පුරවැසි කොලම

දැන් සතියකට එක බැගින් වනන්තරයක් සුද්ධ කිරීමේ ප‍්‍රවෘත්ති අහන්නට ලැබේ. හැමවිටම “ගම සමඟ පිළිසඳර” නිමා වෙන්නේ වනාන්තරයක් හෙළි පෙහෙළි කර ව්‍යාපාරිකයන්ට පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයකිනි. (ගමේ උදවියට මේ ආකාරයට කැලෑ කැපීමෙන් ලැබෙන අමුතු වාසියක් හෝ සෙතක් නැති බව මතක තබාගන්න) මේ යන ආකාරයට ඊළඟ මැතිවරණය වනවිට ‘ගම සමඟ පිළිසඳර’ මෙන්ම රටේ කැලෑ ටික ද ඉවරය. එමෙන්ම, තව ටික දවසකින් විල්පත්තුව පැත්තේ මේ මාහැඟි පිළිසඳර කි‍්‍රයාත්මක කළහොත් රිෂාඞ් බදියුද්දින් නැවතත් විල්පත්තුව සුද්ධ කරන්නට පටන් ගන්නවා නියතය. දැන් පිළිසඳර ගමට ඒම පිළිබඳව ගම්වල උදවිය බියට පත්ව සිටින්නාහ. අද වනවිට මීමුරේ වැසියෝ සිටින්නේ ද එවැනි බියකිනි. මේ බිය වීමට කාරණාව කවරේද? මේ ඒ ගැනය.

* මීමුරෙන් පටන් ගෙන නකල්ස් රක්ෂිතයම ඩැහැගැනීමේ සූදානම

2021 පෙබරවාරි 13 වැනි ඊයේ දින “ගම සමඟ පිළිසඳර” මීමුරේදී පැවැත්වීය. නකල්ස් කඳු පන්තියට කුරුමානම් අල්ලමින් හිඳින මජර ව්‍යාපාරිකයන්ටත්, සමහර දේශපාලනඥයන්ටත් මෙය ඡන්දෙන් දිනුවාටත් වඩා සුබදායක ප‍්‍රවෘත්තියක් වන නමුදු දුම්බර වැසියන්ට බඬේ ගින්දර පත්තු වෙන ප‍්‍රවෘත්තියකි. ගමේ උදවිය ගම දියුණු කරනවාට විරෝධයක් නැත. එහෙත් “ගම දියුණු කරනවා” යන්න පිටුපස සැඟව පැමිණෙන අනතුරේ තරම සහසුද්දෙන්ම දන්නා නිසා ගම්හු ඊට විරෝධය පාති. මේ හදිසියේ දුම්බර වනපෙතට සිදුවන්නට යන්නේ කුමක්ද? මෙම පිළිසඳර පැවැත්වෙන මොහොතේදී මීමුරේ ගම පමණක් නොව සමස්ත දුම්බර රක්ෂිතයම විනාශ වන ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඒ වෙනුවෙන් “රංගධරයන් පුහුණු කිරීමේ” කටයුතු පසුගිය දිනවල මීමුරේදී පැවැත්විණි. පසුගිය දිනවල මීමුරේට යන මාර්ගය වාහනවලින් වැසී ගොස් තිබිණි. සියල්ල රජයේ වාහනය. ආරක්ෂක අංශ ද ජනාධිපතිවරයා පැමිණෙනු තරම්ම රැස්ව සිටිනු දක්නට ලැබිණි. ඒ ගැන අපි කිසිවක් නොකියන්නේ ජනාධිපතිවරයකු ප‍්‍රභූවරයකු පැමිණීමේදී අවශ්‍ය වටපිටාව සකස් කිරීම කළ යුත්තක් බැවිනි. එහෙත් ජනාධිපතිවරයා රවටා තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම පිණිස නාට්‍ය හා රංගකලා පුහුණු වීම් පැවැත්වීම හොඳ නැත. පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූයේ එයයි. හොඳම උදාහරණය දහයියාගලයි.

ජනාධිපතිවරයා මීමුරේට පැමිණි පසු යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉන් එකක් වන්නේ, මීමුරේ ගම්මානයේ සිට දන්දොර කුඹුර, හීන් ගඟ රක්ෂිතය මැදින් කිවුලේ වාඩිය හරහා ලග්ගල පල්ලේගමට පාරක් කැපීමය. මේ පාර කැපීම සාධාරණීකරණය කරන්නට ජනාධිපතිවරයා ඉදිරියේ කියන්නට යන්නේ, එමගින් ගමේ නිෂ්පාදන දඹුල්ලේ පොළට ගෙන යෑම පහසු වන බවය.

