දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ අලුත්ම කැරලිකාරයා රංජිත් අලුත්විහාරේද?

අලුත් කැරැලිකාරයෙක් නොවේ. නමුත් මං කාලයක් නිශ්ශබ්දව හිටියා. මගේ දේශපාලන ජීවිතයේ ඡන්දදායකයොයි මට ඡන්ද දීලා පත් කළේ. යම් තනතුරක් ලැබෙයි. සහනයක් ලැබෙයි. ඒ අනුව ඉදිරියට යයි. මොනව හරි වැඩක් කරන්න ලැබෙයි කියන විශ්වාසයෙන් තමයි ඒ අය මාව පත් කළේ. ඒ හින්දා මං කැරැලිකාරයෙක් වෙන්න අවශ්‍ය නෑ පක්‍ෂය හරියාකාරව දුවනවා නම්.

මෙවර මැයි දිනයට ඔබ ඇතුළු 17 දෙනෙක් සහභාගි නොවුණේ ඇයි?

ඇත්තෙන්ම මම නම් කතා කරන්නේ මං ගැන විතරයි. මම පක්‍ෂය ගැන හොඳටම කලකිරිලා ඉන්නේ පක්‍ෂයේ නායකත්වය ගැන. සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. අලුතෙන් හරි පක්‍ෂය මාරු කරලා හරි ආපු මන්ත්‍රිවරයකුට එහෙම තනතුරු දෙනවා නම් අපිට මේකේ බලාගෙන ඉන්න බෑ. මොකද අපේ ඉතිහාසයේ කොන්ද කෙළින් තියාගෙන ජීවිත පුද කරන්න පවා කටයුතු කළා නායකයෝ වෙනුවෙන්. එදා මගේ මුත්තා ජීවිත පරිත්‍යාග කළා රජ්ජුරුවෝ වෙනුවෙන්. මගේ පියත් ඒ විදියට තමයි පක්‍ෂයේ හිටියේ. මමත් හිටියා. හැබැයි ඒ හිටියට දැන් වැඩක් නෑ කියලා මම තේරුම් අරන් ඉන්නේ.

මැයි පෙළපාළියක්වත් සංවිධානය කරගන්න බැරි තරමට එ.ජා.ප.ය බංකොලොත්ද?

නෑ ඉතින් මේ තීරණය ගත්තේ යම්කිසි පැරැණි එ.ජා.ප. නායක කණ්ඩායමක්නේ. එතකොට අපිට ඒකට දායක වෙන්න බෑ. මොකද අපි දන්නෙත් නෑ අපෙන් අහන්නෙත් නෑ. ඒ අය තීරණය ගත්තා. ඒක හරි කියලා හිතුවා. සමහර අය සහභාගි වුණා. සමහර අය සහභාගි වුණේ නෑ.

අලුවිහාරේ පරම්පරාව කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ යෝධ බලකණු. නමුත් මෙවන් පක්‍ෂ ප්‍රතිසංවිධානයෙන් ඔබට මොකුත්ම ලැබුණේ නෑ නේද?

ඇත්තෙන්ම කිව්වොත් මගේ සීයා බර්නාඩ් අලුවිහාරේ. 1936 ඉඳලා ඔහු දිගටම මාතලේ සංවිධායකයා හැටියට දේශපාලනය කළා 1961 වෙනකම්. 1961 ඔහු නැති වුණාට පස්සේ තමයි මගේ පියා ඒ වගකීම භාර ගත්තේ. මගේ පියා 1990 වෙනකම් හිටියා. මම 2000 පාර්ලිමේන්තුවට ආවේ. මගේ පියා නැති වුණාට පස්සේ මගේ සහෝදරයත් ආවා පාර්ලිමේන්තුවට. අපේ දේශපාලනයට එතකොට අවුරුදු 82යි. ඒ 82 මහජනයා පිළිගත්තට අපිව පක්‍ෂය පිළිඅරන් නෑ. අපි යම්කිසි වැඩක් කරලා තියෙනවා. අවංකව කටයුතු කරලා තියෙනවා. පක්‍ෂ මාරු කරලා නෑ. ඒක මහජනයා පිළි අරන් තියෙනවා. මොකද ගමේ දුප්පත් මිනිහට අපි වැඩ කරලා තියෙනවා. අපිට වඳින්න තියෙන්නේ ඒ මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට වැන්දා. ඒ හින්දා මේ තනතුරු අපිට ලැබුණා. අපි නායකයෝ පස්සේ ගිහින් වඳින්නේ නෑ.

