පුරවැසි කොලම

අප රටේ විදේශ කටයුතු ලේකම්තුමාගේ යම් ප්‍රකාශ අනුව 46 වැනි මානව හිමිකම් සැසිය මඟින් එල්ල වන බලපෑම් වලට යටත් නොවී සිටීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යය උත්සහා කරනු ඇත. එය ඉතා හොඳ දෙයකි. නමුත් ඒ මඟින් වක්‍රව කියවෙන්නේ යටත් නොවී සිටීමේ උත්සහාය අසාර්ථක වේ නම් යටත් වන බවද නොවේද? කෙසේ වෙතත් යටත් වීම හෝ නොවීම තීරණය වන්නේ සටන් බිම කුමක්ද සහ සටන් උපක්‍රම මෙන්ම අයුද මොනවාද යන්න මත නොවේද? ඊට අමතරව එක් සටන් බිමක ජයග්‍රහණය හෝ පරාජය මඟින් යුද්ධයක අවසන් ජයග්‍රහණය තීරණය නොවන බවද සත්‍යයකි. අප රටේ දේශපාලන නායකයින් සහ උසස් නිලධාරීන් රටේ අනාගත ඉරණමට අදාළ තීන්දු තීරණ ගැනීමේදී තමා මුහුණ දෙන යුද්ධයේ මහා පින්තූරයට අදාළව විවිධ සටන් බිම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් සහිතව කටයුතු කරන බවක් පෙනෙන්නේ නැත. ඊට අදාළව මහජන සංවාදයක් නොමැති කම නිසා එම තත්වය වෙනස් නොවන අතර ඒ මඟින් ශ්‍රී ලංකාවේ අනාගත ඉරණමට අදාළව බරපතල අගතියක් සිදුවේ.

එහිදී මානව හිමිකම් යනු ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් පද්ධතිය විසින් පරිධියේ රටවල් යටත් කිරීම සඳහා තුවක්කුවක් වෙනුවට යොදා ගන්නා කසයක් හෝ කෙවිටක් ලෙස තේරුම් නොගැනීම බලවත් වරදකි. ඇත්තවශයෙන්ම ජගත් මානව හිමිකම් සමුළුව හරහා සිදුවන ක්‍රියාවලිය අධිරාජ්‍යවාදීන්ගේ සටන් උපක්‍රම අතුරින් ඉතා ප්‍රභල උපක්‍රමයක් බව පිළිගැනීම සටනේ ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් වේ. මෙම ලිපියේ මූලික අරමුණ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින යළි යටත් විජිතකරණ මහා පින්තූරය තුල ජිනීවා ක්‍රියාවලිය ස්ථානගත කිරීමය. ශ්‍රී ලංකාව ගත් විට භූ දේශපාලන හේතු මත පරිධියේ වෙනත් කිසිදු රටකට වඩා අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් වලට මුහුණ දීමට සිදුවී ඇත. ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ඉතා වැදගත්ම යුදමය මර්මස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවේ පය තබාගන්නා ඕනෑම අධිරාජ්‍යවාදී මහා බලවතකුට ලෝකයේ භූමියෙන් අඩකට අයත් සාගර කලාපය තුල යුදමය බලය තහවුරු කර ගැනීමේ හැකියාව ලැනෙබ්. ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ගය එනම් නැව් ගමනාගමනයෙන් 80% සිදු වන්නේ ශ්‍රී ලංකාවේ භූමියට “හූවක” දුරිනි. එම තත්වය තුල ජිනීවා මානව හිමිකම් සමුළුව වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ඒ යටතේ පවතින වෙනත් බහු පාර්ශවීය සංවිධානයක් හරහා ක්‍රියාත්මක වන යටත් කිරීමේ හෝ බිය ගැන්වීමේ සටන් උපක්‍රම ක්‍රියාත්මක වන්නේ එක් සුවිශේෂී සටන් බිමකය. එම සටන් බිම අධිරාජ්‍යවාදීන්ගේ යළි යටත් විජිතකරණ සටන් බිම් 4 අතුරින් එකකි. එය රාජ්‍යය සහ ජාතිය දුර්වල කිරීම සඳහා යොදා ගන්නා සටන් බිමක් ලෙස මූලික වශයෙන් හඳුනාගත හැක.

