පුරවැසි කොලම

දේශීය නොවන කෘෂි නිෂ්පාදන මෙරට ගොවීන්ගේ ආර්ථිකයට ඇති කරන බලපෑම අවම කිරීමට රජය ගත් උත්සාහයත්, නව වෛරසය සහ එය මර්දනය උදෙසා රජයේ ක්ෂණික ක‍්‍රියාමාර්ග පිළිබඳවත් තාර්කික අවබෝධයක් පුරවැසියන්හට දැන් ලැබී ඇත. කෙසේ වුවද මෙරට ජනසමාජයේ සාමාන්‍ය සංවර්ධනයට සහ එහි සියලූම කොටස්වලට වසංගතය එකසේ බලපැම් එල්ලකර ඇති බව නොරහසකි. රෝගය පැතිරයන විට තත්ත්වය වඩාත් නරක අතට යොමුවීම නිසා සංචලනයන් සීමාකිරීම වඩ වඩාත් දැඩි කිරීමට හේතුවී ඇති අතර ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමට අපහසුවීම හා ආහාර බෝග නිෂ්පාදන වියපැහැදම් ඉහළයෑම පාලනය කිරීමට රාජ්‍ය මැදිහත්වීම් ජාලගත වෙළෙඳ ප‍්‍රජාව විසින් අත්තනෝමතික ලෙස ව්‍යර්ථකරන ආකාරය ද අපි තේරුම් ගත යුත්තෙමු.

ස්ථාවර සමාජයක පදනම මෙන්ම ආර්ථිකයේ අතිශය තීරණාත්මක අංශයක් ලෙසින් මිනිස් හා මිනිස් අවශ්‍යතා සපුරාලන සත්ත්ව ප‍්‍රජාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර බෝග සැපයීම ඕනෑම රටක කෘෂිකර්මාන්තය දායකවේ. එබැවින් අප රටේ ද කෘෂිකාර්මික නිෂ්පාදන හා සැකසුම් කර්මාන්තයට කොවිඞ් -19 හි බලපෑම ආනුභවිකව විමර්ශනය කිරීම සහ එම බලපෑම් ලිහිල් කිරීම සඳහා ගත හැකි පියවර ගවේෂණය කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස දකිමි. මක්නිසාද යත් අනාගතයේදී ජනිතවිය හැකි මේ හා සමාන බෝවන රෝග වැළැක්වීමේ ප‍්‍රයත්නයන් පිළිබඳ රෙගුලාසි සම්පාදනය කිරීමේදී ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට කිසියම් අවබෝධයක් මේ ඔස්සේ ලබා දිය හැකි බැවිනි.

කෙසේ වෙතත් මේ දක්වා කිසිදු අධ්‍යයනයක් මගින් මෙරට කෘෂිකාර්මික ආර්ථිකයට කොවිඞ් – 19 මගින් ඇති කරන බලපෑම ආනුභවිකව පරීක්ෂා කිරීමක් කරනවාද යන්න සැක සහිතය. එහෙයින් මෙරට කෘෂි ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳව ගුණාත්මක ගවේෂණයක් උදෙසා රෝපණ ද්‍රව්‍ය හා පොහොර, බීජ නිෂ්පාදන කර්මාන්තය, බෝග නිෂ්පාදන සැකසීම, එළවළු කර්මාන්තය, පලතුරු කර්මාන්තය, මල් කර්මාන්තය හා පශු සම්පත් අභිජනනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තය යනාදිය කෙරෙහි ඇති කර තිබෙන අහිතකර බලපෑම් කෙරෙහි අපි අවධානය යොමු කළ යුත්තෙමු. ඒ අනුව බහුතරයක් වූ යෙදවුම් අවශ්‍යතා දේශීය වශයෙන් උත්පාදනය කර ගැනීමට ක‍්‍රියාකළ යුතු වන්නේමය. මේ උදෙසා අවශ්‍ය මානව සම්පත හා යටිතල පහසුකම් මෙරට තුළම ඇති බව බලධාරීන් අවබෝධකර ගත යුතුවේ.

