එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳව 46/1 යෝජනා ජය ගැනීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එහිදී එතුමා පවසන ලද්දේ,
” පළමුවෙන්ම කියන්න තියෙන්නේ 46/1 කියන්නෙත් යෝජනාවක් නොවේ. ඔය කියන 46/1 ලියවිල්ලේ යෝජනා, චෝදනා සහ ඳඬුවම් කියන ත්‍රිත්වයම තියෙනව. එබැවින් එය “යෝචෝදය” ලෙස කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. 46/1 යෝචෝදය 30/1 යෝචෝදයේ සහ 40/1 මානව හිමිකම් කොමසාරිස්ට බලය ලබාදුන් යෝචෝදයේ දිගුවක්. එබැවින් ඇත්ත වශයෙන්ම 46/1 කියන්නෙ අප රටට හිතකර යෝජනාවලියක් නොවේ. එබැවින් රට වෙනුවෙන් යමක් ජයග්‍රහණය වුනා කියා සතුටු වෙන්න හැකි දෙයක් නොවේ. නමුත් අපිට මෙහි සතුටු වෙන්නට යමක් තියෙනව. එනම් ජාතික භික්ෂු සංවිධානය, ජාතික සංවිධාන සහ ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ විධායක කමිටුව රජයෙන් කරන ලද ඉල්ලීම් කිහිපයෙන් එකක් ඉටුවී තිබීමයි. එනම් ප්‍රතියෝජනා මර උගුලට පය නොතබන ලෙසත්, ප්‍රතියෝජනා වෙනුවට වෙනත් නමකින් හෝ එකඟවූ යෝජනාදී වශයෙන් තොණ්ඩුව ගෙලට නොදා ගන්නා ලෙසයි. ඒ ඉල්ලීම රජය විසින් අවසාන මොහොතේ හෝ ඉටුකර තියෙනව. ඒ පිළිබඳව ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක කමිටුවේ සියලුම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් රජයට ස්තුතිවන්ත වෙනව.
දැන් දුර්මතයක් ඇතිවීගෙන යනව 46/1 සම්මත වුනු බැවින් 30/1 පිළිබඳව ඊට විරුද්ධ කිසිත් කළ නොහැකි බවට. එසේනම් අපේ රනවිරුවන්ගෙන් 57 දෙනෙක් සදාකාලිකව යුද අපරාධ කරුවන් හැටියට සැලකිය යුතුයි කියලද කියන්නෙ? මෙය කිසිසේත් විය නොහැකියි. මේ ගැටළුවට විසඳුම් දිය හැකි ශ්‍රි ලාංකික නීතිඥවරයෙක් නොමැතිනම් ශ්‍රිමත් ජෙෆ්‍රි නයිස් වැනි ලෝක ප්‍රසිද්ධ නීතිඥයෙක්ගේ හෝ සහාය ලබාගත යුතුයි. අප සිතන්නේ ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම කිසි කලෙක උල්ලංඝණය කළ නොහැකි ජාත්‍යන්තර අයිතියක්. ඒ අනුව මානව හිමිකම් කොමිසමට කෙසේවත් තවකෙනෙකුගේ මානව හිමිකම් උල්ලංඝණය කළ නොහැකියි.
මෑතකදී ඇපෙන් බේරෙන්න වගේ ආණ්ඩුව LLRC සහ මැක්ස්වෙල් පරණගම කොමිසමේ කරුණු හදාරන්න කමිටුවක් පත්කරල තිබෙනවා. මේවා උගුරට හොරා බෙහෙත් කන වැඩ. එහෙම නම් අලුත් කමිටුවේ වාර්තාව අධ්‍යයනය කරන්න තව කමිටුවක් පත් කරන්න වේවි. එවිට දිගටම වාර්තාවෙ කරුණු හොයන්න කමිටු පිට කමිටු පත් කර කර ඉන්න සිදුවෙවි. ඒ තාක් කල් රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සිටිවි. කමිටු පත්කරන්න අවශ්‍ය ඔය කියන කොමිෂන් වාර්තාවල තිබුන දේවල් අධ්‍යයනය කරන්න නොවෙයි 30/1 යෝචෝදය අධ්‍යයනය කරන්නයි පූර්ණ බලතල සහිත කමිටුවක් පත්කළ යුත්තේ. අප ඒ දේ 2017 වසරේදී කළා. ඒක තමයි විරුවන්ගේ විත්තිවාචකය. ඇත්ත වශයෙන්ම අප සිදුකලේ 30/1 යෝචෝදයේ තිබෙන යහපාලන රජය විසින් කළ යුතුව තිබුණු නමුත් ඔවුන්ගේ රාජපක්ෂවරුන්ට තිබූ ද්වේශය සහ ක්‍රෝධය නිසා නොකරන ලද කටයුත්තක්. යහපාලන රජය රාජපක්ෂවරුන්ගෙන් පළිගත්තෙ රණවිරුවන් යුද අපරාධකරුවන් බව පිළිගනිමින්.
