පුරවැසි කොලම

ඇෆ්ලටොක්සින් නැමැති ඉතා දරුණු පිළිකාකාරකය බහුලව අඩංගු වන පොල් තෙල් යැයි හඳුන්වන ආදේශක තෙල් තොගයක් වෙළඳපොළට නිකුත් කොට ඇති බවට පසුගියදා මහා ආන්දෝලනයක් ඇති විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර ආරක්ෂණ අංශයේ ප්‍රකාශ අනුව පරික්ෂාවට ලක්කෙරුණු කි.ග්‍රෑම් 21,000 බහාළුම් 63 ක ඇෆ්ලටොක්සින් විෂ අඩංගු වූ බැවින් ඒවා ආනයනය කළ රට වලට ප්‍රති අපනයනය කළ යුතු බවට නිර්දේශ වී ඇත. නමුත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රකාශ අනුව ඒ අතුරින් බහාළුම් 13 නිදහස්කොට ඇති අතර 50 ක් තවදුරටත් වරාය තුළ රඳවාගෙන ඇත. එසේ විෂ සහිත තෙල් බහාළුම් නිදහස් කිරීමට හේතු දක්වමින් අධ්‍යක්ෂක
ජෙනරාල්වරයා සඳහන් කරන්නේ අදාළ පුද්ගලික ආයතන වලට වරාය ගුදම් ගාස්තු ලෙස අධික මුදලක් ගෙවීමට සිදු වන බැවින් පරීක්ෂණ වාර්තා ලැබෙනතෙක් ඒවා නිදහස් කළ බවය.

ඒ අතර ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලික ආයතන විසින් අභියාචනා ඉදිරිපත් කළහොත් නැවත පරික්ෂා කරන බවය. ඒ අනුව පැහැදිළි වන්නේ නැවත පරික්ෂාවට ලක්වන තෙක් විෂ අඩංගු බවට ඔප්පු වූ බහාළුම් නිදහස් කිරීම සාමාන්‍ය තත්වයක් බවය. ඊට අමතරව වෙනත් අවස්ථාවක ඇය සඳහන් කරන්නේ ආහාරවල ඒ ආකාරයට විෂ අඩංගු වීම සාමාන්‍ය තත්වයක් බවය. එහිදී ඇය තව දුරටත් අවධාරණය කරන්නේ ඊට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කළහොත් සමාගම් වසා දැමීමට සිදුවන බවය. ඒ මඟින් මහජන සෞඛ්‍යය පිළිබඳ ඇයගේ දුප්පත් ආකල්පය පිලිබිඹු වන අතර ඇය ප්‍රමිති ආයතනය වැනි ආයතනයක ප්‍රධානියා ලෙස ධූරයක් දැරීමද අභියෝගයට ලක්වේ.

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍යවරයා තම දිවැසින් දැක විෂ සහිත තෙල් වෙළඳපොළේ නොමැති බවට සහතිකයක් ලබා දී ඇත. එසේ වුවත් එතුමා යටතේ පවතින පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කරන්නේ වෙළඳපොළේ ඇති තෙල් සාම්පල පරික්ෂාවට ලක් කරන බවය. ඒ අනුව නිදහස සඳහා කවුරුන් විසින් කුමන ප්‍රකාශ සිදු කළත් පිළිකාකාරක සහිත තෙල් වර්ගයක් වෙළඳපොළට නිකුත් කොට ඇති බව පිළිගැනීමට සිදු වේ. දේශීය පොල් ආශ්‍රිත කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් බැඳී සිටින නියාමන ආයතනය වන පොල් සංවර්ධන අධිකාරිය, අදාළ සිදුවීම පිළිබඳව සෘජු කියාමාර්ගයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. මේ සිදුවීම් මාලාව සිදුවන්නේ ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ නොව නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරී තන්ත්‍රයක් සහ ආහාරයට ගන්නා තෙල් වර්ග නියාමනය සඳහා ආයතන 4 ක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේදීය.

