පුරවැසි කොලම

* පසුබිම

ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය 16 වැනිදා සවස 6.30ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තම පෞද්ගලික මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලූපිටිය, ලිබර්ටි වටරවුමේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා සිටියේය.

asad2ප‍්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ අසාද් සාලි සිදුකළ ජාතිවාදී හැඟීම් අවුස්සනසුලූ ප‍්‍රකාශ මගින්, නීතිය අභියෝගයට ලක්කර ඇති බවට පාර්ශ්ව කීපයක් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබීම මෙම අත්අඩංගුවට ගැනීම සඳහා හේතු පාදක වී තිබුණි.

අසාද් සාලි සිදුකරන ලද ප‍්‍රකාශයන් හරහා අපරාධ නීති සංග‍්‍රහය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප‍්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබිණි. මෙම පැමිණිලි අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා එකී ප‍්‍රකාශය, ජාතීන් හා ආගමික සමගියට බාධා වන ආකාරයේ ප‍්‍රකාශයක් බවත් එමගින් ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන, වැරදි සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බැවින් අසාද් සාලි මහතාට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ලබාදුන් එකී උපදෙස් අනුව වහාම කි‍්‍රයාත්මක වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 120 වගන්තිය යටතේ සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) යන වගන්ති යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සැකකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබීය.

* කුරාණයයි, හදීෂයයි, ශර්යායි තමයි අපේ නීති

අසාද් සාලිගේ කෙරුවාව යළිත් වතාවක් එළියට පැමිණ තිබේ. මෙවැනි ආකාරයට රටේ නීතියට අභියෝග කිරීම ත‍්‍රස්තවාදයක් මිස අන් කවරක් නොවන බව පැහැදිලිය. ”ඔළුවට ජාතිවාදය ගැහැව්වාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෙ නැහැ. අපේ නීතිය අපිට… ඔයගොල්ලන්ගෙ නීතිය ඔයගොල්ලන්ට… ඒවා හරි වැරදි බලන්නෙ අපි. අපිට කුරාණයයි, හදීෂයයි, ශර්යායි තමයි අපේ නීති රීති නම්, අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නෙ නෑ. රජයේ නීතිය රජයට, රටට… ඒ හැරෙන්න අපිට වෙන නීතියක් නැහැ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නෙ. මෙච්චරකල් අවුරුදු 73ක් නිදහස හම්බවෙලා තීච්ච නීතිය, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආවා කියලා වෙනස් කළා කියලා අපිව වෙනස් කරන්න බැහැ. අපේ නීතිය අපිට… කැන්ඩි නීතිය නුවර කට්ටියට… කේසලහම් නීතිය යාපනේ අයට… ඒ නීති රීති එහෙම්මම තියෙනවා. ඒවා වෙනස් කරන්න බැහැ. වෙනස් කෙරුවා කියලා, අපිව වෙනස් කරන්න පුළුවන්ද බෑ. අර සල්ලි තියෙන මිනිහා හතරක් බැන්දහම තියෙන ප‍්‍රශ්නෙ මොකද්ද?. හතරක් බඳින්නෙ හතරම එක විදිහට තියාගන්න පුළුවන් මිනිහා… ඒකට පිටින් නීති ගෙනල්ලා, අලි සබ්රි බිලිබෝයි කරන්න එපා’’ අසාද් සාලි මෙසේ ප‍්‍රකාශ කරන ලද්දේ, පසුගියදාය. මාර්තු දහවෙනිදා කොළඹ පැවති සිය පක්ෂයේ, මාධ්‍ය හමුවකදීය. රටේ නීතියට මෙසේ එළිපිට සාලි, අභියෝග කරන ලද්දේ මේ වතාවේ පමණක් නොවේ.