ධාන්‍ය බෝග සහ වෙනත් අත්‍යවශ්‍ය කෘෂිකාර්මික බෝග නිෂ්පාදන සඳහා පහසුකම් සැපයීම, වී සඳහා සහතික මිලක් නියම කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිය දිරිගැන්වීම උදෙසා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවා ක‍්‍රියාත්මක කරවීම සහ කෘෂිකර්මාන්තය උදෙසා පොහොර සහනාධාරය ශක්තිමත් කිරීම වැනි කටයුතු කෙරෙහි රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් විවිධ සාධනීය ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත් ඒ උදෙසා රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ සක‍්‍රීය දායකත්වයක් ඊට අදාළ සමාන්තර රාජ්‍ය සේවාවන්හි නිරතවන්නන් ඉටුකරන්නේද යන්න ජනාධිපතිතුමාගේ “ගම සමඟ පිළිසඳරක්” සහ “වැඩ සමග යළි ගමට” වැඩසටහනින් බොහෝ දෙනකුහට අවබෝධකර ගැනීම අපහසු නොවේ.

කෙසේ වුවද මෙරට වී හා බඩඉරිඟු වගාවට සැලකිය යුතු බලපෑමක් නිරෝධායන සීමාකිරීම් බලපා ඇති බවක් නොපන්වුවද එකී නිෂ්පාදන වෙළෙඳ පොළට යොමු කිරීමේදී වෙළෙඳ මාෆියාවේ සීමාකාරී බාධක ඉදිරියට නොඑනු ඇතැයි පැවසිය හැකිද? තවමත් වෙළෙ`ද ප‍්‍රජාව හා තොග රැස්කරන්නන් නිරෝධායන පිළිවෙත් නොසලකා හැරීම මත ඔවුන්හට විවෘතව පවතින වෙළෙ`දපොළ හුවමාරු මධ්‍යස්ථාන හා නගර අගුළු දැමීම සිදුනොවනු ඇතැයි සිතිය නොහැක. ඒ අනුව ඇති වන ප‍්‍රවාහන අවහිරතා නිසා හෙට දිනයේද ආහාර සැකසුම් නිෂ්පාදනය කර්මාන්තයට දැඩි බලපැම් එල්ලවීම වළකාගත නොහැකිවේ.

එපමණක් නොව ග‍්‍රාමීය ගොවීන්ගේ වගාබිම් සුරක්ෂාකර ගැනීම උදෙසා වනසතුන් ගෙන් සිදුවන උවදුරු හේතුවෙන් ග‍්‍රාමීය කුටුම්භයන්ට උපයාගත හැකි ආදායම් ප‍්‍රතිශතය අඩුවීම කෙරෙහි බලපාන අතර ඔවුන්ගේ පුද්ගල සෞඛ්‍ය හා අධ්‍යාපනික වියදම් සඳහා කළ හැකි වැය සීමාකරන අතර ඔවුන්ගේ අනාගත සංවර්ධනයට එය විභව අභියෝගයක් විය හැකිය. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය මෙන්ම ඒ හා සමගාමී වන්නාවූ පශු සම්පත් අංශයේ ද, නිෂ්පාදන ඉඩ ප‍්‍රස්ථා ඇහිරීම හා නිෂ්පාදන වෙළෙඳාමට බාධා ඇතිවීම විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතාම අසන්නට දකින්නට ලැබේ. එවැනි පවුල් කුටුම්භ ගැන කිව හැක්කේ කුමක්ද?

එහෙයින් කෘෂිකර්මාන්ත අංශය තුළ මානව සම්පත් සංවර්ධනය වැදගත්ම අංශයක් වන අතර එය ආහාර සුරක්ෂිතතාවයට සම්බන්ධයෙන් ද සෘජුවම බලපෑම් කරන බව සනාථවේ. එබැවින් කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය අතර සම්බන්ධතා විශ්ලේෂණය කිරීමේදී කොවිඞ් -19 වසංගත පාලන රෙගුලාසි හා නිරෝධානයන නීති කෘෂිකර්මාන්තයේ වැදගත් අංශ වන ආහාර සැපයුම සහ ඉල්ලූම කෙරෙහි බලපාන බව පැවසිය හැක. එහෙයින් ඉදිරි කාලය සම්බන්ධයෙන් මෙකී අවදානම බැහැරලිය නොහැකි බව පැවසිය හැක.

