පුරවැසි කොලම

ශ්‍රී ලාංකිකයන් ගේ එක්සත්කම ජාතික ගීතය ගායනා කරනවිට පමණකි. “ශ්‍රී ලංකාවේ එක මවකගෙ දරු කැළ බැවිනා…., ප්‍රේම වඩා සැම බේද… දා” යනුවෙන් තොල් මතුරති. ගීතයෙහි වචන සුළඟේ පා වී යන්නටත් මත්තෙන් නොපමාව බේද අවුලා ගනිති. මෑතකාලය තුළ එකම අවස්ථාවක හෝ එකඟ වී නැත. එකඟ නොවූ රටකින් එක්සත් භාවයක් අපේක්ෂා කරන්නට පුළුවන්කමක් නැත. රට තුළ ගැටුම්, අර්බුද උත්සන්න වී ඇති අවස්ථාවක තුන් වැනි පාර්ශ්වයට අත පොවන්නට හැකියාව ලැබේ. ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක දී ලැබුණ ප්‍රතිඵලය පැත්තකින් තැබිය යුතුය. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වර්තමාන පරපුර ගන්නා තීන්දු ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබනු නියතය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර 2009 වසරේ උතුරේ දී ඇති වූ දැවැන්ත සටන කෙළවර වී සතියක ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වූ තත්ත්වය විමසීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 11 වැනි විශේෂ සැසියක් කැඳවන ලද බව මතක් කළ යුතුය. වසරක් තුළ දී සැසි වාර තුනකට නො අඩු සංඛ්‍යාවක් පැවැත්වීමේ බලය මානව හිමිකම් සභාවට තිබේ. සාමාජික රටවලින් තුනෙන් දෙකක් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් මානව හිමිකම් උල්ලංඝනය හෝ වෙනත් හදිසි අවස්ථාවක් සලකා බැලීම සඳහා විශේෂ සැසි වාරයන් කැඳවීමේ බලය ද මානව හිමිකම් සභාවට ඇත. මෑත ඉතිහාසය තුළ ලෝකයේ කොතැනක හෝ බරපතළ සිද්ධි නැති බවක් අදහස් නොකෙරේ. රටවල් හතළිස් හතක් නියෝජනය කරන මානව හිමිකම් සභාව ශ්‍රී ලංකාවට අවහිර කරන අතර අනෙකුත් කිසිම අවස්ථාවක් අවධානයට ගෙන නැත.

අමිහිරි සිද්ධිවල මුල අමතක කරන වගකිව යුතු අංශ

මානව හිමිකම් සභාව අද ගෙන යන සටනට මුලපුරන ලද, විශේෂ සැසිවාරය කැඳවීමට ඉල්ලීමක් කළේ එල්.ටී.ටී.ඊ. ය පරාජය කර ගැටුම් කෙළවරකට පැමිණි බව වාර්තා වුණු මැයි 19 වැනිදා දිනකය. ගැටුම් තීරණාත්මක තැනක තිබිය දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන රටවල විදේශ ඇමැතිවරු සටන් නතර කරන ලෙස බලපෑම් කළ නමුත් අවසානය දක්වා කරගෙන යන්නට එවකට පැවැති රජය ගත් තීරණය ගැන එම රටවල බරපතළ අමනාපයක් ඇති බව නිසැකය. එය සාධාරණ විය හැකිය. දශකයකට වැඩි කාලයක් තිස්සේ එම නොමනාපය දුරුකරගැනීම සඳහා වූ රටට ඇති නොහැකියාව කුමක්ද? යුද්ධය මෙහෙයවූ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පරාජය කරන මෙරට දේශපාලන ක්‍රමය එයට පසු පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව මානව හිමිකම් යෝජනාව මගින් සිදුවිය හැකි අවදානම තක්සේරුවට ගත්තේ නැත.