මාතලේ දිස්ත්‍රික්කයට තවම එ.ජා.ප. ඇමැති ධුරයකුත් නෑ. ඒකට හේතුව මොකක්ද?

ඇමැති ධුර අපි ඉල්ලන්න අවශ්‍ය නෑ. මං බලාන හිටියේ හැම තනතුරක්ම එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට ඇමැතිකම් හොයා ගෙන ගිහිල්ලා නායකත්වයට බල කරලා මේ ඇමැතිකම් ගන්න මට ඕනෑ නෑ. මේ ඇමැතිකම මට දුන්නේ නැත්නම් මම අනෙක් පැත්තට යනවා කියලා බල කරපු මිනිස්සුන්ට හරි ගියා. මම එහෙම බල කරලා නෑ. ජීවිතේටවත් මම එහෙම ගිහින් කතා කරලා නෑ. මම කෘත්‍යාධිකාරි මණ්ඩලයට දාන්න කියලා නෑ. හැබැයි ඒ අසාධාරණය වෙද්දී මහජනයා මට බල කළා මෙහෙම ඉන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න කියලා. ඊට පස්සේ මට තියෙන්නේ ගිහිල්ලා එක පාරක් කියනවා. දෙපාරක් කියනවා. බැරිම නම් යම්කිසි තීරණයක් ගන්න ඕනෑ. ඒ තීරණයට එන්න තමයි මම එහෙම ප්‍රකාශයක් කළේ.

ඔබ මේ පක්‍ෂ ප්‍රතිසංවිධානය ගැන සෑහීමකට පත් වෙනවාද?

මම කොහෙත්ම සෑහීමකට පත් වෙන්නේ නෑ.

පක්‍ෂ නායකයා විතරක් එහෙමම සිටිනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ඕනෑ නායකයෙක් ඒ හැටියට ඉන්න පුළුවන්. හැබැයි වයස නවත්වන්න බෑනේ. ඒ නායකතුමාට පුළුවන් තවත් දෙපාරක් ඉන්න. අපේ වයස ගියාට පස්සේ ජෝන් අමරතුංග ඇමැතිතුමාටත්, ඒ වගේම ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාටත් ඔබතුමාලා වයසට ගිහින් ඒ හින්දා ඉල්ලා අස්වෙන්න. තරුණ කෙනකුට දෙන්න කියන්න තමයි තියෙන්නේ.

ඔබ මෙච්චර කැරැලි ගහන්නේ. පක්‍ෂයට විරුද්ධව කතා කරන්නේ ප්‍රතිසංවිධානයෙන් මොකුත්ම නොලැබුණු හින්දද?

මට කිසිම තනතුරක් අවශ්‍ය නෑ. මට ඕනේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න පමණයි වෙනත් හවුල් පක්‍ෂත් සමඟ යන්නේ නැතිව.

ජාතික මැතිවරණයට බලය ලබා ගන්න මේ ප්‍රතිසංවිධානය ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?

මම හිතන්නේ නෑ. අනෙක් කට්ටිය හිතන හින්දා තමයි ඔය තීරණය අරන් තියෙන්නේ.

ඔබ ඇතුළු පක්‍ෂයේ කිහිප දෙනකු පක්‍ෂ නායකත්වය ප්‍රතික්‍ෂේප කළත් විශේෂ අවස්ථාවලදී නැවැත ඒ නායකත්වයට හීලෑ වෙනවා නේද? උදාහරණයක් විදියට පසුගියදා අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව කෑ ගහපු රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වැනි මන්ත්‍රිවරුන්ගේ වෙනස්වීම?
මේකයි. මම අනෙක් කට්ටිය ගැන කතා කරන්නේ නෑ. ඒ අය තීන්දුවක් ගත්තේ පක්‍ෂය හින්දා. අපේ පක්‍ෂය වැටුණොත් අපි අවුරුදු 20ක් දුක් වින්දනේ. ඒ අවුරුදු 20 දුක් විඳලා පක්‍ෂය වැටුණොත් ආයේ නැඟිට්ටවන්න බෑ තව අවුරුදු 30ක් යනකම්.

ඒ හේතුව උඩ තමයි එදා තීරණය ගත්තේ. හැබැයි අපිට පොරොන්දුවක් දුන්නා මේ සියල්ලක්ම වෙනස් වෙනවා කියලා. හැබැයි වෙනස් වුණේ නෑ. ඒ හින්දා රංගේ බණ්ඩාරලා විතරක් නොවේ ඒ කොටසට වැඩි කොටසක් දැන් එක්කහු වෙලා ඉන්නවා.

