පුරවැසි කොලම

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට හේතු වූ එකිනෙකට සම්බන්ධ ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සාධක පිළිබඳව ශාස්ත්‍රීය විශ්ලේෂණයක් හමුවේ අවසන් කොමිෂන් වාර්තාව කියැවීමේ තෙවැනි කොටසයි මේ. මෙම ලිපි මාලාවේ දෙවැන්න මගින් වහබ් වාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම මද්‍රසා පාසල් මාර්ගයෙන් අන්තවාදය සමාජගතකිරීම සහ වහබ්වාදයේ සහ අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම පිළිබඳ කළ අනතුරු ඇඟවීම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන ඇමැතිවරු විසින් යටගැසීම පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරිණි. තෙවැනි ලිපිය වන මැයෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් ඉස්ලාම් අන්තවාදයෙන් ත්‍රස්තවාදියකු බවට පරිවර්තනය වූ ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

1956 කියුබාවේ හිටපු නායකයා වූ ජෙනරාල් ෆුල්හෙන්සියෝ බැරිස්ටාගේ රජය පෙරළා දැමීමේ අභිලාෂයෙන් චේ ගුවේරා (Che Guevora), ෆිදෙල් කැස්ත්‍රෝ (Fidel Castro), තවත් සගයින් 80 ක් සමග මෙක්සිකෝවේ සිට සියෙරා මාස්ට්‍රා (Sieria Maestra) කඳුවැටියේ කඳවුරු ස්ථාපනය කරගත්හ. මෙලෙස කියුබානු විප්ලවයට අඩිතාලම දමන අවස්ථාවේදී චේ ගුවේරා සෑම විටම විශ්වාස කළේ දරිද්‍රතාවෙන් පෙළෙන ගොවි ජනතාව බලමුළු ගැන්වීම තුළින් විරුද්ධවාදී කැරලිකරුවන් බිහිවන බවයි. ලතින් ඇමරිකාව පුරා ඇති කිරීමට බලාපොරොත්තු වූ විප්ලවයේ හදවත දුප්පත්, ග්‍රාමීය ගොවි ජනතාව බව චේට සහ කැස්ත්‍රෝට වැටහුණේ එම කලාපයේ ගොවීන්ගේ ද්‍රව්‍යමය තත්ත්වයන් (Material Conditions) වෙනස් කරගැනීම ඔවුන් විප්ලවයට නැඹුරු කළ නිසාය. කියුබාවේ සහ වෙනත් ලතින් ඇමරිකානු රටවල විප්ලව සඳහා බොහෝ කැරලිකරුවන් බඳවා ගනු ලැබුවේ සමාජයේ දැඩි පීඩනයට ලක්වූ කොටස්වලිනි. එහෙත් නූතන ත්‍රස්තවාදයට සහ එම ත්‍රස්තවාදය බලගන්වන ඉස්ලාමීය වහබ් අන්තවාදයට ගොදුරු වෙන තරුණ තරුණියන්ගේ සමාජ ආර්ථික පසුබිම (Socio Economic Profile) චේ ගුවේරා සහ කැස්ත්‍රෝගේ කැරලිකාර සගයන්ට බොහෝ වෙනස්ය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් උපත ලැබුවේ 1986 ඔක්තෝබර් 15 වැනිදා කාත්තන්කුඩිහිදීය. ඔහුගේ පියා හෂාන් මොහොමදු මොහොමද් කාසිම්ට සහ මව අබ්දුල් කාදර් සිත්ති සවීමාට තවත් පිරිමි දරුවන් දෙදෙනකුද, ගැහැනු දරුවන් දෙදෙනකුද වූහ. සහරාන්ගේ සම්පූර්ණ නම මොහොමද් කාසිම් මොහොමද් ජහරාන් බව ඔහුගේ 862014685V අංක දරන ජාතික හැඳුනුම්පතේ සහ N2017422 අංක දරන විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් වුද දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඔහුගේ භාර්යාව වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පවසන්නේ ‘සහරාන්’ යන නම 2009 න් පසු භාවිත කිරීම කළ නම බවයි.

