දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාව වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ සමාජ මාධ්‍ය නාලිකාවක් තුළින් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය පිළිබඳව සිදුකළ තමාගේ විවේචනය අදට ද එලෙසින්ම පවතින බව ය. එමගින් මුසම්මිල් මහතා අවධාරණය කරන්නේ මෙරට මුස්ලිම් ජනතාවට අරාබි සංස්කෘතික ලක්ෂණ එන්නත් කරනු ලැබූ ප්‍රමුඛතම සංවිධානය සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය බවයි. මුසම්මිල් මහතා වැඩිදුරටත් චෝදනා කර්න්නේ සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාගේ කිසිදු නියෝජනයක් නොමැති සංවිධානයක් බවත් අන්තවාදී කල්ලි නියෝජනය කරමින් අන්තවාදී මත දරමින් කටයුතු කරන “වියතුන්ගේ” එකතුවක් ලෙස සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය හඳුන්වා දීමට තමන් මැලි නොවන බවත්ය.

සම්පූර්ණ නිවේදනය පහතින්…

එම්. එස්. එම්. තාසිම් මහතා
වැඩ බලන මහලේකම්,
සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාව,
කොළඹ.

තාසිම් මහත්මයාණෙනි,

“මාගේ විවේචනය එසේමයි! ඔබගේ කණගාටුව පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ කතෝලික පවුල් වෙත පළකරන්නේ නම් සතුටු වෙමි.”

ඔබ සංවිධානය විසින් ‘කණගාටුව ප්‍රකාශ කිරීම සඳහා’ යන ශීර්ෂය සහිතව මා වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමි. එසේම මහජනතාවට වගකියන මහජන නියෝජිතයෙකු වශයෙන් මා වෙත පෞද්ගලිකව යොමු කළ ඔබගේ ලිපියට ලබාදෙන මෙම පිළිතුර ප්‍රසිද්ධ කරනු ලබන බව ද දන්වනු කැමැත්තෙමි. මා සමාජ මාධ්‍ය නාලිකාවක් මගින් ඔබ සංවිධානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ලිපිය එවා ඇති අතර එමඟින් මාගේ ප්‍රකාශය පිළිබඳව ඔබ සංවිධානයේ “බලවත් කණගාටුව” පළකර තිබිණි.

පළමුව කිව යුත්තේ එම සමාජ මාධ්‍ය නාලිකාව තුළින් ඔබ සංවිධානය පිළිබඳව සිදුකළ මාගේ විවේචනය අදට ද එලෙසින්ම පවතින බව ය. මෙරට මුස්ලිම් ජනතාවට අරාබි සංස්කෘතික ලක්ෂණ එන්නත් කරනු ලැබූ ප්‍රමුඛතම සංවිධානය ඔබ සංවිධානය ය. ඔබ සංවිධානය සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාගේ කිසිදු නියෝජනයක් නොමැත්තකි. අන්තවාදී කල්ලි නියෝජනය කරමින් අන්තවාදී මත දරමින් කටයුතු කරන “වියතුන්ගේ” එකතුවක් ලෙස ඔබ සංවිධානය හඳුන්වා දීමට මම මැලි නොවෙමි.

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් පල්ලි, සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාට සාමකාමී සහජීවනයට මඟ පෙන්වමින් කටයුතු කළ තත්ත්වය කණපිට හරවා ඒවා තම ග්‍රහණයට ගෙන, තමන්ට වුවමනා ආකාරයට හසුරුවමින් කටයුතු කිරීමට මුල් වූ ඔබ සංවිධානය පාර කැපුවේ ජාතික සංහිඳියාව දෙසට නොව අන්තවාදී ත්‍රස්තවාදය දෙසට ය. 2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි තුළ බෝම්බ 08ක් පිපිරී 300කට අධික කතෝලික බැතිමතුන් පිරිසකට ජීවිත අහිමි වන්නේ ඔබ සංවිධානය පෝෂණය කළ අන්තවාදයේ ප්‍රතිඵල ලෙස ය. එම මහා ව්‍යසනය සිදු වූ පසු එහි වගකීම භාර නොගෙන එහි වගකීම ‘සහරාන් කල්ලිය’ වෙත පවරා කටයුතු කිරීම පිළිබඳව වන මාගේ බලවත් විවේචනය යළි ඔබ සංවිධානය වෙත එල්ල කිරීමට, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සැබෑ සහජීවනය, සංහිදියාව ඔස්සේ ගොඩනැඟෙන ජාතික සමගිය වෙනුවෙන් සෑම විටම පෙනී සිටි මා කිසිසේත්ම පසුබට නොවෙමි.

එසේ තිබියදී මාගේ විවේචනය ගැඹුරින් තේරුම් නොගෙන, එය මතුපිටින් ගෙන මේ ලිපි මගින් සිදු කරන ඊනියා ‘කණගාටුව ප්‍රකාශ කිරීම්’ හාස්‍යජනකය. එවැනි හාස්‍ය උත්පාදක ජවනිකා මැවීම පසෙක තබා ඔබ සංවිධානයේ අන්තවාදී මතවාදයන්වල ප්‍රතිඵල ලෙස සිදු වූ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන්’ විපතට පත් කතෝලික පවුල් වෙත කණගාටුව පළ කරන්නේ නම් එය මාගේ සතුටට හේතු වන බව ද දක්වනු කැමැත්තෙමි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්තාව ද ඔබ සංවිධානය වෙත මා එල්ල කළ විවේචනය සනාථ කර තිබේ. ඔබ සංවිධානය විසින් පිළිගන්නා සහ එමගින් මුස්ලිම් ජනතාව අතර ප්‍රවර්ධනය කරන ජමාතේ ඉස්ලාම්, තවුහිත් හා තබ්ලික් යන මතවාදයන් අන්තවාදයට පාර කපන හෙයින් ඒවා තහනම් කළ යුතු බවට ඉහත කොමිසන් සභා වාර්තාවෙන් නිර්දේශ කර ඇත. එපමණක් නොව “මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය” පිළිබඳ එම වාර්තාවෙහි සඳහන් කොටසෙහි එකී විමර්ශනවලට අනවශ්‍ය ලෙස මැදිහත් වූ බව තහවුරු කර ඇති
අසාද් සාලිගේ නම සමග “තාසිම් මවුලවී” යනුවෙන් ඔබගේ නම ද සඳහන් වේ.

එසේම සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාවේ මහලේකම් ලෙස පෙනී සිටින ඔබ, 2019 අප්‍රේල් 21 වැනිදා “ට්‍රොපිකල් ඉන්” තානායමේදී මරාගෙන මැරුණු බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ පියාගේ ඥාති සොහොයුරා යැයි ඉහත කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බව ද කාරුණිකව පෙන්වා දීමට කැමැත්තෙමි.

අන්තවාදය සමඟ සබැඳුණු ඔබගේ හා ඔබ සංවිධානයේ ඉහත ක්‍රියාකාරකම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට එම අන්තවාදී ක්‍රියා පිළිවෙතින් ඉවත් වීමට පියවර ගන්නේ නම් මා මෙරට ජනතා නියෝජිතයකු ලෙස ඉමහත් සතුටට පත්වන බව ද සඳහන් කරමි.

ස්තුතියි,

මෙයට,
විශ්වාසී,

මොහොමඩ් මුසම්මිල් (පා.ම)
ප්‍රචාරක ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021.03.03



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More