පුරවැසි කොලම

[මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත Buddha – Buddhist Civilization in India and Ceylon නමැති කෘතිය නයෝමා ද සිල්වා සේනාරත්න මෙනෙවිය විසින් සිංහළට පරිවර්තනය කර “බුද්ධ : ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය” නමින් එළිදැක් වූ අවස්ථාවේ මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා කළ දේශනය ඇසුරිනි]

ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය පාදක කොටගත් Buddha – Buddhist Civilization in India and Ceylon නැමැති මේ ග්‍රන්ථය මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචනා කරන ලද්දේ අප රට සිලෝන් යනුවෙන් මිස ශ්‍රී ලංකාව වශයෙන් හැඳින්වීමට පෙරයි.

අප ශ්‍රී ලංකාව බවට පත් වූයේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි. මේ පොත ප්‍රකාශයට පත් වූයේ 1973 වසරේදී යි. මේ පොතේ සිංහල පරිවර්තනයක් පහළ විය යුතුව තිබුණේ මීට දශක කීපයකට පෙරයි. පරිවර්තනය වෙළඳ ව්‍යාපාරයක් වී ඇති මේ සමයෙහි මෙවැන් කෘතියක් අප පරිවර්තකයන්ගේ ඇසට යොමු නොවීම ගැන මම පුදුම නොවෙමි. එහෙත් වාසනාවකට මෙන් නයෝමා ද සිල්වා ට පිං සිදු වන්නට දැන් මේ කෘතිය කියවීමේ භාග්‍යය සිංහල පාඨකයාට උදාවී තිබේ.මාගේ  චින්තනයට බෙහෙවින් බල පෑ මේ කෘතිය සිංහලෙන් පළවී තිබෙනු දැක්ම මගේ ඉමහත් සතුටට හේතු වෙයි. මෙය පල කල කඩුල්ල ප්‍රකාශකයන්ට අපගේ කෘතඥතාවය හිමිවෙයි.

මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් මේ නිබන්ධය රචනා කරන ලද්දේ ප්‍රධාන අරමුණු දෙකක් මුල් කරගෙන යැයි මම සිතමි…

ඉන් පළමු අරමුණ නම් බෞද්ධ දර්ශනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලෝකයට, විශේෂයෙන් බටහිර ලෝකයට ලබා දීමයි.

බටහිර ලෝකය බෞද්ධ දර්ශනය සලකනු ලබන්නේ පුද්ගලයාගේ විමුක්තිය සඳහා දේශනා කරන ලද පුද්ගලවාදී දර්ශනයක් ලෙසයි. පුද්ගලවාදයට මුල් තැන දෙන ප්‍රොතෙස්තියානු කිතු දහම බල පැවැත්වෙන ඇමෙරිකන් සමාජය තුළ මේ අර්ථකථනය ප්‍රබල ලෙස මුල් බැස ගෙන ඇත.

මීට හේතුව බෞද්ධ දර්ශනය බටහිරයනට හඳුන්වා දුන් ලේඛකයන් විසින් ඉදිරිපත් කරන ලද අර්ථ කථනයයි. ට්‍රෙවෝ ලිං මහතාගේ නිගමනය අනුව සිංහල බෞද්ධ යතිවරයකු වන වල්පොල රාහුල හිමියන් ගේ “What Buddha Taught” යන කෘතිය ද අයත් වන්නේ ඒ ගණයටයි! මේ සදොස් අර්ථකථනය නිවැරදි කිරීම ට්‍රෙවෝ ලිං මහතාගේ ප්‍රධාන අරමුණක්  වී තිබේ.

එතුමාට අනුව බෞද්ධ දර්ශනය එවැනි පුද්ගලවාදී, හුදෙක් පුද්ගල විමුක්තිය මුල්කොට ගත් දර්ශනයක් නොව පුද්ගලයා සමාජයෙන් වියුක්ත නොකොට පුද්ගල විමුක්තිය මෙන්ම සමාජ විමුක්තිය ද සලසා දෙන දර්ශනයකි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ එය භාරතය තුල පහල වූයේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් සපුරාලනු සඳහායි; බමුණු ආධිපත්‍යයට එරෙහි මානව හිතවාදී  සමානත්වය මුල්කර ගත් “දැහැමි උත්තර” සමාජයක් බිහි කරනු සඳහායි.

