ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිරයන්ගේ පුත් උවිඳු විජේවීර තම දේශපාළන ප්‍රවේශය සනිටුහන් කරමින් “දෙවන පරපුර” නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඇති අතර ඉකුත් කාලය පුරා ක‍්‍රියාත්මක වී ඇති එම සංවිධානය තරුණ ප‍්‍රජාව ඉලක්ක කර භාෂා පන්ති පහක් පැවැත්වීම, සංවිධානය ආර්ථික අතින් සවිමත් කිරීම සඳහා කාබනික වගා ගොවිපොළ ඇති කිරීම වැනි සැලසුම් කිහිපයක් ක‍්‍රියාත්මක කර තිබේ.
පහත පළවන්නේ “අපේ රට” වෙබ් අඩවිය සමඟ ඔහු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ වාර්තාවයි.
සිංහල බෞද්ධ කියන අත්තිවාරමේ ඉඳලා අපි කටයුතු කරන්නේ – මට මඩගහන්නේ ජවිපයේ පහළ ස්ථරයේ සාමාජිකයෝ නෙවෙයි – ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී යන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා..!
විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. මේ වනවිට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඞී වෙන්වී ගිය සාමාජිකයන් සහ 71 මහ නඩුවේදී රෝහණ විජේවීර සමග විරසක වූ ප‍්‍රබල සාමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටියි.
එසේම ඊට ප‍්‍රවේශ වීම සඳහා රට පුරා විසිරී සිටින 71 අරගලයට සහභාගි වූ සාමාජිකයන්ගේ දූවා දරුවන්ගේ එකතුවෙන් “දෙවැනි පරපුර” නමැති සංවිධානය ගොඩනගාගෙන ඇති අතර ඉකුත් කාලය පුරා ක‍්‍රියාත්මක වී ඇති එම සංවිධානය තරුණ ප‍්‍රජාව ඉලක්ක කර භාෂා පන්ති පහක් පැවැත්වීම, සංවිධානය ආර්ථික අතින් සවිමත් කිරීම සඳහා කාබනික වගා ගොවිපොළ ඇති කිරීම වැනි සැලසුම් කිහිපයක් ක‍්‍රියාත්මක කර තිබේ.
පළමු වරට පුවත්පත් සාකච්ඡාවකට ඔහු හා සම්මුඛ වන විට සිය පියා මෙන් තොප්පියක් හිස ලාගෙන ජැකෙට්ටුවක් පැළඳ සිටි ඔහු දැන් බාහිරින් පවා වෙනස්ව ඇත. යන්තම් කණින් කොනින් ඇසෙන්නේ ඒ වෙනස් වීමත් සමග රට පුරා ඇවිද යන ඔහු නව දේශපාලන ව්‍යාපාරයකට අඩිතාලම දමමින් සිටින බවය. ඔහු අන් කවරෙකු නොව මේ රටේ සැබෑ විප්ලවවාදියකු වූ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරය. 71 අරගලයට 50 වසරක් සපිරෙන අභිමුව උවිඳු විජේවීර මේ කඳවුරු බඳින්නේ කුමකටද?… අපි මේ ඇරඹුවේ එතැනිනි.
* උවිඳු, අඳින ඇඳුම පවා වෙනස් කරල මොකටද ඔබ මේ සැරසෙන්නෙ. 71 වගේ අරගලයකටද?
එක්තරා ආකාරයකට මේකත් අරගලයක් තමා. ශ‍්‍රී ලාංකිකයෝ හැටියට මේ රටට අවංක ජාතික දැක්මක් සහිත වැඩපිළිවෙළක ලොකු අවශ්‍යතාවක් මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ “දෙවැනි පරපුර” කියන ව්‍යාපාරය පටන් ගන්නෙ. මේ සමාජ ව්‍යාපාරය අපි බිංදුවේ ඉඳන් පටන්ගෙන මේ වෙනකොට සමාජගත කරමින් තිබෙන්නේ. රට ගැන හිතන අවංක මිනිස්සු එක්ක මේ ව්‍යාපාරය ගොඩනැගෙන්නෙ. එහෙම ගමනක තමයි දැන් අපි මේ දුවන්නෙ. දැනට අපි දිස්ත‍්‍රික්ක එකොළහක අපේ දෙවන පරපුර ව්‍යාපාරයේ සාමාජිකත්වය කි‍්‍රයාත්මක වෙමින් තියනවා.
