පුරවැසි කොලම

ඉකුත් මැයි 1 වැනි දින ජනතා විමුක්‌ති පෙරමුණෙහි පමණක්‌ මැයි දින පෙළපාලිය යාපනයේදී පැවැත්විණ. වෙසක්‌ සතිය නිමිත්තෙන් රජය මැයි දින උත්සවය මැයි මස 07 වැනිදාට නිල වශයෙන් කල්තබා තිබුණි. ජ. වි.පෙ. හි උක්‌ත පෙළපාලියේ රතු කමිසයක්‌ හැඳ ඉදිරියෙන්ම ගමන් කළේ ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ය. වර්ෂ 2001 දී දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා එල්. ටී. ටී. ඊ. සංවිධානය යැයි ප්‍රකාශ කළේ ද්‍රවිඩ සංධානයයි. 2004 වසරේදී කොටි ත්‍රස්‌තවාදී එල්. ටී. ටී. ඊ. ය, මහ මැතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස නම් කළේ ද්‍රවිඩ සන්ධානයේ පුද්ගලයන් ය. ඔවුන් ආසන 22 ක්‌ ජයග්‍රහණය කළ අතර එම මන්ත්‍රීන් දිවුරුම් දුන්නේ ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් සහ කොටි ත්‍රස්‌ත නායක ප්‍රභාකරන් ඉදිරිපිටය. 2008 වසරේදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය, හොඳින් හෝ නරකින් ඊළාම් රාජ්‍යය ලබාගත යුතුය යන 1976 වඩුක්‌කොඩෙයි සම්මුතිය පිළිගත්තේය. ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානම පක්‍ෂය වනුයේ ඉලංකෙයි තමිල් අරසුකච්චිය. අනුර කුමාර දිසානායක අත්වැල්බැඳගෙන මැයි 1 වැනිදා කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙළපාලි ගියේ එහෙව් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සමඟය.

ආසන 16 ක්‌ පමණක්‌ හිමි ද්‍රවිඩ සන්ධානය අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂය වී තිබේ. ආසන 53 ක්‌ තිබෙන (දැන් ආසන 53 + 16 = 69 කි) ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ කිසිදු තනතුරක්‌ නැත. ජවිපෙ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකය. ද්‍රවිඩ සන්ධානය තවමත් ඉල්ලන්නේ “ඒකීය රටක්‌ නොව එක්‌සත්” රටක උතුර නැගෙනහිර එක්‌ කළ හැකි ස්‌වයංපාලන, පෙඩරල් රාජ්‍යයකි. අපේ “ඒකීය” රට 1987 දී ඊනියා ඉන්දු ලංකා ගිවිසුමෙන් පළාත් 9 කට බෙදා “එක්‌සත්” කිරීමට මග පෑදුවේ 13 වැනි සංශෝධනයයි. එදා ජවිපෙ, තරුණ ජීවිත 60,000 කගේ පමණක්‌ නොව තම නිර්මාතෘවරයාගේ පවා ජීවිතය පුදා 13 වැනි සංශෝධනයට විරෝධය පෑවේය. ඉන්දියාව විසින්ම නිෂ්පාදිත 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක වීම වැළැක්‌වීමට සහ එය ජනමත විචාරණයක්‌ කරා යොමුවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය “බාධක” ස්‌වල්පයක්‌ හෝ අන්තර්ගත කිරීම සඳහා ඉන්දියාව සමඟ “කේවල්” කිරීමට එදා ඡේ. ආර්. ජයවර්ධනට හැකි වූයේ ජවිපෙ විසින් දියත් කළ එම ප්‍රචණ්‌ඩ මහජන විරෝධයයි. අද ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ඇති ජයම්පති වික්‍රමරත්න සහ සුමන්දිරන්, ගලවා ඉවත් කරන්නට හදන්නේ ඡේ. ආර්. ජයවර්ධන ජනපති ජ.වි.පෙ. විරෝධය පෙන්වාලමින් දමා ඇති එම ව්‍යවස්‌ථාමය බාධකයි. ජවිපෙ නායක අද අත්වැල් බැඳගෙන ඇත්තේ එහෙව් සුමන්දිරන් සමගය.

එය එදා 13 ට විරුද්ධව දිවිදුන් තරුණ කැළ සහ තම නිර්මාතෘවරයාවද ඉතා නින්දිත ලෙස පාවාදීමක්‌ නොවන්නේ කෙසේද යන්න අනුර කුමාර දිසානායක අපට නොව හැට දහසකගේ මවුපිය සහෝදර ඥතීන්ට පහදා දිය යුතුව ඇත.

