මුහුණු පොතෙන්

ඉරි දෙක

March 25, 2021 1:04 pm | Lanka Lead News

……………
උදේ 9.20යි . නොදන්නා නොම්මරේකින් කෝල් එකක්.
පැයක විතර දිග හෑල්ලකින් පස්සෙ….
‘කෙල්ල මැරෙන්ට ඕන කියනවා. මොකක්ද ඩොක්ටර් මන් කරන්ටෝන??’
‘ටීචර් ඔහොමම ඉන්න. මන් එන්නම්.’
අහන්න ඕන අයගෙන් අහලා කියන්න ඕන අයට කියලා මන් එතනට ගියා. එතැන කිව්වට තැනට යන්න පැය එකාමාරක් විතරයි වන්ගු 75ක් විතරයි පහු කරන්ට වෙනවා.
‘මේන්!……….’
කොලයක් අස්සෙන් පටියක් ඇදලා පෙන්නනවා. පටියෙ රතු පාට ඉරි දෙකක් තියනවා .
කෙනෙක්ගෙ ජීවිතේට ඉරි දෙකක බලපෑම කොයි වගේද?
කෙනෙක් ජීවිතේම සතුට ඉරි දෙකක හොයද්දි තව කෙනෙක්ට ඉරි දෙකකින් ජීවිතේම නරක පැත්තට වෙනස් කරනවා.
‘හ්ම්! ‘
‘ඊලගට මොකද කරන්නේ? ‘
‘බලමු.!’
අනුරාධපුර පාසල් දරුවො මාර ස්මාර්ට්. ඒ අස්සෙ ඊටත් වඩා ස්මාර්ට් එවුන්ට අහුවෙලා ජීවිත කාලකන්නි කර ගන්න ප්‍රමානෙ ඊටත් එහා.
ඒ නිසාම අඩු වයස් ගැබ් ගැනීම් ගත්තාම අපේ දිස්ත්‍රික්කය ටිකක් ලොකු ඉලක්කමක් ගන්නවා. ඒ කියන්නෙ අපි ඉදිරි පෙල කීප දෙනා අතරෙ ඉන්නවා.
අනුරාධපුර ලමයි ලක්ශ දෙකක් ඉන්නවා. ඉස්කෝල 600 ක් තියනවා. ඔය ලමයි නා නා ප්‍රකාර අබියෝග ලක්ශ දෙකක් එක්කයි ජීවත්වෙන්නෙ.
අපි කොච්චර කෑ ගැහුවත් ලමයිට ඒ ඒ අබියෝගෙ ඇතුලෙ එයාලගෙ නිපුනතා අමතක වෙනවා.
නිපුනතා වලින් පිරිපුන් ලමේක් හදනවා කියන්නෙ හරියට චිකන් පීසා එකක් හදනවා වගේ වැඩක්. මුකුත්ම නැත්නම් රොටිය විතරයි. කවුරුත් ඒකට පීසා කියන්නෑ. හැබැයි රොටිය පොල් රොටිය වගේ තියෙන්ට බෑ . ගානට මිම්මට තියෙන්ට ඕන. ලමේක්ගෙ අද්‍යාපනේ මේ රොටිය වගේ.
අන්න ඒ ලමයා උඩට චීස්, තක්කාලි, ලූනු, අඩුම කුඩුම දැම්මම රොටිය පීසා වෙනවා. ඒත් ඒ පීසා එක, චිකන් පීසා එකක් ඉල්ලපු කෙනාට දුන්නට හරියන්නෙ නෑ. එයා ඉල්ලන්නෙ චිකන් පීසා එකක් ! එයා ඒක එපා කියනවා. මොකද අත්‍යාවශ්‍යම දේ නැති නිසා .
ලමේක්ටත් අත්‍යාවශ්‍යම නිපුනතාවයන් නැත්නම් එයා ලස්සන පීසා එකක් විතර්‍යි. ඒත් කන්න ගන්න කෙනෙක් නැති වෙයි.
