මෙරට පරිභෝජනයට ගැනෙන පොල්තෙල් හි ඇෆ්ලාටොක්සින් (Aflatoxin) නමැති පිළිකා කාරකය ඇති බවට තහවුරු වීමත් සමගම මුළු රටම භීතියට පත්ව ඒ පිළිබඳව අවධානය යොමු කළේය. එමෙන්ම මෙම පිළිකා කාරක හමුවීමට පෙරද පොල් තෙල් ශරීරයට අහිතකර බව මත පළ වී තිබිණි. ඒ හෙයින් ඒ පිළිබඳව මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා “දිවයින ඉරිදා සංග‍්‍රහය” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි.
ප‍්‍රශ්නය:- සෙක්කුවෙන් අඹරා පොල්තෙල් ලබාගත් අවධියේ සිට මේ දක්වා වූ කාලය තුළ පොල් තෙල් විශාල විපර්යාසයන් රැසකට ලක්වෙලා නොවේද?
පිළිතුර:- පොල්තෙල් සම්බන්ධයෙන් යුග තුනක් පවතිනවා. අපගේ පැරැන්නන් පොල්තෙල් සමඟ ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් ගනුදෙනු කළ යුගය එහි පළමු යුගයයි. ඉන්පසු පොල්තෙල් අපකීර්තියට පත් කර ආදේශක පොල්තෙල් හඳුන්වාදීමට සමාගම් කටයුතු කළ යුගය දෙවැන්නයි. තෙවැනි යුගය පොල්තෙල් අපකීර්තියට පත් කිරීමට නොහැකි නිසා එයට වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුළු නොයෙක් ද්‍රව්‍ය කලවම් කරමින් පොල්තෙල්වලට සමාන තෙල් විකුණා අධික ලාභයක් ලබා ගැනීමට කටයුතු කරන වර්තමාන යුගයයි. අපගේ පැරැන්නන් පොල්තෙල්වල ගුණය පිළිබඳව ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් දැන ගෙන සිටියා. මී තෙල්, පොල්තෙල්, තැඹිලි තෙල් අපි භාවිතයට ගත්තා. ඉස්සර පොල් තෙල්, තැඹිලි තෙල් සෙක්කුවේ දා අඹරා අවශ්‍ය තෙල් නිෂ්පාදනය කර ගැනීමට අපගේ පැරැන්නන් කටයුතු කළා. මේ සම්බන්ධයෙන් මුලින්ම අපට තිබූ තාක්ෂණය අද ජර්මනිය පේටන්ට් බලපත‍්‍රයක් හිමි කරගනිමින් භාවිතා කරනවා.
දෙවැනි යුගය ගැන තමයි මීට ඉහත ප‍්‍රශ්නයේදී මම උත්තර ලබා දුන්නේ. එහිදී පොල්තෙල් අපකීර්තියට පත් කරන්න බැරි බව එහිදී ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා තෙවැනි යුගයේදී පොල්තෙල් සමඟම සමාගම් ඉදිරියට යනවා. එහිදී අධික ලාභයක් ලැබීමට විස රසායනික ඇතුළු නොයෙක් දෑ ඊට කවලම් කරනවා. පොල්තෙල් සමඟ වෙනත් දෑ කලවම් කරන එක නතර කළ යුතු බව අප බොහෝ කලක සිට කියූ කාරණයක්. ආසියා පැසිෆික් කලාපයේ පොල්තෙල් පිළිබඳ තාක්ෂණ තීරණ ගන්නා කමිටුව පැහැදිලිවම කියා ඇති දෙයක් වන්නේ, පොල් තෙල් සමඟ වෙනත් දෑ කලවම් නොකළ යුතු බව. නමුත් මෙම තීරණයට එරෙහිව යමින් අප රට 2018 වසරේ දී පොල්තෙල්වලට වෙනත් දෑ කවලම් කළ හැකි බව දන්වමින් ගැසට් එකක් ප‍්‍රකාශයට පත් කළා. මේ නිසා සිදු වූයේ අප රටේ මිනිස්සුන්ට පොල්තෙල් කියලා පොල්තෙල් නොවන වස කන්න සිදුවීමයි.
ප‍්‍රශ්නය:- පොල්තෙල් භාවිතා කළ පසු නැවත නැවත භාවිතාවට ගත හැකි ලෙස එය සකසන බව බවට සඳහන් වෙනවා.