මේ ආකාරයට පොල් තෙල් නමින් ආනයනය කරන තෙල් සැබැවින්ම පොල්තෙල් නොව වෙනත් ආදේශක තෙල් මිශ්‍රණයක් බව මහජනයා දන්නේ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ආහාරයට ගන්නා තෙල් වල සෞඛ්‍ය ආරක්ෂිත බව, අදාළ නීති වලට අනුව ඒවා ආනයනය කරන බව සහ  ඒ මඟින් දේශීය පොල් කර්මාන්තයට අගතියක් සිදු නොවන බව සහතික කිරීම සඳහා රාජ්‍ය ආයතන 4 ක් ක්‍රියාත්මක වන තත්වයක් තුළ එවැන්නක් සිදුවන්නේ කෙසේද? පළමුවෙන්ම එසේ පොල් තෙල් වලට පාම්තෙල් වැනි වෙනත් මිල අඩු බාල තෙල් වර්ග එකතු කිරීම නීත්‍යානුකූල කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් 2016 දී ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණි. ඊට අදාලව එම අමාත්‍යවරයා සහ ඔහුගේ ආගමික සගයින් වන බලවත් ආදේශක තෙල්
ආනයනකරුවන් කිහිපදෙනෙකු අතර ප්‍රභල සබඳතාවයක් තිබෙන බවටද චෝදනා එල්ල විය. එසේම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ ප්‍රමිතීන් සහ ඊට අදාළ පරීක්ෂණ වල දුර්වලතාවයන් නිසා පොල් තෙල් වලට 60% දක්වා ෆාම් තෙල් මිශ්‍ර කළද ඒ බව සොයා ගත නොහැකි බව විද්වත්හු පවසති.

ලෝක වෙළඳපොළේ ගුණාත්මක පොල්තෙල් මිල පාම් තෙල් මෙන් දෙගුණයකි. එසේම පිරිපහදු නොකළ පාම් තෙල් ඊටත් වඩා මිලෙන් අඩුවේ. එම නිසා පොල් තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කිරීම විශේෂයෙන්ම අර්ධ වශයෙන් පිරිපහදු කළ පාම් තෙල් මිශ්‍ර කිරීම වාණිජ වශයෙන් ඉතා වාසිදායක වේ. පසුගිය රජය සමයේදී එසේ සිදු කිරීම සිදු වූයේ ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමෙන් පසුව බවට චෝදනා එල්ල විය. ඊට හේතුව පාම් තෙල් සඳහා වූ ආනයන බදු පිරිපහදු කළ සහ නොකළ තෙල් සඳහා පිළිවෙලින් කි.ග්‍රෑම් 1 කට රු. 250 ක් සහ 275 ක් වන විට පොල් තෙල් සඳහා වූ ආනයන බද්ද ක්‍රි.ගෑම් 1 කට රු. 295 ක් වීමය. ඒ අනුව පොල් තෙල් අඩු වශයෙන් ආනයනය කොට පාම් තෙල් විශේෂයෙන්ම පිරිපහදු නොකළ තෙල් වැඩි වශයෙන් ආනයනය කිරීම වඩා ලාභදායි වේ. නමුත් වර්තමාන රජය යටතේ තෙල් වර්ග මිශ්‍ර කිරීම දිරිගන්වන ගැසට් නිවේදනය එසේම තිබියදී ආනයනික පොල් තෙල් සඳහා වන විශේෂ පරිභෝජන බද්ද කි.ග්‍රෑම් 1 කට රු. 125 ක් වන ලෙස රු. 170 කින් අඩු කරනු ලැබීය. ඒ අනුව පොල්තෙල් වලට පිටරටදී පාම් තෙල් මිශ්‍ර කොට ඒවා පොල් තෙල් ලෙස රට තුළට ආනයනය කිරීම වඩා ලාභදායි වේ. ඒ ආකාරයට අප රටේ නීති විරෝධී සහ මහජන සෞඛ්‍යයට අහිතකර ජාවාරම් දිරි ගැන්වෙන්නේ ආර්ථික ඝාතක බදු ප්‍රතිපත්ති නිසා බව පැහැදිලිවේ.