චිකන් විතරක් තිබ්බත් චිකනුයි රොටියි වෙයි. පීසා වෙන්නෙ නෑ. ඒ නිසා අත්‍යාවශ්‍ය නොවන, එහෙත් ලස්සන කරන නිපුනතාවයනුත් ලමේක්ට ඕන. හැබැයි නැති වුනාට ගානක් නෑ. හරියට අමහරුන්ට සින්දුවක්වත් කියාගන්න බෑ වගේ. ඒත් එයා මැරෙන්නෑනෙ.
ඒත් කෙනෙක් මේ හදාගත්ත පීසා එකට බීෆ් ටිකක් හරි පෝර්ක් ටිකක් හරි සොසේජස් හරි එකතු කරොත්…?
ඒක තව දුරටත් චිකන් පීසා එකක් වෙන්නෙ නෑ. අවශ්‍ය නොවන දේවල් නිසා අපේ පීසා එක සවුත්තු වෙනවා. ඒ වගේ තමා අවශ්‍ය නොවන නිපුනතා නිසා ලමේක්ගෙ ජීවිතේ අබියෝග වැඩි වෙනවා.
මොනාද ඒ අවශ්‍ය නොවන නිපුනතා?
-මට පුලුවන් ගමකට නෙලන්න!
-මට පුලුවන් මෙහෙම කරන කොට කෙල්ලෙක් දා ගන්න.
-ටික් ගානකොට මන් අර කෙල්ලව ලයින් කරල පෙන්නන්නම්.
-මං කොල්ලො නටවන්න දන්නවා ඕන හැටියට.
-මට එක හුස්මට බෝතලයක් වුනත් බීවෑකි.
-මට ඕනනම් ඌව මෙතනම මරතෑකි.
ඇත්ත!
ඕවා හැමෝටම බෑ. ඒකත් නිපුනතාවයක් තමා හැබැයි ‘අවශ්‍ය නොවන’.
ආයෙත් ඉරි දෙකට.
අපේ ජීවිතේ, ලමේක් ඕන කාලයක් එනවා ඒ කාලෙට වඩා කලින් ලමයා ආවත් ප්‍රශ්න. පස්සෙ ආවත් ප්‍රශ්න. හරි කාලෙට ඒ වැඩේ වෙන්න ඕන.
චීචර් එක්ක පැයක කතා බහකින් පස්සෙ කෙල්ල එක්ක පැය තුන හතරක කතා බහකට යනවා .
ලමයා දන්නවා ප්‍රෙග්නනට් වෙන්න ලිංගික එක්වීමක් ඕන කියලා.
ඒක කැමැත්තක් ඇතිවද නැතිවද කියන එක ශුක්‍රානුවවත් ඩිම්බයවත් දන්නෙ නෑ. ඒක දන්නෙ කෙල්ලයි කොල්ලයි විතරමයි. ඒ නිසා අනවශ්‍ය කාලයට අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්ට කෙල්ල දැනුවත් වෙනට ඕන.
එතකොට කොල්ලා???
ඌට ගර්බාශයක් නැති නිසා ඌ ප්‍රෙග්නන්ට් වෙන්නෑ. ඒත් ඌ ගර්බාශයකින් ආපු එකෙක් නිසා ඌ හැදෙන්න ඕන තව කෙනෙකුට ගෞරව කරන්න පුලුවන් හදවතක් තියන පරාර්ත්කාමී විදිහකට.
අනපේක්ෂිත ලිංගික ඇසුරකින් පස්සෙ මුලින්ම මතක් වෙන්ට ඕන අම්මව. ඊලගට ප්‍රදේශයේ MOH ඩොක්ටර්ව හරි මිඩ් වයිෆ් නෝනව හරි මතක් කර ගන්ට ඕන. ඒත් නැත්නම් ඉස්කෝලෙ ඉන්න උපදේශන ගුරුවරයාව මතක් කරගන්ටෝන. ලමයි 300 ට වැඩි හැම ඉස්කෝලෙම උපදේශන ගුරුවරයෙක් ඉන්නවා. ඉස්සර ඈයො වගේ නෙවේ, එයාලා ඒ ගැන නිරන්තර පුහුනු වීම් වෙන අය.
