1994 සිට ක්‍රියාත්මක නොවූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27කට පසු යළි වැඩ අරඹා ඇති අතර එම කර්මාන්ත ශාලාව ඊයෙ (19) දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය බෙදී ඇත්තේ ඉන්දියාවට 28%ක් සහ ශ්‍රී ලංකාවට 72% ක් ලෙස ය. ඉන් 30%ක් දේශීය කොටස් හිමිකරුවන් සතුව පවතින අතර කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ලංකා ලේලන්ඩ් රාජ්‍ය සමාගමට ඉතිරි 42% හිමිව තිබේ. 1994 දක්වා බස්, ලොරි ඇතුළු වාහන මෙරට තුළදී එකලස් කිරීම සිදු කෙරුණු අතර මෙරට තුළදී එකලස් කිරීමට වඩා ඉන්දියාවෙන් සම්පූර්ණයෙන් අශෝක් ලේලන්ඩ් වාහන ආනයනය කිරීම ලාභදායක වන තත්වයක් නිර්මාණය වී තිබුණු හෙයින් එම සමාගම 1994දී සිය වාහන එකලස් කිරීමේ කටයුතු නවතා තිබිණි.
පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙරට වාහන නිපදවීම, වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP – Standard Operating Procedure) ජනගත කිරීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයට දේශීය අගය එකතු කිරීමේ (Value Addition) ප්‍රතිශතයට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් එමගින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට වාහන ආනයනය සීමා කොට සිය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කර මෙරට තුළ වාහන ලාභදායීව එකලස් කිරීමේ ඉඩකඩ නිර්මාණය වී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
ඉහත කී සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළින් වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් සඳහා ලබා දී ඇති බදු සහන සහ වෙළඳපොළ අවස්ථා යොදා ගනිමින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ඉදිරි වසර කිහිපය තුළ මෙරට තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට නව රැකියා අවස්ථාවන් උදාකර දෙන, වාහන දහස් ගණනින් මෙරට තුළදීම එකලස් කරන හා වාහන අමතර කොටස් ද මෙරට තුළදීම නිපදවනු ලබන තත්වයට ඔසවා තැබීම තම අපේක්ෂාව බව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය. එසේ ම දකුණු ආසියානු කලාපයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කොටගෙන වාහන අපනයනය වෙත ද පිවිසීමටත් පාරිභෝගික අවශ්‍යතා මත සාමාන්‍ය බස්, ලොරි පමණක් නොව කසළ ලොරි, වතුර බවුසර, කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රවාහනය කෙරෙන ට්‍රක් රථ ආදී ලෙසින් විශේෂීකරණය කළ රථ වාහන ද මෙරට වෙළඳපොළට නිකුත් කිරීමේ අවකාශය දැන් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
එම නිරීක්ෂණ චාරිකාව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන හා කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.03.19
වීඩියෝ ලින්ක් :https://fb.watch/4lxrNe58iS/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...