සහරාන් මුල් කාලයේදී ඉස්ලාම් අන්තවාදයට වැඩි රුචියක් දැක්වූයේ නැත. 1990 දශකයේ කාත්තන්කුඩියේ මද්‍රසා පාසල් අධ්‍යාපනයක් ලැබූ ඔහු තබ්ලීන්, ජමාත් වැනි සංවිධාන මගින් ප්‍රවර්ධනය කළ අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප කළේය. මද්‍රසා අධ්‍යාපනයක් පමණක් ලැබූ සහරාන් කාත්තන්කුඩියේ පිහිටි ජමියතුල් ෆලා මද්‍රසාවට පැමිණියේ 2001 දීය. මෙහිදී ඔහුට මුණුගැසුණු ‘නව්ෆර් මව්ලවි’ සහරාන්ව වහබ් අන්තවාදයට නැඹුරු කළේය. මෙම නව්ෆර් මව්ලවි නමැත්තාගේ සම්පූර්ණ නම මොහොමදු ඉබ්‍රාහිම් මොහොමදු නව්ෆර්ය.

සහරාන්ගේ මරණින් පසුව වත්හිද් ජමාත් සංවිධානයේ නායකයා බවට පත්වූ ඔහු සහරාන්ට වඩා උපායශීලී අයකු ලෙස හඳුන්වා ඇත. නව්ෆර් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි. 2005 වනවිට අන්තවාදයට මුළුමනින්ම නැඹුරු වූ සහරාන් ජමිය තුල් ෆලා මද්‍රසාවෙන් නෙරපනු ලැබුවේ මධ්‍යස්ථ මතධාරී ගුරුවරුන් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුවය. 2005/2006 වර්ෂවල ‘දාරුල් අදර් අද් දාසියා’ නමැති වහබ් මද්‍රසාව සහරාන් විසින්ම ආරම්භ කරන ලද්දේ කාත්තන්කුඩියේය. මෙම මද්‍රසාව පවත්වාගෙන යෑමට ඔහුට සහය වූයේ නව්ෆර් මව්ලවි, නෂ්මල් මව්ලවි, අප්ෆර් මව්ලවි, රවුෆ් සහ තව්ෆික් යන අයයි.

(නව්ෆර් මව්ලවි)

2005 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුණගොල්ලේ නව්ෆර් හමුවීමට ගිය සහරාන්ට තම අනාගත බිරිඳ හමුවූයේය. එවකට හාදියාට වයස අවුරුදු 10 කි. එහෙත් එම 10 හැවිරිදි දැරිය සැණින් විවාහ කරගැනීමට 19 හැවිරිදි සහරාන්ට අවශ්‍ය විය. සහරාන්ගේ ඉල්ලීමට විරුද්ධ වූ හාදියාගේ පියා පැවැසුවේ තම දියණිය උසස් පෙළ විභාගය කරන තුරු ඉවසන ලෙසයි. කුඩා දැරියක් විවාහ කරගැනීමට තරම් විකෘති මානසිකත්වයක් තිබුණු සහරාන්ට එම ඉල්ලීම සර්ව සාධාරණ බව හැඟුණේ වහබ් අන්තවාදයට අනුව එය නීත්‍යනුකූල නිසා විය හැකිය. මෙලෙස ළාබාල දැරිවියක් විවාහ කොටගෙන තම පාලනයට නතුකර ගැනීම, ඔවුන්ගේ ශරීර කුරිරු ලෙස භාවිත කොට තම වර්ගයා දෙගුණ, තෙගුණ කරගැනීම වහබ් අන්තවාදයේ දර්ශනයයි. සිරියාවේදී ‘යසීද්’ ජනවර්ගයට අයත් කාන්තාවන් සහ කුඩා ගැහැනු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීම් සහ වහලුන් ලෙස විකිණීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් තම ඉස්ලාමීය රාජ්‍යය (Caliphote) ස්ථාපිත කිරීමේ එක් පදනමක් ලෙස හඳුන්වා දී ඇත. දස හැවිරිදි දැරියක් දෙස මෙලෙස බැලූ සහරාන්ද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කර තිබෙන්නේ මෙම අයි.එස්.අයි.එස්. දර්ශනයයි.

