පුරවැසි කොලම

විමල් නොසිටියානම් …

February 13, 2021 1:03 pm | Lanka Lead News

විමල් වීරවංශයන්ගේ දේශපාලන භූමිකාව පිළිබඳ පක්ෂපාතී විග්‍රහයක්
විමල්වීරවංශ නැමති සුවිශේෂී දේශපාලන චරිතය වසර 20 කට අධික කාලයක් සටන් සගයෙකු ලෙස ඇසුරු කළ මෙම ලියුම්කරු විසින් ඔහු ගැන ලිපියක් ලිවීම සදාචාරවත් ක්‍රියාවක්දැයි යමෙකුට ප්‍රශ්න කළ හැක.එහෙත් ඔහු ගැන ලිවිය යුත්තේ ඔහු සහ ඔහුගේ දේශපාලන භූමිකාව අත්විදි අයෙකුට නොවේද? විශේෂයෙන්ම ඔහුගේ දුකේදී ඔහු ලඟ සිටි අයෙකුට නොවේද? ඒ නිසා පක්ෂපාතී විය හැකි වුවද හැකි තරම් විෂයානුබද්ධව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි සිතමින් මෙම ලිපිය ලියන බව පාඨකයාට දැනුම් දිය යුතුය. මේ රටේ ජාතික බලවේග වලට විමල් වීරවංශයන් වැදගත් වන්නේ ඔහු රජයේ ඇමතිවරයෙකු වීම නිසා නොවේ. ඔහු අපට වැදගත් වන්නේ ඔහු විසින් අතීතයේදී ඉටු කළ භූමිකාවට සාපේක්ෂව අනාගතයේදී ඔහු විසින් ඉටු කරනු ඇතැයි අපේක්ෂිත භූමිකාව නිසාය.

ජාතික බලවේගවල ආදරයට පාත්‍ර වූ දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැනි ජාතිකවාදී වාම වාදී දේශපාලන නායකයින් අතුරින් ඇමති විමල් වීරවංශ නැමති දේශපාලන චරිතය සුවිශේෂී වන්නේ ඔහු විසින් අතීතයේදී ඉටු කළ යම් තීරණාත්මක කාර්යභාරයන් ප්‍රමාණයක් නිසාය. ඒවා ඔහු විසින් ඉටු නොකළානම් හෝ ඔහු වෙනුවට වෙනත් චරිතයක් එම භූමිකාවට අවතීර්ණ වූවානම් තත්වයන් සම්පූර්ණයෙන් වෙනස් වීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් ඔහුගේ භූමිකාව හුදකලාව සහ වියුක්තව ඇගයීමට ලක් කළ නොහැක. ඔහු විසින් තම භූමිකාව ඉටු කරනු ලබන්නේ අතීතයේදී ඔහු නියෝජනය කළ දේශපාලන පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කළ දේශපාලන භූමිකාවට සාපේක්ෂවය. නමුත් අද වන විට ජනතා විමුක්ති පෙරමුණ තම අතීත භූමිකාව සහ ඊට අදාල දේශපාලන ගෞරවය ප්‍රතික්ශේප කරන තත්වයක් යටතේ ඊට හිමිකම් කීමට විමල් වීරවංශයන්ට ඇති අයිතිය වඩා සාධාරණීකරනය වේ.