එම දුර්වල කිරීමේ මූලික සටන් බිම තුළ අතුරු සටන් 4 ක් හඳුනාගත හැක. පළමු වැන්න බෙදුම්වාදය වන අතර දෙවැන්න ඉස්ලාම් අන්තවාදයයි. ඉස්ලාම් අන්තවාදය අවසානයේදී බෙදුම්වාදයක් බවට පත් වේ. දැනටමත් රාවුෆ් හකීම් වැනි දේශපාලන නායකයින් ඉල්ලා සිටින්නේ උතුරු සහ නැගෙනහිර පලාත් ඒකාබද්ධ කොට ඒ තුළ මුස්ලිම් කලාපයක් වෙන් කළ යුතු බවය. මෙම සටන් බිම් වල ආයුධ බලයට අමතරව දේශපාලන පීළි පැන්නවීම සඳහා මනෝවිද්‍යාත්මක යුද උපක්‍රම රාශියක් යොදා ගැනේ. රාජ්‍ය සහ ජාතිය දුර්වල කිරීමේ සටන් බිමට අයත් තුන්වන අතුරු සටන් බිම වන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කිරීමය. තමාගේ මූලික ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පිටරටින් නැවක් එන තුරු බලා සිටින ජාතියකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කුමන හෝ සටන් පෙරමුණක සටන් කිරීමට ආත්ම ශක්තියක් හෝ ආත්ම අභිමානයක් ඇති නොවන බව ඉතා පැහැදිළි කරුණකි. දුර්වල කිරීමේ 4 වන අතුරු සටන් පෙරමුණ වන්නේ ජාතියක් ලෙස අප සතු අධ්‍යාත්මක ශක්තිය දුර්වල කිරීමය. එනම් අපගේ ඓතිහාසික සභ්‍යත්වය උරුමය මත දෙපාතබා නැගිටීමට නොහැකි වන ආකාරයට එහි පදනම දිය කර හැරීමය. අප රටේ සම්බුද්ධ සාශනයට විශේෂයෙන්ම මහා සංඝරත්නයට එරෙහිව දියත්වන බහු විධ ප්‍රහාර සියල්ල ඊට අයත් වේ.

යළි යටත් විජිතකරණ ක්‍රියාවලිය තුළ අධිරාජ්‍යවාදීන්ගේ දෙවන සටන්බිම හෙවත් සටන් පෙරමුණ ලෙස හඳුනාගත හැක්කේ ආර්ථික කොල්ලය හෙවත් ප්‍රග්ධනය වර්ධනය කර ගැනීම සඳහා වූ කොල්ලය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියයි. එනම් යටත් විජිත සමයේදී තුවක්කුව හිසට තබා සිදුකළ කොල්ලය නිදහස ලබා දීමෙන් පසුව ඉදිරියට පවත්වාගෙන යාමේ නූතන ක්‍රියාවලියයි. වෙනත් වචන වලින් කියන්නේ නම් අප වැනි රටවල ආර්ථිකය සහ වෙළඳපළ ගෝලීය ආර්ථික සහ වෙළඳපොළ උවමනාවන්ට අනුව සුසර කිරීමය. එහිදී වෙළඳපොළ තුල එනම් මූල්‍ය වෙළඳපොළ, යෙදවුම් වෙළඳපොළ සහ නිමි භාණ්ඩ වෙළඳපොළ තුල මිල විකෘතීන් ඇති කෙරෙන අතර දේශීය නිෂ්පාදන පද්ධතියට ඊට අනුව හැසිරීමට සිදුවේ. එම ක්‍රියාවලිය තුල අප වැනි රටවල ශ්‍රමයට සහ අමුද්‍රව්‍යය වලට අඩු මිලක් නියමවන අතර අතිරික්ත ප්‍රාග්ධනය අධිරාජ්‍යවාදී මහා සමාගම් වල එක් රැස් වේ.