2009 වසරේදී සහරාන්, නව්ෆර් සහ සගයින් අතළොස්සක් විසින් ආරම්භ කළ ‘දාරුල් අදර් අද් දාසියා’ නමැති මද්‍රසාව අත්හැර සහරාන් නැවත කාත්තන්කුඩියට පැමිණියේ ඔහුගේ සගයන් සමග ඇතිවූ ගැටුමකින් පසුවය. මෙතැන් පටන් සහරාන් තම සොහොයුරා වන ශයිනික් සමග ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කළේය. ජාතික තව්හිද් ජමාත් සංවිධානය (National Thowheed Jamath – NTJ) සමාජසේවා සංවිධායක් ලෙස 2015 දෙසැම්බර් 15 වැනිදා කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කෙරිණි.

සහරාන් හාදියා සමග විවාහ වූයේද 2009 ඔක්තෝබර් මාසයේදීය. එවිට හාදියාගේ වයස අවුරුදු 14 ක් විය. විවාහයෙන් පසු මාවනැල්ල ප්‍රදේශයේ ගනේතැන්නේ පදිංචියට ගිය සහරාන් නුවර අකුරණ ප්‍රදේශයේ දේශන පැවැත්වීම සඳහා නිරන්තරයෙන් ගියේය. 2009 වනවිට සහරාන් ප්‍රසිද්ධියේ තව්හිද් ප්‍රචාරණකරුවකු ලෙස කටයුතු කළේය. 2009 අගෝස්තු 16 වැනිදා සන්ඩේ ටයිම්ස් (Sunday Times) පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා සහරාන් හමුවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනා පාස්කු කොමිසමට පැවැසුවේ එම සම්මුඛ සාකච්ඡාව අතරතුරදී සහරාන් තම කාර්යාලයේ ටී-56 අවි ළඟ තබාගෙන සිටි බවයි. සහරාන් ටී-56 අවි එල්ටීටීඊ සංවිධානයෙන් ලබාගත් බවත්, අවි රජයට භාර කිරීමේ කාලයේදී සහරාන්ගේ සොහොයුරු රිල්වාන් මෙම අවි පොළොවේ වැළලූ බවත් වාර්තා වේ. පාස්කු කොමිසමේ නිගමනයට අනුව 2009 වනවිට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සහරාන් හෂීම් තව්හිද් අන්තවාදියකු ලෙස හඳුනාගෙන තිබුණි.

ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පොලිසිය විසින් ගෙනගිය පර්‌යේෂණයකින් හෙළිවන්නේ පුද්ගලයකු ඉස්ලාම් අන්තවාදයට පෙලඹීම පියවර 4 කින් සිදුවන බවයි. මෙම පුද්ගල පරිවර්තනයේ පළමු අදියර හඳුන්වන්නේ පූර්ව රැඩිකල්කරණය යනුවෙනි. මෙම අදියරේදී පුද්ගලයකු ඉස්ලාම් ධර්මයට විශේෂ නැඹුරුවක් දක්වන අතර තමා වෙසෙන ලෝකය පිළිබඳ වෙනස් ආකාරයට සිතීමට පෙලඹේ. සහරාන් තම තව්හිද් කටයුතු සඳහා බඳවා ගැනීමට පූර්ව-රැඩිකල් අදියරේ පසුවන තරුණයන් හඳුනා ගත්තේ පල්ලියේදීය. තම සහචරයන්ව පල්ලියට යැවූ සහරාන් ඔවුන්ට උපදෙස් දුන්නේ දිනකට පස් වතාවක් යාඥා කිරීමට පල්ලියට පැමිණෙන තරුණයන් තමන් වෙත ගෙන එන ලෙසයි.

