පුරවැසි කොලම

පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප‍්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටි කොළ එකතු වීමේ අවදානමක් මතු වී ඇතැයි එම ගංගාවේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මේ ප‍්‍රශ්නය හැකි ඉක්මනින්ම විසඳා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා උපදෙස් දී ඇත. කැලණි ගෙඟ් ජල දූෂණයට අදාළ සිදුවීම් වාර්තා වූයේ අද ඊයේ සිට නොවේ. නමුත් අර්බුදය වන්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන මෙම ජල දූෂණය නතර කිරීමට කිසිදු පියවරක් නොගැනීමය.

බස්නාහිර පළාතේ ජනගහනයෙන් වැඩි පිරිසකට මෙන්ම මූලික වශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ 80%කට වැඩි පිරිසකගේ පානීය ජල අවශ්‍යතාව සපුරන කැලණි ගංගාව මේ වන විට ලංකාවේ දූෂිතම ගඟ බවට පත්ව ඇති පුවත මේ වන විට ප‍්‍රසිද්ධ කරුණකි. මධ්‍යම පරිසර අධිකරියේ තොරතුරු මඟින් මෙන්ම 2019 වසරේදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ ‘කැලණි ගෙඟ් ජල දූෂණය’ සම්බන්ධ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන්නේ කැලණි ගංගාව ආරම්භක ස්ථානයේ සිට මුහුදට වැටෙන තැන දක්වා වූ පිහිටි කර්මාන්ත ශාලා 10,511කට ආසන්න ගණනක් මෙම පාරිසරික දූෂණයට වගකිව යුතු බවය.

මෙම ජල දූෂණය ඇරඹෙන්නේ කර්මාන්න ශාලා මඟින් පිටකරන අපජලය පිරිපහදු නොකරම කැලණි ගඟට මුදා හැරීම නිසාය. 1980 ජාතික පරිසර පනතෙහි 23(අ) කොටසෙහි පනවා ඇති බලතල අනුව පරිසර ආරක්ෂණ බලපත් වැඩසටහන යටතේ කර්මාන්ත ක‍්‍රියාකාරකම් මගින් පරිසරයට අපජලය බැහැර කිරීම නීතිගත කර තිබේ. යම් කර්මාන්ත ශාලාවක් එලෙස අපජලය බැහැර කරනවා නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගත යුතුය. නමුත් 2019 වසරේ සිදුකරන ලද පාරිසරික විගණනයේදී හෙළිවූයේ කැලණි ගං මිටියාවතේ ඇති කර්මාන්තශාලා බහුතරයක පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රය අලූත් කර නොමැති බවය. ඊට හොඳම උදාහරණය අක්කර 431ක භූමි ප‍්‍රමාණයකින් සමන්විත ඇඟලූම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත 37ක් අන්තර්ගත සීතාවක අපනයන සැකසුම් කලාපයේ පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රය 2010 වසරෙන් පසු අලූත් කර නොතිබීමය.

තවද සීතාවක කලාපයට අයත් කර්මාන්ත ශාලා 37ක අපජල පිරිපහදුව සඳහා පවතින පොදු අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ධාරිතාව ද ප‍්‍රමාණවත් නොවන බවත්, අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත‍්‍රය අක‍්‍රීය වී තිබීම පාරිසරික වශයෙන් ඇතිව තිබූ බලපෑමක් බවත්, සීතාවක සහ බියගම අපනයන සැකසුම් කලාපවල කර්මාන්තශාලාවලින් ජනිත වන මඩිති (ස්ලුඩ්ගෙ) ඉවත් කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයක් යොදා නැති බැවින් මඩිති වැසි ජලය සමඟ මිශ‍්‍රව ජල මූලාශ‍්‍රය දූෂණය වීමේ අවදානමක් පවතින බවත්, 2019 වසරේ නිකුත් කළ පාරිසරික විගණන වාර්තාවේ සඳහන් කර තිබුණි. මේ හේතුවෙන් කැලණි ගෙඟ් ජලයේ ඊ කෝල් බැක්ටීරියා ප‍්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඊ කෝල් බැක්ටීරියා අඩංගු වන්නේ සත්ව මළ තුළය. මෙය මාරාන්තික බැක්ටීරියාවකි. පාරිසරික නීති රෙගුලාසිවලට අනුව ගංගාවට මුදා හැරෙන ජලයේ තිබිය යුතු ඊ කෝල් බැක්ටීරියා ජලය ඒකකවලට සාපේක්‍ෂව මිලිලීටර් 4000 ක් වුවද පරිසර වාර්තාවට අනුව කැලණි ගෙඟ් ජලයේ එම ප‍්‍රතිශතය මිලි ලීටර් 18000ත් 19000ත් අතර වේ. කැලණි ගෙඟ් ජල දූෂණය මැන ගැනීමට මෙම දත්ත පමණක් හොඳටම ප‍්‍රමාණවත්ය.

කැලණි ගෙඟන් ආවරණය වන මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 233,335කි. ගෙඟ් දිග දළ වශයෙන් කි.මී. 145ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000ක් පමණ වන අතර, එයින් 64%කට ආසන්න ප‍්‍රමාණයක් මුහුදට ගලා බසියි. මෙවැනි වටිනා ජල සම්පතක් ආරක්ෂා කර ගැනීමට නම් අප දැඩි තීන්දු ගත යුතුය. එම තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කර තිබේ. නමුත් ඛේදවාචකය වන්නේ මෙවැනි භයානක පාරිසරික වාර්තාවක් එළිදක්වා තිබියදීත්, එහි වගකීම භාරගත යුතු රාජ්‍ය ආයතන කුම්භකර්ණයන් සේ හැසිරීමය.

ඉදිරියේදී වැඩිවන ජනගහනයට සාපේක්ෂව ජල පරිභෝජනය ඉහළ යන බැවින් ඉදිරියේදී රටේ ජාතික ධනය බවට පත්වන්නේ ජල සම්පතය. ඉන්දියාව දැනටමත් ”පවිත‍්‍ර ගංගා” නමින් රටේ ගංගා පද්ධතිය පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අරඹා ඇත්තේ මෙම වටිනාකම ඔවුන් කල්තියා හඳුනා ගත් නිසාය. නමුත් කැලණි ගෙඟ් දූෂණය හෙළි කළ පාරිසරික වාර්තාව එළි දක්වා වසර දෙකක් ගත වුවද, අප තවමත් රටේ අනාගත ධන සම්පත ආරක්ෂා කර ගැනීමට ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කොට නොමැත. තවදුරටත් මෙම පාරිසරික විනාශය සිදුවීමට ඉඩ දී බලා සිටීම මහා ව්‍යසනයකට පාර කැපීමකි. එම නිසා ඉතා ඉක්මණින් කැලණි ගඟ බේරා ගැනීමට ඉදිරියට ඒම ආණ්ඩුවට භාරය.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More

කොරෝනා තෙවෙනි රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න!-දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස...


Read More