* පළමු වතාව නොවේ

යහපාලන ආණ්ඩුවේ සුරතල් පැට්ටෙකු ලෙස ආණ්ඩුකාර ධුරය දරමින් සිටියදීද ඔහු මෙසේ රටේ නීතියට අභියෝග කළේය. ඒ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදී, 2019 වසරේ ජුලි 11 වෙනිදාය. ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට මඟ පෙන්වන නිසා එම නීතිය අවශ්‍ය බව එහිදී පැවසූ අසාද්, එම නීතිය මගින් ඉස්ලාම් පල්ලි පාලනය වන බවත් මුස්ලිම් විවාහ ක‍්‍රමයද පාලනය වන බවත් කියා සිටියේය. ‘‘ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි..!’’ යනුවෙන් ඔහු හඬ නගා සිදු කරන ලද ප‍්‍රකාශය, පසුව ඔහුට බස්නාහිර පළාතේ ආණ්ඩුකාරකමක් අහිමිවීම දක්වා දුර දිග ගියේය. ආණ්ඩුකාරකම අහිමිවීමෙන් පසුවද ඔහු විසින් ජුලි 25 වෙනිදා මාධ්‍ය හමුවක් අමතමින්, ෂරියා නීතිය ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, කිසිවෙකුට ඊට අත තැබීමට ඉඩ නොදෙන බවත්, එම නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට මිස ආණ්ඩුවටවත් එහි ඇමැතිවරුන්ටවත් නොවන බවද පවසා සිටියේය. අසාද් සාලි යනු පාතාල මට්ටමේ ත‍්‍රස්තවාදියෙකු නොවේ. ඔහුගේ ත‍්‍රස්ත විලාසය සුමන්තිරන් වැනි දෙමළ දේශපාලනඥයන්ගේ පන්නයට අයත් වන්නකි. එදා අමිර්තලිංගම් වැනි දෙමළ වර්ගවාදී ‘දේශපාලන නායකයන්’ එල්ටීටීඊය ඇතුළු ත‍්‍රස්ත කණ්ඩායම් දිරිගන්වන ලද්දේ, අපේ කොල්ලන් ලෙස හඳුන්වමිනි. දෙමළ ‘දේශපාලන නායකයන්’ සිදු කරන ලද්දේ සහ සිදුකරමින් සිටින්නේ එයය. ත‍්‍රස්තවාදය අනියම් ආකාරයෙන් නොව, පාර්ලිමේන්තුවේ සිට සහ ජාත්‍යන්තරය දක්වා යමින් ආරක්ෂා කරන මෙම කණ්ඩායම, නොදරන්නේ ගිනි අවි පමණය. ඔවුන් සහ ත‍්‍රස්තවාදය අතර ඇති අනම්‍ය සම්බන්ධය, මේ වන විට බෙදුම්වාදයේ නූතන මොඩලය බවට පත්ව තිබේ. දඟයෝ දඟ වැඩ කරන විට, මේ ගණයේ පිරිස ඒ දඟයන් වෙනුවෙන් නීතිය සහ ජාත්‍යන්තරය පෙළ ගැස්සවීම, සිය රාජකාරිය බවට පත් කරගෙන තිබේ. ඒ නිසා මින් මතුවට හෝ එකම බළකායක් ලෙස, මේ ‘එකගොල්ලටම’ සලකනවා මිස දෙවිදිහකට වර්ග නොකළ යුතුමය.

ආසාද් සාලි වෙත විලංගු වැටිය යුත්තේ මේ අර්ථයද පෙරදැරි කරගෙනය.