දෙවැන්න මීමුරේ ගම මධ්‍යයේ අක්කර අනූවක පමණ ඇළ රක්ෂිතයට අයත් භූමි ප‍්‍රමාණයක් කුඹුරු ගොවිතැනට යොදා ගැනීමේ යෝජනාවය.

මේ යෝජනා දෙකමට “පුරුදු පුහුණු කරන ලද” පුද්ගලයන් ලවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. සියල්ල සිදුවන්නේ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් මතය.

* පිළිසඳරෙන් මොළ සෝදා ඇති තරමක්!!!

පාරක් කැපීමේ යෝජනාව ඉදිරිපත් වන්නේම නකල්ස් රක්ෂිතය විනාශ කර දැමීමේ මූලික අරමුණ පෙරට ගෙන බව අපි තදින්ම විශ්වාස කරමු. නැති නම් ලෝක උරුම වනාන්තරයක් ලෙස යුනෙස්කෝව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද දුම්බර වනපෙත වනසන්නට මොලේ කළඳක් ඇති එකෙකු ඉදිරිපත් වන්නේ නැත. වර්තමානය වනවිට සිහිබුද්ධිය සම්බන්ධයෙන් වැඩිම ගැටලූ මතු වන්නේ දේශපාලනඥයන්ට බැවින් එය එසේම වේ යැයි ද අපි විශ්වාස කරමු. මීමුරේ යනු තවදුරටත් හුදෙකලා ගම්මානයක් බව අපි විශ්වාස නොකරමු. වසර ගණනාවකට ඉහත එක්තරා රූපවාහිනි වැඩසටහනකින් පසුව මීමුරේ අංක එකේ සංචාරක තිප්පළක් බවට පත්විණි. වර්තමානය වනවිට පරිසරවේදීන් හා අවංකවම සොබා සිරිය විඳින්නන් හැරුණු විට බොහෝ පිරිසක් මීමුරේට එන්නේ වෙනමම චේන්ජ් එකකටය. අඩියක් පුඩියක් ගසා බෝතල් පොළොවේ ගසා කුඩුකර යෑම හැරුණු විට උන් විඳින වෙනත් පරිසර අසිරියක් නැත. එවැනි නසරානින්ගෙන් පවා දුම්බර වනපෙත රැකගන්නා ගම්මුන්ටත්, පරිසරවේදීන්ටත් “ගම සමඟ පිළිසඳර’ යෝජනා ගැන අමුතුවෙන් කියන්නට වුවමනා නැත. “ගමේ නිෂ්පාදන” ගැන අමුතුම වර්ගයේ කැක්කුමක් ඇති අයට දුම්බර වනපෙතත් රැක, ගම දියුණු කරන්නටත් යෝජනා කළ හැකි ව්‍යාපෘති ඕනෑ තරම් තිබේ. ඒවා මඟහැර රක්ෂිතය හරහා පාර කැපීමේ යෝජනාව එන්නේම ජනාධිපතිවරයා රැවටීමටය.

අක්කර අනූවක ඇළ රක්ෂිතය කපා කුඹුරු ගොවිතැනට යොදා ගැනීමේ යෝජනාව ද මෙවැනිම කූඨ ව්‍යාපෘතියකි. එහි සැබෑ අරමුණ කුඹුරු ගොවිතැන් කිරීම නොව වනයේ වටිනා ගස් ටික කපා ගැනීම බව අප අවධාරණය කරමු. ගමේම ජීවත් වන පැරැන්නෝ කියන ආකාරයට එම අක්කර අනූවක භූමි භාගයේ වැඩිපුර ඇත්තේ ගල්ය. එවැන්නක ඔය කියන ආකාරයේ කුඹුරු ගොවිතැනක් කිරීමේ හැකියාවක් නැත. ඊටත් වඩා දැනටත් මීමුරේ ගම්මානයේ කුඹුරු ගොවිතැන යහමින් සිදුවන්නේය. මෙතෙක් කල් ඒ කිසිදු ගැමියකුට මෙවැනි කූඨ (මෝඩ) අදහස් පහළ වූයේ නැත. පිළිසඳරක් මොළ සෝදා ඇති තරමක්!!!

