පුරවැසි කොලම

2019 සිට දැනගෙනත් කෲඩියා බේරාගන්නට බලධාරීන් කළ දෙයක් නැහැ..

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සිලනිකා (Crudia Ceylanica) නොහොත් පඬු කරඳ (පණු කරඳ) ශාකය ගැන අපට කියවන්නට තිබුණේ දැන් අපි කියවන වර්ගයේ නොව, අලූත්ම අලූත් ප‍්‍රවෘත්තියකි. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා පෙර පාරිසරික තක්සේරු ක‍්‍රියාවලියේ යෙදී සිටි පර්යේෂණ කණ්ඩායමකට මීට වසර 100 කට එපිටින් ශ‍්‍රී ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන කෲඩියා සිලනිකා නමැති ශාකයක් නැවත සොයාගන්නට ලැබුණු බව හා එම ශාකය නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස්කර, ඉහත ශාකය සංරක්ෂණය කිරීමට රජය වහා පියවර ගන්නා ලදී, වැනි ධනාත්මක ප‍්‍රවෘත්තියකි.
වැඩිමනත්, ඉහත ශාකය වහාම සංරක්ෂණය සඳහා රජය පියවර ගෙන ඇති බවත් වැල නොකැඞී ජනතාව මෙම දුර්ලභ ගස බලන්නට පැමිණෙමින් සිටින බවත් ආදී වශයෙන් ප‍්‍රවෘත්ති මවන උල්පතක් බවට පත්වෙමින් ගස දේශ දේශාන්තරයේ ප‍්‍රකටවන කතා අපට අසන්නට තිබිණි.
නමුත් රටේ අවාසනාවකට හෝ අපේ අවාසනාවකට අපට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි ධනාත්මක ප‍්‍රවෘත්ති වෙනුවට අධිවේගී මාර්ගයට යටකොට එම ගස මරාදමන්නට හිත් පිත් නැති සංවර්ධනය කටයුතු කරන ආකාරයේ හද පාරවන ප‍්‍රවෘත්ති හා එවන් විනාශයන් ගැන කතාකරන්නට ඩෝසරය ඉදිරියට පනින දේවානි ජයතිලක වැනි (වන) සංරක්ෂණ නිලධාරීන් පසුපස පන්න පන්නා පහර දෙන විෂය භාර කැබිනට් ඇමැති සී. බී. රත්නායක වැනි ඔලමොට්ටල ඇමැතිවරුන් ගැන අසන්නට ලැබෙන අප‍්‍රසන්න ප‍්‍රවෘත්ති ගැනය.
කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් (හා ශාක පිළිබඳ ඔස්තාර්වරුන්ගෙන්) ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත නම් කළුගඟ නිම්නයේ පිහිටි ප‍්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (G. H. K. Thwaits) මහතා විසිනි. කළුතර ගල්පාත ප‍්‍රදේශයේ පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත‍්‍ර ඇතුළු එක් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බි‍්‍රතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඞ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වා දී (Describe) ඇත.
අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත්කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරනු ලබති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්වය. ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවද ඒ අනුව යමින් මෙම ශාකය වඳව ගිය ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. නමුත් මෙම ශාකය පිළිබඳව කරුණු සොයා යෑමේදී අපට පසක් වුණු සැබෑව නම්, සංරක්ෂණවේදීන් අතින් වඳවීයාමේ වාර්තාවකට හිමිකම් කියන ශාකයක් හෝ සතෙකු යළිත් කුමන හෝ ප‍්‍රදේශයකින් හමුවන්නට ඇති ඉඩකඩද මේ වඳවීම යන්නෙන් අදහස් කරන බව ඔවුහු පවසති. නොහොත්, වඳව ගියා යැයි සැලකෙන ශාකයක් (හෝ සතෙකු) යළි හමුවන්නට හැකි බව ඔවුහු පවසති.
කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේද ඒ සිද්ධාන්තය අනුවය. නමුත්, යළිත් කෲඩියා දාරළුවෙන් මතුවන්නේ සිද්ධාන්තයකට, වාසනාවකටත් වඩා ආශ්චර්යයකට බව ලියුම්කරුගේ අදහසයි. මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව රජය (නොව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන) කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ මෙරට සිදුනොවන තරම්ය. මෙම වාර්තා රජයට (මධ්‍යම පරිසර අධිකාරියට) ලබාදීම සඳහා ව්‍යාපෘති යෝජකයා විසින් එවන් පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ආයතනයක, පුද්ගල කණ්ඩායමක සේවය කුලියට ලබාගැනීම සිදුකරනු ලබන අතර, නිවසේ දහසකුත් ආර්ථික ප‍්‍රශ්නවලට ලක්ව සිටින මෙම කුලීකරුවන්ට කීයක් හෝ හොයාගන්නට ලැබෙන දුලභ අවස්ථාවක් මේ වන බැවින්, කොම්පැණියේ සල්ලිවලට පින්සිදුවන්නට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව වැඩි අමාරුවක් නැතිව විශිෂ්ට සාමාර්ථ ඇතිව පාස් වේ. මෙය හරියට වාහනයක දුම් සහතිකය පරීක්ෂණයක් නොකර සල්ලිවලට ලබාගන්නවා වැනි කටයුත්තකි. (දේවකාරිය මෙන් නිවැරදිව එම සේවය ලබා දෙන ඇත්තෝ ලියුම්කරුගේ මේ කතාවට කමත්වා…)
එසේ නොවන්නේ නම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙතුන් පාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඔවුන්ට හමුනොවීම මහා පුදුමයකි. නැත, සැබෑව එය නොවේ….මෙවන් පාරිසරික තක්සේරු වාර්තා සැකසීමේ කටයුතුවල නිරත ලියුම්කරුගේ හිතවතුන්ට හා ඔවුන්ගේ තක්සේරුවට අනුව නම්, මේ ගස කරඳ වැනි (නොවටිනා) ගසක් ලෙස හඳුනාගෙන තිබීමය. ඔවුන් කියන පරිදි ගුරුන්ටත් අකුරු වරදින පරිදි, ශාක පිළිබඳ ඔස්තාර්වරුන්ටත් මෙවැනි දුලභ, වටිනා, තර්ජනයට ලක්වූ ශාක මගහැරුණු අවස්ථා එමට තිබේ. (ඒ පිළිබඳ කරුණු කාරනා පසුවට කතා කරමු)
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව පිළියෙල කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මිලියන ගණනක මුදලක් ගෙවා ඇති අතර, ආයතන කිහිපයකින් වාර්තා ලබාගෙන ඇත. කඩවත සිට දඹුල්ල දක්වා අදියර කිහිපයකින් මුල් පරිසර තක්සේරු වාර්තාව සකසා දී ඇත්තේ Skills International නම් සංවිධානයක් මගිනි. අනතුරුව එම වාර්තා සියල්ල එක වාර්තාවක් බවට පත්කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Centre for Sustainability ආයතනය මගිනි. ඉන් අනතුරුවත් මධ්‍යම පරිසර අධිකාරියේ දැනුම්දීම මත තවත් මෙහි වෙනම ජෛවවිවිධත්ව සමීක්ෂණයක්ද සිදුකර ඇත. එහි සත්ත්වයින් පිළිබඳ සොයා බැලීම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරනු ලැබ ඇති අතර, එහි ශාක අංශය සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා එහි ජාතික ශාකාගාරයද සම්බන්ධවී ඇති නමුත් ඒ කිසිවකු විසින් හෝ දාරළුවේ පිහිටි මෙම ගස කුමක්ද යන්න හඳුනාගෙන නොමැතිවීම පුදුමය දනවන්නකි. නමුත්, සමස්ත අධ්‍යයනයේදී ශ‍්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂිත ශාක විශේෂ 06 ක් හඳුනාගත් බව මෙහි එක් සමීක්ෂණයක් සිදුකළ ප‍්‍රකට පරිසරවේදී ප‍්‍රදීප් රාජදේව මහතා සඳහන් කරයි. යාගොඩ ප‍්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ පළමු බිම් සැලසුම තුළ මැන්ඩෝර (Vatica paludosa) නම් ශ‍්‍රී ලංකාවට අවේණික, දුලභ හා වඳවීමට ලක්වූ වෙනත් ගසක් හඳුනාගෙන තිබූ අතර, ගෝනවැල් නම් (Ancistrocladus hamatus) ශ‍්‍රී ලංකාවට ආවේණික කාෂ්ටීය අවරෝහකය (වැලක්) ද, ශ‍්‍රී ලංකාවට අවේණික නොවන, එනමුත් වඳවීමේ තර්ජනයට ලක්වූ තවත් වැල් වර්ග තුනක්, එනම් හීං හිඹුටු (Salacia chinensis), බූ වසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum මෙම අධ්‍යයනයේදී හඳුනාගෙන තිබීමද නොසලකා සිටිය යුතු කාරණයක් නොවේ. ඒ අනුව ඇතැමුන් කියන පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා සැකසීමේ මුදලාලිකරණය යන්න සාධාරණ හැඳින්වීමක්ද යන්න විමසා බැලීම වටී.