මා දකින අයුරු බෞද්ධ දර්ශනය පුද්ගල විමුක්තිය සලකන දර්ශනයක් ය යන මිථ්‍යාව බල පවත්වන්නේ බටහිර ලෝකය තුළ පමණක් නොවේ. අද වන විට මේ රට තුල ද ඒ මිත්‍යාව බල පවත්වන බව පෙනේ. මේ රටේ ඉන්නා බෙන්ස් කාර් වලින් භාවනා මධ්‍යස්ථාන වෙත යන අපේ මහෝපසිකාවන් විසින් පෙන්නුම් කරන්නේ මේ කරුණ නොවේද? එමෙන්ම පුද්ගල විමුක්තිය මුල් කරගෙන ලියනු ලබන අභිධර්ම ග්‍රන්ථ අද නොමඳව පලවන සැටි දැක්ක හැකියි. මේ විෂම සමාජය තුල අදමින් ජීවත් වන අතර සිය වගකීම පැහැර හැරීමට, ඇඟ බේරා ගැනීමට භාවනා මධ්‍යස්ථාන සුදුසු ක්ෂේම භූමි බවට පත් ව තිබේ. කොටින් කියතොත් අද වන විට බුදු දහම මේ රට තුල කුහක වතක් බවට පත් ව තිබේ. එය ප්‍රගුණ කරන්නේ දේශපාලකයන් පමණක් නොවේ.

ට්‍රෙවෝ ලිං  විද්වතාගේ දෙවන අරමුණ වන්නේ බෞද්ධ උගැන්වීම් මුල්කර ගත් ආර්ථික, සමාජ, දේශපාලන සැලැස්මකින් යුත් රාජ්‍ය තන්ත්‍රයක් බෞද්ධ සභ්‍යත්වය තුලින් නිර්මාණය  කර ගත් හැටි පෙන්වා දීමටයි. 

මෙහි දී භාරතය තුල මේ අරමුණ අශෝක අධිරාජයා විසින් සාක්ෂාත් කරගත් ආකාරයත් ශ්‍රී ලංකාව පාලනය කල රජුන් විසින් එය මේ රට තුළ සාක්ෂාත් කරගත් ආකාරයත් ට්‍රෙවෝ ලිං විද්වතා විසින් පෙන්වා දී තිබේ. 

අශෝක අධිරාජයා විසින් මෙය ඉටු කර ගන්නා ලද්දේ බෞද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පමණ පසුවයි. අප විසින් එය ඉටු කර ගන්නා ලද්දේ බුදු දහම වැළඳ ගැනීමෙන් පසුවයි.

බෞද්ධ සභ්‍යත්වය පාදක කරගත් මේ රාජ්‍ය තන්ත්‍රය බිහිකර ගනු වස් අශෝක අධිරාජයා විසින් සංඝ සමාජය, පොදු ජනතාව සහ රජු එක්තැන් කරන ත්‍රිකෝණාකාර බල කේන්ද්‍රයක් ස්ථාපිත කරන ලදී.

එහි සංයුතිය පිළිබඳව ම විසින් පසුගිය කාලය තුළ නිබන්ධන කීපයක්ම එළි දක්වා ඇති බැවින්  ඒවා පුනරුච්චාරණය කිරීම අනවශ්‍ය යයි සිතමි. මේ පරිවර්තනයේ තුන්වැනි කොටස සහ හතරවැනි කොටස පරිශීලනය කිරීම මඟින් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨකයාට ලබාගත හැකි වනු ඇත.

බෞද්ධ සභ්‍යත්වය මුල්කර ගත් මේ රාජ්‍ය තන්ත්‍රය – අශෝක මොඩලය අප හිමිකර ගන්නේ මිහිඳු හිමියන් විසින් බුදු දහම අප වෙත ගෙන ඒම සමඟයි. අපි බුදු දහම මෙන්ම මෙම රාජ්‍යතන්ත්‍රය ද එවේලෙහි ලබා ගතිමු.

එසේ ලබා ගත් මේ බෞද්ධ රාජ්‍ය තන්ත්‍රය වසර දෙදහකට වැඩි කාලයක්, අප බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්වන තුරු මෙහි පැවති බව ට්‍රෙවෝ ලිං විද්වතා  විසින් නිදසුන් සහිතව දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ. යම් යම් කාල වල දී එය අඩපණ වුව ද එහෙත් එය නොනැසී පැවති බව ඔහු විසින් අවධාරණය කර ඇත. 

