය, PIM ජ’පුර, රුහුණ, කැලණිය හෝ වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාල සඳහා සම්පූර්ණ PHD නිබන්ධ ලිවීමේ රචකයින්, විශිෂ්ට සාමාර්ථ්‍යය සහතික කරනු ලැබේ. (දුරකථන අංකය)”

මෙම දැන්වීම් කිහිපය, සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක ලුහුඬු දැන්වීම් අතිරේකයේ පළ වී තිබූ දැන්වීම් අතරින් කිහිපයක සිංහල පරිවර්තන වේ.

වෙළඳ දැන්වීමක් පළවන්නේ එම කණ්ඩායමට හෝ සේවාවට අදාළ සමාජ අවශ්‍යතාවක්, වෙළෙඳපොළක් හා පාරිභෝගික ප්‍රජාවක් ඇති විටය. මෙකී දැන්වීම්වල ඉලක්ක පාරිභෝගිකයා ගමේ කඩේ බංකුවට වී දාම් අදින, ‘ලංකාදීපයේ’ ‘දෙයියෝ සාක්කි’ කියවන පාරිභෝගිකයා නොවේ. අද දවසේ මෙරට ආයතනවල කළමනාකරණ – විධායක තලවල සිටින, වැදගත් සහ උපායමාර්ගික තීන්දු තීරණ ගන්නා ප්‍රජාව මෙන්ම, හෙට දවසේ එබඳු තලයකට පිවිසීමට බලාපොරොත්තුවන අද දවසේ ශිෂ්‍යයින් මේවායේ ඉලක්ක පාරිභෝගිකයින් වේ. “අපි ඔබ වෙනුවෙන් හදාරමු” යන්න එබඳු දැන්වීමක තේමා පාඨය විය.

මෙලෙස පැවරුම්, නිබන්ධ කුළියට ලියවාගෙන උපාධි, පශ්චාත් උපාධි ලබාගැනීම එතෙරම් රහසක් නොවන බව පෙනෙන්නේ, රජයට අනුබද්ධ විශ්වවිද්‍යාලයක් මගින්ම මෑතකදී පළ කල නිර්මාණශිලී පුවත්පත් දැන්වීමකද “යාලුවෙකුට දීලා පැවරුම් ලියවා ගත්තා – සල්ලි දීලා නිබන්ධය ලියවාගත්තා”යනුවෙන් සඳහන් වී තිබූ බැවිනි.
සහතිකමේනියාව විසින් අපේ රටේ උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය රැගෙන විත් ඇත්තේ මෙතැනටය. මෙය කවුරුත් දන්නා එහෙත් නොදන්නා සේ සිටිමින් ඒ ව්‍යාජය තුළ තමන්ගේ පැවැත්ම සකසාගෙන තිබෙන තත්ත්වයකි.

මෙහිදී, මේ ලියුම්කරුගේ අත්දැකීම් තුනක් සඳහන් කරන්නට කැමති ය.

පළමුවැන්න, දැනට වසර කිහිපයකට පෙර මේ ලියුම්කරු මෙරට විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින අවධියේ, නොදැන සිටි අංකයකින් ලියුම්කරුගේ ජංගම දුකරථනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන්වූයේ මුදල් ගෙවා අදාළ පැවරුම් හා නිබන්ධ ලියවා ගත හැකි සේවාවක් ගැන හඳුන්වාදීමකි. ලියුම්කරු පශ්චාත් උපාධිය හදාරන බවට තොරතුරු පැවතියේ අදාළ විශ්වවිද්‍යාලය සතුව පමණක් බැවින්, මෙම “කුලියට ලිවීමේ” සේවා ක්‍රියාත්මක වනුයේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ පාර්ශ්ව හරහාම බව ලියුම්කරුගේ විශ්වාසය විය.

දෙවැන්න, දිගු කලක් මේ ලියුම්කරු සමග මාධ්‍ය කටයුතු කළ මිත්‍රයෙකුගෙන් ලද ඇරයුමකි. “මචං.. මගේ යාලුවෙකුට පෝස්ට් ග්‍රැජුවේට් කෝස් එකක ඩෙසටේෂන් එකක් ලියා ගන්න ඕන වෙලා තියෙනවා. ඌට තියෙන වැඩත් එක්ක ඒක ලියන්න වෙලාවක් නැහැලු. ඇත්තම කතාව ඌට ලියන්න බැහැ. උඹට පුලුවන්ද වැඩේ කරලා දෙන්න. සෑහෙන්න ගානක් හොයාගන්න පුළුවන් වැඩක්…” ලියුම්කරුගේ අධ්‍යයන කටයුත්තට යෙදවිය යුතු කාලය හා ශ්‍රමය එසේ කුළියට ලිවීමේ වැඩකට වැයකිරීමට කැමැත්තක් නොවූ බැවින් එය ප්‍රතික්ෂේප කෙරිණි.

