දේශීය පුවත්

තමන් විසින් “වත්කම් හා වගකීම්” ප‍්‍රකාශ කිරීමේ පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට අවස්ථාව ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. අදාළ පනත් කෙටුම්පතේ සංශෝධනවලට අවස්ථාව නොදීම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද හෙතෙම කථානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. එමනිසා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි අයුරින් අවශ්‍ය නිර්දේශ එවන ලෙසට ජනපති ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලෙස ද ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සිය ලිපිය මගින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

1975 අංක 01 දරණ වත්කම් සහ වගකීම් ප‍්‍රකාශ කිරීමේ පනත සම්මත කරගෙන ඇත්තේ මීට වසර 45කට පෙරය. මෙම පනතට අනුව පනත උල්ලංඝනය කරන අයකුට නියම කළ හැක්කේ රුපියල් දහසක දඩයක් පමණි. මෙම පනතට අදාළව පනවන දඩය දෙස බැලීමේදී එය අනිවාර්යයෙන්ම යාවත්කාලීන කළ යුතු බව ඉතා නිරවුල් කාරණයකි.

අප රටේ වත්මන් දේශපාලනඥයන් අතීත දේශපාලනඥයන් අතර කැපී පෙනෙන වෙනසක් තිබේ. අතීත දේශපාලනඥයන්ගේ භූමිකාව ඉතාමත් යහපත් එකක් විය. ඔවුන් දේශපාලනයට පැමිණියේම මහජනතාව වෙනුවෙන් සේවය කිරීම පිණිසය. නමුත් වර්තමානය වන විට එය මුළුමනින්ම වෙනස් වී ඇත. අද බොහෝ දේශපාලනඥයෝ ජනතාවට සේවය කරන බව කියා දේශපාලනයට පැමිණිය ද බලයට පැමිණි විට කරනුයේ තමන්, තමන්ගේ පවුල, තම ඥාතිවර්ගයා හා හිතමිත‍්‍රාදීන් සතුටු කිරීම පිණිස ඔවුන්ගේ සුඛවිහරණය සඳහා කටයුතු කිරීම පමණි. දේශපාලනය නමැති සුදු පිරුවටයට මුවාවී ඇති තරම් මහජනතාවගේ මුදල් කොල්ලකෑම, කොමිස් ලබාගැනීම වැනි දේට ඔවුහු මහජන සේවයට වඩා ප‍්‍රමුඛත්වය දෙති. මෙහි අනිවාර්ය ප‍්‍රතිඵලය වනුයේ ජනතාව දුගී දුප්පත්භාවයට පත්වෙද්දී දේශපාලනඥයන් පොහොසත් වීමය. ඒ අර්ථයෙන් ගත් කල “වත්කම් හා වගකීම්” ප‍්‍රකාශ කිරීමේ පනත අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුය. තමන්ට ඔප්පු කළ නොහැකි අයුරින් යම් අයකු වත්කම් උපයාගෙන ඇත්නම් ඒ ගැන සොයා බැලිය යුතුය.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට පවතින පනතින් ජනරජයේ ජනාධිපති, පළාත් සභා මන්තී‍්‍රවරුන්, විදෙස් සේවයේ රාජ්‍ය තාන්ති‍්‍රක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ස්වාධීන කොමිෂන් සභාපතිවරුන් මෙම පනතින් ආවරණය නොවන බවයි. ඔහු පෙන්වා දෙන්නේ තමන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ අදාළ සංශෝධන ද ඉදිරිපත් කර ඇති බවයි.

තමන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ සංශෝධනවලට අවසර නොලැබීමෙන් දේශපාලනඥයන් දූෂිත වීමට මෙන්ම දූෂිත දේශපාලනඥයන් අති දූෂිණය වීමට ඇති ඉඩකඩ ගැන ද ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.

පසුගිය වසර කීපයේදී කූට ජාවාරම්කරුවන්ගෙන් බිලියන ගණනක් රටට අහිමි වී ඇති බව පෙන්වාදෙන ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත කරගැනීම ජාතික කර්තව්‍යයක් බවද කියා සිටී.

ඔහුගේ යෝජනාවට අපගේ ආචාරය හිමිවෙනු ඇත. 1948 බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මේ රට මුදාගැනීමෙන් පසුව දිනෙන් දින රට ගියේ වළපල්ලටය. වරින්වර කෙරුණු ඇතැම් සංවර්ධන යෝජනා රටට හිතකර වුවත් සමස්තයක් ලෙස අප රට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් කරා මෙහෙයවීමට මේ රට පාලනය කළ දේශපාලනඥයෝ සමත් වී නැත. ඒ සඳහා යහපත් ආරම්භයක් ලබාදීමට අපගේ දේශපාලනඥයන් මෙන්ම අප රටේ ඉහළ තනතුරු දරන සියල්ලෝම සිය සද්භාවය, අවංකභාවය, විනිවිදභාවය පෙන්විය යුතුය. ඒ සඳහා ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා “වත්කම් සහ වගකීම්” ප‍්‍රකාශ කිරීමේ පනතට ගෙනෙන සංශෝධන පිටිවහලක් වනු ඇත.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More