දේශීය පුවත්

අද (22) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නායක හිමියන් ද බැහැදැක උන්වහන්සේගේ සුවදුක් ද විමසීය.

ඉන් අනතෘව මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ලෝක ජල දිනයට සමගාමීව අද (22) දින පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගඟ අසබඩදී සමරු ඵලකය නිරාවරණය කිරීමෙන්නිළ වශයෙන් ආරම්භ කළ අවස්ථාවේදී මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලැබිණි.

“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කෙරේ.

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම ඉටුකිරීමට එක්වීමට සමාජ මාධ්‍යවල පරිසරය ගැන කතා කරන සියලුදෙනා උත්සුක විය යුතුය.
පරිසර විනාශයක් පිළිබඳ නිර්මාණය කොළඹ සිට කෙරෙන සැලසුම්සහගත වැඩසටහනකි. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න නගර පැවති ආකාරය බොහෝ දෙනෙකුට අද අමතකය. කොළඹ කුණු කඳු ඉවත් කර, ගොඩකර තිබූ පහත් බිම් සේම තෙත් බිම් යළි සංවර්ධනය කර කොළඹ හරිත නගරයක් කිරීමට 2015 ට පෙර රජය ක්‍රියාකළේය. එවක මේ ප්‍රගතිය සිංගප්පූරුව ඇතුළු ලොව රටවල් රැසක අවධානයට යොමු විය.

මැණික් ගඟේ පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථාපනය, කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම ද වැඩසටහනේ සමාරම්භයට සමගාමීව සිදු කෙරිණ.

බහුකාර්ය කැබලි කරන යන්ත්‍රය මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට නිල වශයෙන් බාර දෙනු ලැබූ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “සොබාකෙත” සඟරාව සහ “මිහිමඩල” පුවත්පත පිළිගැන්වීය. ඉන් අනතුරුව “සුරකිමු ගංගා” වැඩසටහන භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණක යෙදවුම මෙහිදී විවෘත කෙරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ සෙසු අරමුණු අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” වැඩසටහන සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් සති දෙකක කාලයක් තුළ පරිගණක යෙදවුමක් භාවිතයෙන් කරන ලද මුලික සමික්ෂණයේ දී මේ ගංගා 103 ආශ්‍රීත ගැටලු සහිත ස්ථාන 10,410ක් පරික්ෂාවට ලක්කර තිබේ. ගං ඉවුරු ඛාදනය, අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම්, වැලි ගොඩ දැමීම, ගෘහස්ථ අප ජලය, මළ අපද්‍රව්‍ය සහ කර්මාන්ත අප ජලය ගංගා වෙත මුදා හැරීම සහ අපජල මඩිති මුදා හැරීම ඉන් ප්‍රධාන වේ.

පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නංවයි.

අද උත්සවයට සමගාමීව සෙසු පළාත් අටේ ද “සුරකිමු ගංගා” වැඩසටහන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය පෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් 103 කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයකි. මධ්‍යම කඳුකරයත්, ඒ ආශ්‍රිත වනගහණයත් සහිතව ජල පෝෂක ප්‍රදේශ අපේ මේ ලස්සන දිවයින මුළුමනින්ම පාහේ ආවරණය කරයි. ඒ නිසා බොහෝ රටවල් සමග සැසඳීමේදී අප පාරිසරික මෙන්ම භූ විද්‍යාත්මක වශයෙනුත් ඉතා සුවිශේෂී රටක් බවට පත්වේ.

අපගේ වායුගෝලය දූෂණය වන්නේ සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් නිසා වුවත්, අවාසනාවකට එහි අහිතකර බලපෑම්වලට වැඩියෙන්ම ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි ඝර්ම කලාපීය රටවල්ය. අද විශාල වන විනාශයන් සිදු වන බව අපගේ විරුද්ධවාදීන් ලෝකයටම ඒත්තු ගන්වන්න උත්සාහ කරමින් සිටී.

“ගම සමග පිළිසඳර” වැනි ග්‍රාමීය මට්ටමේ වැඩසටහන්වලට නිරතුරුවම යන විට, අහිංසක ගොවි ජනතාව අත්විඳින කම්කටොළු බොහෝ පැහැදිලිව දක්නට ලැබෙන අතර ඔවුන් ජීවත්වීම සඳහා දෛනිකව ලොකු සටනක නිරත වෙයි. එවැනි පුද්ගලයන්ට වගා කිරීමට ඉඩමක් දීම විකෘති කර, වන විනාශයට තුඩු දෙන අයුරින් ක්‍රියාකරනවා යයි කීම විරුද්ධවාදීන් ගෙන යන අසත්‍ය, අමානුෂික ප්‍රචාරයකි. අවුරුදු ගණනකට පෙර කපා හෙලන ලද රූස්ස ගස්වල කඳන් පෙන්වමින්, ඒවා සමාජ ජාලා තුලින් ප්‍රචාරය කරමින් අපේ මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා වන විනාශයක් සිදු වන බව හුවා දැක්වීම සැබෑ තත්ත්වය හිතාමතා විකෘති කිරීමකි.

අද ඇරඹුනු “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන අනාගත පරපුර වෙත අප සියලු දෙනා විසින් දෙනු ලබන මහඟු දායාදයක් වන අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෙම කාර්යය සම්බන්ධීකරණය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉටුවිය යුතුය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ යන මහත්වරු ද සමාරම්භක උත්සවය ඇමතූහ.

මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More