අද ජවිපෙ විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස ඉදිරිපත් කිරීමට යයි. පුද්ගලික මන්ත්‍රි යෝජනාවක්‌ ව්‍යවස්‌ථාමය සංශෝධනයක්‌ කරා යන ගමන් මග කෙසේ දැයි දන්නෝ දනිති. නමුත් එවන් යෝජනාවක්‌ හෝ කිරීමට අනුර කුමාරට සදාචාර අයිතියක්‌ තිබේද? දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනපති ධුරය හෝ ජනපතිගේ විධායක බලය හෝ අහෝසි වුවහොත් අපේ රටේ මධ්‍යම රජයට ඇඟිලි ගැසිය නොහැකි ස්‌වාධීන පළාත් ආණ්‌ඩු 9 ක්‌ ස්‌ථාපිත වන බව කුඩා දරුවෙක්‌ වුවද දන්නා කරුණකි. වෙනත් වචනවලින් කිවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි වුවහොත් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇත.

අප පෙර ලිපියකින් සඳහන් කළ පරිදි 13 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඪාධිකරණ විමසුමට ලක්‌ වූ විට අග්‍ර විනිශ්චයකාර ෂර්වානන්ද ප්‍රමුඛ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය වූයේ ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් තම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කරන බැවින් ශ්‍රී ලංකාවේ “ඒකීය” භාවය නොනැසී රැකී තිබෙන බවයි. එසේ නම් එම ශ්‍රේෂ්ඪාධිකරණ තීන්දුවට අනුව ගතහොත් විධායක ජනපති ධුරය අහෝසි කළ යුතු යෑයි ජවිපෙ දඟලන්නේ රටේ “ඒකීය” භාවය නැසීමට නොවේද?

නමුත් ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායකට විධායක ජනපති ධුරය තිබුණත් නැතත් එය එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. ඔහු මේ කිරීමට යන්නේ රනිල්ගේ සුවච කීකරු සේවකයෙක්‌ ලෙස දුෂ්ට ආකාරයෙන් ඔහුගේ කොන්ත්‍රාත්තුවක්‌ ඉෂ්ට කිරීමටයි. ව්‍යවස්‌ථා සංශෝධනයට සහ එහි රට පෙඩරල් කිරීමේ මෙහෙයුම් කමිටු වාර්තාවට එල්ලවූ දැඩි විරෝධය නිසා රනිල්ට දැන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක. එබැවින් දැනට ආකර්ෂණීය පාඨයක්‌ වන “විධායක ජනපති ධුරය අහෝසි කිරීම” යන්න උපයෝගී කරගෙන ඒ මුවාවෙන් අනුර කුමාර කරන්නට යන්නේ ඒ තුළින් 20 වැනි සංශෝධනය ගෙනැවිත් කාරක සභා අවස්‌ථාවේදී 19 වැනි සංශෝධනයේදී කළාක්‌ මෙන් දැනට 13 මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ස්‌වල්පය හෝ කාටත් නොදැනී වංචා සහගත ලෙස ඉවත් කිරීමයි.

උදාහරණයක්‌ ලෙස දැනට උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් උතුරේ පන්සල් ඉවත් කළ යුතු යෑයි නීතියක්‌ ගෙනාවොත් ආණ්‌ඩුකාරවරයාට ජනාධිපති විධායක බලය පාවිච්චි කොට එය නැවත හරවා යෑවිය හැක. නමුත් 20 වැනි සංශෝධනයේදී ආණ්‌ඩුකාරවරයා පත් කළ යුත්තේ ප්‍රධාන ඇමැතිගේ කැමැත්ත අනුව යෑයි අනුමත වුවහොත් ඉන්පසු ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වන්නේ ප්‍රධාන ඇමැතිගේ හෙංචයියෙක්‌ය. එවන් ආණ්‌ඩුකාරවරයෙක්‌ කෙලෙසකවත් ප්‍රධාන ඇමැතිගේ නීතියක්‌ / ප්‍රඥප්තියක්‌ හරවා යවන්නේ නැත. එවන් තත්ත්වයක්‌ මත ජනාධිපතිගේ විධායක බලය තිබුණත් කිසිත් ඵලක්‌ නොවනු ඇත. අනුර කුමාර දිසානායක රනිල් සහ සුමන්දිරන් සමග එක්‌වී දේශප්‍රේමී ජනතාව ඉතාම නින්දිත ලෙස රවටන්නට යන්නේ ඒ ආකාරයෙනි.