2015 දී යහපාලන රජය වෙනුවෙන් 30/1 යෝචෝදයට අත්සන් කළේ එවක ජිනීවාහී නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා. ඒ දිනවල මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැනුවත්ව රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර යන මහත්වරුන් දැනුවත්ව ඇමරිකාවේ අණ පරිදි රවිනාත මහතාගේ දෑත් බැඳ ගෙල හිරකරලයි තිබුනෙ. නමුත් රවිනාත මහතා ඔහුගෙ මොළය සහ හදවත හිරකරන්න දීල තිබුනෙ නැහැ. 30/1 යෝචෝදය අත්සන් කිරිමට පෙරදින රෑ යහපාලන බලවතුන් 25ස් වතාවකට වැඩිය බලපෑම් කරල තිබුන. නමුත් එතුමට අවසානයේදී 30/1 යෝචෝදයට අත්සන් කිරීමට පෙර හැකිවුනා අගනා වාක්‍යයක් එකතු කරන්න. එනම් මේ 30/1 යෝචෝදයේ ඇති කරුණු පිළිබඳව අධ්‍යයනයක් කරන්න. නමුත් රජයක් හැටියට යහපාලන රජය එය කළේ නැහැ. එපමණක් නොවෙයි, එවක සිටිය විපක්ෂයටවත් ඒ ගැන ඉල්ලීමක් කිරීමට හෝ නොහැකිවුනා. එයට හේතු වෙන්න ඇත්තෙ තමුන්ට එක පිට එක ආව දූෂණ සහ වංචා චෝදනා විය යුතුයි. එසේ ඔප්පු කළ නොහැකි චෝදනා ගෙන ඒමත් මේ ක්‍රීඩාවේ කොටස් විය හැකියි.
එබැවින් අප රජයෙන් ඉල්ලා සිටින්නේ 30/1 යෝචෝදනාවේ සඳහන් 30/1 යෝචෝදනාව අධ්‍යයනය කිරීමට කටයුතු කරණ ලෙසයි. ඒ සඳහා අප විසින් දායකත්වය දක්වන ලද විරුවන්ගේ විත්ති වාචකය අවශ්‍යනම් සළකා බැලිය හැකියි. එසේ කිරීමට යම් බාධාවක් තිබේ නම් රණවිරුවන් යුද අපරාධ කරුවන් යන ලේබලයෙන් ගලවා ගැනීමට සුදුසු යමක් කරන ලෙස ඉල්ලා සිටිනවා.
රණවිරුවනි, ඔබලාගේ නම පිරිසිදු කරනු වස් රජය ඉහත සඳහන් කිසිත් සිදුකරනු ලබන්නේ නොමැතිනම්, ඔබගේ මූලික අයිතිවාසිකම් රැකගනු වස් ඔබලාට එරෙහිව යුද අපරාධ චෝදනා පිලිගත් සහ ඊට පෙළඹවූ, සහයවූ සියලු දෙනාට එරෙහිව සහ වත්මන් රජයේ අදාල සියලු දෙනා වග උත්තර කරුවන් කරමින් ශ්‍රී ලංකාවේ අධිකරණයක නඩු පවරණ ලෙස අපි ඉල්ලා සිටිනවා. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ඔබට ජය පතන්නෙමු.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...