අන්තවාදියකු බවට පත්වීමේ දෙවැනි අදියරේදී පුද්ගලික අනන්‍යතාව සෙවීම වැදගත් වන බව නිව් යෝර්ක් පර්‌යේෂණයෙන් හෙළිවේ. අසරණ වී තම අනන්‍යතාව සොයන තරුණයන් ඉලක්ක කරගත් සහරාන් බේරුවලදී රිය අනතුරකට ලක්වී ආබාධිත වූ අසරණ මුස්ලිම් තරුණයකුට ත්‍රිරෝද රථයක් තෑගි කළේය. එතැන්දා සිට එම තරුණයා සහරාන්ගේ විශ්වසනීය ආධාරකරුවෙක් බවට පත්විය.

අන්තවාදියකු බවට පරිවර්තනය වීමේ තෙවැනි අදියර වන්නේ වහබ් අන්තවාදයේ ඉගැන්වීම් උපයෝගී කොටගෙන තරුණයන්ගේ මොළ සේදීමයි. මෙම කාර්යය කිරීම සඳහා ඉතා දක්ෂ වූ සහරාන් තම දේශනවලදී පුන පුනා කීවේ ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා මුස්ලිම් නොවන සියලු ජනයා මරා දැමිය යුතු බව ඉස්ලාම් ධර්මයට අයත් පොත් පත්වල ලියැවී තිබෙන බවයි. මුස්ලිම් ආගමිකයන් වෙනත් ආගම් අදහන පුද්ගලයන්ව ආශ්‍රය නොකළ යුතු බවද සහරාන් කියා සිටියේය. අන්තවාදයට පෙලඹුණු පුද්ගලයන් මෙලෙස අනෙක් ආගම් අදහන මිතුරු මිතුරියන් සමග ඇති සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නතර කරන්නේ මෙම අදියරේදී බව පර්යේෂණවලින් වාර්තා වේ.

වහබ් අන්තවාදයේ සිව්වැනි සහ අවසාන අදියර වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා සිදුකරන ඉස්ලාමීය රිහාදයේ සොල්දාදුවකු බවට පත්වී අවි අතට ගැනීමයි. මෙම සිව්වන අදියර අනෙක් අදියරවලට සාපේක්ෂව කෙටිය. මෙහිදී ප්‍රහාරය සඳහා ඉලක්කය තෝරාගැනීම, තෝරාගත් ඉලක්කයේ අවට ඔත්තු බැලීම, ආරක්ෂිත නිවාස (Safe Houses) කුලියට ගැනීම, ජිහාද් මෙහෙයුම් සඳහා පුහුණුවීම, පුපුරණ ද්‍රව්‍ය සෑදීම සහ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සිදුකරනු ලබයි.

වහබ්වාදී ප්‍රචණ්ඩ අන්තවාදය පැතිරවීමේ ක්‍රියාවලියේදී සහරාන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කළේය.
1. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නිරන්තරයෙන් හිරිහැරවලට භාජනය වන අතර රජයේ බලාධිකාරයෙන් ඔවුන්ට කිසිම පිහිටක් නැත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට හිමිවී ඇත්තේ මියන්මාරයේ මුස්ලිම් ජනයාට අත්පත් වී ඇති ඉරණමයි.

2. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට තම දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමට කිසිදු අවස්ථාවක් නැත.

3. ශ්‍රී ලංකා රජය ‘බෞද්ධ අන්තවාදීන්’ වන බොදුබල සේනාව සහ රාවණා බලය තහනම් කළ යුතුය.

4. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබඳ රචනා කළ පොත් තහනම් කළ යුතුය. ඒවා හුදෙක් ප්‍රබන්ධ වේ.

5. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මුස්ලිම් ජනතාව අනුගත විය යුතු නැත. එමගින් සිදුවන්නේ ඉස්ලාමීය සංස්කෘතිය පිරිහීමයි.

6. කුරානයට සහ ශරියා නීතියට පමණක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අවනත විය යුතුයි.

සහරාන්ගේ සංවිධානය කාත්තන්කුඩියේ සැලකිය යුතු බලවේගයක් බවට පත්වීමත් සමගම දේශපාලනාධිකාරියේ බැල්ම ඔවුන් වෙත යොමුවූයේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ගනුදෙනු පදනම් කොටගෙනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහරාන්ගේ සංවිධානයේ වැඩ කටයුතු සඳහා මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට ඉදිරිපත් වූයේ 2015 මැතිවරණය ආසන්නයේදීය. හිස්බුල්ලාගේ පිරිනැමීම ප්‍රතික්ෂේප කළ සහරාන් සහය පැතුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ශිබ්ලි ෆාරුක්ගෙන්ය.