මක්නිසාද යත් නිෂ්පාදනය, ඇසුරුම්කරණය, බෙදා හැරීම, ගබඩා කිරීම සහ අලෙවිකරණය ආහාර සැපයුම්දාමය යනු කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ කරන ශක්තිමත් ජාලයක් වන හෙයිනි. කොවිඞ් පළමු රැුල්ලේදී සමාජ හුදකලාව පිළිබඳ නිවේදන මගින් සිදුවූයේ සැපයුම් මධ්‍යස්ථාන හා වෙළෙඳ ප‍්‍රජාව සමහර නිෂ්පාදන හිඟයක් ජනනය කිරීමයි. එසේ තිබියදීත්, ආහාර සැපයුම ස්ථාවර වී ඇත්තේ එය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ පවත්වා ගත් සූක්ෂම ක‍්‍රමවේදය හේතුවෙනි. ඒ අනුව රජයේ කාර්යභාරය වූයේ ආහාර වටිනාකම් දාමයන්ට බාධා නොවන ලෙස සැපයම් ප‍්‍රවර්ධනය කිරීම සහ බෙදාහැරීම් ජාලය නිරෝධායන රෙගුලාසි යටතේ රාජ්‍ය යාන්ත‍්‍රණයක් ඔස්සේම අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමයි.

කෙසේ වුවද කෘෂිකාර්මික කටයුතු උදෙසා ශ‍්‍රම සංචලතාව සඳහා රජයන් විසින් පනවා ඇති සීමාවන් සම්බන්ධයෙන් යම් යම් ගැටලූ තිබුණද, මූලික අවශ්‍යතා සැපයීම සාමාන්‍යයෙන් සහතික කෙරිණි. එසේ වුවද අපනයනය උදෙසා නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් විය. දේශසීමා වැසීම හෝ පාරිභෝගික ද්‍රව්‍ය උදෙසා වන සෞඛාරක්ෂක රෙගුලාසි හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාමට ඇතිකර තිබෙන බාධා මෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන එවැනි ක‍්‍රියාදාම තාවකාලික විය හැකිය. එය රඳා පවතින්නේ වෛරසය පැතිරීම වැළැක්වීමට එක් එක් රටවල් ගනු ලබන ක‍්‍රියාමාර්ග මතයි.

එම තත්ත්වය යටතේ මෙරට තුළ ද අවිනිශ්චිතතාවය සහ ජනතාව සතු වියපැහැදම් කිරීමේ ධාරිතාව අඩුවීම හේතුවෙන් ආහාර සඳහා ඇති ඉල්ලූම අඩුවිය. මෙම අඩුවීම තවදුරටත් එලෙම පවතිනු ඇත. පාලන කරගැනීම සීමාකාරී වුවහොත් වසංගතය දීර්ඝ කාලයක් තිස්සේ පැවතිය හැක. ඒ අනුව මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ඒක පුද්ගල මාසික ආදායම් අඩුවීම හා රැුකියා අහිමිවීම් හේතුවෙන් සීමිත මූල්‍ය පහසුකම් යටතේ පවුල් කුටුම්භවල පෝෂණ අවශ්‍යතා උදෙසා සමාජ සත්කරක වැඩසටහන් දියත් කිරීමට සිදුවනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ ප‍්‍රජාවගේ මූලික අවශ්‍යතා සඳහා ආහාර සලාක ක‍්‍රමයකට බෙදා හැරීමට හෝ ආහාර සලාකවල පිරිවැයට සමාන මූල්‍ය ණය පහසුකම් පැකේජ ප‍්‍රදානය කිරීමට සිදුවිය හැක. ඒ ඔස්සේ ආහාර හුවමාරුවට ඇති බාධා අවම බැවින් ආහාර සැපයුම ස්ථාවරව පවත්වාගත හැක.

දේශීය වශයෙන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොළ කෙරෙහිද වෛරසයේ සැලකිය යුතු බලපෑමක් දක්නට ලැබේ. මෙම රෝගයේ කේන්ද්‍රස්ථානය වූ චීනයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය හා අපනයන අංශයේ කළමනාකරණය අඩාල වීමත් සමඟ මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධන යෙදවුම් ලබා ගැනීමට ඉඩකඩ ඇහිරී ඇත. ඒ හේතුවෙන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සේවා සපයන්නන්ගේ මෙහෙයුම් ද අඩාල වී තිබේ. ශ‍්‍රමය සංක‍්‍රමණය වීම සහ අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් ගොවිපොළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන අංශය අභියෝග රැසකට මුහුණ දී ඇති ආකාර එවැනි ආයතන පරිශ‍්‍ර හා අලෙවි නියෝජිත ආයතන වෙතින් දැකගත හැකිවේ.