ඒ වෙනස් වීමට ඇතැම් පිරිස් චෝදනා කළා මුදල් සංසරණයක් බලපෑවා කියලා? ඇත්තටම එවැනි දෙයක් ඔබේ පක්‍ෂය තුළ සිදු වුණාද?

මම හිතන්නේ අගමැතිතුමා නම් පෞද්ගලිකව වෙන මොන ප්‍රශ්න තිබුණත් ඔහු මුදල්වලට නම් යට වෙන මනුස්සයෙක් නෙවෙයි. නමුත් යම්කිසි කණ්ඩායමක් එකතු වී මේක මෙහෙයෙව්වා. ඒකේ වගකීම ගන්න වුණේ මෙතුමාට. නමුත් මේ පක්‍ෂය මෙහෙයවීමට අරන් තියෙන තීරණ ගත්තොත් ඒ තීරණ නම් වැරැදියි. මම ඒක පිළිගන්නේ නෑ.

මාධ්‍ය ඉදිරියේ වීරයෝ වෙන බොහෝ එ.ජා.ප. මන්ත්‍රිවරුන්ට අවසන් මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව කට අරින්න තරම් හයියක් නැත්තේ ඇයි? මොකක්ද එතැන තියෙන බලපෑම?

ඉස්සර වෙලා හිටියේ පොඩි කණ්ඩායමක්. ඊට පස්සේ ටිකක් වැඩි වුණා. ඊට පස්සේ තවත් ටිකක් වැඩි වුණා. දැන් උච්ච තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. ආයේ වැඩි වෙන්න දෙයක් නෑ. මේකේ සංඛ්‍යාව මම කියන්න කැමැති නෑ. කණ්ඩායම් කිහිපයකට බෙදිලා තියෙනවා. ඒ කණ්ඩායම්වල අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඊළඟ අවුරුදු පහට ආණ්ඩුවක් පිහිටුවන්න.

ඒ ආණ්ඩුව පිහිටුවන්න අපිට බැරි තත්ත්වයක් ඇති වුණොත් ඊට පස්සේ මම හිතන්නේ අපිට ගන්න තියෙන්නේ එකම තීරණයයි. හරි හෝ වැරැදි යම්කිසි තීරණයකට එන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ.

එ.ජා.ප.යේ නායකත්වය සුදුසුද? නැද්ද? කෙළින් පිළිතුරක් දෙන්න?

රුවන් විජේවර්ධන කමිටුවේ වාර්තාව ඒක කියන්නේ. එළියට දැම්මම මුළු රටේම ජනතාව දන්නවා මේ සැලසුමේ ප්‍රකාශනය. ඒක ජනතාව දැන ගන්න ඕනෑ. ඒ තීරණය සාධාරණද නැද්ද එහෙම නැත්නම් කොයි තැනද අපි ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක වුණා නම් කිසි ප්‍රශ්නයකුත් නෑ.

ඔබට දැනෙන විදියට ඔය කමිටුවේ තීරණවලටත් අන්තිමට අත පෙවීම් සිදු වෙයිද?

කමිටුවක් පිහිටුවනවා නම් පිහිටුවලා අන්තිමට වෙනත් පිරිසක් එය ක්‍රියාත්මක කරනවා. ඒකයි අවුල මෙතැන. කමිටුවක් පිහිටුවලා ඒකේ වාර්තාව එළියට දැම්මම වෙනත් පිරිසක් කියනවා නෑ ඒක නෙමේ මේක මේ වාර්තාවේ කොටසක් විදියට දාන්න’ කියලා. අපි 1994 ඉඳලා ඡන්දෙන් ට්‍රයල් බලලා තියෙනවා. 1994 අපි එක් ආසනයකින් පැරදිච්ච එක අද වෙද්දී අපි ආසන කීයකින් පැරදිලා තියෙනවාද? ඒවා හංගලා කතා කරන හින්දා තමයි මේ ප්‍රශ්නය මේ පක්‍ෂයට වෙලා තියෙන්නේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලය බැලුවම හුඟක් එහෙන් මෙහෙන් ආපු අය කියලා පේනවා. එහෙම නෙමේ. ජෙනුයින් යූ.එන්.පී. කාරයෝ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනෑ. යූ.එන්.පී. එකේ එහෙන් මෙහන් පැනපු අයට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඇවිත් කතා කරලා වැඩක් නෑ. එතැන සිටිය යුත්තේ පක්‍ෂයෙන් පැනපු අය නෙවේ.

ඔබ එක්සත් ජාතික පක්‍ෂය ගැන සම්පූර්ණයෙන්ම කලකිරිලද?