අධිරාජ්‍යවාදීන්ගේ අත්පත් කර ගැනීම් ක්‍රියාවලියට අයත් තුන්වන සටන් බිම ලෙස හඳුනාගත හැක්කේ බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමය. ඉඩම් හා ආර්ථික මධ්‍යස්ථාන සූක්ෂම වාණිජ සහ එසේ නොවන උපාංග මඟින් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඊට අයත් වේ. එම බලහත්කාරය යටත් විජිත සමයේදී ඔවුන් විසින්ම පැනවූ නීතියට අනුව හෝ නීතියට පිටින් හෝ පවතින නීතිය සංශෝධනය කිරීම මඟින් සිදු විය හැක. ඇමෙරිකානු එම්.සී.සී ගිවිසුම හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ඉඩම් කොල්ලය පවතින නීතිය සංශෝධනය කිරීම මඟින් සිදු කෙරෙන්නෙකි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත්කරගැනීමේ උත්සහාය පවතින නීතියට අනුව දේශපාලන බලහත්කාරය යොදා ගනිමින් සිදු කරන්නෙකි. යළි යටත් විජිතකරණ ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකි, විශේෂයෙන්ම අප රටට ඇතුලු වන සුවිශේෂී සටන් පෙරමුණක් වන්නේ සමස්ථ රටම දාස රාජ්‍යයක් හෙවත් වහල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමය. එය අධිරාජ්‍යවාදීන්ගේ 4 වන සටන් බිම ලෙස හඳුනාගත හැක. එහිදී මානසික යටත් වූ පාලකයින් පිරිසක් බලයට පත් කිරීම පූර්ව කොන්දේසියක් බවට පත් වේ. එසේ වුවත් මූලික වශයෙන් දාස රාජ්‍යයක් නිර්මාණය කරනු ලබන්නේ ගිවිසුම් මඟිනි. උදාහරණයක් ලෙස එම්.සී.සී, සෝෆා සහ ඇක්සා යන ගිවිසුම් ත්‍රිත්වය එක්ව ක්‍රියාත්මක වන විට දාස රාජ්‍යයක් නිර්මාණය වේ. ඒ මඟින් සමස්ථ ශ්‍රී ලංකාවේ භූමිය අහස සහ සාගර කලාපය ඇමෙරිකානු හමුදා සමූහයට සේවා සැපයීම සඳහා වන මහා සැලසුම් මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය වේ.

එම මහා සටන් බිම් 4 තුල භාවිතා කරන සටන් උපක්‍රම මූලික වශයෙන් 4 ක් හඳුනාගත හැක. පළමු වැන්න ඉන් සඳහන් කළ ආකාරයට ආරක්ෂක, යුදමය, ආයෝජන, වෙළඳ ආදී විශේෂණ පද වලින් හැඳින්වෙන ගිවිසුම් පද්ධතියක් යොදා ගැනීමය. එදා අධිරාජ්‍යවාදීන්ගේ පළමු සටන් බිම වන බෙදුම්වාදය මඟින් රාජ්‍යය සහ ජාතිය දුර්වල කිරීමේ ක්‍රියාවලිය තුල ඉන්දු ලංකා ගිවිසුම සහ සටන්විරාම ගිවිසුම ඉතා බලවත් ලෙස යොදාගනු ලැබීය. කෙසේ වෙතත් ජාත්‍යන්තර යටත් විරාම ගිවිසුමක් මත පදනම්ව සූඩානය බෙදා වෙන් කිරීමට අධිරාජ්‍යවාදීන්ගේ සටන වුවත් ශ්‍රී ලංකාවේ ජාතික බලවේග වලට අන්තර්කාලීනව එම සටන් උපක්‍රමය පරාජය කිරීම හැකි විය.