මේ අනුව, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොළ නව ප‍්‍රවණතාවලට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නිරත වන්නන්හට මුහුණදීමට සිදුවේ. තාක්ෂණය මඟින් ශ‍්‍රම ඌනතාවයට දැක්වූ සහාය එම ක්ෂේත‍්‍රයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කරනු ලැබූ බව නොරහසකි. දේශීය වශයෙන් කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනය කරන හා එකලස් කරන සමාගම් විසින් නව සාමාන්‍යකරණය යටතේ මෙම ක්ෂේත‍්‍රය උදෙසා යම් උත්තේජනයක් ඇති කිරීමට යොමුවිය යුතු කාලයකි මෙය. මක්නිසාද යත් අපගේ මූල්‍ය ශක්‍යතාව මත තවදුරටත් රුපියලේ අගය පහත වැටීම වළකාගත නොහැකි වන හෙයින් ආනයනය කරන කෘෂි යන්ත්‍රෝපකරණ හා සහායක උපකරණ ස`දහා විශාල වියපැහැදමක් දැරීමට සිදුවන බැවිනි. එවැනි තත්ත්වයක් යටතේ එකී යන්ත්‍රෝපකරණ අලූතෙන් මිලදී ගැනීමට ගොවින් පෙළඹේ යැයි අපේක්ෂා කළ නොහැක.

එසේ වුවද ගොවීන්ගේ අවශ්‍යතාවට හා පරිමාණයට සරිලන යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට පහසුකම් සැලසීමට පමණක් නොව ඒ උදෙසා පසුපෙළ සේවා සපයන්නන් දිරිමත් කිරීම ද අප සිදු කළ යුතුවේ. කොවිඞ්-19 අර්බුදය තුළ ශ‍්‍රම හිඟය අවම කිරීම සඳහා පරිමාණයට ගැළපෙන යන්ත්‍රෝපකරණ වඩාත් වැදගත් වන්නේ එබැවිනි. වැඩිවන ශ‍්‍රම පිරිවැයට ප‍්‍රවේශවීමට නොහැකි ගොවීන්හට මෙය ඵලදායී විස`දුමක් වනු ඇත. සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යෑම සහ දිරිගැන්වීම අතරතුර ගොවීන්ට තීරණාත්මක වැඩකටයුතු පහසුකර ගැනීමට මෙමඟින් ඉඩකඩ ලැබෙනු ඇත. ඒ උදෙසා දේශීය වශයෙන් කුඩා යන්ත‍්‍ර නිෂ්පාදනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම්වල සහාය ඇතිව ග‍්‍රාමීය සේවා සපයන්නන් පදනම් කරගෙන තාක්ෂණ සේවා බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඔස්සේ බොහෝ ගැටලූ අතික‍්‍රමණය කළ හැකිවේ.

එමෙන්ම කොවිඞ් – 19 සීමාවන් හේතුවෙන් මූල්‍ය හා ආහාර සංචිත වේගයෙන් හැකිළෙමින් පවතින නොරහසකි. අවිධිමත් වෙළෙඳපොළවල ඉල්ලූමට දැඩි ලෙස බලපාන මෙම තත්ත්වය ගොවිතැන සඳහා ශ‍්‍රම උපයෝගිතාව වැඩි කරනු ඇතැයි යමෙකු අපේක්ෂා කළ හැකි නමුත් ශ‍්‍රමිකයන්ගේ දායකත්වය ඊට ලැබේද යන්න ගැටලූවකි. එපමණක් නොව ආසාදන පැතිරීමේ අවදානම හා ශ‍්‍රම ඌනතාව හේතුවෙන් දෛනික ශ‍්‍රම පිරිවැය ද සැලකිය යුතු ලෙස වැඩිවනු ඇත. රෝපණ කටයුතු හෝ අස්වනු නෙලීම වැනි තීරණාත්මක බෝග කළමනාකරණ ක‍්‍රියාකාරකම් සහතික කර ගැනීමේදී ගොවිපළ හිමියන් මෙන්ම ගොවීන්හට ද මෙම ගැටලූ සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදුවේ.