තද ලිබරල් ආකල්ප සහිත යම් යම් නායකයන් රට වෙනුවෙන් තීරණ ගැනීම පසෙක තබා මානව හිමිකම් උල්ලංඝනය වූ බව චෝදනා කරන බටහිර සමග එකතු වී ක්‍රියාකිරීම තුළ වරදක් කරගෙන තිබේ. අවසානයෙහි එහි බරපතළකම කොපමණද? මුළු ලෝකයම කොරෝනා වසංගතයයෙන් පීඩා විඳින අතර ජාති හෝ ආගම් බේදයකින් තොරව මිනිසුන් භීතියට පත්ව සිටින අතරවාරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව මෙරට සිදුවී ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීම හා ඒවා ආරක්ෂා කිරීමට වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.9 ක් වෙන් කරගෙන තිබේ.

මෙරට ස්වෛරීත්වයට මහත් හානියක් වන අවස්ථාවකි. මෙවැනි පසුබිමක් තුළ රටට එරෙහිව කරුණු එකතු කරන්නට බාහිර පාර්ශ්වයන්ට අවකාශ සලසන අනුග්‍රාහකත්වය නරක බව මෙරට නායකයන් නොසලකා සිටින හේතුව කුමක්ද?

ශ්‍රී ලංකාව වෙත එල්ලකර ඇති මානව හිමිකම් ග්‍රහණය ලිහිල් කිරීමට බටහිර රටවල් කිසිවිටෙකත් සූදානම් නැත. ලෝකයේ අනෙක් රටවලට ආදර්ශයක් කළ හැකි පරිදි ශ්‍රී ලංකාවේ ගෙල හිරකර තැබීම එකම ප්‍රයත්නය වී තිබේ. යෝජනාව ඉදිරිපත් කරන බටහිර රටවලට ජයග්‍රහණයක් ලැබෙන අවසානයක් ඇති නොවන වග සැකයක් නැත. එහෙත් නැගීසිටින්නට වැර දරන මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අවමානයට ලක්කර ආර්ථික පීඩනයක සිරකිරීම අරමුණ බව පැහැදිලිය. මානව හිමිකම් යෝජනාව අන්තිම නරක ආකාරයකට අවසන් වන අවස්ථාවක පවා මෙරටට කිසිම බලපෑමක් කරන පියවරකට යන්නට නීත්‍යානුකූල අවස්ථාවක් මානව හිමිකම් සභාවට නැත. අවසාන තීරණය ගත යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සභාවට බලයක් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා යම් සීමාවක් තිබේ. නිශේධ බලය ඇති එක රටක් හෝ විරුද්ධ වුවහොත් පවතින කලබැගෑනිය පියවරක් රහිත අවසානයක් කරා ගමන් කරනු ඇත. මෙවැනි පැති ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතු මෙරට දේශපාලන නායකයන් ශ්‍රී ලංකාව අපකීර්තියකට තල්ලු කරනු වෙනුවට එකට එකතු වී පොදු සතුරා වෙනුවෙන් මුහුණ දෙන තීරණයකට යා යුතුය.

විශ්වාසය ඇතිකර ගැනීම එක වටිනා පියවරකි

ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් යෝජනාවක් 1987 වසරේ දී ද ඉදිරිපත් විය. එහෙත් එය කළමනාකරණය කරගත්තේය. දැන් ඉදිරිපත් වී ඇති යෝජනාව තුළ සත්‍යය, සාධාරණය, සංහිඳියාව සහ යළි සිදුවීමට ඉඩ නො තැබීම වෙනුවෙන් වූ කොමිසමක් පිහිටුවීම එක කාරණයකි. අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් හා යුද හානි සඳහා වන්දි ගෙවීමට කාර්යාලයක් පිහිටුවිය යුතුය. වැරදිකරුවන් සම්බන්ධයෙන් සොයන අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. එය සඳහා විදේශීය විනිශ්චයකරුවන් ද සහභාගි කරවාගැනීම සිදුවෙයි. යුද අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග තුළින් දඬුවම් පැමිණවිය යුතු අතර මහජන ආරක්ෂණ ආඥාපනත විමර්ශනය කිරීම ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සහ බලය බෙදාහැරීම ඇතුළු දේශපාලනමය විසඳුම් සඳහා අලුත් ව්‍යවස්ථාවකින් පියවර ගැනීමට ද ඇත. පසුගිය ආණ්ඩුව මෙම යෝජනාවලට සම හවුල්කරුවන් වූ අතර සාක්ෂාත් කළ යුතු කරුණු හා දින වකවානු එකල ස්වේච්ඡාවෙන් භාරගනු ලැබ ඇත. වත්මන් ආණ්ඩුව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්විය. එසේ ඉවත් වූ පමණින් මානව හිමිකම් සභාවේ කාර්යය අවසානයක් නොවේ. එය මතක තබා ගත යුතු කාරණයකි.