යළි යටත් විජිතකරණ සටන් බිම් වලට යොදා ගන්නා දෙවන සටන් උපක්‍රමය රටේ නීති පද්ධතිය අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී වුවමනාවන්ට සරිලන ලෙස සංශෝධනය කිරීමය. යළි පිබුදමු ශ්‍රී ලංකා නම් වූ යටත් විජිතකරණ මහා සැලැසුම තුල අප රටේ නීති 32 ක් සංශෝධනය කිරීමට යෝජනා විය. ඊට ඉඩම් නීති,පරිසර නීති, බුද්ධිමය දේපල පනත, බීජ පනත ආදී නීති ඇතුලත් විය. අධිරාජ්‍යවාදීන් යොදා ගන්නා තුන් වන සටන් උපක්‍රමය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට ආර්ථිකය සහ නිෂ්පාදන පද්ධතිය ඔවුනට උවමනා ආකාරයට හැසිරවීම සඳහා වෙළඳපොළ මිළ විකෘතීන් ඇති කිරීමය. එම ක්‍රියාවලියට ලෝක වෙළඳ සංවිධානය හරහා ක්‍රියාත්මක කෙරෙන බහු පාර්ශවීය ගිවිසුම් පද්ධතියක් මගින් පහසුකම් සැලසේ. ඒ තුල එක් පැත්තකින් විදේශීය රටවල් වලදී සහනාධාර දීම මගින් අඩු මිලට විදේශීය භාණ්ඩ රටවලට ප්‍රතාපනය කෙරෙන අතර අනෙක් පැත්තෙන් විවිධ ක්‍රමවේද හරහා දේශීයව බදු සහන ලබා ගැනීම මඟින් තවදුරටත් මිල අඩු කිරීම මඟින් වෙළඳපොළ අත්පත්කර ගනු ලබයි.

උදාහරණයක් ලෙස ඇමෙරිකාවේදී සහනාධාර ලබාදීම මඟින් තිරිඟු ඇට සහ පිටි අප වැනි රටවලට ප්‍රතාපනය කෙරෙන අතර ඒ සඳහා පළමු වටයේදී පී.එල් 480 නැමැති ගිවිසුමද යොදා ගැනුණි. ඊට අමතරව විවිධ ආර්ථික ඝාතක නිලධාරීන් යොදා ගනිමින් බදු සහන ලබා ගැනීම හරහා තවදුරටත් මිල අඩු කිරීමට සිදුවේ. එවට දේශීය වී වගාව සහ සහල් කර්මාන්තය පත් කෙරෙන ආකාරයට මහා පරිමාන වී වගාව මහා සමාගම් අතට ගැනීමද එම ක්‍රියාවලියේම දිගුවකි. ඉඩම් කොල්ලය යොදා ගනු ලබන්නේ ඊට පහසුකම් සැලසීම සඳහාය. රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත් කිරීමේ සටන් පෙරමුණ තුලද මෙම සටන් උපක්‍රමය වැදගත් වේ. යළි යටත් විජිත කරණ ක්‍රියාවලිය තුල යොදා ගන්නා හතරවන සටන් උපක්‍රමය අනෙකුත් සියලුම උපාය මාර්ගික සටන්ක්‍රම අතුරින් ප්‍රමුඛ වේ. එය පාලකයන්ගෙන් සහ ජනතාවගෙන් බහුතරය මානසික වහලුන් බවට පත් කිරීම ලෙස හඳුනාගත හැක. මානසික වහළුන්ගෙන් වැඩ ගැනීමට සහ ඔවුන් දුරස්ථ පාලකයක් ලෙස යොදා ගිනිමින් රටවල් පාලනය කිරීම සඳහා එම වහළුන්ට භෞතිකව දම්වැල් දැමීමට අවශ්‍ය වන්නේ නැත.

