දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රකාරව නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට නිර්දේශ කර ඇති බව ඒ පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ අඩංගු වන බව පැවසේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා එම වසරේම සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබූවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම වීම විශේෂත්වයකි.

කොමිසමේ අවසන් වාර්තාවෙන් කර ඇති නිර්දේශයන් අතර පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමට සලකා බැලීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවද කොමිසම විසින් නිර්දේශකර ඇති බවද වාර්තාවේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

එමගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට පිටත්ව යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩබලන අමාත්‍යයවරයෙකු පත්කිරීමක් නොකිරීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත් කොමිසම නිර්දේශ කර ඇති බවද වාර්තාවේ.

තවද කොමිසම් වාර්තාවේ නිර්දේශ අතර හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වීම. පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර නොගැනීම යන කාරණා කෙරෙහි අවධානය යොමු කර ඇති බවද වාර්තාවේ.

කෙසේ වුවද රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කිරීම වන අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු යැයි කොමිසම නිර්දේශ කර ඇති බව කියවේ.

මේ අතර කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති බව කොමිසම නිරීක්ෂණය කර ඇති අතර ඔහු සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කොමිසම නිර්දේශ කර ඇති බව කියවේ.

මෙහිදී කොමිසම බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම විසින් නිර්දේශ කරඇති බවද වාර්තා වේ.

මේ අතර පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීමට නීතිපතිවරයා විසින් කටයුතු කළ යුතු බව කොමිසම නිර්දේශ කර ඇතැයිද පැවසේ.

කෙසේ වුවද වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසම කර ඇති නිර්දේශ අතරට ඇතුළත් ව තිබෙන බවද වාර්තා වේ.

කොමිසන් සභා වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් අතර එය මේ වන විට මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More