දේශීය පුවත්

වෙන්නප්පුව ප‍්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම නිසා එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක්වී මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මෙම ජාවාරම් මර්දනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයද වහා ක‍්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා ඇත.

එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා ජාවාරම් මර්දනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම්ද පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් ප‍්‍රදේශය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙකුගේ ගෝලයෝය. මෙම ජාවාරම්කරුවන් මුදවා ගැනීමට අවස්ථා රැසකදීම අදාළ දේශපාලනඥයයා සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

එහෙත් එම බලපෑම්වලට යටත් නොවූ සහකාර පොලිස් අධිකාරිවරයා මෙම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් තිබිණි.

පසුව එම දේශපාලඥයා රජයේ ඉහළම දේශපාලනඥයකුට ආයාචනා කර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සහ ඒ මහතා යටතේ තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කළේය.

එයට අමතරව වෙන්නප්පුව ප්‍රදේශයම බිය ගන්වමින් “සිරිගම්පල” ගමේ වධකාගාරයක් පවා පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ යෙදුනු “ඕලු මරා” නැමැති පාතාලයා 2019 ඔක්තෝබර් 12 වන දින කොටුකර ගැනීමේ මෙහෙයුම ද සාර්ථකව සිදු කරමින් රහසිගත කරුණු රාශියක් හෙළිදරව් කරගැනිමට මග පෑදූ ප්‍රධාන පොලිස් නිළධාරියෙකි.

එරික් පෙරේරා මහතා මෙසේ මාරුකර යැවීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැඩි අප‍්‍රසාදය පළකර සිටින අතර ඉදිරි දිනවලදී ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටිති.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ දීර්ඝ කාලයක් රාජකාරි කළ දක්‍ෂ කාර්යශූර නිලධාරියෙකි.

නැගෙනහිර පළාතේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් සමග වසර ගණනක් සිදුකළ සටන්වල පුරෝගාමීවව කටයුතු කර ඇති එරික් පෙරේරා ත‍්‍රස්තවාදින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි නිලධාරියෙකි.

2001 වර්ෂයේ රජය සහ එල්. ටී. ටී. ඊ. ය අතර සාකච්ඡා ආරම්භ වීමෙන් පසු කාංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට පහරදීමට පැමිණි ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ එම කඳවුර භාරව කටයුතු කරමින් සිටි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින්ය.

එම සිද්ධියෙන් පසු එවකට රජය විසින් එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ද කටයුතු කර තිබිණි.

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තයන්ගේ මරණ ලැයිස්තුවට එරික් පෙරේරා මහතාගේ නම ඇතුළත් වූයේ මෙම සිද්ධියෙන් පසුවය.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More