බ්‍රිතාන්‍යයන් විජිත සමයේ සිටම මෙම මහා උපයමාර්ගික සටන් ක්‍රමය යොදා ගනු ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපාය මාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි නම් වූ සාමි වරයා 1935 දී ප්‍රකාශ කරනු ලැබුවේ “වර්ණයෙන් සහ රුධිරයෙන් වෙනස් වුවත් සංස්කෘතියෙන්, මතවාදයෙන්, අධ්‍යත්මයෙන් සහ දැනුමෙන් ඉංග්‍රීසීන් සේ හැසිරෙන පංතියක්” යන යටත් විජිත රාජ්‍යය පද්ධතිය තුල බිහිකර ගත යුතු බවය. එවිට එම පංතිය තමා වෙනුවෙන් යටත් විජිතය පවත්වාගෙන යනු ඇති බව ඔහු පැවසීය. ඒ අනුව යළි යටත් විජිතකරණ ක්‍රියාවලිය තුල සෑම සටන් බිමක යොදා ගන්නා මූලික සටන් උපක්‍රමයක් වන්නේ මානසික වහළුන් බිහි කිරීම බව ඉතා පැහැදිළිය. එම වහළුන් සමූහයට පාලන තන්ත්‍රය භාර දීමෙන් පසුව ඔවුන් නිසි ලෙස තමාට පැවරූ වගකීම ඉටු නොකරන්නේ ඔවුන් දෙවන කොට ඊට වඩා දක්ෂ මානසික වහළුන් පිරිසකට පාලනය පැවරීම සඳහාද එම සටන් ක්‍රමයම යොදා ගැනේ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී අප රට තුල මානසික වහළුන් බිහි කිරීම සඳහා අධ්‍යාපනයට අමතරව විවිධ සංස්කෘතික සහ පරිපාලන උපාංගයද යොදා ගනු ලැබීය. ඒවා නිදහස ලබා දීමෙන් පසුව ද දිගින් දිගටම ක්‍රියාත්මක වන බව පැහැදිළිව දැකගත හැක. එහිදී සිදු වන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම වැනි ක්‍රියාවකි. එනම් පළමු මානසික වහළුන් විසින් ඊළඟ වහල් පරම්පරාවලින් නිර්මාණය කිරීමය.

කෙසේ වෙතත් අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන සටන් පෙරමුණ හෙවත් සටන්බිම් වල ඔවුන් විසින් යොදා ගන්නා සටන් ක්‍රමවේද තුල සටන් උපාංග හෙවත් ආයුධ වර්ග 4 ක් මූලික වශයෙන් යොදා ගන්නා බව පෙනේ. ඉන් පළමු වැන්න මොළ සේදීමය. විශේෂයෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ගේ සහ බලවත් දේශපාලන නායකයින්ගේ මොළ සේදීමය. එම ක්‍රියාවලියට පහසුවෙන් ගොදුරුවන්නේ ඉහත සඳහන් කළ මානසික වහළුන්ය. එම මොළ සේදීමේ ක්‍රියාවලිය, විශේෂයෙන්ම ආකල්පමය වශයෙන් සහ මතවාදී වශයෙන් පිළිගැන්න වීම, ආකාර දෙකකට සිදුවේ. පළමු වැන්න විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා විවිධ මානසික යුද උපක්‍රම භාවිතා කරමින් රට තුළදී මොළ සේදීමය. එහිදී රටේ දේශපාලන වශයෙන් සක්‍රීය පිරිස් ඉලක්ක කෙරේ. දෙවැන්න ශිෂ්‍යත්ව ලබා දීම මඟින් විශේෂයෙන්ම පශ්චාත් උපාධි සඳහා කැඳවා ගැනීම මඟින් විදේශීය ආයතන මඟින් මොළ සේදීමය. ඒ සඳහා තේරීමේ පදනම, රොකපෙලර් පදනම ආදී වශයෙන් ඇමෙරිකාව තුල පමණක් ආයතන රාශියක් පවත්වාගෙන යනු ලැබේ. ඒවා ඔත්තු සංවිධාන වල පෙරටු සංවිධාන ලෙස ක්‍රියාත්මක වේ. එක්තරා කාලයක රාජ්‍ය නොවන සංවිධාන වල භූමිකාව පැවරී තිබුනේ ඇමෙරිකාවේ “පීස් කොප්ස්” නම් වූ ගෝලීය මට්ටමේ ස්වේච්ඡා සංවිධානයක් ලෙස පෙන්වන සී.අයි.ඒ පෙරටු සංවිධානයකටය.