* දෙවැනි පරපුර ගොඩනැගෙන්නේ 71 අරගලයේ සිටි සාමාජික සාමාජිකාවන්ගේ දුවා දරුවන්ගෙන්ද
අපි මේ ව්‍යාපාරය පටන් ගන්නෙ 2015 වසරෙදි. ඒකෙ මුල් නම තමා 71 දෙවැනි පරපුර. එදා ජනතා විමුක්ති පෙරමුණේ 71 අරගලය කරපු, අවංකව රටේ වෙනසක් වෙන්න ඕන කියල තමන්ගෙ ශ‍්‍රමය ධනය කාලය සියල්ල වැයකරපු විරුවන් පිරිසකගෙ දරුවෝ තමයි 71 දෙවැනි පරපුර නිර්මාණය කරන්නෙ. එතකොට මම රුසියාවේ. මටත් ඒ සමග සම්බන්ධ වෙන්න කියල ලැබුණ ආරාධනාව අනුව ව්‍යාපාරය පටන්ගෙන මැද තැනකදි තමා මම එයට සම්බන්ධ වෙන්නෙ. නමුත් දැන් මගේ මූලිකත්වයෙන් මේ ව්‍යාපාරය 71 දෙවැනි පරපුරට විතරක් සීමා කරන්නෙ නැතිව සමස්ත ලංකාවේම ක‍්‍රියාත්මක කරමින් මේ තියෙන්නෙ.
* වම කියන්නෙ දැන් කෑලි කෑලිවලට කැඞී බෙදී වෙන්ව සිටින දේශපාලන ව්‍යාපාරයක්. එවැනි දුර්වල වූ බලවේගයක් එක්ක ඉදිරියට යන්න පුළුවන්ද
වම කියන්නෙ හොඳ මිනිස්සු ඉන්න තැනක්. අපි කියන්නෙ මේ මොහොතේ හොඳ මිනිස්සු මේ මොහොතේ එකතු වෙන්න ඕන. එක්ව ජයගන්නවා හැර වමට වෙන විකල්පයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණත් කොටස් තුනකට කැඩිල තියෙන්නෙ. පක්ෂයේ හිටපු අරටුව නැත්නම් පූර්ණකාලීනව වැඩ කරපු පිරිස පෙරටුගාමීන් ලෙස කැඩුණා. රටට ආදරය කරන විමල් වීරවංශ මහත්තයාත් එක්ක තවත් පිරිසක් ජාතික නිදහස් පෙරමුණ විදියට කැඞී වෙන්වුණා. රෝහණ විජේවීර 1989 මිය යනකොට මේ රටේ තිබ්බෙ ප‍්‍රධාන කඳවුරු දෙකයි. ඒ රටට ද්‍රෝහී කඳවුර සහ රටට ආදරය කරපු දේශපේ‍්‍රමී කඳවුර. එතකොට 89 ජවිපෙ දියත් කරන්නෙ කොමියුනිස්ට් විප්ලවයක් නෙවෙයි. දේශපේ‍්‍රමී අරගලයක් කරන්නෙ. සටන් පාඨය වුණේ මව්බිම නැත්නම් මරණය. දේශපේ‍්‍රමී කොඩිය තිබුණේ විජේවීර ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ අතේ. ජාතික මතවාදයේ කොඩිය. 89 පස්සෙ එනකොට ඔය කොඩිය ජවිපෙ අතේ තිබ්බා. නමුත් දෙදහස් පහ හය වෙනකොට ජවිපෙ ඒ කොඩිය තමන්ගෙ අතින් නැති කරගත්තා. අද ඒ කොඩිය අරන් යන්නෙ වෙන පිරිසක්. මම කියන්නෙ අපි එකතුවෙලා ඒ කොඩිය දිනාගන්න ඕන. මතවාදී වශයෙන් ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රධාන කොටස් තුන එකතු වෙන්න ඕන.
* දෙවැනි පරපුර ව්‍යාපාරයට වැඩියෙන් ඉලක්ක වී තිබෙන්නෙ මේ රටේ තරුණ ප‍්‍රජාව. ඔවුන්ව ආකර්ෂණය කරගන්න අලූත් දැක්මක් සංකල්පයක් තියනවද?
