පුරවැසි කොලම

සිහිබුද්ධිය ඇති සහ අඩු තරමින් අතීත වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්නා දේශපාලන නායකයින් සිටින රටවල බඩු මිල අඩු කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ගික ප්‍රවේශයන් සහ අප වැනි රටක තත්වයන් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. ඉන්දියාව වැනි රටක් ගත් විට නිෂ්පාදකයාගේ හෝ ගොවියාගේ ගෙල සිරකොට වෙළඳපොළ මිළ අඩු කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් සිදු කරන්නේ නැත. විශේෂයෙන්ම වෙළඳපොළ තත්වයන් විසින් ගොවියාට වැඩි මිළක් ගෙවන අවස්ථාවක එය වැළැක්වීමට රාජ්‍යය මැදිහත් වන්නේ නැත. ඊට අමතරව සහල් වැනි රටේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රභල බලපෑමක් ඇති කරන ආහාර ද්‍රව්‍යක මිළ කෘතීමව අඩුකිරීම මගින් නිෂ්පාදකයා සහ ගොවියා අධෛර්යමත් කරන්නේ නැත. වෙළඳපොළ තුල රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යය වන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාව වැඩි කිරීම මඟින් අතරමැදියන්ගේ සුරාකෑම සහ තොග රැස්කිරීම වැනි කූඨ වෙළඳපොළ තුල උපක්‍රම වැළැක්වීම සඳහාය. ඊට අමතරව ආරක්ෂණ තොග පවත්වා ගැනීම මෙන්ම සහතික මිළට වඩා මිල පහත වැටීම මඟින් ගොවියා අධෛර්යමත් වීම වැළැක්වීම සඳහාද රාජ්‍යය මැදිහත් වේ. එම ක්‍රියාවලිය තුල මූලික අවධානය යොමු වන්නේ නිෂ්පාදකයා දිරිගැන්වීම මඟින් නිෂ්පාදනය වැඩි කිරීම හරහා මිළ අඩු කිරීම මඟින් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා එකවර ආරක්ෂා කිරීම සඳහාය.

නමුත් අපේ රටේ ඇමතිවරු එවැනි දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම වෙනුවට පැනනගින තත්වයන්ට සාපේක්ෂව කුමන හෝ කෙටි කාලීන උත්තර සොයති. දැන් ඔවුන් මහා පරිමාණ මෝල් හිමියන් වී තොග රැස් කරන නමුත් වෙළඳපොලට සහල් නිකුත් නොකරන බව පවසමින් පිට රටින් සහල් ආනයනය කිරීමට සැරසේ. ඒ මගින් සහල් වෙළඳපල තුල ඇතිවන මිළ විකෘතිය නිසා ගොවියා සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් තව දුරටත් අර්බුදයට ලක්වේ. එහිදී මහා මෝල් හිමියන්ට එම අර්බුදයට කෙටි කාලීනව මුහුණ දීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමේ තීන්දුව මගින් යම් අයෙකුට හෝ පිරිසකට සහල් මෙ.ටො 1කට ඇමෙරිකන් ඩොලර් 100ක පමණ කොමිස් මුදලක් ලබා ගැනීමේ හැකියාව ලැබේ. ගැසට් මගින් මිළ අඩුකළ හැකි යැයි සිතන අප රටේ අමාත්‍යවරුන් ඒ සඳහා ප්‍රධාන වශයෙන් වෙනස් ක්‍රමවේද දෙකක් අනුගමනය කරන බව පෙනේ. පළමු වැන්න ආනයනික විකල්ප ආහාර ද්‍රව්‍යවල මිළ අඩු කිරීම සඳහා ආනයනකරුවන්ට බදු සහන ලබා දීමය. දෙවැන්න වෙළඳපොළේ පැවතිය නොහැකි ආකාරයට නීතිය මඟින් මිල පහත දැමීම හෙවත් පාලන මිළ පහත දැමීම මඟින් ගොවියාගේ සිට නිෂ්පාදකයා දක්වා වටිනාකම් එකතු කිරීමේ දාමයේ හුස්ම හිර කිරීමය.