ඔය එකෙක්වත් මතක් කර ගන්නෙ නැතිව, කොල්ලව විතරක් මතක් කර කර හිටපු ගෑල්ලමේක්ට, ඊටපස්සෙ එන අබියෝග සුලුපටු නෑ.
ඉස්කෝලෙ යන කෙල්ලන්ටත් අනපේක්ෂිත අවස්තා ඕන වෙලාවක් වෙන්ට පුලුවන්.
ඒක වනචර කමම නෙවේ. බය ලැජ්ජාව අනාරක්ෂිත කම, පාරිසරික සාදක හා දෙමාපිය රැකවරනය මත වෙනස් වෙනවා.
දුව , කොල්ලගෙ නම මොකක්ද?’
‘……’
‘ඔය අකුරු තුන විතරමද දන්නෙ?’
‘හම්’
‘කොච්චර කාලයක් තිබ්බ ප්‍රෙම සම්බන්දයක්ද?’
‘අවුරුදු 2ක් විතර!’
‘අවුරුදු දෙකක් තිස්සෙ ආස්සරේ කරපු ප්‍රේමවන්තයගෙ නමට අකුරු තුනයි කියන එකයි පෝන් නොම්මරෙයි ඇරෙන්න මුකුත් දන්නැති කෙලලක්ගෙන් සති 20ක මෝරපු දරු ගැබකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ’
ආදරේ හිතෙන එක නතර කරන්ට බෑ. ඒක නතර කරන්ට ඕන දේකුත් නෙවේ. හදවතින් ආදරේ කරද්දි එන ප්‍රශ්න වලට මොලෙන් උත්තර හොයන්න දරුවන්ට නිපුනතාවක් හදා ගන්න එක චිකන් පීසා එකේ චිකන් වගේ අත්‍යාවශ්‍ය නිපුනතාවක් වෙන්නම ඕන. ඒම නිපුනතා දහයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සෑහෙනකාලයක් තිස්සෙ අවදාරනය කරනවා. ඒවට කියන්නෙ ජීවන නිපුනතා කියලා.( 2016 ඉදන් මේ වෙනකන් පාසල් ලමයින්ට ඒක කියල දෙන්ට මාත් උත්සාහ කරනවා )
‘මන් මැරෙනවා’
‘ජීවිතේ වැරදෙන්නැති අය මේ ලෝකෙ නෑ. හැමෝටම වැරදෙනවා. වැරදිච්චි තැනින් ආපහු හැරෙන්න බැරි අය ලෝකෙ පැරදෙනවා.’
‘ඒත් මට ගෙදර යන්ට බෑ. මන් කෝමද ගමට මූන දෙන්නෙ. මන් එදා වගේ මොනා හරි බීලා මැරෙනවා ඩොක්ටර්’
‘පුතා, ජීවිතේ වැරදිච්ච අයගෙන්, මැරිච්ච අය ගැනද ලෝකෙ මිනුස්සු වැඩිපුර කතා කරේ මැරෙන්නැතිව ජීවත් විච්චි අය ගැනද ?’
‘මැරිච්චි අය ගැන’
‘ජීවත් වුනොත් ඔයා ගැන කතා කරන අය ගොඩක් දවසක් ඔයා ගැන හොයන එකක් නෑ.
මන් ගැන බලන්නකො. ඔයාගෙ ටීචර් ගැන බලන්නකො. ලොකු සර් ගැන බලන්නකො. අපෙ ජීවිතවල ඉස්කෝලෙ කාලෙ අපට මොනාද වුනේ කියල ඔයාට අහන්නවත් හිතෙන්නෑනෙ නේද ?
මොකද ඔලුව උස්සන් ඉන්න මිනිස්සු දිහා වට පිටාවෙ ඈයො බල්න්නෙ අද පිපිලා තියන විදිහ ගැන විතරයි. ඒත් පරවිච්චි මිනිස්සු දිහා එයාල බලන්නෙ අතීතෙ විතරයි . ඇයි පරවුනේ කියලා ‘
‘ඩොක්ටර් ඇන්ටි’
‘හ්ම්’
‘මට පුලුවන්ද ලමයා හම්බුනාට පස්සෙ ලමයාව බාර දීලා ඉගෙනගන්න.’