ලංකාවට තවත් දේශපාලන පක්ෂයක් හෝ ඡුන්දය ඉල්ලන කණ්ඩායමක් නෙවෙයි ඕන වෙන්නෙ. එතැනින් අපි පොඞ්ඩක් එළියට එනවා. නමුත් මේක වෙනස් කරන්න දේශපාලන බලය අවශ්‍ය වෙනවා කියන එක අපි දන්නවා. මේ රටේ ඉතිහාසය පුරා චෝල, මාඝ වැනි විවිධ ආක‍්‍රමණ පැමිණ තිබෙනවා. ඒ ආක‍්‍රමණවලදි රජතුමා බලය අත්හැර පලාගොස් තිබෙනවා. හැබැයි ඒ ආක‍්‍රමණවලින් පසුව නැවත රට මුදා ගත්තම නියම උරුමක්කාරයා තමයි නැවත බලයට ඇවිත් අපේ කුඹුරු ටික හදල, පන්සල් ටික හදල අපේ පැවති ක‍්‍රමවේදය නැවත ස්ථාපිත කරන්නෙ. නමුත් බි‍්‍රතාන්‍ය යුරෝපීය ආක‍්‍රමණවලින් පසු එහෙම වෙන්නෙ නෑ. 48 පස්සෙ සුද්දා යනකොට මේ රටේ සැබෑ උරුමක්කාරයින්ට නැවත අයිතිය හම්බවුණේ නෑ. කළු සුද්දො ටිකකට තමා සුද්දගෙන් පස්සෙ අයිතිය ලැබෙන්නෙ. අවුරුදු 73 තිස්සේ පවතින මේ ප‍්‍රශ්නය පටන් ගන්නෙ එතැනින්. මේ දේ වෙනස් වෙන්න ඕන. ඒක පක්ෂයක් හදල පිරිසක් පාර්ලිමේන්තු යවල කරන්න බෑ. අපිට අවශ්‍ය වෙනවා ජාතික දැක්මක්, ජාතික චින්තනයක් සහ ජාතික වැඩපිළිවෙළක්. දෙවන පරපුර අපි වැඩ කරන්නෙ අන්න ඒ ජාතික චින්තනය හදන්න. ජාතික චින්තනය හදන්න හොඳම පිරිස තමා තරුණ ප‍්‍රජාව. එතනදි අපි සිංහල බෞද්ධ කියන අත්තිවාරමේ ඉඳල කටයුතු කරන්නේ. මේ රටේ තරුණ, වැඩිහිටි සෑම ස්ථරයකටම එම ස්ථාවරයේ සිට අමතනවා.
* ඉතිහාසය පුරා වැඩිපුරම අපි වාමාංශික ව්‍යාපාරවලින් දැක්කෙ ජනහමු පැවැත්වීම, විවේචනය කිරීම, උද්ඝෝෂණ වැනි ක‍්‍රියාකාරකම්. මේකත් ඒ සාම්ප‍්‍රදායික පීල්ලෙද ගමන් කරන්නෙ…
නෑ කිසිසේත් අපි එතන නෑ. අපි විශ්වාස කරන්නෙ විවේචනය කර කර කෑ ගගහා ඉන්නෙ නැතිව මොනවා හරි දෙයක් සමාජයට කරල පෙන්නන්න ඕන කියන තැන. කලින් කිව්වා වගේ අපි හඳුනගෙන තියනවා කෘෂිකර්මාන්තය කියන්නෙ මේ රටට අවශ්‍යම දෙයක් කියල. හැබැයි රටම කුඹුරු කරන තැනට නෙමෙයි අපි ගෙනියන්න ඕන. තාක්ෂණය භාවිතා කරල අඩු ඉඩකින් වැඩි අස්වැන්නක් ගන්න. ඒ නියමු ව්‍යාපෘතියක් විදියට තමා තලාව ප‍්‍රදේශයේ අපි කාබනික වගා බිමක් පටන් ගත්තෙ. මාලබේ ප‍්‍රදේශයේ නාගරික පලතුරු වගාව ආරම්භ කරේ. අපේ ක‍්‍රමය තමා හිඟන්නො වගේ මොකුත් නැතිව, සාක්කු හිස් කරන් සමාජ ව්‍යාපාර නිර්මාණය කරන තැනට නොයා මිනිස්සුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් වෙන විදියෙ වැඩපිළිවෙළක් ඇති කිරීම. තරුණ ප‍්‍රජාව