ශ්‍රී ලංකාවේ පවතින රාමුව අනුව ව්‍යවස්ථා සංශෝධනය ඉතාම අපහසු දෙයකි. දේශපාලන පක්ෂ නායකයන් පොදු එකඟතාවකට සූදානමක් නැත. 1978 විධායක ජනාධිති ව්‍යවස්ථාව සහමුලින්ම වෙනස් කරන බවට මෑතක පැවැති සෑම මැතිවරණයක දී ම ප්‍රකාශ වී ඇත. බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම සිය ධුර කාලය තුළ නොයෙක් ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ව්‍යවස්ථාවක් හදන පියවරක් අනුගමනය කළේය. එහෙත් ඒවා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. රටවැසියන්ට ගැළපෙන ව්‍යවස්ථාවක් සකසා එය සම්මත කරගැනීමට කිසිම එකඟතාවක් නැති රටක් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නේ කෙසේද? මෙරට කිසිම දේශපාලන පක්ෂයකට ජනතාවගේ කැමැත්ත නැත. සෑම පක්ෂයක්ම කෑලි කැඩී වෙන්වී බේදභින්න වී ඇත. පක්ෂ හදා රටක් අලුතින් හදන්නට වෑයම් කරන ජන නායකයෝ පළමුවෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගත යුත්තෝය.

ජනතා විශ්වාසය තහවුරු කරගත නොහැකි රටට ඉතාම වැදගත් පාර්ශ්වයක් වන දෙමළ ඩයස්පෝරාව දිනා ගැනීමට පුළුවන්කමක් තිබේද? යුද කාලයේ බටහිර රටවලට ගිය දෙමළ ජනතාව එහි දෙවැනි සහ තුන් වැනි පරම්පරාවට ද එම රටවල ස්ථාවර වී සිටී. ඔවුහු දශක හතරක පැරණි අතීතය අමතක කර නැත. ශ්‍රී ලංකාව දෙස බලන්නේ තරහක් සහිතවය. අමනාපයෙන් සිටින දෙමළ ඩයස්පෝරාව ඔවුන් ජීවත්වන රටවල ඡන්ද පදනමේ සැලකිය යුතු ප්‍රතිශතයකි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය වැනි රටවල නායකයන්ට ඩයස්පෝරාවේ හඬට සවන් දෙන්නට සිදුවී තිබේ. දෙමළ ජනතාවට සහනයක් වන ක්‍රියාමාර්ගයකට එම රටවල නායකයන් පෙළඹෙන හේතුව වටහා ගත යුතුය. රට තුළ බේද තිබෙන සෑම අවස්ථාවකම දෙමළ ජන වර්ගයට සාධාරණය වෙනුවට දකුණේ එකඟතාවක් නැති බව ජාත්‍යන්තරයට පෙන්වා සිටී. ඩයස්පෝරාවත්, බටහිර රටවල් ප්‍රමාණයත් දිනාගන්නට අවශ්‍යය. එයට කලින් රට තුළ සිටින සියලු ජාතීන්, සියලු පුරවැසියන් බේදයකින් තොරව එකතු කරගත යුතුය. පවතින දේශපාලන ව්‍යුහය තුළ එය අරමුණු කරගත් ශක්තිමක් වැඩපිළිවෙළක් නැත. එකම පක්ෂයක, එකම සන්ධානයක සිටින ඉතාම විද්වතුන් බව පෙන්වන අයවලුන් පවා එකිනෙකාට චෝදනාකරමින් පටු ආත්මාර්ථකාමී ආකාරයකින් හැසිරෙති. එවැනි පසුබිමක් තිබිය දී ජාත්‍යන්තරයක් දිනන වැඩපිළිවෙළක් අපට නැත.