මේ රාජ්‍යතන්ත්‍රය එසේ සුළු කාලයකින් මුල් ඇල්ලීමට හේතුව අප සතුව තිබූ වාපී – වැව මුල්කොට ගත් සංස්කෘතිය යයි මම සිතමි. එම වාපී සංස්කෘතියත් අප හිමිකරගත් බෞද්ධ රාජ්‍ය තන්ත්‍රයත් රන් රස එක් වීම වැනි ක්‍රියාවක් විය. 

ට්‍රෙවෝ ලිං ගේ මේ නිබන්ධනය මෙන්ම නයෝමා ගේ මේ පරිවර්තනය ද අපට දෙන පණිවිඩය කුමක්ද ?

අද අප විසින් සාකච්ඡා කළ යුත්තේ මේ කෘතියේ අන්තර්ගතයට වඩා ඉන් අපට දෙන පණිවිඩය ගැන යයි යයි මම සිතමි. වඩා වැදගත් වන්නේ අප විසින් ඒ පණිවිඩය වටහා ගැනීමයි.

මා එසේ පවසා සිටින්නේ කුමක් නිසා ද ?

වත්මන් ලෝකය දෙස බලන විට විශේෂයෙන් ම ලෝක දේශපාලන ක්ෂේත්‍රය (බටහිර ලොව) දෙස බලන විට අපට එක් කරුණක් පැහැදිලිව දැකගත හැකියි. එනම් ඒ දේශපාලන ක්ෂේත්‍රය අද වන විට පුරන් වූ පිටියක් බවට පත්ව ඇති බවයි ; දර්ශනයකින් තොර වූ ශුෂ්ක භූමියක් බවට පත්ව ඇති බවයි.

මීට සියවස් දෙක තුනකට පෙර ඒ ක්ෂේත්‍රය අරක් ගෙන සිටි මාක්ස්වාදී-සමාජවාදී දර්ශනය මෙන්ම ධනවාදී නව ලිබරල්වාදී දර්ශනය ද අද වන විට දැක්ක නොහැකියි. ඒ දර්ශන දෙකම අවලංගු කාසි බවට පත්ව තිබේ. සෝවියට් දේශයේ ඇද වැටීමත් සමඟ මාක්ස්වාදී දර්ශනය ප්‍රතික්ෂේප වී තිබේ. නව ලිබරල්වාදී ධනවාදය ද එහි නිර්මාණකරුවන් විසින් ම අද ප්‍රතික්ෂේප කර තිබේ. ගෝලීයකරණය අද හඳුන්වනු ලබන්නේ “Globalization of Poverty” යන අවමන් සහගත ලේබලයෙනුයි. 

මෙසේ දේශපාලන දර්ශනයකින්  වියෝ වූ පුරන් වී ගිය දේශපාලන ක්ෂේත්‍රය ඒ අනාථ භාවයෙන් මුදවා ගත හැක්කේ කෙසේ ද යන්න අද බටහිර බුද්ධිමතුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබේ. 

ලෝක දේශපාලන ක්ෂේත්‍රය මුහුණ දෙන මේ තත්ත්වයට අප ද මේ වන විට මුහුණ දෙන බව මා නොකීවාට ඔබට පෙනී යනු නොඅනුමානය. ලැයිසෆෙයාර් ධනවාදයෙන් පටන්ගෙන උග්‍ර මාක්ස්වාදය වෙත පිවිස ඉන්පසු උග්‍ර නව ලිබරල් ධනවාදය වැළඳ ගෙන ඇති අපි අද හසරක් නොදකින අන්ත අසාර්ථකභාවයට පත් ව ඇත්තෙමු. මාක්ස්වාදය මෙන්ම ධනවාදය ද එක සේ අසාර්ථක වී ඇත. 

බටහිර ලෝකයත් අපත් මුහුණ දෙන මේ තත්ත්වයට පිළියම කුමක්ද ? ප්‍රතිකර්මය කුමක්ද ? කුමන දේශපාලන දර්ශනයක් පිළිසරණ කොට ගත හැකි ද ?

මේ පිළිබඳ ඉඟියක් පසුගිය දශක දෙක තුන තුල පහල වී ඇති බව  මගේ වැටහීමයි. “සභ්‍යත්ව” සංකල්පය පිළිබඳ මෙතෙක් නොතිබූ අවධානයක් අද ලොව බුද්ධිමතුන් ගේ අවධානයට යොමුව තිබේ.

