දේශීය පුවත්

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පවතින ඇතැම් අසාධාරණ ලෙස බලපැවැත්වෙන නීති සහ මෙරට සිදුවන ඇතැම් බරපතල අපරාධ සදහා නීති හා දඬුවම් සම්පාදනය නොවී තිබෙන සන්දර්භයක් තුළ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා රජය වෙත ඉදිරිපත් කළ යෝජනා කෙටුම්පත් අවසාන කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය මූලිකත්වය ගත් කමිටුව පසුගිය සතියේ කැඳවා තිබිණි.

රාජ්‍ය හා සිවිල් සංවිධාන පාර්ශවකරුවන් ගෙන් සමන්විත මෙම කමිටුවේ විජය පුවත්පත් සමාගම, විමෙන් ඉන් නීඩ් සංවිධානය (Women in Need – https://www.winsl.net/), චයිල්ඩ් ප්‍රටෙක්ෂන් ෆෝර්ස් සංවිධානය (Child protection Force – https://www.childprotectionforce.org/), අයිප්‍රොබෝනෝ (iProbono – https://i-probono.com/) සංවිධානය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (http://www.fpasrilanka.org/) සාමාජිකත්වය දරයි.
ඒ අනුව;

1. කෙනහිලිකම්, දර්ශාස්වාදය සඳහා ලිංගික හැසිරීම් වලට බලෙන් යොමුකිරීම සහ පළිගැනීමේ චේතනාව මත නිර්මාණය කරන ලද ලිංගික වීඩියෝ පට ආශ්‍රිත අපරාධ සඳහා නීති සම්පාදනය,

2. අපරාධ සඳහා බරපතල දඬුවම් පැනවීම,

3. සයිබර් අවකාශය තුළ සිදුවන කෙනහිලිකම් සහ හිංසන වල අසාමාන්‍ය ඉහළ යාමට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම,

4. අවිනිශ්චිත සහ යල්පැනගිය සංකල්ප මත පනවා ඇති දඬුවම් යාවත්කාලීන කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම,

5. පොලිස් හිංසනය ට තිත තැබීම,

ආදී කරුණු කෙරේ මෙහිදී අවධානය යොමුකෙරිණි.

දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය සමඟ ඉකුත් ඔක්තෝබර් මස ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, මෙහිදී ඉහත සඳහන් කළ කෙනහිලිකම්, හිංසන, දර්ශාස්වාදය සඳහා ලිංගික හැසිරීම් වලට යොමුකිරීම, පළිගැනීමේ චේතනාව මත ලිංගික වීඩියෝ පට නිර්මාණය කිරීම ආදී අපරාධ මුලිනුපුටා දැමීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබිණි.

මෙම ව්‍යාපෘති යෝජනාවලියට අලුතින් එක්කෙරෙන යෝජනාව වන්නේ තරුණ සහ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සයිබර් අවකාශයේ සිදුවන කෙනහිලිකම් ආමන්ත්‍රණය කිරීම සහ මුලිනුපුටා දැමීමයි.

එමෙන්ම පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, වාර්ගිකත්වය, ආගම, ලිංගික දිශානතිය, හෝ ආබාධිත තත්ත්වයක් ඉලක්ක කරගනිමින් සිදුවන හිංසන වලට එරෙහි බරපතල දඬුවම් පැනවීමට යෝජනා ඉදිරිපත් කෙරිණි. හිංසනයකට චෝදනා ලද පාර්ශවය සමඟ ප්‍රේම සබඳතා පැවැත්වීම තුළ ඉහත කී කරුණු මත අගතියට පත් පාර්ශවයක් සිටින්නේ ද ඔවුනට ආරක්ෂාව සැපයීම සහ සාධාරණය ඉටු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම යෝජනාව ඉදිරිපත් වූයේ දිවයින තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයන් ට තිත තැබීමේ මානුශීය මෙහෙවරේ පියවරක් ලෙසිනි.