එම තත්වය යම් නිලධාරීන් පිරිසක් විසින් දැනුවත්ව ආනයන කරුවන්ගේ වාණිජ උවමනාවන් සඳහා ඇති කළ බවට කිසිඳු සැකයක් නැත. ශ්‍රී ලංකාවට පොල් තෙල් ඇතුළු ආදේශක තෙල් වර්ග දළ වශයෙන් මෙ.ටො 240,000 ක් පමණ ආනයනය කරන අතර බදු සහන නිසා ජාවාරම්කාර ආනයනකරුවන්ට ලැබෙන බදු සහනය දළ වශයෙන් රු. මිලියන 20,000 කි. පිනට ලැබෙන එවැනි විශාල මුදලක් උඩ සාක්කුවේ දමාගත් සමාගම් ලොක්කෙකුට මිලදී ගත නොහැක්කේ මොකාද? ඒ අනුව ආනයන ජාවාරම්කරුවන් මහජනයාට වස කවන්නේ රජයේ බදු මුදල් තම සාක්කු වලට පොදි වශයෙන් දමාගන්නා තත්වයක් තුල වීම කෙතරම් කණගාටුදායකද?.
එසේම පිළිකා කාරක විෂ ආහාරයට ගන්නා මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා එසේ වස කැවීම සඳහා ලබාදෙන බදු සහනය මෙන් දෙගුණයක් වැය වීම සහ එම රෝගීන් සහ පවුලේ ඥාතීන් දුකට පත් වීම ඊට වඩා කණගාටු නොවේද? ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 70 දෙනෙකු වාර්තාවන බව රජයේ අමාත්‍යවරයෙක් පවසයි. ඊට බහුලව හේතු වන්නේ ආහාර වලින් ශරීරයට ඇතුල්වන පිළිකාකාරක බවට ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කෙසේවෙතත් ආහාරයට ගන්නා තෙල් වර්ගවල පිළිකාකාරක අඩංගු වන බව ඔප්පු වූයේ මෙම අවස්ථාවේදී පමණක් නොවේ. මීට පෙර 2018 දී උසාවි නියෝගයකට අනුව රට තුලට ආනයනය කළ පාම්තෙල් තොගයක් පරික්ෂා කිරීමේදී එම තෙල් වල නිදහස් මේද අම්ලය නැමැති පිළිකාකාරකය 20% තරම් ඉහළ ප්‍රමාණයක් අඩංගු වූ බව වාර්තා විය. නමුත් මැලේසියාවේ ප්‍රමිතීන් අනුව අපනයනය කරන පිරිපහදු නොකළ පාම් තෙල් වල අඩංගු විය හැක්කේ නිදහස් මේද අම්ල 5% ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේ කුමන ආකාරයේ බාල තෙල් තොගද යන්න පැහැදිළි වේ. එහිදී අනුගමනය කරන ප්‍රමිතිය බාල තෙල් – අඩු මිල නැමැති සූත්‍රය බව කුඩා දරුවෙකුට වුවද වටහාගත හැක. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ පිරිපහදු නොකළ තෙල් පිරිපහදු කරන බවට ව්‍යාජ මතයක් ඉදිරිපත් කළද ආර්.ඩී.බී නමින් හැඳින්වෙන ක්‍රියාවලිය තුල රසායනික සංයුතියේ වෙනස්කම් සිදු නොවේ. එහිදී සිදු වන්නේ භෞතික අපද්‍රව්‍ය ඉවත්කොට දුර්ගන්ධය සහ වර්ණය අඩු කිරීම පමණි. නමුත් අදාළ නියාමන ආයතන පිරිපහදු කිරීම නමින් සිදු කරන එම බොරු මවාපෑමට එරෙහිව කිසිඳු පියවරක් ගන්නේ නැත.