දෙවන සටන් උපාංගය වන්නේ රාජ්‍ය තන්ත්‍රය තුල මර්මස්ථාන හොවන නිලධාරීන් මිලදී ගැනීමය. බොහෝ විට ඉහත සඳහන් කළ මොළ සේදීමේ ක්‍රියාවලිය සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය එකට වැදී ඇත. එසේ මිලදී ගැනීමේ ක්‍රියාවලියට මුදල් යෙදවීම සඳහා මහා සමාගම් වලට අමතරව ඔත්තු සේවා මෙන්ම ඒක පාර්ශවීය සහ බහු පාර්ශවීය ණය සහ මූල්‍ය අධාර ලබා දෙන සංවිධාන යොදා ගැනේ. නමුත් බොහෝ විට ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන්නා සේ එම අරමුදල් සපයා ගනු ලබන්නේ මහා සමාගම් වලට ලබා දෙන බදු සහන මඟිනි. පසුගිය දිනවල පාරිභෝගිකයාට සීනි මිල අඩු නොවුනද සීනි ආනයනකරුවන්ට අයුතු ලෙස ලබාදුන් බදු සහනවල වටිනාකම රු.මිලියන 13,000 කි. පිනට ලැබුණු එවැනි මුදලක් උඩ සාක්කුවේ දමාගත් සමාගම් ප්‍රධානියෙකුට මිලදී ගත නොහැක්කේ මොනවාද? බහු පාර්ශවීය මූල්‍ය ආයතන මඟින් දියත් කරනු ලබන ව්‍යාපෘති තුන්වන සටන් උපාංගය ලෙස සැලකිය හැක. එම ව්‍යාපෘති මඟින් බොහෝ විට නීති පද්ධතිය සහ පරිපාලන පද්ධතිය තුල යළි යටත් විජිතකරණ ක්‍රියාවලියට අවශ්‍ය වෙනස්කම් සිදු කෙරේ. ඊට අමතරව එම ව්‍යාපෘති වල අරමුදල් මඟින් ඉහත සඳහන් කළ ආකාරයට ඉහළ රාජ්‍ය නිලධාරීන් මිලදී ගැනීම සහ රාජ්‍ය තන්ත්‍රය තුළ දූෂණය සහ වංචාව සාමාන්‍යකරණය කිරීම සිදුවේ.