නමුත් එදා පෙර සඳහන් කළ පරිදි ජවිපෙ රට ලේ ගංගාවක්‌ බවට පත් කළේ 13 ට විරුද්ධව පළමු වැනි පළාත් සභා ඡන්දයට ඡන්දය දීමට එන පළමුවැන්නාගේ අත කපා දමන බව ප්‍රකාශ කළේ ද ජවිපෙයි. එයට විරෝධය පෑමට විශ්වවිද්‍යාල සියල්ල වසා දැමුවේද ඔවුන් ය. එහිදී සටන් පාඨය වූයේ “පළමුව මවුබිම, දෙවනුව ඉගෙනුම” යන්නයි. පළාත් සභා සුදු අලියෙක්‌ය. යනුවෙන් එදා සිටම දැඩි ලෙස විවේචනය කළ ජවිපෙ අද එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක, මහජනතාවගේ පමණක්‌ නොව ජවිපෙ පාක්‍ෂිකයන්ගේත් ඇස්‌වලට වැලි ගසමින් ඉවත් කිරීමට යැම, 13 ට එරෙහිව දිවි කැප කළ තම “දේශප්‍රේමී” වීර සොයුරු සොයුරියන්ගේ සොහොන් කොත්වලට මුත්‍රා කිරීමක්‌ නොවන්නේ කෙසේද යන්නත් අනුර කුමාර දිසානායක ජනතාවට පැහැදිලි කර දිය යුතු වේ.

ජවිපෙ බෙදුම්වාදයට විරුද්ධව රටේ ඉතිහාසයේ තැබූ සලකුණ සදාකාලික වන අතර එය කිසිවකුට මකා දැමිය නොහැක. ජවිපෙට අද ජනතාවගේ ප්‍රසාදයක්‌ ගෞරවයක්‌ තිබේ නම් ඒ ඇත්තේ ඔවුන් විසින් ඉෂ්ට කරන ලද එම ඓතිහාසික භූමිකාව නිසාය. නමුත් එම ජනප්‍රසාදය වර්තමාන ජවිපෙ නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා ශීඝ්‍රයෙන් අඩුවී ඇති අන්දම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කදිමට ප්‍රදර්ශනය විය. ඔවුන් 15% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගැනීමට උත්සාහ කළ ද ලැබුණේ 6% ක්‌ පමණි. ජවිපෙහි නිර්මාතෘවරයා සහ දිවි පිදූ ජවිපෙ සොයුරු සොයුරියන් මේ අයුරින් පාවාදීම තුළ ඉදිරි ඡන්දයකදී එය 1% දක්‌වා අඩු වුවහොත් අප පුදුම විය යුතු නැත.

ජවිපෙ අද එබැවින් දෙමළ ජනතාවගේ අනුකම්පාව සහ ඡන්ද ලබා ගැනීමට මැයි දිනයේදී යාපනයට ගොස්‌ උතුරේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය ගැන කතා කරයි. කිසිම රජයක්‌ උතුරේ සංවර්ධනයක්‌ කර නැතැයි පවසයි. යුද්ධයෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය උතුරේ කර ඇති දැවැන්ත සංවර්ධන නොදකින්නේ අන්ධයෙක්‌ පමණි. රටේ සංවර්ධන වේගය එදා 7% ක්‌ වන විට උතුරේ සංවර්ධන වේගය 22% ක්‌ විය. අනුර කුමාර මේ බොරු කියන්නේ කාටද?

ඔහු අත්වැල් බැඳගත් සුමන්දිරන් මීට දින කිහිපයකට පෙර ඉතා පැහැදිලිව කිව්වේ උතුරේ බුදු පිළිම / පන්සල් සෑදීමට ඉඩ නොදෙන බවය. ඔහු විසින් නාගදීපයේ එවන් ඉදිකිරීම් සිදුවේදැයි බැලීමට මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ද යවා තිබේ. එයට අද වනතුරු ජවිපෙ විරුද්ධත්වය පළ කළේ නැත. සුමන්දිරන් ව හුරතල් කරන අනුර කුමාර එයට විරුද්ධ නොවන්නේ දෙමළ ඡන්ද උදෙසා ය. ජවිපෙ නායක ඡන්දවලට රටේ බෞද්ධ සංස්‌කෘතිය පාවාදී ඇත්තේ ඒ ලෙසටය.

ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමට ගත් තීරණයට පාර්ලිමේන්තුවේදී අප විරුද්ධ වන විට එය සාධාරණ යෑයි කියමින් අපට අපහාසාත්මක මුඛයෙන් කතා කළේ ජවිපෙ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ය. ඒකීය රටක තිබිය යුත්තේ එක්‌ ජාතික ගීයක්‌ පමණි. ජාතික ගී දෙකක්‌ තිබීම අනුමත කරන්නා රටේ ඒකීයභාවය ගැන තැකීමක්‌ නොකරන්නෙකි. ජාතික ගීය යනු රටක අනන්‍යතාවයි. අනන්‍යතාවක්‌ පරිවර්තනය කළ නොහැක. එබැවින් ජාතික ගීය ඉංගී්‍රසි කතා කරන අය ගැයුවත්, දෙමළ කතා කරන්නන් ගැයුවත් ගායනා කළයුත්තේ එකම ගීයකි. ජාතික ගීය ඉංගී්‍රසියෙන් ලියූ පසු ද කියවිය යුත්තේ ශ්‍රී ලංකා මාතා යනුවෙන් මිස ශ්‍රී ලංකා මදර් යනුවෙන් නොවේ. හඳුන්නෙත්තිගේ නම් ඉංගී්‍රසියෙන්a ලියන විටත් ලිවිය යුත්තේ හඳුන්නෙත්ති කියා මිස සැන්ඩ්ල් වුඩ් නෙත්ති ලෙස නොවන්නාක්‌ මෙනි. තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන තම නම දෙමළ භාෂාවෙන් ලියන විට පරිවර්තනය නොකරන හඳුන්නෙත්ති ජාතියේ / රටේ අනන්‍යතාව ප්‍රකාශ වන ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ “යනුවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කොට ගායනා කළ යුතු යෑයි කියන්නේ දෙමළ ජනතාවට තිබෙන ආදරය නිසා නොව උතුරේ වෙනම රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට වලිකන බෙදුම්වාදී දේශපාලනඥයන් තෘප්තිමත් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීම උදෙසාය. වර්තමාන ව්‍යවස්‌ථාවද අමු අමුවේ උල්ලංඝනය කරමින් තමන්ගේ පැවැත්ම උදෙසා රටේ ජාතික ගීය පවා ජවිපෙ පාවාදී ඇත්තේ ඒ අයුරිනි.

පසුගියදා එංගලන්තයේ බී. බී. සී. ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වූ ජවිපෙ බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසා සිටියේ මේ රට සිංහල බෞද්ධ රටක්‌ නොවන බවයි. 1815 දී සුද්දාට රට පවරන ඊනියා උඩරට ගිවිසුම අත්සන් කරනවිට පරදේශක්‌කාරයන් පවා මෙය බෞද්ධ රටක්‌ බව පිළිගත් බව සියල්ලෝම දන්නා කරුණකි. කතෝලික ප්‍රජාවේ ප්‍රධානියා වන මැල්කම් රංජිත් පියතුමා පවා මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක්‌ බව ඉතා ඕනෑකමින් පිළිගනී. පූජ්‍ය කඹුරුපිටියේ වජිර ස්‌වාමින් වහන්සේගේ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වූ ප්‍රසිද්ධ මුස්‌ලිම් ආගමික නායකයා පවා කීවේ මෙරට බෞද්ධ ධර්මද්වීපයක්‌ බව අප අමතක නොකළ යුතු බවයි. අපේ රටේ මෙතරම් මුස්‌ලිම් පල්ලි, හින්දු කෝවිල් සෑදෙන්නේ මේ රට සිංහල බෞද්ධ නිසාය. ඕනෑම රටකට තමන්ටම ආවේණිකවූ අනන්‍යතාවක්‌ තිබේ. අපේ බෞද්ධ අනන්‍යතාවයෙන් වෙනත් කිසිම ආගමකට මෙතෙක්‌ කිසිදු අනර්ථයක්‌ සිදුවී නොමැත. ඇමරිකාවේ තේමාව වනුයේ “දෙවියන් වහන්සේ යටතේ එකම ලෝකයක්‌” යන්නයි. එංගලන්තයේ මහ රැජනට ඔටුනු පළඳන්නේ කැන්ටබරි ආච් බිෂොප්තුමාය. මැද පෙරදිග රටවල රාමසාන් (නෝම්බි) මාසය තුළ විදේශිකයන්ට පවා දිවා කාලයේ ආපනශාලාවල ආහාරගැනීමට නුපුළුවන. විදේශිකයන් තම නිවෙස්‌ තුළ කෑම පිසින්නේද හොර රහසෙනි. ලෝකයේ අන් රටවල් එසේ වෙද්දී වසර 2500 ක්‌ තිස්‌සේ ථෙරවාදී බුදුදහම රැකගෙන සිටින සිංහලයන් ජීවත් වන අන් සියලුම ආගම්වලට පූර්ණ නිදහස දී ඇති, මේ රට සාම්ප්‍රදායික වශයෙන් හෝ සිංහල බෞද්ධ නොවේ යෑයි කිව හැක්‌කේ පෞද්ගලික වාසියක්‌ තකා කටයුතු කරන කුහකයෙක්‌ට පමණි. ජවිපෙ සුළුජාතීන්ගේ ඡන්ද සඳහා බුද්ධාගම ද පාවා දී ඇත්තේ එලෙසය.