* හෝටල් ව්‍යාපෘතියටත් ඉඩ

මේ කාරණා දෙකම ඉටු වූ පසු ලෙහෙසියෙන්ම ඉදිරි කාලයකදි “රක්ෂිතය තුළ හෝටල් ව්‍යාපෘතියකට” ගමේ “පාර” නම් කපාගත හැකි බව අපි අවධාරණය කරමු. වනාන්තරය මැදින් කාපට් කරන ලද පාරක් කැපී ඇත්නම්, අක්කර අනූවක භූමි ප‍්‍රදේශයකුත් හෙළි පෙහෙළි වී ඇත්නම්, ඒ බිමෙහි කිසිවක් වගා කළ නොහැකි නම් හෝටල් ව්‍යාපෘතියක් වැනි සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි, ගම දියුණු කළ හැකි ව්‍යාපෘතියක් වඩා සුදුසු බවට කැබිනට් පති‍්‍රකාවක්ම ඉදිරිපත් නොවේ යැයි කිව හැක්කේ කාටද? නකල්ස් රක්ෂිතය විනාශ කළ පසු ගමට සෞභාග්‍ය උදා කරන්නට පෙරමුණ ගන්නා අය අතර මුදලාලිලා පිරිසක් ද ඉන්නා බව රහසක් නොවේ. මේ යෝජනාවලට අමතරව පෙර කී මුදලාලිලා එනසාල් වගාව සඳහා දුම්බර වනපෙතේ ඉඩකඩ සාදා දෙන ලෙස “නාහෙන් අඬනු” නොඅනුමානය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී දුම්බර වනපෙතේ එනසාල් වගාව තහනම් කරන ලදී. මේ යෝජනාව ගෙන ඒමම නපුරකි. නොකළ යුත්තකි. මේ කාරණය පැහැදිලි කර ගැනීමට නම් මීමුරේ සහ දුම්බර වනපෙත ගැන අංශු මාත‍්‍රයක් හෝ ඔබ දැන සිටිය යුතුය. මේ තක්කඩි කි‍්‍රයාවට විරුද්ධ විය යුත්තේ ඇයි දැයි එවිට වැටහෙනු ඇති බව නොඅනුමානය.

* මීමුරේ ගැන ටිකක්

මීමුරේ ගැන දැන් නොදන්නා කෙනෙක් නැත. ඒ “වෙනසකටත් එක්ක යා යුතු ගමක්” හැටියටය. එහෙත් මීමුරේ යනු ඊටත් වඩා සුවිශේෂ වූ ගමකි. මීමුරේ කැලයෙන් මෙන්ම සුන්දර කඳු වළල්ලකින් ද වටවූ ගම්මානයකි. එහෙත් ඒ එසේ මෙසේ වනාන්තරයක් හෝ කඳු පන්තියක් නොවේ. ලෝක උරුම වනාන්තරයකි. එනම්, නකල්ස් ලෝක උරුම වනාන්තරයයි. මීමුරේ ගම්මානයට බස් පාරක් ඈත්තේ මහනුවර මහියංගන 18 වංගුව පාරේ හුන්නස්ගිරිය කඩමණ්ඩිය මැදිනි. එතැන් සිට කිලෝමීටර් 32 ක පමණ දුරක් ගෙවා මීමුරේට පැමිණිය යුතුය. ඒ හැරුණු විට ලග්ගල ප‍්‍රදේශයෙන් වනගත මාර්ග කිහිපයක් ඔස්සේ මීමුරේ අනෙකුත් ජන සමාජයන් හා එක් වේ. පෙර කී මාර්ගය තනා දෙනතුරුම මීමුරේ ගම්වැසියන් හුන්නස්ගිරියට පැමිණියේ තවලම් පිට බඩු පටවාගෙනය. එය ඔවුනට අවමානයක් නොවන බව කිව යුතුය. කොළඹින් ගොස් කූඩාරම් ගසාගෙන “ආතල්” ගන්නා සමාජයකට වඩා, මීමුරේ වැසියන් සැබැවින්ම වාසනාවන්තය.

* නකල්ස් ගැන ටිකක්

නකල්ස් නොඑසේ නම් දුම්බර වනපෙත ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සංරක්ෂිත වනාන්තරයයි. වර්ෂ 2000 මැයි මස 05 වැනි දින ප‍්‍රකාශයට පත් කරන ලද මෙම විසල් වනපෙත හෙක්ටයාර 21000 (අක්කර 52500) ක් පුරා පැතිර තිබේ. මාතලේ සහ මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්ක දෙකට අයත් වන නකල්ස් වනාන්තරය මධ්‍යම කඳුකරයේ උතුරු අන්තයෙහි වෙනමම පරිසර දූපතක් ලෙස හෙුදකලාව පවතින අතර ඒ තුළ එකිනෙක තෙරපී ගත් කඳුවැටි රැසක් පිහිටා තිබේ. නම් වශයෙන් හඳුනාගත හැකි කඳු ශිඛර 35 ක් පමණ මෙම කඳුවැටි පෙළ තුළ තිබේ. මධ්‍යම කඳුකරයේ අවපාතයට නිර්මිත කඳුවැටි සංකීර්ණය මෙය බවට විශ්වාස කෙරෙන අතර, නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං දිශාන්ත දෙකටම ලම්බකව පිහිටා ඇති මෙම කඳුවැටිය හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඉතා හොඳ වර්ෂාපතනයක් ලැබේ. එය ජල පෝෂක වනාන්තරයක් ලෙස කි‍්‍රයා කරමින් ප‍්‍රධාන ගංඟා තුනක් හා ඔය, දොළ, ඇළ මාර්ග රැසක් නිර්මාණය කරමින් දුම්බර මිටියාවතේ ජල පෝෂණය ඉහළ නංවයි.