ඔවුන් අඩු තරමින් රට තුලට පිරිපහදු නොකළ තෙල් වර්ග ආනයනය කිරීම සහ මිශ්‍ර කිරීම තහනම් කිරීමට හෝ පිරිපහදු නොකළ තෙල් වර්ග ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවාට අධික බදු පැනවීම නිර්දේශ කරන්නේ නැත. සියල්ල සිදු වන්නේ තෙල් ආනයන කරුවන්ගේ කැමැත්ත සහ උවමනාව අනුව බව ඉතා පැහැදිළිය. ඒ සියල්ල එසේ තිබියදී මෑත කාලීනව පොල් කර්මාන්ත පද්ධතිය ආශ්‍රිත තවත් මහා කූඨ ජාවාරමක් ආරම්භ කිරීමටද පොල් සංවර්ධන අධිකාරිය සහ ප්‍රමිති කාර්යංශය විසින් ඉඩ ලබාදී ඇත. එනම් එක් පැත්තකින් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන කෝටා ක්‍රමය අත්හැර දැමීම මඟින් පිටි කළ පොල් කිරි සහ උකු පොල් කිරි  මහා පරිමාණයෙන් දේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සහ අපනයනය කිරීමට මහා සමාගම් වලට ඉඩ ලබා දී ඇත. නිෂ්පාදන කෝටා මඟින් රට තුළ පොල් මිල තුලනය කිරීම සහ කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කිරීම යන පොල් සංවර්ධන අධිකාරියට අදාළ පනත මඟින් පවරා ඇති ප්‍රධාන නියාමන වගකීම්කි. එම ආයතනය තම මූලික වගකීමක් පැහැරහැරීම නිසා පිටි කළ පොල් කිරි නිෂ්පාදනය කරන මහා බහු ජාතික සමාගමක් විසින් මෑත කාලීනව තම නිෂ්පාදන ධාරිතාව හතර ගුණයකින් වැඩි කළ බවට සාක්ෂි ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිටි කළ පොල් කිරි සඳහා පනවා තිබූ ප්‍රමිතිය වෙනස්කොට එම පිටි වලට 30% ක් වෙනත් ද්‍රව්‍යය මිශ්‍ර කිරීමට අවසර ලබාදී ඇත. ඒ අනුව නරක් වූ කිරිවලින් ලබා ගන්නා කිරි ප්‍රෝටීන් සහ මඤ්ඤොක්කා පිටි වැනි ද්‍රව්‍යය එකතු කොට ඒවා බාලකොට වැඩි ලාභ ලබාගැනීමට අවස්ථාව ලැබේ. එහිදී යුරෝපා සම්භවය සහිත සතුන්ගෙන් ලබාගන්නා ආනයනික කිරි ප්‍රෝටීන් වල අඩංගු AI ප්‍රෝටීන වර්ගය ආසාත්මිකතා සහ
දියවැඩියාව වැනි රෝග තත්වයන් ඇති කිරීමට හේතුවන බවට පිළිගත් සාක්ෂි ඇත. කෙසේ වෙතත් ඒ ආකාරයට වෙළඳපොළෙන් විශාල වශයෙන් අමු පොල් ගෙඩි මිලදී ගෙන උකු කිරි සහ පිටි කළ පොල් කිරි නිෂ්පාදනය කිරීම නිසා එක පැත්තකින් දේශිය ගෙඩි පොල් මිල ඉහළ යන අතර අනෙක් පැත්තෙන් බාල පිටි කළ පොල් කිරි වෙළඳපොළ පුළුල් කිරීමට හැකියාව ලැබී ඇත. මෑතකාලීනව වෙළඳපොළේ ගෙඩි පොල් මිල ඉහළ යාමට එම තත්වය හේතු වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

ඊට අමතරව ගෙඩි පොල් මිල ඉහළ යාම සහ පොල් හිඟය නිසා දේශීය පොල් තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්වයක් පැන නැඟී ඇත. මේ වන විට පොල් තෙල් කර්මාන්තශාලා 500ක් පමණ වැසීගොස් ඇති අතර බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිවීම නිසා යම් ආයතන වෙන්දේසි කිරීමේ තත්වයක් පවා ඇතිවී ඇත. එම තත්වය නිසා ජාවාරම්කාර තෙල් ආණයනකරුවන්ට බාල ආදේශක තෙල් අඩු මිලට ආනයනයකොට ඒවා දේශීය වෙළඳපල තුළ වැඩි මිලට විකිණීම මගින් ආකාර දෙකකට ලාභ ඉපයීමේ හැකියාව ලැබී ඇත. ඒ අනුව පිළිකාකාරක ප්‍රශ්නය යනු මහා ප්‍රශ්නයක එක් කුඩා පිළිබිඹුවක් පමණක් බව මහජනයාට
වටහා ගත හැක. එසේම ඉහත සඳහන් කළ ආකාරයට පසු ගිය කාලය තුළ රටේ සමස්ථ පොල් අස්වැන්න වන ගෙඩි මිලියන 3000ක ප්‍රමාණයේ විශාල වෙනසක් හෝ ඒක පුද්ගල ගෙඩි පරිභෝජනයේ සැලකිය යුතු වෙනසක් නොමැතිව පොල් මිල ඉහළ යාම සහ හිගයක් ඇති වීම සොභාවික තත්වයකට වඩා සිතා මතා නිර්මාණය කළ තත්වයක් බව තේරුම් ගැනීම අමාරු නැත. නමුත් අප රටේ පාරිභෝගිකයා ගැන කතා කරන යම් සංවිධාන සඳහන් කරන්නේ පොල් තෙල් වල පිළිකාකාරක ප්‍රශ්නය මතු කරනු ලබන්නේ පාම් තෙල් ආනයන කරුවන් විිසින් බවය. එසේ වුවත් පාම් තෙල් , පොල් තෙල් සහ භාවිතා කොට විසි කරන බාල තෙල් ආදී ආදේශක
තෙල් වර්ග ආනයනය කරනු ලබන්නේ එකම පිරිසක් විසින් බව රහසක් නොවේ.

