දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකවාසී කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍යයක් වන පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු වුණු බවත් ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැති අතර ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට මෙම රජය කිසිදු ඉඩක් තබන්නේ නැතිබවත්ය. එතුමාගේ සම්පූර්ණ පණිවිඩය පහත දැක්වේ,
“පාස්කුව ලෝකවාසී කිතුණු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි. ජන්ම පාපයෙන් නිදහස් ව, කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.

ලොවපුරා විසිර පැතිර සිටින කිතුණුවෝ අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති. පාස්කු ඉරුදින ඔවුහු උන්වහන්සේ උත්ථානවීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරති.

කිතුණු ජනතාව මේ කාලය තුළ ක්‍රිස්තූන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජයකර නැවත නැගිට විමුක්තිය අත්කරදීම මෙනෙහි කරති.

ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.

ජේසුස් වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි. අද ලෝකය හමුවේ මුහුණපෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජයකර නැගීසිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන්යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත්වීමටත් මේ පාස්කු සමය ආශීර්වාදයක් කරගනිමු.

සැමට සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා !”

මේ අතර, පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් කිතුණු ජනතාවගේ ඉවසීම විශිෂ්ට බවය.

මෙම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙළාදකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කිතුණු ජනතාවගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට සංවේගය පළකරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටුකර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටී.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More