කෙසේ හෝ 2018 අපේ‍්‍රල් 03 වැනිදා මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ කොන්ත‍්‍රාත් සහ රාජ්‍ය ආයතනවල සියලූම වගකිවයුතු අංශවල සහභාගිත්වයෙන් ගම්පහ දාරළුව නම් (පසුව කෲඩියා ශාකය හඳුනාගත්) මෙම පරිසර පද්ධතිය පිහිටි ස්ථානයේම තවත් මැන්ඩෝර ශාක තිබේදැයි යන්න පිළිබඳව සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදීවත් මගහැරුණු මෙම දුලභ ගස (ගසේ අත්තක් කඩාගෙන ජාතික ශාකාගාරයට ගෙනයන ලදැයි වාර්තා වේ.) යළිත් විදුලොවට එන්නේ ඊටත් වසරකුත් මාස 7 කට පසු, එනම් 2019 නොවැම්බර් 17 දින යළිත් එම ස්ථානය ගවේෂණය කරනු ලබන පරිසරවේදියකු අතිනි. ඒ හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් කරන ලද පසු පරීක්ෂණයකදීය. ඔහු මීට පෙර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉල්ලා සිටින ලද ශාක පිළිබඳ ජෛව විවිධත්ව සමීක්ෂණය සඳහා උද්භිද උද්‍යානය නියෝජනය කරන ලද සාමාජිකයෙකි. 2018 අපේ‍්‍රල් මස 03 වැනිදා මෙහි පැමිණි පසු ඔහුගේ සිතේ ඇතිවුණු දෙගිඩියාවක් නිසා මල් පිපුණු කාලයක යළිත් එහි තනිව පැමිණ කරන ලද සොයාබැලීමකදී මෙසේ මෙම ගස කෲඩියා සිලනිකා බවට ඔහු විසින් තහවුරු කර හඳුනාගනු ලැබීය.
ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලූත් සොයාගැනීම පිළිබඳ ප‍්‍රවෘත්තිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබුණු අතර, හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීමක් සිදුකර ගස බේරාගැනීම සඳහා ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටීම අද ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවයි. එනම්, එම සොයා ගැනීමත් සමගම මෙම ශාකයේ වැදගත්කම පිළිබඳව එවකට බස්නාහිර පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා දැනුවත් කෙරෙන අතර, මේ පිළිබඳ පණිවිඩය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබාදෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දැනුවත්කර වහාම ක‍්‍රියාමාර්ග ගැනීම සඳහාය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් පරිදි ඔවුන් විසින් 2019 වසරේ නොවැම්බර් මස මේ පිළිබඳ සියලූ තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇත්තේ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහාය. එදා වසරකට පෙර ඔවුන් විසින් නිවැරදි තීන්දුව ගෙන මාර්ග සැලසුම වෙනස් කළේ නම් අද කෲඩියා සිලනිකාගෙන් ආණ්ඩුව ඇදගෙන නාගන්නේ නැත. වනජීවී හා පරිසර ඇමැති සී. බී. තමන්ගේ නිලධාරිනියක වන ගම්පහ දිසා වන නිලධාරිනියට උන්මන්තක කාන්තාවක යැයි කට කැඩුණු කතා කියන්නේ නැත. රජයට විරුද්ධව මාර්ග සංවර්ධන අධිකාරිය තුළ ගේම් දෙන ඉහළ බලධාරීන් විසින් හිතා මතා මෙම වැදගත් තොරතුර යට ගසා ඇති බව අපගේ විශ්වාසයයි. මන්ද මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ මේ පිළිබඳව නිවැරදිව කටයුතු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත්කර තිබියදී වත්මන් තත්ත්වය උද්ගතව ඇති බවයි. එනමුත් අධිකාරිය පසු විපරමක් සිදු කළේ නම්, දැනටමත් කෲඩියා සහ ඇයගේ අපූරු, වටිනා පරිසර පද්ධතිය බේරාගැනීමට ඉඩ තිබිණි.
පාරිසරික බලපෑම් වාර්තාවේ දෝෂ තිබුණත්, ශාකය හඳුනාගැනීමෙන් පසුව හෝ කෲඩියා ශාකයේ වටිනාකම සියලූ රාජ්‍ය ආයතන විසින් නොසලකා කටයුතු කර ඇති බව වසරක කල් මැරිල්ලෙන් අපට පැහැදිලි වේ. ඔවුන් එදා ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නම් ආණ්ඩුව අද අපහසුතාවකට පත්නොවන අතර, ගසත් බේරාගෙන පාරත් හදන්නට තිබිණි. මෙතැන පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේ රජය හා ජනාධිපතිවරයා අපහසුතාවට පත්කරන ආකාරයේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී කටයුත්තක් බව අපගේ අදහසයි. ඒ බවට මධ්‍යම පරිසර අධිකාරිය සාක්ෂි දරයි.