* මුස්ලිම් ජනතාව ආයුධ අතට ගත යුතුය

මීට පෙර වතාවක්ද අසාද් සාලි අත්අඩංගුවට පත් විය. ඒ 2013 වසරේ මැයි දෙවැනිදාය. එවර අසාද්ට තිබූ චෝදනාව වූයේ ඉන්දියාවේ ප‍්‍රකාශයට පත් කරන ජුනියර් විකටන් නම් දෙමළ මාධ්‍ය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. අපේ‍්‍රල් විසිහතර වැනි දින පළවූ එම සඟරාවට සාකච්ඡාවක් ලබා දුන් අසාද් ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතියට එරෙහිව සිදුවන අසාධාරණකම්, මුස්ලිම් ජනතාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමක් බවත්, මෙසේ දිගින් දිගටම ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදු කරන ප‍්‍රහාරයන් සහ අසාධාරණකම් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොමැත යනුවෙනි. අසාද් සාලි මෙම ප‍්‍රකාශ සිදු කරන්නේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් මත සම්මන්ත‍්‍රණයක් සඳහා සහභාගි වීමට ගිය අවස්ථාවේදීය. අප‍්‍රියෙල් මස දහසය වැනිදා, චෙන්නායි හි සිංගප්පූර් පැලස් හෝටලයේ පැවැති සම්මන්ත‍්‍රණයේ සැසියකටය. ‘ශ‍්‍රී ලාංකික දෙමළ ජාතීන්ගේ නිදහස් අයිතීන් දිනා ගැනීම’ යන්න එම සැසියේ මාතෘකාව වී තිබිණි. ඉහත සැසිය සඳහා අසාද් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන කන්දයියා සර්වේෂ්වරන් ද සහභාගි වී තිබුණි. සර්වේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ, සුරේෂ් පේ‍්‍රමචද්‍රන්ගේ සහෝදරයකු වන අතරම ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයකු ද වෙයි. සැසියෙන් පසු ජූනියර් විකටන් සඟරාව සමඟ මතභේදයට තුඩු දුන් සාකච්ඡාවකට අසාද් සහභාගි වී තිබේ. එදා අසාද් විසින් සිදු කරන ලද, බෙදුම්වාදය අවුලූහා වර්ගවාදය අවුස්සන ප‍්‍රකාශ සඳහා පදනම් සකස් කරන ලද්දේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් අනුවය.

* ඉන්දියාවේ ඉස්ලාම් අන්තවාදය සමග

පොපියුලර් ෆරන්ට්ඔෆ් ඉන්දියා හෙවත් ඉන්දීය ජනතාවාදී පෙරමුණ සාමාජිකයන් අනූදාහකින් පමණ යුත් සංවිධානයකි. මෙය මුස්ලිම් අයිතීන් උදෙසා ක‍්‍රියාත්මක සංවිධානයක් ලෙස තිබුණත් එය තහනම් ඉස්ලාමීය සංවිධාන සමඟ ද පැහැදිලි සම්බන්ධතා තිබෙන බව අනාවරණය වී තිබේ. ඉන්දියානු මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාර එවැනි එක් සංවිධානයකි. ඉන්දීය ජනතාවාදී පෙරමුණේ සභාපති අබ්දුල් රෙහෙමාන්, මෙම මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ජාතික ලේකම්වරයාය. එසේම ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ලේකම් අබ්දුල් හමීඞ් ද ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරයාය. මෙලෙස තහනම් වූ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රධාන නායකයෝ බොහෝ දෙනෙක් ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ප‍්‍රධාන නිලතල රාශියක් හොබවනු ලබති.

2013 අප‍්‍රියෙල් මාසයේ අසාද් සහභාගි වූ සැසිය පැවැත්වෙන්න ආසන්න කාලයේ කේරළ පොලිසිය විසින් නාරාත් හා කන්නූර් හි පිහිටි පුහුණු කඳවුරක් වැටලීමට කටයුතු කළේය. එහිදී ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ක‍්‍රියාකාරීන් විසිඑකක් අත්අඩංගුවට ගනු ලැබීය. එසේම රටවල් දෙකක නිපදවන ලද බෝම්බ, කඩුවක්, බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධ තවත් තොරතුරු හා උපකරණද මෙහිදී සොයා ගැනීමට කේරළ පොලිසිය සමත් විය. මෙවැනි පසුබිමක තිබෙන ඉන්දීය ජනතාවාදී පෙරමුණ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟද සම්බන්ධකම් පවත්වාගෙන යන බව සාධක ඇතිව පැහැදිලි වී තිබේ.