තාක්ෂණය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංවාදයේදී වැඩිපුරම අවධානයට යොමු වූ කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ වල පෙර නොවූ විරූ වර්ධනයක් පෙන්නුම් කර තිබීමයි. විමෙන් ඉන් නීඩ් සංවිධානය විසින් මෑතදී සිදු කළ සමීක්ෂණයකින් හෙලිදරව් වී ඇත්තේ, මෙරට සෑම පුද්ගලයන් සතර (4) දෙනෙකුගෙන් ම එක් (1) අයකු ලිංගික කරුණක් මත සයිබර් අවකාශයේ හිංසනයට ලක්වූ මිතුරකු දැන හැඳින සිටින බවයි. එමෙන්ම සෑම පුද්ගලයන් පස් (5) දෙනෙකුගෙන් ම එක් (1) අයකු ඩිජිටල් මාධ්‍ය භාවිතා කරමින් සංස්කරණය කළ, ෆොටෝෂොප් කරන ලද හෝ විකෘති කරන ලද ඡායාරූප ප්‍රචාරය වීමේ, හෝ රාගී දසුන් අඩංගු ඡායාරූප හෝ වීඩියෝ පට සමාජමාධ්‍ය ජාල තුළ ප්‍රචාරය වීමේ වින්දිතයකු දැන හැඳින සිටින බව ද එම සමීක්ෂණයෙන් හෙලිවී තිබිණි.

සමාජ මාධ්‍ය ජාල, ස්මාර්ට් ජංගම යෙදුම් ආදිය හරහා ඉහත කී අන්දමේ හිංසනයන් ට ලක්වූ කාන්තාවන් වැඩිපුරම වාර්තා වන්නේ මඩකලපුව (63.9%), බදුල්ල (58.5%), අම්පාර (39.6%), ත්‍රිකුණාමලය (37.8%) සහ කලුතර (35.6%) යන දිස්ත්‍රික්ක වල බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

පුද්ගලයකු ගේ පෞද්ගලිකත්වය, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන ප්‍රේම හෝ ලිංගික සබඳතා ආදී කරුණු ඉලක්ක කරගනිමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් ලැබි ඇතැම් යල්පැනගිය නීතීන් දණ්ඩ නීති සංග්‍රයේ තවමත් බලපැවැත්වෙන තත්ත්වයක් තුළ මෙම නීති වල පවතින ව්‍යාකූලභාවය සහ නුසුදුසුභාවය පිළිබඳව ද මෙම යෝජනාවලිය තුළින් පෙන්වා දී තිබේ. එවන් යල්පැන ගිය නීති යොදා ගනිමින් අසාධාරණ අන්දමින් අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක වීම අවසන් කළ යුතු බවත්, ඒ වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයට විධිමත් නව ප්‍රතිසංස්කරණ ඇතුළත් විය යුතු බවත් එමඟින් පෙන්වා දෙයි. එමෙන්ම ලිංගික හිංසන, අපයෝජන සහ අපරාධ වලට එරෙහි ව ක්‍රියාත්මක වන නීතීන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී නිශ්ක්‍රිය තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන තවත් බරපතල කරුණක් වන්නේ පොලිස් හිංසනයයි. අතින් අල්ලා සිටීම, හෝ එකිනෙකා සමඟ කතාබස් කරමින් සිටීම වැනි සරල ක්‍රියාවන් සඳහා පවා “අශෝභන ක්‍රියා වල නිරතවීම” යන චෝදනාව යටතේ තරුණ පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථා පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි. එපමණක් නොව, දණ්ඩ නීති සංග්‍රහයේ පවතින මෙම අපැහැදිලි සහ යල්පැනගිය නීති යොදා ගනිමින් පොලීසිය පෞද්ගලික නිවාස, හෝටල් කාමර වැටලූ අවස්ථාවන් පිළිබඳව ද වාර්තා වී තිබිණි.

පොලීසිය විසින් තමාට පැවරී ඇති කාර්යභාරය ඉටුකිරීමේදී වින්දිත පාර්ශවය මූලික කරගත් ප්‍රවේශයක් ගත යුතු බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ පවතින අපැහැදි නීතී තම රිසි සේ අර්තනිරූපණය කරගනිමින් අත්තනෝමතික අන්දමින් ක්‍රියාත්මක නොකළ යුතු බවත්, මීට අදාළ වන නීති විධිමත් අන්දමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More