එසේම සහල් හා බඩඉරිඟු නිෂ්පාදන කලාපවල නිෂ්පාදන මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම උදෙසා රජයන් විසින් ප‍්‍රතිපත්තිමය වශයෙන් කඩිනම් තිරසාර වැඩසටහනක් මඟින් ශ‍්‍රම සම්පාදන ගැටලූ විසඳාගත හැකි පරිමාණයට ගැළපෙන ගොවිපළ යාන්ත්‍රෝපකරණ හඳුන්වා දීමෙන් අස්වනු තිර කිරීමට මෙන්ම ගොවීන්ගේ වැය බර අඩු කිරීමට ක‍්‍රියාකළ හැක. වැදගත් වන්නේ “පරිමාණුකූලව සුදුසු යාන්ත‍්‍රිකකරණය” යන සංකල්පය අර්ථවත් කළ හැක්කේ කවදාද සහ කොතැනද යන්න ඉගෙන ගැනීම හා එයට විරුද්ධව ක‍්‍රියාත්මක විය හැකි නිලධාරිවාදය යටපත් කිරීමයි.

දේශීය නොවන කෘෂි නිෂ්පාදන මෙරට ගොවීන්ගේ ආර්ථිකයට ඇති කරන බලපෑම අවම කිරීමට රජය ගත් උත්සාහයත්, නව වෛරසය සහ එය මර්දනය උදෙසා රජයේ ක්ෂණික ක‍්‍රියාමාර්ග පිළිබඳවත් තාර්කික අවබෝධයක් පුරවැසියන්හට දැන් ලැබී ඇත. කෙසේ වුවද මෙරට ජනසමාජයේ සාමාන්‍ය සංවර්ධනයට සහ එහි සියලූම කොටස්වලට වසංගතය එකසේ බලපැම් එල්ලකර ඇති බව නොරහසකි. රෝගය පැතිරයන විට තත්ත්වය වඩාත් නරක අතට යොමුවීම නිසා සංචලනයන් සීමාකිරීම වඩ වඩාත් දැඩි කිරීමට හේතුවී ඇති අතර ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමට අපහසුවීම හා ආහාර බෝග නිෂ්පාදන වියපැහැදම් ඉහළයෑම පාලනය කිරීමට රාජ්‍ය මැදිහත්වීම් ජාලගත වෙළෙඳ ප‍්‍රජාව විසින් අත්තනෝමතික ලෙස ව්‍යර්ථකරන ආකාරය ද අපි තේරුම් ගත යුත්තෙමු.

කෙසේ වුවද වර්තමාන වසංගතය හමුවේ ශ‍්‍රමය හා ගැටෙන කෘෂි හා පශු සම්පත් ආශ‍්‍රිත හැකි සෑම අංශයක්ම යාන්ත‍්‍රීකරණය උදෙසා නව දර්ශනයක් අප ගොඩනඟාගත යුතුවේ. එමෙන්ම පලතුරු හා එළවළු නිෂ්පාදනය යටතේ යෝග්‍ය හා උචිත යාන්ත‍්‍රීකකරණය ඔස්සේ සුළු පරිමාණ ආහාර සැකසුම් ක්ෂේත‍්‍රයක් සඳහා මෙතෙක් අප නිශ්චිත ක‍්‍රියාදාමයක් කෙරෙහි අවධානයක් යොමු කළ බව දැකිය නොහැක. මෙම වසංගතය අපට පෙන්වා දුන්නේ එයයි. ප‍්‍රාදේශීය වශයෙන් ආහාර සම්පානය කර ගැනීමේදී අප හුදෙකළා වුයේ එනිසා නොවන්නේද?. මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ සංවර්ධන සමායෝජිකයන් මෙම තත්ත්වය වටහාගත යුතු නොවේද? කෙසේ වුවද පරිමාණුකූලව සුදුසු යාන්ත‍්‍රීකරණය කෙරෙහි අප යොමුවූවානම් මෙවැනි අභියෝග හමුවේ නොසැළී සිටීමට හැකියාව නොතිබුණා නොවේද?
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More