දැනට කුප්‍රකට වී ඇති සිංගප්පූර් එකඟතාව ගැන අප දැන සිටිමු. ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ සඳහන් වී තිබෙන්නේ මංගල සමරවීර සිංගප්පූරුවේදී ද්‍රවිඩ සංධානයේ සුමන්දිරන් ඇතුළු කණ්‌ඩායම ඉදිරියේ හිඟන්නෙක්‌ සේ බැගෑපත් වූ බවයි. ඔහු බැගෑපත්වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නේ නම් ඕනෑම දෙයක්‌ කරදීමට එකඟ වන බවටයි. එසේ එකඟ වූ කාරණා අතර ප්‍රධානම දේ වන්නේ 13 ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන සියලු බාධක ඉවත් කොට රට පෙඩරල් කිරීමයි. රනිල් වික්‍රමසිංහ එම ඊනියා ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පත් කළ අනුකමිටු වලින් ප්‍රධානම කමිටුව වන්නේ රට පෙඩරල් වනවාද නැද්ද තීරණය කරන මධ්‍ය පර්යන්ත සබඳතා අනු කමිටුවයි. එහි සභාපතිවරයා වශයෙන් පත් කළේ ප්ලොට්‌ ත්‍රස්‌ත සංවිධානයේ හිටපු නායක කොටි ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සංධානයේ පා. මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ය. එසේ කළේ ඉහත සඳහන් සිංගප්පූර් එකඟතාවට අනුවය. නමුත් ජනතාවගේ දැඩි විරෝධය මධ්‍යයේ ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටු වාර්තාව යටපත් කිරීමට රනිල්ට සිදුවුණි. නමුත් ජිනීවා 30/1 යෝජනාවට අනුව ඔහු එය ලබන මාර්තුවලට පළමුව සිදු කළ යුතුය. ඒ කොන්ත්‍රාත්තුව, රනිල් වෙනුවෙන් භාර ගෙන ඇත්තේ පෙර කී පරිදි ජවිපෙහි අනුර කුමාර ය.

මැයි මස 3 වැනි දින සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී අප මාතෘ භූමියේ ත්‍රෛනිකායික සහ කෝට්‌ටේ සියලුම අනුනායක හිමිවරුන් මහාචාර්ය / ආචාර්ය පණ්‌ඩිත හිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේ 400 නමකට අධික සංඛ්‍යාවක්‌ සහභාගී වූ ජාතික නියෝජිත මහා සඟ සමුළුවේද ජවිපෙ හි නායකයන් මෙසේ රට සහ ජාතිය පාවාදීම පිළිබඳව සඳහන් වුණි. ජවිපෙ රට බෙදීමට විරුද්ධව දිවි දුන් 60,000 ක්‌ නින්දිත ලෙස පාවා දෙන බව ප්‍රකාශ වුණු අතර 20 වැනි සංශෝධනය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කිරීමට සංඝ ආඥාවක්‌ පවා නිකුත් කරනු ලැබීය. පක්‍ෂයේ සහ පක්‍ෂ නිර්මාතෘවරයාගේ ප්‍රතිපත්ති ඩොලර්වලට සහ නොයෙකුත් වරදානවලට පාවාදෙන නායකයන් පලවා හැර එදා මෙන් ඒකීය රටක්‌ සඳහා කැපවන ප්‍රතිපත්ති කුමන වරප්‍රසාදයකට හෝ පාවා නොදෙන දේශප්‍රේමී නායකයකු පත් කරගන්නා මෙන් අප සියලුම අවංක ජවිපෙ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමු.

(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More