ඉන්දියානු සාධකය බලවත් බව කල්පනා නොකිරීම

දුරින් සිටින ඉතාම හොඳ මිත්‍රයකුට වඩා අසල්වැසියාගේ හිතවත්කම වැදගත්ය. ඉතිහාසයේ සිට ඉන්දියාව ගැන තරඟයක සිටී. ඉන්දියාවේ දේශපාලන පසුබිම හා උද්ගතවන ස්වභාවය ගැන යථාර්ථවාදී අවබෝධයක් ඇතිකර ගැනීම වැදගත්ය. එයට අසමත්වීම දරුණු ප්‍රතිඵල ඇතිකර තිබේ. ශ්‍රී ලංකාවේ පැත්ත ගැනීමට වඩා ඉන්දියාවේ අභ්‍යන්තර සමතුලිතතාව ඉන්දියානු නායකයන්ට වැදගත්ය. පසුගියදා පැවැති ජිනීවා ඡන්ද විමසීමේ අවස්ථවේ දී පවා බලපෑවේ තමිල්නාඩු මැතිවරණයයි. එය එක ප්‍රධාන හේතුවකි. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කල්පනා කරන්නේ මහ ආණ්ඩුවට වාසිය අඩු තමිල්නාඩු දේශපාලනය දිනා ගැනීමටය. ශ්‍රී ලංකාවට සහාය දෙන ප්‍රතිපත්තියකට ගියහොත් තමිල්නාඩුව අවුල් කරගැනීම වැළැක්විය නොහැකිය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හුවා දක්වා ඡන්දය පාවිච්චි නොකර සිටීම එරට මහ ආණ්ඩුවේ උපායකි. දෙරට අතර බැඳීම් ඉහළට ගෙන යන්නට අප අපොහොසත්ව සිටින අතර එහි අවස්ථාව දිනා ගත්තේ බාහිර පාර්ශ්වයන්ය. තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයෙන් ඉන්දීය මහ ආණ්ඩුවට ඇති බලපෑම තේරුම්ගෙන ඉන්දියන් විරෝධයකට නොගියේ නම් මෙම ගැටලුවට මෙයට වඩා වෙනස් විසඳුමක් හැදෙන්නට ඉඩ තිබුණි.

ගිය දශක තුන තුළ සිදුවූ අමිහිරි සිදුවීම් දෙස ආපසු හැරී බලා පාඩමක් ඉගෙන ගන්නට උත්සාහ කළ යුතුය. ත්‍රස්තවාදය අවසන් වූ නමුත් ත්‍රස්තවාදයේ උල්පත විනාශ වී නැත. එපමණක් නොවේ සාර්ථක අසාර්ථක භාවය හෝ වැරදි කවුද නිවැරදි කවුද යනුවෙන් චෝදනා කරමින් යළි මතබේද අවුළවන්නට ද මෙය අවස්ථාව නොවේ. රජය හා විපක්ෂ මතය නියෝජනය කරන කොටස් පැරණි සංස්කෘතියෙන් ගැලවී නැත. මනාප ක්‍රමය නිසා එකම පක්ෂයේ දේශපාලනඥයන් අතර පවා තරගයකි. මත හසුරුවමින් කැපීපෙනෙන්නට උත්සාහ දරති. පවතින සමාජ මාධ්‍ය සංස්කෘතිය එය විකෘති කරමින් සිටී. එක්සත් රටක් වශයෙන් සමස්ත ජනතාව එකමුතු කිරීම අවශ්‍යය. රටක් තුළ ඇති වාදයක ජයග්‍රාහකයන් හෝ පරාජිතයන් නැත. ජිනීවා අභියෝගය ඉදිරියේ ජයගත යුතු රට තුළ වෙසෙන එක කණ්ඩායමක් නොවේ. අප සියලු දෙනාම එකතුවී අපට සිදුවූ අසාධාරණය හා අයුක්තිය ගැන ඉතා තද අවධාරණයෙකින් ප්‍රකාශ කළ යුතුය. බෙදුනවිට හඬ යටපත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩුවක අණ පරිදි ක්‍රියා කළ ආරක්ෂක අංශ හා භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර දීර්ඝ කාලීන යුද්ධයක් තිබුණ බව අප අමතක කර තිබේ. මෙය සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර තිබුණ යුද්ධයක් නොවේ. යුද කාල පරිච්ඡේදයට වඩා සාමකාමී කාලය තුළ කටයුතු කිරීම අපහසුය. මානව හිමිකම් සභාවට පෙන්වා දිය යුතු අභ්‍යන්තරය එයයි. එහෙත් පටු අවස්ථාවාදී දේශපාලනඥයන් හා අන්තවාදය අවුලවන පිරිස් එයට අකුල් හෙලා තිබේ. එය ශ්‍රී ලංකාවේ ස්වභාවය විනාශ කරන බව තේරුම් ගැනීම අවශ්‍යය.

