පුරවැසි කොලම

ජනරාල් කමල්ට තේරෙන ඇත්ත…

February 18, 2021 9:26 am | Lanka Lead News

පරිසර විනාශය අද රටේ දැවෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේම, පරිසරයට සිදුවන හානිකර ක‍්‍රියා හේතුවෙන් රජයට හා ජනාධිපතිවරයාට තිබූ කීර්තිය ක‍්‍රමයෙන් හීනවෙමින් පවතින බවද පිළිගත යුතුය. එසේ වන්නේ පරිසරයට, වන හා වනජීවී දෙඅංශයට, වැඩිමනත් අලි වැට හා අලි අගල් කැපීම සඳහා ද රජය මගින් ඇමැතිවරු පත්කර සිටියදීය.

උණුසුම් පරිසර මාතෘකා රැසක් පළමුව කරළියට එන්නේ ඔය කියන අලි වැට හා අලි අගල් කැපීම සඳහා සිටින ඇමැතිවරයා විසින් රක්ෂිත මැදින් පාරවල් කපන්නට හා වනජීවී රක්ෂිත තුළ දෙනුන්ට තණ කවන්නට ගනු ලැබූ උත්සාහය නිසාය. මනම්පිටිය හා සෝමාවතිය ජාතික වනෝද්‍යාන තුළට මෙසේ නීති විරෝධීව හරක් රිංගවන්නට යෑම නිසා වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතට අනුව ඇමැතිවරයා සමග පැටළුණු සෝමාවතිය වනෝද්‍යානයේ පාලක වාසල මහතා කෙටි කලකින්ම ඇමැති අණින් මාරුකර යවන ලදී. ඊට හූමිටි තැබූ වරදට මාදුරුඔය උද්‍යාන පාලක බුද්ධික මහතා ද පාර්ලිමේන්තුවේදී පතුරු ගැසූ අදාළ ඇමැතිවරයා, ඉන්පසු එම පාලකවරයා ද වෙනත් පළාතකට මාරු කර යවා ඇති බව වාර්තා වේ. මේවා ජනප‍්‍රිය නොවූ, එහෙත් තිරය පිටුපස කතාය.

එපමණක් නොවේ, 2019 සිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනගෙන, මාර්ග සංවර්ධන අධිකාරියට නිසි පියවර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක දාරළුවේ කෲඩියා සිලනිකා නමැති ගස ඩෝසර් කිරීමෙන් රැකගන්නට ක‍්‍රියාකළ ගම්පහ දිසා වන නිලධාරිනිය උන්මන්තකව කටයුතු කළා යැයි ඉතා අප‍්‍රසන්න ආකාරයට ගර්හාවට ලක් කර පාර්ලිමේන්තුවේ කතාවක් සිදුකරන්නේ විෂයභාර ඇමැතිවරයාම වීම රටේ පරිසරය ගැන තවත් කුමන කතාද. සැබැවින්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඇමැති මණ්ඩලය තෝරා පත්කරගෙන ඇත්තේ පරිසරයත් රැකගෙන රටත් රැකගෙන ආණ්ඩුවත් ගොඩ දැමීම අරමුණු කරගනිමිනි. එහෙත්, පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා හැරෙන්නට ඉහත ඇමැතිවරුන් රටේ සිදුවන පරිසර විනාශය ගැන කතා නොකරන අතර, රජය හා ජනාධිපතිවරයා ද අපහසුතාවට පත්කරමින් ආණ්ඩුව අපකීර්තිය කරා ඇදගෙන යනු පෙනේ.

ඇමැතිකම් දී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් තෝරාගෙන බවට රජය කීවත් සත්‍ය නම් පාරිසරික විෂයයන් භාරදී ඇත්තේ නොගැලපෙන මන්ත‍්‍රීවරුන්ට බව අපගේ හැඟීමයි. අප එසේ කියන්නේ ඊයේ (17) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ හමුවේදී ආරක්ෂක ලේකම්, විශ‍්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් කරන ලද, මෙරට මෑතකාලයේ සිදුවන පරිසර විනාශය පිළිබඳ වැදගත්, සැර කතාව සැලකිල්ලට ගෙනය.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙහිදී ප‍්‍රකාශ කරන්නේ රටේ සැලකිය යුතු වන විනාශයක් හා පරිසර විනාශයක් මේ වනවිට සිදුවෙමින් පවතින බවත්, රාජ්‍ය බලය අයථා ලෙස භාවිත කරමින් සිදුකරනු ලබන එම විනාශය වැළැක්වීමට නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය. ත‍්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදා ගනිමින් අදාළ විනාශයන් හඳුනාගෙන වැළැක්වීමට වහා පියවර ගන්නා බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කරයි.

මෙම පරිසර විනාශයන් පිටුපස ඇතැම් දිසාපතිවරුන් ඇතුළු දූෂිත රාජ්‍ය නිලධාරීන් සිටින බවද පවසන ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ විනාශයන් වැටලීමේදී ඒ සඳහා බලපත‍්‍ර ඇති බවට හෙළි වුවද, මෙම බලපත‍්‍ර ලබා දී ඇත්තේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව බරපතල ගැටලූ පවතින බවයි.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව දැනටමත් ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කර කොතැනක හෝ පවතින වැරදි හඳුනාගෙන පරිසරය හා කැලෑ විනාශ කරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාකරන බවද, මෙවන් පරිසර විනාශ සිදුවන්නේ නම් වහාම තමන් දනුවත් කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පරිසරය රැකීම පිළිබඳව මෙවන් සැර ප‍්‍රකාශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්වත් අප මීට පෙර අසා තිබුණේ නැත. නමුත්, කමල් ගුණරත්න මහතාගේ මේ ස්ථාවරය ජනාධිපතිවරයාගේ අදහසම බවද අපි දනිමු. එනිසා ප‍්‍රමාද වී හෝ පරිසරය වෙනුවෙන්, වන විනාශය වෙනුවෙන් රජයේ මැදිහත්වීම ඉහළින් අගය කළ යුත්තකි. එසේම, එය ක‍්‍රියාවෙන් ද සනාථ කළ යුතුව ඇත. නැතහොත් පරිසර විනාශයත් සමගම ආණ්ඩුවත් විනාශය කරා යනු වැළැක්විය නොහැකිය.

2021.02.18 දිවයින කතුවැකිය



One thought on “ජනරාල් කමල්ට තේරෙන ඇත්ත…”

  1. Yes, Gen Gunaratne has and feel the sense of danger of destroying our greenery. Unfortunately or by purpose, his boss acting like a buffon, not knowing any thing or pretending like as he doesn’t know, destruction of our heritage

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More