මම සම්පූර්ණයෙන්ම කලකිරිලා ඉන්නේ. මට ඕනෑ ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න. මම පමණක් නෙවේ, අපේ සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා ජයග්‍රහණය කරන්න. මොකද අපේ වයස ඉවරයි. අපිට යම්කිසි වැඩක් කරන්න තිබ්බ කාලය අපිට ඉවරයි. ඒක නාස්ති කළා. අපි හිතින් දුක් විඳිනවා. මට ඡන්ද දීපු ජනතාව ඇවිත් කතා කරනකොට මට කඳුළු වැටෙනවා. මොකද ඒ මිනිස්සුන්ට කියන්න බැරි ගොඩක් දේවල් අපිට තියෙනවා. ඒවා වහගෙන හිටියා. සමහරු දේශපාලන පළිගැනීම්වලට ගෙවල් ගිනි තියලා ජීවිත නැති වෙලා සියල්ල වුණේ අපේ විශ්වාසය නිසා.

ඔබ කියන විදියට මැතිවරණවලදී ඡන්ද අඩු වෙන්න කාරණා කිහිපයක් බලපානවා. ප්‍රධානම ප්‍රශ්නය මොකක්ද?

(මඳක් කල්පනා කරමින්) ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි උත්තරේ ඉස්සරහට වැඩි කාලයක් යන්න පෙර ලැබෙයි.

රංජිත් අලුවිහාරේ කියන්නෙ පාර්ලිමේන්තුවේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක්. හැබැයි ඒ අලුවිහාරේ කියන පුද්ගලයත් ඔය මෙනවා කිව්වත් අගමැති වික්‍රමසිංහගේ දැලි පිහියට අහුවෙලා නේද?

මම කොහෙත්ම දැලි පිහියට අහුවෙලා නෑ. මේ නායකතුමාට මම උදවු කරලා තියෙනවා හැම අවස්ථාවකදීම. මගේ පියා උදවු කරලා තියෙනවා පස් පාරක් නායකත්වය බේරා ගැනීම වෙනුවෙන්. මේ ඊයේ පෙරේදා වගේ නොවේ. අපේ පක්‍ෂයේ ජේ‍යෂ්ඨම අය වෙනුවෙන් පවා මම අට වතාවක් ඔහුගේ නායකත්වය බේරා ගත්තා. හැබැයි මම ඒ දැලිපිහියට කැපිලා ඇති. ඉස්සරහටත් කැපෙයි. නමුත් මා එක්ක ජනතාව ඉන්නකම් මේ මන්ත්‍රිකම නැති කරන්න බෑ.

ඔබලත් මාතලේ ගෙනියන්නේ පවුල් පාලනයක් නේද?

අපි ආවේ පවුල් බලයෙන් නෙවේ. ඡන්දෙන්. අපි බලෙන් නාම යෝජනා ඉල්ලලත් නෑ.

ඔබේ සහෝදරයා වසන්ත අලුවිහාරේට රාජ්‍ය ඇමැතිකමක් ලැබුණා. ඔබට එහෙමවත් නෑ.

මම පාර්ලිමේන්තුවට ආවේ 2000. මගේ සහෝදරයා ආවේ 2010. සහෝදරයාට 2015 රාජ්‍ය ඇමැතිකමක් දුන්නා. මාව නිකම්ම තිබ්බා. පවුල තුළත් මේ අය ගැටුම් හැදුවා. මම වැඩිමහල් සහෝදරයා නිසා ඉවසුවා. ඒ වගේ කැත වැඩ මේ පක්‍ෂයේ තියෙනවා. මම දෙවනුවට ආවා කියලා කවුරු හරි තර්ක කරයි. හැබැයි තුන්වෙනුවට හතරවෙනුවට ආපු සමහර අයට කැබිනට් ඇමැතිකම් පවා දුන්නා.

එ.ජා.ප.යේ මේ ගැටුම් හින්දා රාජපක්‍ෂ කණ්ඩායම නැවත දේශපාලනිකව හිස ඔසවමින් සිටිනවා නේද?

ඔව්. අපේ දුර්වලතා උඩ ඒ අය නැඟිටලා තිබෙනවා.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ ඔබේ පක්‍ෂයේ ස්ථාවරය මොකක්ද?

අපි මේ ආණ්ඩුව හද්දිම කිව්වා ඒක අහෝසි කරනවා කියලා.

ඔබලා සමුළු 2කදී ඒ බව ප්‍රකාශ කළා?