උදාහරණයක් ලෙස සීනි මිළ පහත දැමීම සඳහා සීනි ආනයනකරුවන්ට කි.ග්‍රෑම් 1 කට රු. 50 ක බදු සහනයක් ලබා දුණි. නමුත් ඒ මඟින් කෙටිකාලීනව රජයට රු. මිලියන 13,000 ක බදු අදායමක් අහිමි කළද පාරිභෝගිකයාට සහනයක් ලැබුනේ නැත. ඒ අනුව එම බදු සහනය බදු වංචාවක් ලෙස සැලකීම වරදක් නොවේ. එසේ ආණ්ඩුව තම හිතවත් ජාවාරම්කරුවන්ට පිනට දුන් මුදලින් රටේ සමස්ථ කුඩා වාරි පද්ධතිය යතාවත් කිරීම මගින් වී නිශ්පාදනය 10% කින් වැඩි කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව සහල් පාලන මිළ ගැසට්ටුව මඟින් කුඩා මෝල් හිමියාට, තොග සහ සිල්ලර වෙළඳුන්ට සාධාරණ ලාභයක් තබාගත නොහැකි ආකාරයට මිළ පහත
හෙලනු ලැබීය. නමුත් එම මිළට වෙළඳපොළෙන් සහල් මිළදී ගත නොහැකි බව ඕනෑම බත් කන අයෙකුට දැක ගත හැක. එසේම එම මිළ පීඩනය පහළට යලායාම හරහා අවසානයේදී ගොවියාට ඊට වන්දි ගෙවීමට සිදුවේ. එම ක්‍රියාවලිය තුළ පැවතිය හැක්කේ මහා මෝල් හිමියන්ට පමණි.

කෙසේ වෙතත් ගැසට් මඟින් වෙළඳපොළ සහල් මිළ අඩු කිරීම සඳහා ගනු ලැබූ උත්සහායන් අසාර්ථක වීමෙන් පසුව ගරු වෙළඳ අමාත්‍යතුමා පුද්ගලිකව මැදිහත්වී නව ක්‍රමයක් අත්හදා බලන ආකාරය දැකගත හැකි විය. ඊට අනුව තොග වෙළඳුන්ට මහා පරිමාන ඇණවුම් ලබා දී ඔවුන්ගේ ලාභයෙන් යම් ප්‍රතිශතයක් අඩු කර ගන්නා ලෙස එකඟතාවයකට පැමිණ එම ප්‍රතිශතය මිල අඩු කිරීමක් ලෙස පාරිභෝගිකයාට ලබා දේ. එම නව ක්‍රමය අනුව මිල මට්ටම් මාස 03 ක කාලයකට පසු වෙනස් වීමට හැකි අතර එම සහනය ලැබෙන්නේ සමූපකාර සහ ස.තො.ස පාරිභෝගිකයින්ට පමණි. එම නව ක්‍රමවේදය පැහැදිළි කරමින් සමූපකාරවලට යවන ලද චක්‍රලේඛයට අනුව රු. 96 කට මිළදී ගන්නා සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 2 ක ලාභයක් තබාගෙන රු. 98 කට විකිණිය යුතුය. නමුත් තිරිඟු පිටි විකිණීමේදී රු. 74 ට මිලදී ගන්නා පිටි කි.ග්‍රෑම් 1 ක් රු. 10 ක ලාභයක් තබා ගනිමින් රු. 84 ට විකිණීමට හැකිය. මෙම නියෝග උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා බවද සමූපකාර වලට දන්වා ඇත. ඒ අනුව සහල් නිෂ්පාදකයින්ට සහ තිරිඟු පිටි ආනයනකරුවන්ට ආකාර දෙකකට සලකන බව පැහැදිළිවන නමුත් ඊට හේතුව දක්වා නැත. ඒ පිළිබඳ සමූපකාර සේවකයින් අදහස් දක්වමින් සඳහන් කරන්නේ ඒ මඟින් සහල් විකිණීම
අධෛර්යමත් කෙරෙන නිසා කෘතිම සහල් හිඟයක් මවා පෑමට හැකි බවය.