සහරාන්ගේ දේශන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කාත්තන්කුඩියේ ප්‍රචාරණය කිරීම සඳහා පොලිසියෙන් අවසර ලබාගත්තේ ෆාරුක්ගේ මාර්ගයෙනි. මේ අතරතුර ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අනන්‍යතාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රීලනිපයේ හිස්බුල්ලා අතර තරගයක් තිබිණි. කාත්තන්කුඩියේ මුස්ලිම් කෞතුකාගාරයක් පිහිටුවා එමගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබඳ ඉතිහාසයට වෙනත් අඛ්‍යානයක් හඳුන්වා දීමට මුල් වූයේ හිස්බුල්ලාය.

ඔහුගේ ප්‍රයත්නයට වෙනස් වූ සෘජුවම අන්තවාදී NTJ වැනි සංවිධාන තම වාසිය උදෙසා බලගැන්වීම සඳහා යොමුවූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීමට ක්‍රියාශීලීව කටයුතු කළ සහරාන් සහ සගයන් 2015 මහ මැතිවරණය ආසන්නයේදී සියලුම දේශපාලන පක්ෂවලට ලියුමක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ තම කොන්දේසිවලට එකඟ වුවහොත් මහ මැතිවරණයේදී NTJ සහය ලැබෙන බවත්, එකඟ නොවන පුද්ගලයන්ට සහ දේශපාලන පක්ෂවලට විරුද්ධව NTJ කටයුතු කරන බවත්ය. සහරාන්ගේ NTJ සංවිධානයේ කොන්දේසිවලට එකඟ වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ශිබ්ලි ෆාරුක්, ශ්‍රීලනිපයේ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ යහපාලනය සඳහා ජාතික පෙරමුණේ අබ්දුන් රහමාන් යන අයයි.

එහෙත් සහරාන්ගේ සහය ලැබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පමණකි. මහ මැතිවරණයෙන් පැරදුණු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සැමරීම සඳහා ඔහුගේ ආධාරකරුවන් සූදානම් විය. සැමරීම් දුරදිග ගොස් හිස්බුල්ලාගේ ආධාරකරුවන් NTJ පල්ලියටත්, සහරාන්ගේ සොහොයුරා වූ රිල්වාන්ට පහර දීමට පටන් ගත්තේ ඔවුන් හිස්බුල්ලාට දුන් වචනය කඩ කළ නිසාවෙනි. මෙම පහර දීමෙන් පසු සහරාන්ගේ සහෝදර රිල්වාන් රොහල් ගතවූ අතර ඔහු දැක බැලීමට කඩිමුඩියේ දිව ආවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ය. එහෙත් මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ අවස්ථාවේදී හකීම් පැවැසුවේ කාත්තන්කුඩියේ ප්‍රහාරයට ලක්වූ පල්ලිය සහ සිද්ධියෙන් බලපෑම් එල්ල වූ ජනතාවගේ සුවදුක් විමසීමට තමන් පැමිණි බවයි.

2016 වනවිට සහරාන් ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය හරහා විවෘතව අයි.එස්.අයි.එස්. මතවාදය ප්‍රවර්ධනය කළේය. එක් කාලවකවානුවක ප්‍රචලිතව තිබූ මුස්ලිම් නොවන පුද්ගලයන් මරා දැමීමේ අයි.එස්. වීඩියෝ සහරාන් නිතර තම ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළේය. ෆේස්බුක් පෝස්ට් තුළින් ඔහු කියා සිටියේ ‘අබු බකර් අල් බද්දාදි’ (Abu Bakr Al-Baghhadi) යන අයි.එස්. සංවිධානයේ නායකයා ඉස්ලාම් ධර්මයේ නබිතුමාගේ ගෝත්‍රයෙන් පැවැතෙන බවයි.