කෙසේ හෝ 2018 අපේ‍්‍රල් 03 වැනිදා දාරළුව කෲඩියා පරිසර පද්ධතියෙන් සාම්පල් රැස්කරගන්නා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ශාකය නිවැරදිව හඳුනා නොගන්නා අතර, හිමේෂ් දිල්රුවන් ජයසිංහ විසින් ශාකය හඳුනාගැනීමෙන් පසු එම ශාකයේ බීජ එක් රැස් කරගනු ලබන අතර, තවත් මේ විශේෂයේ ශාක ඇත්දැයි සමීක්ෂණයක් කරනු ලබයි. ඒ අනුව 20 ක පමණ පැළ ප‍්‍රමාණයක් බෝ කරගන්නා ඔවුන් කොළඹ අවටින් තවත් වැඩිහිටි කෲඩියා ශාක 7 ක් (දරළුවේ ශාක 3 ක්ද ඇතුළුව) හඳුනාගනු ලබයි. මින් එකක් පිහිටා ඇත්තේ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ යැයි දැන් කියයි. එසේ නම් එම ගස මෙතෙක් කලක් නම්කර තිබුණේ කුමන නමකින්ද යන්න මෙහිදී අපි උද්භිද උද්‍යාන බලධාරීන්ගෙන් ප‍්‍රශ්නකර සිටිමු. මේ සියල්ලක් රහසේ තබාගන්නා එම දෙපාර්තමේන්තුව ඒ සියලූ තොරතුරු හෙළිදරව් කරනු ලබන්නේ කෲඩියා ශාකය කපා දැමීමේ සූදානම පිළිබඳව ගින්න ඇවිළී ගිය පසුවය. අඩුම තරමෙන් හඳුනාගැනීමෙන් පසුව හෝ මෙම ගස ලේබල් කර කපා දැමීමේ අනතුර වළකන්නට කිසිදු රාජ්‍ය ආයතනයක් පියවර ගෙන තිබුණේ නැත. පරිසර අංශ මගින් ලබාදෙන නිර්ණායක කිසිවක් නොසලකා කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරිය, බුල්ඩෝසර යොදා මෙසේ දාරළුව කෲඩියා පරිසර පද්ධතිය හානියට ලක්කරන අතර එය වැළැක්වීමට කටයුතු කිරීම පිළිබඳව ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලකට පන්න පන්නා පහරදීම ලජ්ජා නැති වැඩක් බව මෙහිදී අපි අවධාරණය කළ යුතුය.
මෙම ගස හා ගස පිළිබඳව 2019 වසරේ පටන් ගන්නා ලද සියලූ ක‍්‍රියාමාර්ගමාර්ග පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය දන්නා බව එහි සභාපති එස්. අමරසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත්කර ඇති ලිපියේ සඳහන් වේ. එසේම, මේ පිළිබඳව පසුගිය බ‍්‍රහස්පතින්දා කොළඹදී පරිසරවේදීන්ගේ හමුවක් අමතමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කෲඩියා නම් මෙම දුලභ ශාකයේ ඛේදවාචකය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු වහාම මේ පිළිබඳව සොයා බලා ශාකය නිරුපද්‍රිතව බේරාගන්නට ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත් බවයි. ගස ගලවා වෙනත් තැනක සිටුවන්නට හැකිනම් තමා ඒ පිළිබඳව නොපැකිළිව කටයුතු කරන බවද, පරිසරවේදීන්ගේ මේ පිළිබඳ ඇති සංවේදීතාව පිළිබඳව තමන් අගය කරන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය. එසේම, වසරකට වැඩි කාලයක් තිස්සේ මේ පිළිබඳ තොරතුරු වසන් කරන ලද රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයාබලන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සැබවින්ම, චීන බුල්ඩෝසරයට යටව, හිත් පිත් නැති සංවර්ධනයට ගොදුරුව මෙසේ මියයන්නට තරම් කෲඩියා කළ වරද කිම. ඇය කළ වරද නම් මෙවන් කාලකණ්ණි දේශපාළුවන් හා වැඩිමනත් කාලකණ්ණි, තක්කඩි නිලධාරීන් සිටින, එහෙත්…ලෝකෙන් උතුම් රටකට අවේණිකව ජන්ම ලාභය ලැබීමය. රටේ රජුන්ගේ සරණක් නැති කොට, ඇය දැන් අසරණව බුදු සසුනේ සරණ ලබා ඇත. එනමුත්, සංසාරයේ රැගෙන ආ පවෙන් මිදී තවත් නොබෝ දිනකින් ඇය තම ඇඟ, ලේ, මස්, නහර, දොලෙන් පෙළෙන පිසාචයන්ට දන් දී මේ ආත්ම භාවයෙන් සමුගනු ලබනු ඇත. උපන් උපන් ජාතිත් මෙවන් පාපතරයන් සිටින බිමක නූපදින්නට අපි ඉතිං ඇයට පිං අනුමෝදන් කරමු.

ජගත් කණහැරආරච්චි
පින්තුර, සිතියම් හා විද්‍යාත්මක තොරතුරු අනුග‍්‍රහය – ප‍්‍රදීප් රාජදේව

දිවයින 2021-2-14



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More