මෙම ප‍්‍රදේශය 1873 වසරේ පටන් දේශගුණික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කෙරුණු අතර, මෙම වනාන්තරයේ සහ ඊට ආශි‍්‍රතව පවතින පාරිසරික කලාපයේ වැදගත්කම සඳහා 2010 වර්ෂයේදී නකල්ස් (දුම්බර) වනාන්තර ප‍්‍රදේශය ලෝක උරුම වනාන්තරයක් ලෙස යුනෙස්කෝව මගින් ප‍්‍රකාශයට පත්කරන්නට යෙදිනි.

එසේ වුවද සුවිශේෂී වූ ජෛව ප‍්‍රජාවකට උරුමකම් කියන නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ තැනින් තැන ආකාර කිහිපයක ඉඩම් හිමිකම් සහිත වනාන්තර තිබේ. එය මේ වනපෙතෙහි පැවැත්මට ප‍්‍රබල තර්ජනයකි. ඒ අතරින් ප‍්‍රධාන වශයෙන් නකල්ස් සංරක්ෂිතය තුළ සංචාරක හෝටල් ව්‍යාප්ත කිරීම හා වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම සිදු වේ.

* සිහිපත් කිරීමයි

ඉතින් තවදුරටත් අටුවා ටීකා ටිප්පනී අවශ්‍ය නැත. අතනින් මෙතනින් පාරවල් කපා, වනාන්තරය හෙළි පෙහෙළි කර මේ උත්සාහ දරන්නේ එතරම් අසිරිමත් වනපෙතකි. අප විශ්වාස කරන්නේ තවමත් ජනාධිපතිවරයාට “පරිසරවාදී න්‍යාය පත‍්‍රයක්” නොමැති බවය. නොඑසේ නම්, එසේ වන්නට ඉඩ නොදෙන ඔලමොට්ටලයන් පිරිසක් ජනාධිපතිවරයා වටා සිටින බවය. ජනාධිපතිවරණ සමයේ ‘වියත් මඟ’ සංවිධානයේ එක් සමාජ ජාලා ප‍්‍රචාරක දැන්වීමක වූ වැකියක් දැනුදු සිහියට එන්නේය. ඒ, “ගහක් රකින්න ගහක් වගේ නායකයෙක් ඕනේ” යන්නය. ඒ වියත් මඟ ද අද නැත. රටේ වනාන්තර අපූරුවට කපා දමමින් තිබේ.

අප මීට පෙර ලිපියකින් ද ඉස්මතු කළ කාරණයක් මීමුරේ වනසන්නට පෙර නැවත සිහිපත් කරමු. එනම්, කවර හෝ සංවර්ධන කටයුත්තක් වුව කි‍්‍රයාත්මක විය යුත්තේ අදාළ පාරිසරික නීති රීතිවලට යටත්ව මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුවය. ඒ හැර ඒවා අභිබවා යමින් නොවේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 1-4, පරිච්ඡේදයේ, රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩි දියුණු කළ යුතුය. එමෙන්ම, වනජීවීන් හා වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීම සඳහා 1937 දී ප‍්‍රකාශයට පත් කරන ලද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතය. එය කි‍්‍රයාත්මක කරන්නේ වනජීවී දෙපාර්තමේන්තුවෙනි.

ජාතික පාරිසරික පනතේ 23 අ අ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු කි‍්‍රයාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන අවස්ථාවකදී පනතේ 31 වගන්තියට අනුව මහෙස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබුවහොත් රුපියල් 15,000 ක් නොඉක්මවන දඩයකට හෝ වසර දෙකක් බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඬුවම් දෙකමය.

එහෙත් ස්ථිර වශයෙන්ම වර්තමානයේ මේ සියලූ වැරදි කරන කිසිදු දේශපාලනඥයකු හෝ මුදලාලියකු ඒ කිසිදු දඬුවමකට යටත් වන්නේ නැත. ඒ නිසා ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂිය අවදි කරවන්නට හෝ මේ බව අවසන් වශයෙන් සටහන් කරමු. මේ කියන්නක් නොව ජනාධිපතිවරයාගේම “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ “තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” තීරූවෙහි තිබුණකි. “මිනිසාට මෙන්ම අනෙක් සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතුය”….. එපමණකි.

(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More