උපායශීලී පිළිවෙතකින් අලුත් යුගයකට ඇතුළුවීම

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙමින් තිබේ. සෞභාග්‍යය එහි දර්ශනයයි. අලුතින් හිතන්නට අවශ්‍යය. අලුත් ව්‍යවස්ථාවක් හදන තෙක් පවතින ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය. පළාත් සභා අඩපණ කිරීම තුළ මහජන මතය අසරණ කර තිබේ. බිඳුණු හදවත් යළි එකතුකර ගත යුතුය. වෙනස්කමක් නැති එක රටක් තුළ සාමකාමීව, සමාන අවස්ථා ඇතිව, සියලු දෙනාටම ජීවත්විය හැකි බව ජාත්‍යන්තර ප්‍රජාවට තහවුරු කිරීම අවශ්‍යය. සමහර රටවල අභ්‍යන්තර යුද තත්ත්ව ඇතිවී තිබේ. රටවල් අතර යුධ ගැටුම් ගණනාවක් ඇතිව ඇත. මෑත කාලය තුළ ඉරාකය හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල් මුහුණදුන්නේ ඉතාමත් දියුණු යුද උපකරණ හා තාක්ෂණය භාවිතයෙන් කළ දැවැන්ත යුද්ධයකටය. සියලුම රටවල ආරක්ෂක වියදමට වඩා වැඩි මුදලක් ඇමරිකාව එරට ආරක්ෂක වියදම් වශයෙන් වැය කරන නමුත් වැරදීමක් නැති යුක්ති සහගත තීන්දුගෙන නැත. වෙනත් රටක ඇති වූ තත්ත්වය හා එහි හානිය ගැන දොස් පවරමින් චෝදනා එල්ල කරමින්, එයින් අවමානයට පත්කර ජීවත්වන යුගයක් රටට අවශ්‍ය නැත.