අප රට ලෝකයේ ඉහළම ගෘහස්ථ පොල් පරිභෝජනය සහිත රටක් ලෙස සැලකෙන අතර වාර්ෂික ඒකපුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 75 ක් පමණ වන බව වාර්තාවේ. එම නිසා සමස්ථ මහා ප්‍රශ්නයට දීර්ඝ කාලීන පිළිතුරු සෙවීමේදී අස්වැන්න වැඩි කිරීම මගින් වගා කරුවන්ගේ ආදායම් මට්ටම වැඩි කරන අතර පොල් ගෙඩි මිල ස්ථාවරව පවත්වාගෙන යාම ආදී සාධක වලට අමතරව ඒක පුද්ගල පරිභෝජනය අඩු කර ගැනීම හෙවත් පොල් පරිභෝජනයේ අර පරිස්සම වැඩි කිරීම සඳහා වන මැදිහත්වීමක් අවශ්‍ය වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව සෑම විටම අපනයන ආදායම් වලට ප්‍රමුඛත්වය දෙමින් දේශීය වෙළඳපල සහ කුඩා සහ මධ්‍යම පරිමාණ
කර්මාන්ත පද්ධතිය කඩා වැටීමට සැලැස්වීමේ වරද පිළිබඳ සැළිකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම පොල් මඳ ආශ්‍රිත කර්මාන්තවල අපනයන ආදායමට වඩා පොල් තෙල් ආනයනය සදහා වැය වන විදේශ විනිමය ඉහළ අගයක් ගන්නේනම් එම ක්‍රියාවලියේ තර්කානුකූලභාවය නැවත විමසිය යුතුය. එසේම දැනට මිලියන 20ක මට්ටමේ පවතින ගෙඩි පොල් අපනයනය මගින් දේශීය පොල් තෙල් කර්මාන්තය කෙරෙහි ඇතිවන බලපෑමද සැලකිල්ලට ගත යුතුය.

ඒ අනුව ඉහළ ගුණාත්මක මට්ටමේ පොල් මඳ ආශ්‍රිත නිශ්පාදන පිට රට මිනිසුන්ට කවමින් රටේ මිනිසුන්ට පිළිකාකාරක සහිත ආනයනය කළ බාල ආදේශක නිෂ්පාදන කැවීම සහ දේශීය පොල් නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සහ පොල් වගාව විනාශ කිරීමේ ක්‍රියාවලියට තිත තැබීම සඳහා සැලකිල්ලට ගත යුතු උපායමාර්ගික ප්‍රවේශය අට වැදෑරුම්වේ. පළමුවැන්න ආදේශක තෙල් වර්ග ආනයනය කිරීම වෙනුවට කැබලි කළ කුරුට්ට සහිත වියලි පොල් ආනයනය කොට දේශීය පොල් තෙල් කර්මාන්ත පද්ධතියෙට නැවත පණ දීමය. ඒ මගින් වටිනාකම් එකතු කිරීමේ වාසියට අමතරව පිටි කළ පුන්නක්කු අපනයනය මගින් අමතර අදායමක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. දෙවැන්න පිරිපහදු නොකළ තෙල් වර්ග සහ එක් වරක් භාවිතා කළ තෙල් නමින් හැදින්වෙන
අපද්‍රව්‍ය ආනයනය අත්හිටු වීම සහ පිරිපහදු කළ පොල් තෙල් සහ පාම් තෙල් සඳහා ආනයන කෝටා ක්‍රමයක් හදුන්වාදීම මගින් තෙල් ආනයනය අවශ්‍යතාවයට අනුව පාලනය කිරීමය. තුන්වැන්න ආනයනික තෙල් වර්ග වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමිතීන් සහ පරීක්ෂණ ක්‍රමවේද නැවත සළකා බලා නව ප්‍රතිපත්තියක් හදුන්වාදීම සහ දේශීයව පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍රණය කිරීම තහනම් කිරීම මගින් ආහාරයට ගන්නා තෙල් වර්ග වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ගුණාත්මක බව තහවුරු කිරීමය.