පසුගිය කාලය පුරාවට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට හිතවාදී සංවිධානයක් ලෙස ක‍්‍රියා කළ ග්ලෝබල් ටැමිල් ෆෝරම් හෙවත් ලෝක දෙමළ සංසදය, තමිල්නාඩුව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදී ව්‍යාපාර පිටුපස සිටින බව රහසක් නොවේ. ඉන්දීය ජනතාවාදී පෙරමුණ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ එක්ව 2012 මාර්තු හත්වැනිදා නවදිල්ලියේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ සිදුවන ‘දෙමළ සංහාරයට‘ එරෙහිවය. මෙවැනි පසුබිමක් ඇති සංවිධානයක ඇරයුම මත ඉන්දියාවට ගොස් ද්‍රෝහී ජවනිකාවකට පණ පොවනවා මදිවාට ජාතික ආරක්ෂාවට එරෙහිව සෘජු ලෙස ප‍්‍රකාශ නිකුත් කරන තැනටම අසාද් සාලි එදා ද පත්විය. මෙසේ අසාද් සාලි ඉන්දියාව සමග ඇති කර ගන්නා ලද බෙදුම්වාදී මිතුරු දම, සහරාන් දක්වා දුර දිග ගියාද යන්න, අනිවාර්ය විමර්ශනයකට භාජන කළ යුතුය. පාස්කු කොමිසම හමුවේ, සහරාන් සහ ඔහුගේ කණ්ඩායම විසින් පමණක් මෙම ප‍්‍රහාරය සිදුකර නොමැති බවට අසාද් සාලි සාක්ෂි ලබා දුන්නේය. ඒ සඳහා විදේශ මැදිහත්වීමක් ඇතැයි ඔහු සඳහන් කරන ලද්දේ, තමන්ගේ මෙවැනි ක‍්‍රියාකාරම් නිසාද යන්න හෙළිකර ගත යුතුය.

* බුදු පිළිම කැඩූ ත‍්‍රස්තයන් සමග

ඉන්දියාවේ ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධය පමණක් නොව මෙරට තුළ ත‍්‍රස්තවාදයේ බිජුවට වැපිරීම දක්වා, අසාද්ගේ වපසරිය පුළුල්ය. 2018 දෙසැම්බර් 22 සහ 26 යන දෙදින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ, මාවනැල්ල පොලිස් වසමේ, බුදු පිළිම හතර නමකට, ජාතික තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදී කල්ලිය විසින් පහරදුන් අවස්ථාවේදී, සාලි කරන ලද මැදිහත්වීම ඒ සඳහා ඇති හොඳම උදාහරණයකි.

බුදුපිළිම සඳහා පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්‍ෂණ සඳහා අසාද් සාලිගේ මැදිහත්වීම පිළිබඳව එවකට කෑගල්ල දිසාව භාර නියෝජය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ලද පාලිත සිරිවර්ධන මහතා විසින්ම සිය අත්දැකීම ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය.

බුදු පිළිම කැඞීම පිළිබඳව අප විමර්ශන පවත්වන අතරේ, 2018 දෙසැම්බර් මස අවසන් සතියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර, මෙම විමර්ශන භාරව කටයුතු කළ කෑගල්ල කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන ලද සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කළා. විමර්ශන සම්බන්ධයෙන් ප‍්‍රගතිය විමසා, අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් සොයමින් සිටින ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන මොහොමඕ ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඕ ඊබ‍්‍රාහීම් සාදික් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා විසින් තොරතුරක් ලබාදෙන බව පොලිස්පතිවරයා සඳහන් කළා. ආසාද් සාලි වෙත දුරකථනයෙන් අමතන ලෙස, පොලිස්පතිවරයා අදාළ නිලධාරියාට දැනුම් දී තිබුණා.