ඒකට තමා පරිවාසෙ තියෙන්නෙ. ලමේක්ට පුලුවන් එයාගෙ කුසේ ඉන්න දරුවා ඉපදෙනකන් වැඩි සමාජ අවදානමක් නැති පැත්තකට වෙලා ඉදලා දරුවා හම්බුනාට පස්සෙ පරිවාසෙට බාරදීලා ආයෙත් ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්න.
ඉස්කෝලෙ ලොකු සර් ඕකට ඉඩ,දෙයිද?
පෙලක් ලොකු සර්ලා ප්‍රෙග්නන්ට් වෙන්ටම ඕන නෑ බඩේ අජීර්නේකට වමනෙ ගියත් ඉස්කෝලෙ තහනම් කරන ලයින් එකක් තියන්නෙ.
මාත් අපේ ලොකු සර්ගෙන් ඇහුවා.
‘සර් මොකද කියන්නෙ.?’
‘මැඩම්. මේ ඉස්කෝලෙ තියෙන්නෙ ලමයින්ට ඉගෙනගන්ට මිසක් අපිට ඕන ඕන අයට උගන්න්නට නෙවේ.
(හප්පද බොල. මට හික් ගෑවිලා කට ඇරන් හිටියා)
මේක උන්ගෙ ඉස්කෝලෙ . උන් මේකට එන්ටම ඕන. වෙන කොහෙට යන්ටද
මන් හෙට දරුවා හම්බෙන්ට තියල අද ආවත් ඔය කෙල්ලට උගන්නනවා. මාව ගැටලුවක් කර ගන්ටම එපා.’
‘සර්ට අනික් අම්මලාගෙන් තාත්තලගෙන් ප්‍රශ්නයක් ආවොත් ? ‘
‘මට කොයි ලමයත් මගෙ කියනවා ‘
‘කලාපෙන් අවුලක් වුනොත්? ‘
‘මට ඒකටත් අර උත්තරේමයි තියෙන්නෙ මැඩම්’
අගෝස්තුවෙ කෙල්ලට බබා හම්බ වෙයි. ඊලග අගෝස්තුවෙ කෙල්ල විබාගෙ ලියන්ට ඕන. ඊටපස්සෙ එයා එයාගෙ ජීවිතේ හොයා ගනී. විබාගෙන් පස්සෙ එයාට අකුරු තුනේ හාදයා ගැන හිතනවට වඩා ජීවිතේ ඉස්සරහ ගැන හිතන්න කාලය ඕන වේවි. ඔය අතරෙ අකුරු හතරක පහක මහත්තැන් කෙනෙක් කෙල්ලට හම්බ වෙයි. ඊටපස්සෙ එයත් ආසාවෙන් ඉරි දෙකක් එනකන් බලන් ඉන්න දවසක් එයි.
ඕවා ඔහොමම වෙයිද නැද්ද දන්නෙ නෑ. දවසක මහන්සිය අපතෙ ගියත් කමක් නෑ. අනුරාධපුර ලමයින්ට දෙන්න පනිවිඩයක් තියනවා. ඔයාලගෙ ජීවිතේ වැරදුනත් ආය හැරෙන්න පුලුවන් තැනදි හැරෙන්න. ඔයාලව පිලිගන්න සෑම සෞක්‍ය වයිද්‍ය නිලදාරී කාර්‍යාලයක් වගේම පන ගැහෙන හදවතක් තියෙන ලොකු සර්ලත් ඉස්කෝලවල ඉන්නවා. ඒ නැතත් ඔයාල ගාව තියන මගෙ නොම්මරෙත් තව සෑහෙන කාලයක් යනකන් වැඩ කරාවි.
පාසල් සෞඛ්‍ය වයිද්‍ය
අනුරාධපුර
2021.03.23



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More