ඔව්. අපි එය අහෝසි කරන බව කිව්වා. ජනාධිපතිතුමත් මම හිතන්නේ 19 වැනි සංශෝධනයෙන් බලතල කිහිපයක් ඉවත් කළේ ඒ මහජන ඉල්ලීම උඩ.

නමුත් ජනවරම අරගෙන අවුරුදු 3ක් ගත වුණා. විධායකය අහෝසි කරගන්න තවමත් බැරිව ඉන්නේ ඇයි?

පක්‍ෂ දෙකේම විශ්වාසය නැති එක.

විධායකය අහෝසි කිරීමට අදාළ වූ 20 වැනි සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම්. ඔබ මෙය දකින්නේ කොහොමද?

ජනතා විමුක්ති පෙරමුණ කෙළින් කතා කරන පක්‍ෂයක්. රට හදන්න පුළුවන් අය. ඒ අය හැමදාම කතා කරනවා. මහජනයා ඒ අය පස්සෙන් ගිහින් ඉස්සරහට දානවා. හැබැයි ඒ අයට ඡන්ද දෙන්නේ නෑ. හැබැයි ඒ අය කරන වැඩේ හරි අවංකව කරනවා. ඒක පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්. එළියේ වෙන්න පුළුවන්. බොරුවට ගිහිල්ලා නිකම් සෝබන දාලා එහෙම කතා කරන පුද්ගලයො නොවේ. ඒක මගේ පෞද්ගලික හැඟීම.

ඔබ දුන් පිළිතුරුත් එක්ක හෙට යම් බලපෑමක් ඇති වෙයි කියලා බයක් නැද්ද?

අවංකව කතා කරන්න පුළුවන් නම්, ජීවිත පුද කරන්න පුළුවන් නම් නායකයෝ වෙනුවෙන්, මට මේ බලය තියෙනවා.

නමුත් ඔබලාගේ පක්‍ෂ අර්බුද විසඳනවා මිසක රටේ අර්බුද රටේ මහ පක්‍ෂ දෙකම අමතක කරලා නේද මේ වෙද්දී?

චෝදනා එල්ල වෙලා තියෙනවා. නමුත් අපට කතා කරන්න, අදහස් ඉදිරිපත් කරන්න තැනක් නෑනේ. පාර්ලිමේන්තුවේ කතා කළාට වැඩක් නෑනේ. ඒක හැන්ඩ්සාඩ් එකට විතරයි යන්නේ. නමුත් ඒවා බලලා හදාගත්ත නායකයෝ එදා හිටියා. හැබැයි එහෙම නායකයෝ දැන් නෑ. අපේ අදහස් හා යෝජනා ගැන අවධානයක් යොමු කරන අය නෑ. මම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, අනුර දිසානායක මහත්වරුන්ට හැම එක්කෙනාටම කිව්වේ මේ ස්ට්‍රයික් ටික නවත්වන්න කියලා. ලංකාවේ හැම දවසේම මිනිස්සු පාරේ. මේ ගැන මම යෝජනා ඉදිරිපත් කළා. ඒවා පිළිගත්තේ නෑ.

මේ යන විදියට ඉදිරියේදී ඔබේ දේශපාලන ගමනේ විශාල පෙරළි සිදුවෙයිද?

පක්‍ෂය මාරු කරන්නේ නෑ. ඉදිරියේදී හොඳ නායකයෙක් යටතේ පක්‍ෂයක් ලෙස අපිට ජයග්‍රහණයක් කරන්න ඕන. එ.ජා.ප. පාක්‍ෂිකයන් අවුරුදු ගාණක් බලාපොරොත්තු තිබ්බා. ඒ බලාපොරොත්තු අඩුම වශයෙන් 50%ක්වත් ඉෂ්ට කරන්න ඕනෑ.

නව නායකත්වයට සුදුසු පුද්ගලයා කවුද ඔබ හිතන විදියට?

මගේ හිතේ විතරක් නෙවේ. තවත් කිහිප දෙනෙක්ගේ හිත්වල ඉන්න නායකයෝ ඉන්නවා. ජනතාවට ඕනෑ නායකයා බිහි කරන්න ඕනෑ. අපිට ඕනෑ කතා නොවේ. අපිට ලස්සන වෙන්න පුළුවන්. තරුණ වෙන්න පුළුවන්. අපිට උදවු කරන කට්ටිය ඉන්නවා. හැබැයි අවශ්‍ය ඒක නෙවේ. අපේ පක්‍ෂය තුළ හොඳ නායකයෝ ඉන්නවා. ඉදිරියට ඒ කෙනෙක් තෝරා පත් කර ගනී.

අනුරාධා හේරත්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More