මීට පෙර ඉහත සඳහන් කළ ආකාරයට සීනි ආනයනකරුවන්ට බදු සහන ලබා දීමෙන් පසුව නිකුත් කරන ලද ගැසට් නිවේදන අනුව පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 90 කට සහ පැකට් නොකළ සීනි රු. 85 ට විකිණිය හැකිය. ඒ අනුව සීනි ආනයනකරුවන්ගේ හිත සුව පිණිස පැකට් කිරීමේ පිරිවැය ලෙස කි.ග්‍රෑම් 1 කට රු. 5 ක් ලබාදී ඇත. නමුත් සහල් පැකට් කිරීමේදී කි.ග්‍රෑම් 5ක පැකට් එකක් සඳහා රු. 5 ක් හෙවත් කි.ග්‍රෑම් 1 ක් සඳහා රු. 1 ක් ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින් සහල් මිළ පාලනය පැනවීමේදී තර්ක කරනු ලැබීය. මෙම කරුණු අනුව පැහැදිළි
වන්නේ සහල් වෙළඳපොළ තුළ මිළ විකෘතියක් ඇති කිරීම මඟින් නිෂ්පාදකයාගේ සහ ගොවියාගේ ගෙල සිරකිරීම සඳහා කිසියම් බලවේගයකට උවමනාවක් ඇති බවය. සහල් කි.ග්‍රෑම් 1 ක් 7-8 දෙනෙකුට ආහාරයට ගත හැක. ඒ අනුව මිළ විකෘති කොට රු. 98 ට විකිණීමට බලකරන සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 105 කට විකිණීමට ඉඩ ලබාදෙන්නේ නම් එක් වේලකට එක්පාරිභෝගිකයෙකුට දැරීමට සිදු වන්නේ රු. 1 ක් පමණි. දැන් රු. 98 කට මිළක් පනවා තිබුණද මහජනයා නාඩු සහල් මිළදී ගන්නේ රු. 105 සහ රු. 110 අතර මිළකටය.

සහල් වෙළඳපලේ මිළ විකෘතිය නිවරදිකොට දීර්ඝකාලීනව ගොවියා සහ මෝල් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා රුපියලක මිළ වැඩි වීමක් ලබා පිළිබඳ රණ්ඩු කරන මිනිසුන් අපට හමුවන්නේ නැත. අප රටේ රු. 50 කට බුලත් විටක් මිළදී ගන්නා මිනිසුන් රු. 65 කට සිගරට්ටුවක් මිළදී ගන්නා මිනිසුන්, මෙන්ම අරක්කු බෝතලයක් සඳහා     රු. 1000 ක් හෝ 2000 ක් වැය කරන මිනිසුන් සහ සාමාන්‍ය පාන්ගෙඩියක් රු. 60 ක් වන විට පැකට් කළ පෙති පාන් ගෙඩියක් සඳහා රු. 40 ක් වැඩිපුර ගෙවන මිනිසුන් සහල් වලට රුපියලක් වැඩිපුර දිය නොහැකි බවට රණ්ඩු
කරනු ඇතැයි පිළිගත හැකිද? එම තර්කය මඟින් පවා පැහැදිළි වන්නේ සහල් වෙළඳපොළ තුල මිළ විකෘතියක් ඇති කොට කුඩා පරිමාන නිෂ්පාදකයා සහ ගොවියා පීඩාවට පත් කිරීම සඳහා යම් නිලධාරීන් හෝ දේශපාලඥයින් පිරිසකට උවමනාවක් තිබෙන බවය. එම නිසා එම ක්‍රියාවලිය වී ගොවිතැනට සහ සහල් කර්මාන්තයට සම්බන්ධ පවුල් ලක්ෂ 15 ක් හෙවත් දළ වශයෙන් ඡන්ද ලක්ෂ 30 ක් ආණ්ඩුවට අහිමි කිරීම සඳහා දියත්වන කුමන්ත්‍රණයක් ලෙසද හැඳින්විය හැක. මේ සියල්ල සිදු කරනු ලබන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමේ නාමයෙනි. දිසාපතිවරු මගින් කුඩා මෝල් හිමියන්ට මුදල් නිකුත් කිරීම පමා කිරීම මගින් මහා මෝල් හිමියන්ට වී තොග වැඩි වශයෙන් මිළදී ගැනීමට ඉඩ සලසන්නේ ඔවුන් මට්ටු කිරීමටද? එසේ කුඩා මෝල් හිමියන් විසින් සහල් සැකසීමේදී කෙටුම් කුලිය ලෙස කි.ග්‍රෑ 1කට ලබා දුන් රු. 6ක කුලිය රු. 4 දක්වා අඩු කොට ඔවුන් අධෛර්යමත් කරන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමටද?