දැන් අවශ්‍ය අනාගතය දෙස බැලීමයි. දේශය එකතු කරන්නා සේම ජාත්‍යන්තරය සමග ද අලුත් ආකාරයකට එකතුවීමයි. ජූලි කලබල හෙයින් රට හැර ගිය විශාල ලාංකේය පිරිසක් බටහිර සමාජයේ වෙසෙති. ඉන්දියාවේ ජීවත් වන පිරිස ද සුළු පටු නොවේ. මේ පිරිස සමග එකතු වී ජාත්‍යන්තරය දිනාගන්නා වැඩපිළිවෙළක් අපට අවශ්‍යය. යුද්ධයක දී රටවල් සමග ඇති වන මත ගැටුම් හා අමනාපකම් දැන් අමතක කිරීම වටී. එක් එක් රටවල අනන්‍යතාව, ඔවුන්ගේ ආකල්ප තේරුම්ගෙන එකිනෙක රටවල් සමග බැඳීම් ඇතිකර ගැනීමට මෙය සුදුසු වකවානුවකි. ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දුර්වල වීමෙන් එහි වාසිය එල්.ටී.ටී.ඊ ය අත්පත් කර ගත් බව රහසක් නොවේ. එය අත්දැකීමකි. අදටත් දිල්ලිය හා කොළඹ අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට මුල යාපනය හා දිල්ලියේ ස්වභාවය බව පෙනේ. සෙසු රටවලින් ද එවැනි දේ වාර්තා වන්නට ඉඩ ඇත. සෘජු සබඳතා වෙනුවට වක්‍ර ක්‍රියාමාර්ග හැදෙන්නට ඉඩදිය යුතු නැත. මේ ගැන පුළුල්ව සිතන්නට අපට හැකිවිය යුතුය.

ශ්‍රී ලංකාව ඉතාම නිර්දෝෂී හෝ ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් සභාව කරගෙන යන විශ්ලේෂණය අසාධාරණ බව හෝ මෙයින් අදහස් නොකෙරේ. සර්ව සාධාරණ ලෝකයක් නැත. පසුගිය දශක ගණන තුළ දකුණේ ත්‍රස්තවාදී අරගල දෙකකට සහ උතුරේ ත්‍රස්තවාදී අරගලයකට ද මුහුණ දීමට මෙරට පොදු ජනතාවට සිදු වී ය. මෙම කාලය තුළ දී මානව හිමිකම් උල්ලංඝන සිද්ධි වාර්තා නොවෙන්නට බැරි නැත. 1980 දශකයේදී ශ්‍රී ලංකාවෙහි සිදු වූ පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව දෙවැනි වන්නේ ඉරාකයට පමණක් බව වාර්තා දක්වයි. එහෙත් නායකයන් වශයෙන් ධෛර්යවන්තව කටයුතු කළ යුතුය. අනුන් වෙනුවෙන් පෙනීසිටින්නට කලින් තමන්ගේ රට වෙනුවෙන් නැගී සිටින්නට අවශ්‍යය. මානව හිමිකම් අපරාධ සඳහා වගකිවයුත්තන් සොයා පියවර ගැනීම අවශ්‍යතාවක් නමුත් එය දේශපාලනීකරණයක් විය යුතු නැත. ආසන්න ප්‍රතිවාදියා මට්ටු කිරීම ඉලක්ක කරගෙන ආණ්ඩුව අසමත් යැයි ප්‍රකාශ කිරීම අනුචිතය. සියලු පාර්ශ්ව එකතුවීම අවශ්‍යය. රට තුළ සැබෑ සංහිඳියාවක් ඇති කළ යුතුය. එම සංහිඳියාව සමග ජාත්‍යන්තරය දිනා ගැනීමට වෑයම් කළහොත් මානව හිමිකම් චෝදනා අවමානයෙන් ගැලවිය හැකිය.

මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි ලා පැහැර නො හැර ඉටු කළ යුතුවන්නා වූ විශාල වගකීම් භාරයකට ශ්‍රී ලංකා රජය මුහුණ දිය යුතුව ඇත. ඉතා සංකීර්ණ තත්ත්වයකි. රට තුළ පවතින ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ගැනීමට වඩා රට තුළ එක්සත් භාවය ඇති කරගැනීම අවශ්‍යය. ආණ්ඩුවේ අසාර්ථක භාවය ගැන චෝදනා කිරීම ආපසු හැරෙන දිනයක් තිබේ. පවතින තත්ත්වය තුළ එම අවබෝධය වැදගත්ය. ආර්ථික සහ සමාජයීය සංවර්ධනය අත්පත් කරගත යුතුය. ජනතාව තුළ විශ්වාසයක් අස්වැසිල්ලක් ඇති කළ යුතුය. එතැනින් මෙපිට පැවැත්මක් නැත.
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More