පිළිතුර:- ඔව්… මෙය සුලබව සිදුවන දෙයක්. භාවිතා කරන පොල්තෙල් නැවත නැවත භාවිතා කළ හැකි ලෙස සැකසීමට නව තාක්ෂණයක් ඇවිත් තිබෙනවා. මෙම තාක්ෂණයට පුළුවන් පිරිසිදු හා ගන්ධයෙන් තොර පොල් තෙල් නිෂ්පාදනය කිරීමට. මේ නිසා පොල් තෙල් හොඳද? නැද්ද? යන්න සොයා ගැනීමට ජනතාවට නොහැකි යි. මේ හරහා රබර් ඇට, කටු පොල්, ඛනිජ තෙල් වැනි දෑ පොල්තෙල්වලට කවලම් කිරීමේ හැකියාව තිබෙනවා. මෙය මුළු රටේම සෞඛ්‍ය විනාශ කරන තත්ත්වයක්. පොල්තෙල් තුළින් ජනතාවට වස කවන එක නතර කළ හැකි වන්නේ පොල්තෙල්වලට වෙනත් දෑ කවලම් කිරීම තහනම් කිරීමෙන් පමණයි. මෙරට පොල්තෙල් යැයි අලෙවි කරන තෙල්වලින් සියයට 75% කම තිබෙන්නේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍යයි.
ප‍්‍රශ්නය:- මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා මොනවාද?
පිළිතුර:- අප ඒ සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කරනවා. පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳපළට නිකුත් කරන ආහාරයක නිෂ්පාදනය ආරම්භයේ සිට අවසානය දක්වා දත්ත ඇතුළත් වාර්තාවක් නිෂ්පාදකයා විසින්ම ඉදිරිපත් කළ යුතු බව අපගේ පළමු යෝජනාවයි. අපගේ දෙවන යෝජනාව වන්නේ ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට හිමිවන ලෙස නීති සංශෝධනය කිරීමයි. එසේම ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම උසාවියක් ස්ථාපනය කළ යුතු බව අපගේ තෙවන යෝජනාවයි. රාජ්‍ය සේවයේ නියුතු වූ කිසිදු නිලධාරියෙක් තම සේවා කාලය තුළ හෝ විශ‍්‍රාම යෑමෙන් පසු වසර පහක් ගතවනතුරු නිෂ්පාදන සමාගම් සමග සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් තහනම් කළ යුතු බව අපගේ සිව්වන යෝජනාවයි. මේ තුළින් පවතින තත්ත්වයන් බොහෝ දුරට පාලනය කරගත හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි. මෙම යෝජනා කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස අප රජයට දන්වා සිටිනවා.
එසේම පොල්තෙල් කඩෙන් මිලදී නොගෙන ගෙදරදීම නිෂ්පාදනය කිරීමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා යොමුවන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. අතීතයේ අපේ පැරැන්නන් කළෙත් එයයි. ඒ තුළින් ධනය මෙන්ම සෞඛ්‍යයත් රැකෙනවා. වෙළෙඳ පළට හොඳ පොල්තෙල් එන යුගයක් නිර්මාණය වන තෙක් බලා සිටියොත් සිදු වන්නේ අපේ දරුවන් සහ ගැබිනි මව්වරුන් පිළිකා රෝගීන් බවට පත්වීම පමණයි. ඉවතලන පොල්කුඩු තුළින් පොල්තෙල් ලබා ගන්න පුළුවන්. ඒ නිසා පොල් කුඩු නිකරුනේ විසිකර දමන්නත් එපා. නිවැරදි ලෙස පොල්තෙල් ගබඩා කර තැබුවහොත් එය වසර දෙකක් පමණ තබා ගන්න පුළුවන්.
ප‍්‍රශ්නය:- අද අප රටේ ජනතාව වස කන ජාතියක් බවට පත්වෙලා…
පිළිතුර:- ඔව් මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වයෙන් අපි මිදිය යුතුයි. අප වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට නැවත අවතීර්ණ වීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේ නොවුණහොත් වන්නේ ලෙඩ ජාතියක් බවට අප පත් වීමයි. ඇත්තටම වස සහිත ආහාර ලබා දී ටිකෙන් ටික මරණ එක මිනීමැරුමක්. එමනිසා වස සහිත ආහාර ගෙන්වන බෙදාහරින අයට අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතුයි.
(දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...