ඊට අමතරව මෝල් හිමියන් නොවන අතරමැදියන් විසින් වී තොග රැස් කිරීම වැලැක්වීම සඳහා ආහාර පාලන පනත යටතේ පියවර ගත හැකිව තිබියදී එසේ නොකරන්නේ මහා මෝල් හිමියන් මට්ටු කිරීමටද? ඊට අමතරව ගොවියාට සාධාරණ සහතික මිළක් ගෙවිය යුතු බව කියන වාමාංශික පක්ෂ පවා සහල් මිල අඩු කරනු යනුවෙන් සම්ප්‍රදායානුකූල බඩු මිල අඩු කරනු යන පොදු සටන් පාඨ කෝවට සහල් මිලද එකතු කරති. වෙළඳ ඇමතිවරයා කියන ආකාරයට අවශ්‍ය නම් ආනයනික සහල් වලට බදු සහන ලබා දීම මඟින් සහල් වෙළඳපොළ විනාශ කළ හැක. එතුමා එසේ මහා මෝල් හිමියන්ට අනතුරු ඇඟවීම සඳහා උත්සහා කළද බදු අඩු කිරීම මඟින් මිළ අඩු කළ හැක්කේ ආනයනික සහල් වලය. නමුත් දේශීයව සහල් ලබා ගන්නේ පතල් කැනීම් මඟින් නොවේ. ඒ සඳහා දේශීය ගොවියාගෙන් වී මිළදී ගත යුතුය. අඩු මිළට සහල් දීමට නම් අඩු මිළට වී මිලදී ගත යුතුය. එසේම සහල් වෙළඳපල තුල යථාර්තවාදී නොවන මිළ පාලනය මගින් හුස්ම හිර කිරීම නිසා කුඩා මෝල් හිමියන්ගේ පැවැත්ම අනතුරට ලක් වූ විට මහා මෝල් හිමියන්ට අඩු මිළට වී මිලදී ගන්නා අතර වැඩි මිළට සහල් විකිණීම සඳහා ඒකාධිකාරී අවස්ථාව ලැබේ. එමඟින් පාරිභෝගිකයා සහ ගොවියා යන පාර්ශව දෙකම සූරා කෑමට ලක් වේ.

මෙම තත්වය වෙනස් කිරීමේ මුවාවෙන් එනම් සහල් මිළ අඩුකොට මහා මෝල් හිමියාට දඬුවම් කිරීමේ මුවාවෙන් සිතාමතා සහල්වෙළඳපොළ තුල මිළ විකෘතියක් ඇති කළද ඒ මඟින් අවසානයේදී වාසි සැලසෙන්නේ මහා මෝල් හිමියන්ටමය. අප රටේ දීර්ඝ කාලයක් පැවති වෙළඳපොළ ව්‍යුහය අනුව මහා මෝල් හිමියන්ගේ වෙළඳපොළ කොටස පැවතියේ 20% ක මට්ටමේය. නමුත් පසුගියකාලය පුරා සහල් වෙළඳපොළ තුල පවත්වාගෙන යන කෘතිම මිළ විකෘතිය නිසා 5000 ක් පමණ වූ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් මෝල් පද්ධතිය කඩා වැටුණි. දැන් එම මෝල් පද්ධතිය 2000 ක් පමණ දක්වා අඩුවී ඇති තත්වයක් යටතේ මහා මෝල් හිමියන්ගේ කේවල් කිරීමේ බලය සහ වෙළඳපොළ කොටස් වැඩි වෙමින් ඇත. එසේම වෙළඳපොළ තුල පවතින මිළ විකෘතිය නිසා එනම් වී සඳහා වන සහතික මිළ සහ කුඩා පරිමාන මෝල් වල නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව සහල් මිළ නියම නොකිරීම නිසා පළමුව බඩට වදින්නේ ගොවියාගේ සහ කුඩා මෝල් හිමියාගේය.