දේශපාලකයන් පස්සෙ යන පුරුද්ද නවත්තලා ඔවුන්ගෙ ආර්ථිකයත් ස්වාධීනව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අපි ගෙනියන්නෙ. දැනට අපි තරුණයා ඉලක්ක කරගෙන පන්ති පහක් කරනවා. ඒක අසූ අට අසූ නවය කාලෙ කරපු පන්ති පහ නෙවෙයි. සංචාරක ක්‍ෂේත‍්‍රය ඉලක්ක කරගෙන ජර්මන්, ප‍්‍රංශ, චීන වැනි විදේශීය භාෂා නොමිලයේ ඉගැන්වීමේ පන්ති පහක් අපි කරන්නෙ. දෙවන පරපුරෙන් අපි මිනිස්සුන්ට දෙන්නෙ ටකරන් හෝ බත් පැකට් නෙවෙයි. අපි දෙන්නෙ මිනිස්සුන්ට දැනුම සහ හැකියාව. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් කොන්ද කෙළින් තියාගෙන ශක්තිමත්ව ගොඩනැගෙන්න. මේ රටට ඉදිරි පරම්පරාවට ඕන එහෙම දැක්මක්.
* 71 අරගලයට පනස් වසරක් සපිරෙන මොහොතක් එළැඹි තිබෙන්නෙ. 71 දෙවැනි පරපුර නිර්මාණය කරල පසුව දෙවැනි පරපුර විදියට මේ ව්‍යාපාරය සමාජ ගත කරන ඔබලා 71 අරගලයට පනස් වසරක් සපිරීම සමරන්නෙ කොහොමද
71 අරගලය සමාජගත වෙලා තියෙන්නෙ දේශපාලන කාරණාත් එක්කනෙ. ඊට වඩා මේකට ඓතිහාසික භූමිකාවක් තියනවා. අන්න ඒ භූමිකාව සමාජෙට පෙන්වා දෙන්න ඕන. අපිට අවශ්‍යයි 71 දී මොකද වුණේ කියන කාරණය දේශපාලනීකරණය කරන්නෙ නැතිව ඒ ඓතිහාසික වටිනාකම සමාජයට පෙන්වන්න. ඒ වෙනුවෙන් අපි වෙබ් සයිට් එකක් නිර්මාණය කරා. මොකද 71 දී අවංකව දිවි පිදූ අය වෙනුවෙන් ස්මාරකයක් කොහේවත් නෑ. ඉතින් ඒ අය අනුස්මරණය කරන්න පුළුවන් විදියට මේ වෙබ් සයිට් එකේ ඔවුන් 71 අරගලයේදි කරපු කාර්ය භාරයත් එක්ක ඡායාරූපයක් සමග විස්තර පළ කරනවා. ඒත් එක්කම 71 දී ආරක්ෂක අංශවල සේවය කරද්දි මිය ගියේ මේ රටේ සාමාන්‍ය පාන්තික මිනිස්සු. අපි ඒ අය අනුස්මරණය සඳහාත් මේ වෙබ් සයිට් එකේ තැනක් වෙන් කරල තියනවා. මේ මොහොතේ මම ආරාධනා කරනවා දැනට තොරතුරු ලබා නොදුන් අය ඉන්නව නම් මගේ ෆේස්බුක් පිටුවට හෝ ඒ තොරතුරු ලබාදෙන්න කියල. ඒකත් එක්ක 71 මහ නඩුවෙදි තාත්තත් එක්ක ඉඳල බෙදී වෙන්වූ පිරිසක් තවමත් ජීවත් වෙනවා. මේ හැමෝම ඉතිහාසයේ එක තැනකදි අවංක අරමුණක් වෙනුවෙන් එකතුවුණ මිනිස්සු. ඒ නිසා මෙතෙක් පැවති විරසකය නිමා කරල ඒ හැමෝටම ඒ අවංක කැප කිරීම වෙනුවෙන් නිසි ගෞරවය දෙන්න ඕන. ඉතින් 71 අරගලයේ පනස්වෙනි සැමරුමේදි ඒ අයට නිසි ගෞරවයක් දෙන්නයි අපේ දෙවැනි පරපුරේ අරමුණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...