හතරවැන්න පොල් තෙල් සහ පාම් තෙල් ආනයනය සඳහා ලබා දී ඇති බදු සහනය අහෝසි කොට ගෘහස්ථ පරිභෝජනය සදහා පාම් තෙල් වෙනුවට පොල් තෙල් පරිභෝජනය දිරි ගැන්වීම සඳහා නව බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීමය. පස්වැන්න අතීතයේ පැවති ආකාරයට පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් මඳ ආශ්‍රිත නිශ්පාදන සඳහා නිෂ්පාදන කෝටා ක්‍රමයක් හඳුන්වා දීමය. හයවැන්න වෙළඳපල තුළ විකුණන ආහාරයට ගන්නා තෙල් වල ගුණාත්මක භාවය අහඹු පරීක්ෂණ මගින් තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමින් විධිමත් ක්‍රමවේදයක් හදුන්වා දීමය. හත්වැන්න ශ්‍රී ලාංකික පොල් තෙල් සන්නාමය ආරක්ෂා කිරීම සඳහා සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම සහ රජයට අයත් බී.සී.සී ආයතනය මගින් පොල් තෙල් ආරක්ෂණ තොගයක්
පවත්වාගෙන යාමය. ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම ද ඊට අයත්වේ. එමෙන්ම දේශීය ගෘහස්ථ පොල් පරිභෝජනයේ අරපරිස්සම පිළිබඳව අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීමද එහි කොටසක් බවට පත්විය යුතුය. අටවැන්න පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා භූමි ප්‍රමාණය වැඩි කිරීමට පෙර පවතින වතුවල ඵලදායිතාවය වැඩි කිරීම සඳහා වගාකරුවන්ට සහන පැකේජයක් හඳුන්වා දීමය.

ආහාරයට ගන්නා තෙල් වෙළඳපල තුළ ජාවාරම් කරුවන් විසින් සිදු කරන විකෘතීන් නිවැරදි කිරීම සඳහා එවැනි සංයුක්ත විසඳුමක් අවශ්‍යව තිබියදී හදිසියේ පාම් තෙල් ආනයනය පමණක් තහනම් කිරීම තර්කානුකූල වන්නේ කෙසේද? විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයට පාම් තෙල් යම් ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ප්‍රායෝගිකව පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම කළ හැැකිද යන ප්‍රශ්නය මතු වේ. එසේම දැනටමත් රට තුළට ආනයනය කොට ඇති පාම්තෙල් වල විෂ කාරක අඩංඟු නොවන්නේනම් ඒවා නිඳහස් නොකර සිටීම නීත්‍යානුකූලව සිදු කළ හැකිද යන ප්‍රශ්නයද මතු වේ. ඒ අනුව පළමු වටයේ දී හදිසියේ ගත යුතු තීන්දුවක් ලෙස කළ යුත්තේ පිරිපහදු නොකළ තෙල් වර්ග ආනයනය තහනම් කිරීම සහ මිශ්‍ර කළ තෙල් වර්ග විකිණීම තහනම් කිරීම නොවේද? එසේ නොමැතිව හදිසියේ පාම් තෙල් ආනයනය පමණක් තහනම් කිරීම මගින් සංයුක්ත දීර්ඝකාලීන උපාය මාර්ගික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය යටපත් වේ. එම තත්වය ආනයන ජාවාරම්කරුවන්ට වාසි දායක වේ. එසේ වුවත් ජනාධිපතිතුමා විසින් දේශීයව කටු පොල් වගාව අධෛර්යමත් කිරීම සහ ඒ වෙනුවට පොල් වගාව දිරිමත් කිරීම මෙන්ම පාම් තෙල් පරිභෝජනය වෙනුවට පොල් තෙල් පරිභෝජනය දිරිමත් කිරීම ඉතා අගය කළ යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More