මහා මෝල් පද්ධතිය තුල පවතින ප්‍රමාණාත්මක ආර්ථික වාසිය නිසා ඒවාට අඩු ලාභ ප්‍රතිශතයක් යටතේ පවා පැවතිය හැකිය. ඊට අමතරව ඔවුන් සතුව පවතින මහා පරිමාන වී වේළීමේ පහසුකම් සහ වී මිලදී ගැනීම සඳහා ලබා ගත හැකි සහන පොලී ණය පහසුකම් නිසා මෙන්ම මහා පරිමාන ගබඩා පහසුකම් නිසා කුඩා මෝල් හිමියන්ට කිට්ටු වීමට නොහැකි ආකාරයට තරඟකාරීත්වයක් පවත්වා ගැනීමේ හැකියාවක් ඇත. ඒ නිසාම ඔවුන්ට ගොවියා සමඟ කේවල් කොට අඩු මිළට වී මිලදී ගැනීම මඟින් සහල් පාලන මිළ අඩු මට්ටමක පවතින තත්වය තුල පවා ලාභ ප්‍රතිශතය බේරා ගැනීමේ හැකියාව ඇත. එසේම කීරි සම්බා වැනි සහල් වලට ඉතා ඉහළ මිලක් පැනවීම නිසා කීරි සම්බා වී තරඟකාරීත්ව මිලදී ගැනීම මඟින් වැඩි ලාභයක් ඉපයීම හරහා සෙසු සහල් වර්ග වලින් ලැබෙන අඩු ලාභය තුලනය කර ගැනීමේ හැකියාව මහා මෝල් හිමියන් සතුව ඇත. ඒ සියල්ලට අමතරව සහල් සඳහා සහ ප්‍රවාහනය සඳහා වෙන් වශයෙන් බිල් නිකුත් කිරීම මඟින් නීතියෙන් රිංගා යාමට පමණක් නොව පාලන මිළ නොසලකා වැඩි මිලට සහල් විකුණා නීතියෙන් බේරීයාමටද මහා මෝල් හිමියන්ට හැකියාව ඇත. කුඩා මෝල් හිමියන්ට එම කිසිඳු වාසියක් නොලැබෙන බැවින් සහ මේ වන විටත් ඔවුන් ණය බරින්
මිරිකෙමින් සිටින බැවින් සහල් මිළ අඩු කළ විට පළමුව කඩා වැටෙන්නේ කුඩා මෝල් හිමියන්ය. ඒ තුල මහා මෝල් හිමියන්ට ක්‍රමයෙන් තම වෙළඳපොළ කොටස් වැඩිකර ගැනීමට අවකාශය ලැබේ.

මේ වන විට වෙළඳ අමාත්‍යවරයා ඉතා තදබල ලෙස ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර 3 තුල සහල් මිල රු. 100 ට වඩා ඉහළ යාමට ඉඩ නොදෙන බවය. නමුත් මේ වන විටත් එතුමාගේ ගැසට් පත්‍රය නොසලකා හරිමින් උපරිම මිලට වඩා වැඩි මිලට සහල් විකුණන බව මුළු රටම දන්නා කරුණකි. ඒ නිසා ඉදිරියේදීත් එම උපරිම මිළ නොසලකා වැඩි මිළට සහල් විකුණන බවට කිසිදු සැකයක් නැත. ඒ ආකාරයට යථාර්තවාදී නොවන මිළක් පනවා ඊට වැඩි මිළට සහල් විකිණීමට අවස්ථාව ලබාදුන් විට වැඩි වාසි සැලසෙන්නේ වෙළඳ අමාත්‍යතුමා විසින් මට්ටු කිරීමට
උත්සහාකරන කරන බව කියන මහා මෝල් හිමියන්ට සහ අතරමැදියන්ටය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මිළ ප්‍රශ්ණය නිසා කුඩා මෝල් හිමියන්ට සහ කුඩා පරිමානයෙන් සහල් සකස්කොට විකුණන ගොවීන් සහ ස්වයං රැකියා ලාභීන්ට වෙළඳපොළ අහිමිවීමය. එම තත්වය යටතේ පාලන මිළ දැඩිව ක්‍රියාත්මක කිරීමට උත්සහා කරන අවස්ථාවක කෘතීම සහල් හිඟයක් ඇති වීම සහ ඇති කිරීම වැළැක්විය නොහැක. වෙලඳපල තුල පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීම නොදැක්කා සේ සිටින ප්‍රතිපත්තියක් ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේ එම ගැටළුව පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුතුව බවට කිසිඳු සැකයක් නැත. ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට සහල් ආනයනය කිරීම මගින් කොමිස් ගැසීමේ උවමනාවද තිබෙන බවට කසිදු සැකයක් නැත.