තෙවැන්න, කළමනාකරණ වෘත්තිකයෙකු හා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන, එසේම සිය ආචාර්ය උපාධිය සඳහා සැබවින්ම වෙහෙසෙමින් සිටින දේශක මහතෙකු පසුගියදා දේශනයක් අතරතුර පර්යේෂණ ගැන කියූ අතුරු කතාවකි. “මම දන්නා ආයතන ප්‍රධානියෙක් පිටරට යුනිවසිටි එකකින් මේ ළඟඳි ඡයෘ එක ගත්තා. මං හොඳටම දන්නවා මිනිහා සල්ලි දීලා තීසිස් එක ලියවා ගත්තේ. වයිවා එකත් කොහොම කොහොම හරි ගොඩ දාගෙන තිබුණා. හැබැයි පොර දැන් මට මූණ දෙන්න එන්නේ නැහැ. මඟ හරිනවා. මොකද මිනිහා කරපු රිසර්ච් එක ගැන මං අහයි කියලා…”

මෙම සිද්ධි තුනම ප්‍රස්තූත කාරණයට අදාළ හැඩතල අනාවරණය කරයි. මෙම හැඩතල පිළිබඳව මෙරට උසස් අධ්‍යාපන බලධාරීන්ද, නිලධාරීන්ද, උසස් අධ්‍යාපන ආයතනවල ආචාර්ය, මහාචාර්යවරුන්ද නොදන්නවා නොවේ. අල්ලස, දූෂණය, සංස්ථාපිත වී තිබෙන සේම මෙයද අද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංස්ථාපිත තත්වයක් වී තිබේ. නිරීක්ෂණය කළ මෙබඳු එක් දැන්වීමක සඳහන් වූයේ කුළියට PHD නිබන්ධ ලිවීමේ රචකයින් ලෙස කටයුතු කරන්නේ මහාචාර්යවරුන් කණ්ඩායමක් බවයි. ඉදින් නඩුත් – බඩුත් හාමුදුරුවන්ගේය.

අ.පො.ස (සා/පෙළ) හා (උ/පෙළ) විභාග ලියන විට කොපිකර අසු වූ විට හෝ විභාග අපෙක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයෙතු විභාගයට ලියා අසුවූ විට හෝ එය බරපතළ විභාග වංචාවක් ලෙස සලකා විභාග දෙපාර්තමේන්තු බලධාරීන් විසින් ජීවිතාන්තය දක්වා ඔවුන්ට විභාගවලට පෙනී සිටීම තහනම් කළ පුවත් අසන්නට දකින්නට ලැබේ.

නමුත් ඩිප්ලෝමා, උපාධි සිට ආචාර්ය උපාධි දක්වා වන උසස් අධ්‍යාපන තලයේදී අදාළ අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයෙතු පැවරුම්/ නිබන්ධ ලිවීම වංචාවක් නොව “නම්බුකාර වෘත්තියකි.”
ද්විතීයික අධ්‍යාපන තලයේදී එක් ශිෂ්‍යයකු සා /පෙළ විභාගයේදී කොපි කර අසු වී ජීවිතය කාලකන්නි කර ගනිද්දී, උසස් අධ්‍යාපන තලයේදී පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි කුළියට ලියවා ගෙන ඉදිරිපත් කොට අධ්‍යාපන ජයග්‍රහණ අත්පත් කරගන්නා අනෙක් ශිෂ්‍යයා සමාජයේ ද, වෘත්තීය ක්ෂේත්‍රයේ ද ඉහළින් පිදුම් ලබයි: සැලකුම් ලබයි.

ඉදින් මෙහෙම රටක අපි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ගැන – දැවැන්ත ජයග්‍රහණ ගැන පුරසාරම් දොඩමු. ආසියාවේ බුද්ධි කේන්ද්‍රය වන දිනය ගැන ඇඟිලි ගනිමු.

ප්‍රභාත් චින්තක මීගොඩගේ



One thought on “අපි ඔබ වෙනුවෙන් හදාරමු! (උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි නිබන්ධ කුළියට ලියනු ලැබේ.)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More