* සාලිගේ උපදෙස් අනුව පූජිත වැඩ

asad3

අසාද් සාලිගේ ජංගම දුරකථන අංකයද හිටපු පොලිස්පතිතුමා විසින් සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ලබා දී තිබුණා. එම අංකයෙන් අසාද් සාලි ඇමතූ පසු, ඔහු විසින් සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබුණේ, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන දෙදෙනා පසුදින තමිසීන් මවුලවි නමැති අයෙකු ලවා කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට භාරදෙන බවයි. ඒ අවස්ථාවේ අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් එවකට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මෙම විමර්ශන අධීක්ෂණය කළ මට දැනුම් දුන්නා.

පසුදින අප විසින් අසාද් සාලි විසින් සිය පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටියත් එය සිදුවුණේ නැහැ. අසාද් සාලි විසින් භාරදෙන බවට පොරොන්දු වූ මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ්, මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන සැකකරුවන් දෙදෙනා 2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසු නාවලපිටිය ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වුවා. ඔවුන් දෙදෙනා සහරාන් ඇතුළු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ ප‍්‍රධානතම සාමාජිකයන් දෙදෙනකු බවත්, මුල සිටම මෙම කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ සියලූම ක‍්‍රියාකාරකම් සම්බන්ධවත්, අපේ‍්‍රල් 21 වන පාස්කු දින සිදුකරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැලසුම් කිරීමට සහාය වූ බවත්, සියලූ සැලසුම් දැන සිටිය බවත් එතැනදී අනාවරණය වුණා.’’

මෙම කාරණය සුළුපටු වූවක් නොවේ. පාස්කු ප‍්‍රහාරය පිටුපස පමණක් නොව සිංහල මව්වරුන්ගේ ගර්භාෂ සඳහා හානි කරන ලද සාෆි අන්තවාදියා වෙනුවෙන්ද අසාද් සාලි පෙනී සිටියේ මාධ්‍ය හමු පවත්වමිනි.

* සතොසෙනුත් හොරකම් කරලා

මේ ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට අමතරව දූෂණ චෝදනාද අසාද් සාලිට එරෙහිව ගොනුවී තිබේ. අසාද් සාලි පදනමට බව පෙන්වා කොළඹ වොක්ස්ෂෝල් වීදියේ පිහිටි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබා ගැනීම සහ අදාළ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා තිබේ. 2018 වසර වන විට හිඟ බදු මුදල් හා විදුලි බිල් ලෙස තිස්හතරලක්ෂ හතළිස් හතරදහස් 257 ක මුදලක් හිඟ ලෙස ගෙවීමට ඇති බවත් සතොස සභාපතිවරයාගේ උපදෙස් මත හිටපු මානව සම්පත් කළමනාකාර අච්චි මොහොමඞ් මොහොමඞ් ඉබ‍්‍රාහිම් නමැත්තා විසින් එකී ගබඩාව අසාද් සාලි පදනමට ලබාදී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට, ඒ පිළිබඳව දැනුම් දී තිබුණි.

වසර දොළහක දැරියක් කර කාරයට තබා ගෙන සිටිනා තක්කඩියෙකුට, ත‍්‍රස්තවාදියෙකු වීම සුළු දෙයකි. අසාද් සාලිගේ මානසික මට්ටම මේ සියල්ලෙන්ම සිතා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ඒ සඳහා ගෞරව දක්වන ලද්දේ රටේ මර්මස්ථානය බඳු බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය ඔහුට ලබා දෙමිනි. හිච්චි නගාලා කරළියට නංවා, වන සංහාරය බඳු මාතෘකා බරට කතා කරන විපක්ෂය එදා රටම නන්නත්තාර කිරීම සඳහා කටයුතු කළේ එසේය. ඒ පිහිටෙන් වන සංහාරයක් නොව පාස්කු ඉරිදා වැනි රටම වණයක් වන තත්ත්වයන් නිර්මාණය විය. අසාද්ට දැන් නිදහස් වීමට ඉඩ නොදිය යුතුය. කසාද හතර සහ තවත් අමතර කසාදයක් ලෙස ඔහුට ජීවිතාන්තය දක්වා සිපිරි ගෙය, කරකාර බන්දා දිය යුතු කාලය දැන් පැමිණ තිබේ.

මනෝජ් අබයදීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More