එසේනම් දැන් ඕනැම තර්කඥානයක් ඇත්තෙකු විසින් යෝජනා කළ යුත්තේ කුමක්ද? එම තීන්දුව ගැනීමේදී පළමුව සැලකිල්ලට ගත යුතු කරුණු වන්නේ වෙනත් කිසිඳු ආහාරයකට වඩා රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළව සහල්වල වැදගත්කමය. වෙනත් කිසිඳු ආහාර ද්‍රව්‍යයක මිළ පහත දැමීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහල් වලට අදාළව නැවත සලකා බැලීමට සිදු වන්නේ ඒ නිසාය. ඊට අමතරව වී ගොවිතැන ආරක්ෂා කිරීම, නව පරපුරට වී ගොවිතැන ආකර්ෂණීය ආර්ථික ක්‍රියාවලියක් බව තහවුරු කිරීම, වී ගොවියාගේ සුභසාධනය, කුඩා පරිමාන වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම යන සාධක සියල්ල සැලකිල්ලට ගැනීමට සිදු වේ. විශේෂයෙන්ම කුඩා පරිමාන වටිනාකම් එකතු කිරීමේ පද්ධතිය බිඳ වැටීම සහ
මහා පරිමාන ඒකාධිකාරිය වර්ධනය වීම ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් සහ ගොවියාගේ කේවල් කිරීමේ බලයට අදාළව ඉතා නිශේධනාත්මකව බලපානු ඇත. ඒ නිසා සහල් වලට උපරිම මිළ පැනවීමේදී වී මිළ ගොවියාට ජීවත්විය හැකි මට්ටමක පවත්වා ගැනීම සහ කුඩා පරිමාන සහල් සකස්කරන්නන්ගේ පැවැත්ම යන සාධක පළමුව සැලකිල්ලට ගත යුතුය. වර්තමාන මිළ මට්ටම් අනුව අක්කරයකට ලැබෙන රු. 5000 ක පමණ වන පොහොර සහනාධාරය සහිතව අක්කරයක වී වගා කිරීම සඳහා දළ වශයෙන් රු. 65,000 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවේ. දළ වශයෙන් අක්කරයට බුසල් 90 ක මධ්‍ය අස්වැන්නක් ලබාගතහොත් රු. 50 ක සහතික මිළ යටතේ රු. 93,000 ක පමණ ආදායමක් ලබා ගත හැක. ඒ අනුව අක්කරයකට රු. 28,000 ක
පමණ ලාභයක් ලැබේ. ඒ් ආකාරයට ගොවියාගේ ශ්‍රමයද ඇතුලත්ව වසරකට කන්න දෙකක් වැඩ කිරීම මගින් අක්කරයකට එක් දිනක් සඳහා ගොවියාට ලැබෙන්නේ රු.300ක මුදලකි. ඒ අනුව අක්කර දෙකක් හිමි ගොවියකුගේ දිනක ආදායම රු. 600කි.