නව යටත් විජිත ක්‍රියාවලිය තුල තොරාගත් සටන් බිම් වල සහ සටන් ක්‍රමවේද අනුව යොදා ගන්නා හතරවන උපාංගය හෙවත් ආයුදය වන්නේ බහු පාර්ශවීය ජාත්‍යන්තර ආයතන මගින් ඇතිකරගන්නා එකඟතාවයන්ය. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධානවන මානව හිමිකම් සමුළුව සහ ලෝක වෙළඳ සංවිධානය ආදිය සමඟ ඇති කරගන්නා ගිවිසුම් සහ එකඟතාවයන්ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය සමඟ එම ගිවිසුම් සහ ආරක්ෂක මණ්ඩලය මඟින් සමස්ථ ලෝකයේම අප වැනි රටවල් දඬු කඳේ ගැසීමට අධිරාජ්‍යවාදී රටවල් පද්ධතිය සමත්වී ඇත. චීනය සහ රුසියාව ආරක්ෂක මණ්ඩලය තුල බාධක පැමිණවුවද එම බාධක මඟහැර ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය. අද වන විට මානව හිමිකම් සම්ළුවේ යෝජනා සහ මහ කොමසාරිස් වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට බලපෑම් කරනු ලබන්නේ එම සමස්ථ ක්‍රියාවලියේ දිගුවක් ලෙසය. එම ක්‍රියාවලිය තුල ප්‍රභාකරන්ගේ තුවක්කුව මඟින් ඉටු කර ගත් නොහැකිවූ කොටස ජාත්‍යන්තර මානව හිමිකම් කෙවිට යොදා ගනිමින් ඉටු කර ගැනීමට ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග සියල්ල උත්සහාකරන බව පැහැදිළිව පෙනේ. එම බලපෑම් අචිය යොදා ගනිමින් ඔවුන් උත්සහා කරන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ලබාත්මක කිරීම සහ ආරක්ෂක හමුදා දුර්මුඛ කොට දුර්වල කිරීමය. අනාගතයේදී රට බෙදා වෙන්කිරීම සඳහා එම පූර්ව කොන්දේසි දෙක මූලික වශයෙන් වැදගත් වේ.

නමුත් ආණ්ඩුව මෙම මහා පින්තූරය තේරුම් ගනිමින් ජිනීවා පීඩනයට මුහණ දෙන බවක් පෙනෙන්නේ නැත. මෙවර 46 වැනි සමුළුව මඟින් ශ්‍රී ලංකාවට ප්‍රභල බලපෑමක් කිරීමට උත්සහා කරන බව මහ කොමසාරිස් වාර්තාව තුලින් පැහැදිළි වේ. මේ වන විට වර්තමාන ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ස්තූති පූර්වකව අනුමත කළ 30/1 යෝජනාවේ දිගුවක් ලෙස පැහැදිළිව පෙනේ. එම යෝජනාවට ආණ්ඩුව විසින් විරෝධය පළ කිරීම නිවැරදි උපාය මාර්ගික තේරීමකි. එය ඉල්ලා අස් කර ගැනීමට බලකළ යුතු අතර එසේ නොවන්නේ නම් ඡන්දයක් ඉල්ලා පරාජය කිරීමට උත්සහා කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වල මූලික උපක්‍රමය වන්නේ ඉතා දැඩි යෝජනාවක් ඉදිරිපත් කොට ඊට විකල්ප ලෙස යම් ලිහිල් බව පෙනෙන කොන්දේසි යටතේ ශ්‍රී ලංකාව විසින්ම එකඟතා යෝජනාවක් හෝ ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරන තත්වයක් ඇති කිරීමය. එනම් සියතින් තොණ්ඩුව ගෙලට දමා ගැනීමට පෙළඹවීමය. ශ්‍රී ලංකාවේ රජය එම වරද කළහොත් බෙදුම්වාදීන්ට තම මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට ගමන් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම සහිත යාන්ත්‍රණයක් සකස් වනුඇත. ඒ මඟින් ඉතා පැහැදිළිවම යුද ජයග්‍රහණය පාවාදීමක් සිදුවන බව වසර 2 – 3 කට රජයට සහ ජනතාවට අවබෝධකරගත හැකිවනු ඇත. එම තත්වය වළක්වා බෙදුම්වාදී බලවේග විසින් අටවන උගුලින් ගැලවිය හැක්කේ ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා කිරීම මගින් පමණි.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ප්‍රමිති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති ධූරය දැරූ නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරැව නව සභාපති ලෙස වෛද්&#x...


Read More

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය....


Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More