සහරාන් මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය කිරීම සඳහා කළ දිව්රුම් ප්‍රකාශයේද අල් – බහ්දාදිගේ නම අරාබි ස්වරයෙන් ප්‍රකාශ කළේය. මෙම වීඩියෝ පටිය පටිගත කර තිබුණේ 2019 අප්‍රේල් 19 දාය. පාස්කු කොමිසමට ඉදිරිපත් කළ සාක්ෂිවලින් හෙළිවන්නේ සහරාන්ට අයි.එස්. සංවිධානය විසින් සිදු කළ හිස ගසා දැමීම් සහිත වීඩියෝ පට ලබාදුන්නේ නව්ෆර් මව්ලවි බවයි.

සහරාන්ට ජමාතේ මිල්ලති ඉබ්‍රාහිම් සංවිධානයේ (JMI) සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලකින් පැවැතෙන මොහොමද් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමද් යන තරුණයා හමුවන්නේ 2016 ඔක්තෝබර් 16 වැනිදා මරදමුනේ පැවැති මංගලෝත්සවයකදීය. ඉල්හාම්ගේ පියා අල්හාජ් යූසුෆ් මොහොමද් ඉබ්‍රාහිම් 2015 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වැදුණු බවද වාර්තා වේ. ඉල්හාම් අහමඩ්ගේ සොයුරු ඉන්ෂාෆ් පාස්කු ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලය විනාශ කළ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකි. ඉල්හාම් දෙමටගොඩ තම නිවසට විශේෂ කාර්ය බළකාය පැමිණි විට නිවසේ තිබූ බෝම්බ පුපුරුවා ගත් මරාගෙන මැරෙන බෝම්බකරුවාය. මෙලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාදක කොටගෙන ලියූ තෙවැනි ලිපියෙන් සහරාන්ගේ ආරම්භය, ඔහු වහබ්වාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා ගත් පියවර, සහරාන් සහ මුස්ලිම් කොංග්‍රසය සමග පැවැති සම්බන්ධතා සහ ජාතික තව්හිද් ජමාතය අල්හාජ් මොහොමද් යූසුෆ් ඉබ්‍රාහිම් නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතුන් ගෙනගිය අන්තවාදී ජමාතේ මිල්ලති ඉබ්‍රාහිම් සංවිධානය අතර ගොඩනැගුණු සම්බන්ධතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළෙමි. 2009 කාලවකවානුවේ සිට මුල් බැසගත් වහබ් අන්තවාදයේ කූට ප්‍රාප්තිය සිදුවූයේ 2019 දීය. පාස්කු ප්‍රහාරයෙන් අහිංසක ජීවිත සිය ගණනක් බිලිගත් අන්තවාදය තවම අළු යට ගිනි පුපුරු මෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

නූතන ප්‍රචණ්ඩ අන්තවාදියකුට තිබෙන්නේ සාම්ප්‍රදායික විප්ලවවාදියකුට තිබුණු ගුණාංග නොවේ. වහබ් අන්තවාදී ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වන්නේ ඇසට නොපෙනෙන දෙවියකු විසින් නිර්මාණය කළා යැයි කියන ධර්මයකට සහ නීතියකට අනුවය. එම මතවාදය සමග තර්ක කළ නොහැක්කේ එය හුදෙක් අන්ධ විශ්වාසය මත පදනම් වූ දේශපාලනීකරණය වූ ප්‍රබල මතවාදයක් නිසාය. කොවිඩ් – 19 වසංගතයට වඩා භයානක එහෙත් ඊට සෙමින් ව්‍යාප්ත වන මෙම බියකරු සමාජ වසංගතය මුළුමනින් උපුටා දැමීමට නම් මුස්ලිම් තරුණ තරුණියන් අන්තවාදයට නැඹුරුවීමට තුඩු දෙන සාධක සියල්ල සූක්ෂම ලෙස අපේ සමාජයෙන් ඉවත් කළ යුතුය.

ආචාර්ය වගීෂා ගුණසේකර – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දේශපාලන අර්ථශාස්ත්‍රය විවෘත විශ්ව විද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More