ඒ අනුව වතු කම්කරුවාට දිනකට රු. 1000 ක් ගෙවිය යුතු බව පිළිගන්නා පිරිස් ගොවියාටද ද‍ළ වශයෙන් එවැනි ආදායමක් ලැබිය යුතු බව පිළිගන්නේ නම් වී සඳහා වන සහතික මිළ අවම වශයෙන් රු. 60 ක් දක්වා වැඩි කළ යුතු බව පිළිගැනීමට සිදුවේ. වතුකම්කරු පවුලක දෙදෙනෙකු වැඩ කරන තත්වයකදී වැටුප් දෙකක් ලැබෙන නමුත් ගොවි පවුලටම ලැබෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ ආදායමකි. ගොවි පවුල් ලක්ෂ 15 ක ජීවිත වලට මෙම තත්වය අදාළ වේ. එම සාධාරණ, යුක්ති සහගත සහ මානුෂීය තර්කය පිළිගන්නා මිනිසුන් වී සඳහා වන රු. 60 ක සහතික මිළට අනුව සහල් පරිභෝජනය කිරීමට එකඟ වන බවට කිසිඳු සැකයක් නැත. දේශීය නිෂ්පාදනය කඩා වැටීමට සලස්වමින් සැමවිටම අඩු මිළට සහල් පරිභෝජනය කළ යුතුය යන තර්කයට මෙම ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්නේ නම් මහජනයාගේ කැමැත්ත ලබා ගැනීම අසීරු නොවන බව සහතිකය. එසේ කළ නොහැකි බව යමෙකු පවසන්නේ නම් එය මේ රටේ ජනතාවට පොදුවේ කරනු ලබන අගෞරවයකි. ඒ නිසා “ගොවියාට වී වලට රු. 60 ක් ගෙවමු. අපි නාඩු සහල් කි.ග්‍රෑම් 1 ක් රු. 110 ට කමු” යනුවෙන් වෙළඳ අමාත්‍යවරයා කියන්නේ නම් මහජනයා ඊට විරුද්ධ නොවන අතර ගොවීන් එතුමාට සාධුකාර දෙනු ඇත. ඊනියා පාරිභෝගිකයා යැයි හඳුන්වන සිත් පිත් නැති මිනිසා මේ වන විටත් සහල් වලට ඒ මිළ ගෙවන බව රහසක් නොවේ.  නමුත් එම මිළ වැඩි වීම මෙම කන්නයේදී ලබා දීම මඟින් වෙළඳ අමාත්‍යවරයා කියන ආකාරයට මහා මෝල් හිමියන්ට නීත්‍යානුකූලව අධික ලාභයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. ඒ නිසා එම සංයුත්ක විසඳුම ක්‍රියාත්මක කළ යුත්තේ ලබන කන්නයේ අස්වනු කැපීම සමඟය. එතෙක් අන්තර්කාලීනව පවතින අසාධාරණ සහ නීති විරෝධී ක්‍රියාවලිය ඉවසා දරා සිටීමට ගොවියාට සහ මහජනයාට සිදුවනු ඇත. නමුත් වී සඳහා සහතික මිළ ඉහළ දැමීම සහ සහල් සඳහා ඊට අනුව පැනවිය යුතු මිළ නීත්‍යානුකූල කිරීම මඟින් පමණක් ප්‍රශ්ණය විසඳෙන්නේ නැත. ඒ සඳහා ඊට අනුබද්ධව තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදුවේ. පළමු වැන්න රජය විසින් ආරක්ෂණතොගයක් ලෙස අවම වශයෙන් අස්වැන්නෙන් 5% ක් සෘජුව මිළදී ගැනීම සඳහා දියුණු ස්ථාවර යාන්ත්‍රණයක් සකස් කිරීමය. එසේම ඊට සමගාමීව කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් හිමියන්ට කෙටි කාලීනව වී මිළදී ගැනීම සඳහා අයිරා හෝණය පහසුකම් ලබා දීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.

