ප‍්‍රධාන පුවත්

අපනයන කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙබරවාරි මස 18 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි නව රෙගුලාසි කිහිපයක් අපනයනකරුවන් වෙත පනවා තිබෙනවා.

එම රෙගුලාසි අනුව අපනයනය කරනු ලබන භාණ්ඩ නැව්ගත කරනු ලබන දිනයේ සිට දින 180 ක කාලයක් තුලදී මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ යුතු අතර ඊට අදාළ ලියවිලි අදාළ බැංකු වෙත නොපමාව ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී ඇත.

මිට අමතරව මෙරටට ලැබෙන අපනයන මුදලින් සියයට 25 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුදල් බවට පරිවර්තනය කළ යුතු බවටද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සම්පුර්ණ උපදෙස් මාලාව පහතින් දැක්වේ :

2021 පෙබරවාරි මස 18 වන දිනැති අංක 2215/39 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති පරිදි, අපනයනය මඟින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන්, මුදල් මණ්ඩලය මඟින් නිකුත් කර ඇත.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු, පහත රීතීන් 2021 පෙබරවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.

1. සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම් දෙන තුරු :

(ඉ) අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළව අපනයනය කිරීමෙන් ලද මුදල්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට දින එකසිය අසූවක් (180) ඇතුළත ශ්‍රී ලංකාව වෙත ගෙන්විය යුතුය, සහ

(ඊ) සෑම අපනයනයක් සඳහාම ලද සියලු මුදල් ලැබීම්වලට අදාළ සියලු ලේඛනගත සාක්ෂි, එම මුදල් ලබන්නාවූ බලපත්‍රලාභී වාණිජ බැංකුවට හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවට (මෙහි මින්මතු “බලපත්‍රලාභී බැංකුව” වශයෙන් හඳුන්වනු ලබන) නොපමාව ඉදිරිපත් කළ යුතුය.

2. සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, මෙම රීතිය යටතේ ඉල්ලා ඇති පරිදි අපනයනය මගින් ලද මුදල් ලැබුණු වහාම, බලපත්‍රලාභී බැංකුවක් මගින් එකී අපනයනය මගින් ලද මුළු මුදලින් සියයට විසි පහක ප්‍රතිශතයක් (25%) ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.

3. ඉහත සඳහන් කරන ලද අපනයනය කිරීම මගින් ලද මුදල් සියයට විසි පහක (25%) ප්‍රතිශතයකින් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය, මුදල් මණ්ඩලය මගින් කලින් කලට යම් වෙනත් ප්‍රතිශතයක් නියම කරනු ලබන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.

4. සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම මෙම රීතියෙන් නියම කරන ලද කාලය තුළ අපනයන කිරීම මගින් ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ මෙම රීතියෙන් නියම කර ඇති පරිදි එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්යයෙන්ම අධීක්ෂණය කළ යුතු අතර, ඒ සඳහා අදාළවන හෝ ඒ හා බැඳෙන සියලු ලිඛිත සාක්ෂි පවත්වාගෙන යා යුතුය.

5. සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම කලින් කලට නියම කරනු ලබන පරිදි වාර්තා, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හෝ නියෝජ්‍ය අධිපති විසින් බලය දෙනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හට මෙම රීතිය යටතේ පවත්වාගෙන යනු ලබන වාර්තා පරීක්ෂා කිරීම සහ එකී බලපත්‍රලාභී බැංකු විසින් මෙම රීතින් විෂයෙහි අනුකූලතාවය තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීම හා සමාලෝචනය කිරීම සඳහා බාධාවකින් තොරවූ ප්‍රවේශයක් ලබා දිය යුතුය.

6. මෙකී රීති, අපනයනය කරන ලද සියලු භාණ්ඩ සඳහා සහ භාණ්ඩ නැව් ගත කරන ලද දිනයේ සිට එකසිය අසූව (180) වන දිනය 2021 පෙබරවාරි 18 වන දිනට පසු ඕනෑම දිනයක එළැඹෙන්නේ වී නම්, අදාළ විය යුතුය.

7. මෙම රීති, 2021 පෙබරවාරි 18 වන දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ

8. සැක දුරුකර ගැනීම පිණිස හා මෙකී රීතිවල කාර්යය සඳහා “අපනයනය මගින් ලද මුදල්” යන්නට, 2019.10.17 දිනැති අංක 2145/49 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 7 වන වගන්තිය සමග කියවිය යුතු 29 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය වන මුදල් ඇතුළත් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More