ඊට හේතු කිහිපයක් මම දකිමි. ඉන් එකක් නම් වත්මන් චීන රාජ්‍යයයි. අද චීනය ලෝක බලවතා බවට පත් වෙමින් පවතී.  “When China rules the World” නැමැති ග්‍රන්ථය සපයා ඇති ජැක් මාටින් නමැති විද්වතා විසින් චීනය හඳුන්වා දී ඇත්තේ “සභ්‍යත්ව රාජ්‍යයක්” ලෙසයි. එය සමාජවාදී රාජ්‍යයක්වත් ධනවාදී රාජ්‍යයක්වත් නොව සිය ඉපැරණි සභ්‍යත්වය මත ගොඩනැගුණු සභ්‍යත්ව රාජ්‍යයකි. 

චීනය පමණක් නොව රුසියාවේ පුටින් විසින් ද රුසියාව ගොඩනැගීම සඳහා ඕතඩොක්ස් ක්‍රිස්තියානි සභ්‍යත්වය පාදක කර ගත් බව පෙනේ.

ඉන්දියාව සිය හින්දු සභ්‍යත්වය පදනම් කරගත් හින්දුත්ව දර්ශනය සිය දේශපාලන දර්ශනය බවට පත්කර ගෙන ඇත.

21 වන සියවසේ ලෝක බල පොරය වන්නේ සභ්‍යත්ව බල පොරය බව හන්ටින්ටන් විද්වතා විසින් සිය “Clash of Civilization” නමැති ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත. එතුමා විසින් ඉන්පසු රචනා කල “Who are We” නැමති නිබන්ධනයෙන් පෙන්වා දී ඇත්තේ ඇමරිකාවට යළි නැගිට සිටීමට ඇති එකම මග සිය ඇංග්ලෝ ප්‍රොතෙස්තන්ත සභ්‍යත්වය වෙත යෑම බවයි.

මේ අතින් බලන විට අපි භාග්‍යවන්තයෝ නොවෙමු ද ?

අපගේ බෞද්ධ සභ්‍යත්වයට චීනය පරදවන දීර්ඝ ඉතිහාසයක් ඇත. අප යටත් විජිතයක් වීමත් සමඟ කෝල්බෘක්-කැමරන් ප්‍රතිසංස්කරණය සමඟ ඒ සභ්‍යත්ව රාජ්‍යය අකර්මණ්‍ය වූ බව ඇත්තකි. එහෙත් එය පාෂාණිභූත වූ  සභ්‍යත්වයක් නොවේ. සභ්‍යත්වය අකර්මණ්‍ය වුවද එය ජනිත කළ සභ්‍යත්ව විඥාණය අද වන තුරු අප සතුව තිබේ. මේ කරුණ අපගේ නූතන ඉතිහාසය තුලින් මැනවින් දැකගත හැකියි. 

මේ රටේ ජාතික පුනර්ජීවනයට මුල් වූයේ මේ සභ්‍යත්ව විඥාණයේ අවදි වීමයි. අනගාරික ධර්මපාලතුමාගේ ජාතික විමුක්ති සටනට, 56 බණ්ඩාරනායක විප්ලවයට, බණ්ඩාරනායක මැතිනිය විසින් ජනරජයක් බිහි කිරීමට, ත්‍රස්තවාදය තුරන් කිරීමට සහ අවසාන වශයෙන් හැටනම ලක්ෂයක් සිංහලයන් විසින් ගෝඨාභය රජ කරවීමට මුල් වූයේ මේ සභ්‍යත්ව විඥාණයයි. 

ට්‍රෙවෝ ලිං ගේ මේ නිබන්ධනයෙන් මෙන්ම මේ පරිවර්තනයෙන් ද අපට දෙන පණිවිඩය මෙයයි.

එය මේ වෙලෙහි නොසලකා හැරීම යනු අපේ රටේ ජාතියේ අවසානය වන්නට පුළුවන. 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More

කොරෝනා තෙවෙනි රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න!-දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස...


Read More

අධිපතිවාදී විද්වතුන් කොවිඩ් පාලනය අවුල් කරනවා-ජාතික සංවිධාන එකමුතුව

විව්ධ ආයාතන බලය දරණ සහ විද්වත් කමිටු නියෝජනය කරණ විද්වතුන්ගේ අධිපතිවාදී තීන්දු තීරණ නිසා කොවිඩ් පාලන උපාය මාර්ග අවුල් වන බව රන්ගිරි රූපවා...


Read More