ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.
ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
“අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කළා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එවැනි එකඟතාවකට පැමිණියේ නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දියත් කිරීමට නියමිත ජලාශ ව්‍යාපෘති නවතා දමන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.
පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ද එසේ යුනෙස්කෝ සංවිධානය වෙත කරුණු වාර්තා කළ එක් පරිසර සංවිධානයකි.
අදාළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය මැදිහත් වී ඇත්නම් එය සතුටට කරුණක් වන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
එසේ වුවත් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය අතීතයේ කටයුතු කර ඇති ආකාරය දෙස බැලීමේදී එම ආයතනය ලබා දෙන සහතිකයන්හි වලංගුභාවය පිළිබඳ ගැටලු මතුවන බව ඔහු පෙන්වා දෙයි.
“මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා. නමුත් මේ ජලාශ ව්‍යාපෘති නවතා දැමීමට එකඟ වී ඇත්නම් එය ඉතාමත් හොඳ දෙයක්,”
හුදු “දේශපාලන ප්‍රකාශයකට” සීමා නොවී, සැබවින්ම එවැනි එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.
“වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න,”
“ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා,” යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.
(බීබීසී සිංහල සේවය)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...