දැනට පවතින දිසාපතිවරුන් මඟින් ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය වඩා පුළුල් කිරීම සහ කාර්යක්ෂම කිරීම මෙන්ම එම ක්‍රියාවලිය අස්වනු නෙලීම ආරම්භ වන අවස්ථාවේදීම ආරම්භ කිරීම මගින් ප්‍රශ්ණය විසඳෙනු ඇත. නමුත් එම ක්‍රියාවලිය තුල සහල් කි.ග්‍රෑ. 1ක් සඳහා ලබා දෙන කෙටුම් කුලිය අවම වශයෙන් රු. 8ක් දක්වා වැඩි කළ යුතුය. කුඩා මෝල් හිමියන් සූරාකෑම මගින් පාරිභෝගිකයාට රුපියලක සහන දීමේ ක්‍රියාවලිය දිගු කල් පවත්වාගත නොහැක. ඊට අමතරව සමූපකාර පද්ධතිය මඟින් අවම වශයෙන් අස්වැන්නෙන් 10% ක් මිළදී ගැනීම සඳහා ණය පහසුකම් සහ දිරිගැන්වීම් ලබාදිය යුතුය. එම වී කුඩා මෝල් මඟින් සහල් බවට පත්කොට
සමුකපකාර මඟින් විකිණීම හරහා කුඩා මෝල් හිමියන්ගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළ හැක. එසේම මේ වන විට ණය බරින් මිරිකී සිටින කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීම සහ වැසී ගොස් ඇති වී මෝල් නැවත සක්‍රීය කිරීම සඳහා කුඩා මෝල් හිමියන්ට සහන පැකේජයක් ලබා දිය යුතුය. කුඩා මෝල් පද්ධතිය ආරක්ෂා කිරීම රටේ ආහාර සුරක්ෂිතතාවය සදහා ඉතා වැදගත් පූර්ව කොන්දේසියක් වන බැවින් ඒ සදහා මහ ජන බදු මුදල් යෙදවීම සාධාරණෘකරනය කළ හැක.

ඒ සියල්ලට අමතරව මෙම කන්නයේදී ආරම්භ වූ අතරමැදියන් විසින් වීතොග රුස් කිරීමේ ක්‍රියාවලියටද තිත තැබිය යුතුය. එසේම ගොවිජන බැංකුව නැවත සක්‍රීය කිරීම සහ පොහොර සහනාධාරය එම බැංකව හරහා සෘජුව මුදල් ලෙස ගෙවීම මගින් එම බැංකුවට ප්‍රාග්ධනය සැපයීම හරහා ගොවියා ණය බරින් නිදහස් කර ගැනීම සඳහා යම් මැදිහත්වීමක් රජය විසින් සුදු  කළ යුතුය. මෙම මහා ප්‍රශ්ණයට එවැනි සංයුක්ත පිළිතුරක් අවශ්‍ය බව වෙළඳ අමාත්‍යවරයා පිළිගන්නේ නම් එම පිළිගැනීම තුලින් පමණක් ප්‍රශ්ණය විසඳීමේ දුෂ්කරතාවයෙන් 50% ක් නිම වෙනු ඇත. කෙසේ වෙතත් මහා මෝල් හිමියන්ගේ පැවැත්මද 20% ක වෙළඳපොළ කොටසක සීමාවට යටත්ව තහවුරු කළ යුතුය. ඔවුන් විසින් රටේ වී සංචිත ගබඩා කිරීම සහ වී සහ සහල් තොග පවත්වා ගැනීමට අදාළ කරනු ලබන කාර්යභාරය සඳහා යම් දිරිගැන්වීමක් අවශ්‍යවනු ඇත. එසේම ඔවුන්ගේ තොග පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන තොරතුරු පාරිභෝගික අධිකාරිය විසින් ලබා ගැනීම සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීමද වැදගත් වේ. ඒ සඳහා සැබවින්ම නව ආහාර සුරක්ෂිතතා නීතියක් අවශ්‍ය විය හැක.

ඊට අමතරව දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවය පමණක් නොව මහජන සෞඛ්‍යය රැකීමට නම් වර්ථමානයේ මෙ.ටො ලක්ෂ 18 ක් පමණ වන තිරිගුපිටි පරිභෝජනය ලක්ෂ 9 ක් දක්වා අඩු කර ගත යුතුය. ඒ සඳහා කළ යුත්තේ තිරිඟු ඇට සහ පාන් පිටි ආනයන කරුවන්ට පසුගිය රජය විසින් සහ වර්ථමාන රජය විසින් ලබා දී ඇති පිළිවෙලින් කි.ග්‍රෑ. 1 කට රු. 20ක් සහ රු. 28 ක් වන බදු සහනය අහෝසි කළ යුතුය. ඒ මගින් මුල් කාලයේදී වසරකට රජයට ලැබෙන රු. මිලියන 34,000ක බදු ආදායම යොදවා අඩු ආදායම් ලාභීන්ට සහ වතුකම්කරුවන්ට විශේෂ ආහාර දීමනාවක් ලබා දිය හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More