විමල් වීරවංශයන් ජනතා විමුක්ති පෙරමුණ තුල ඉටු කළ භූමිකාව යුග දෙකකට අයත්වේ. විජේවීර යුගය සහ සෝමවංශ යුගය ලෙස හැදින්යවිය හැකි එම යුග දෙක අතරින් සෝමවංශ යුගයේදී ඔහු විසින් ඉටු කළ භූමිකාව රටේ ඉරණම පැත්තෙන් ගත් විට ඉතා තීරණාත්මක වේ. එදා 1994 දී නැවත නැගී සිටීමේදී ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවූ ප්‍රභල බෙදීමේදී ඔහු පක්ෂය සමග සිට ගැනීම නිසා ජනතා විමුක්ති පෙරමුණට තම ඓතිහාසික භූමිකාව ඉටු කිරීම සඳහා ශක්තිමත්ව නැගී සිටීමට හැකි විය. එසේ නොවූවානම් එම බෙදීම මගින් පක්ෂය දෙකඩ වී දුර්වල වීමට විශාල ඉඩක් තිබුණි. එතැන් පටන් ජනතා විමුක්ති පෙරමුණ නම්වූ කේඩරීය පක්ෂයට පුළුල් බහුජන පදනමක් ගොඩනැගීම සඳහා පුරෝගාමී භූමිකාව ඉටු කරනු ලැබුවේ විමල් වීරවංශයන් විසිනි. ජනතා විමුක්ති පෙරමුණ දෙසට මහජන අවධානය දිනා ගැනීම සඳහා විමල් වීරවංශයන්ගේ දක්ෂ කථිකත්වය බෙහෙවින් උපකාරී විය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව තුල ඉටු කළ ප්‍රභල භූමිකාවට නායකත්වය සපයනු ලැබුවේ විමල් වීරවංශයන්ගේ නිර්මාණශීලී දේශපාලන භාවිතාව යොදා ගනිමිනි. පසුකාලීනව ‘’ගරු කථානායකතුමනි’’ නමින් ප්‍රකාශයට පත් කෙරුනු ඔහු විසින් පක්ෂ නායකයෙකු ලෙස පාර්ලිමේන්තුව තුල සිදු කළ විශේෂ ප්‍රකාශ තුලින් එම උපායශීලී භාවිතාව මැනවින් ප්‍රකට වේ. විශේෂයෙන්ම 2002 දී සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩු යෝජනාව හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉරා දැමීම සඳහා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ඉටු කළ ප්‍රභල භූමිකාවට ආලෝකය සහ ශක්තිය ලැබුනේ විමල් වීරවංශයන්ගේ විශේෂ කුසලතාවයන් නිසාය. ඔහු එම බහුජන සංවිධානය තුල ඉටු කළ නායකත්ව භූමිකාව ඉටු කිරීමට සමත් වෙනත් නායකයෙකු ජනතා විමුක්ති පෙරමුණ තුල සිටියේ නැත.
එදා විමල් වීරවංශයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ බහුජන ව්‍යාපාරයක් බවට පත් නොකළානම් සෝමවංශ අමරසිංහයන් විසින් තෝරන ලද රතු කොඩිය අකුලා සිංහ කොඩිය එසවීමට නම් වූ උපාය මාර්ගික ප්‍රවේශය තුලින් සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩු යෝජනාව පරාජය කිරීමට නොහැකි වනු ඇත. එසේ වූවානම් 2005 දී මහින්ද රාජපක්ෂ ආගමනයට පෙර ශ්‍රී ලංකාව නම් වූ රට සුඩානය මෙන් ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ගොදුරු වන බවට කිසිදු සැකයක් නැත. ඒ බව 2010 දී නෝර්වේජියානු ආධාර සංවිධානය විසින් නිකුත් කළ ‘’ සාමයේ ඉත්තෝ’’ (pawns of peace) නම් වූ වාර්තාව මගින් පිළිගෙන ඇත. නෝර්වේජියානු බෙදුම්වාදී මාර්ග සිතියමට ගොදුරු වූ සුඩානය අද අමු සොහොනකි.

ශ්‍රී ලංකාව එම ඉරණමින් ගලවා ගැනීම සඳහා මහා පුරෝගාමී භූමිකාවක් විමල් වීරවංශයන් විසින් ඉටු කරනු ලැබූ බව ඔහුගේ සතුරන් පවා පිළිගන්නා කරුණකි. එහිදී මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග විසින් ඉටු කරන ලද භූමිකාවට ජවය සහ ආලෝකය සපයන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංශයන්ගේ නායකත්වය යටතේ සංවිධානය කරන ලද බහුජන පෙරමුණ මගිනි. එදා එම ක්‍රියාවලිය තුල ජනතා විමුක්ති පෙරමුණට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමග පරිවාස ආණ්ඩු පිහිටුවමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කකුලින් ඇද පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට හැකියාව ලැබුනේ ප්‍රධාන වශයෙන් විමල් වීරවංශයන් විසින් ඉටු කළ සුවිශේෂ භූමිකාව නිසාය. එම උපායමාර්ගික තේරීම යථාර්තයක් බවට පත් කිරීම මුල් කරගෙන මහජන පෙළඹවීම ඇති කිරීම සඳහා විමල් වීරවංශයන් විසින් පුරෝගාමී භූමිකාවක් ඉටු කරනු ලැබීය.

එසේම සුනාමි ආපදාව යොදා ගනිමින් බෙදුම්වාදී තාවකාලික ආණ්ඩු යෝජනාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කිරීම සඳහා සුනාමි සහන මණ්ල යෝජනාව පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ලැබුනේ විමල් වීරවංශයන් විසින් ගොඩ නැගූ ශක්තිමත් බහුජන පෙරමුණ නිසාය. එම බහුජන පෙරමුණ නොමැතිව ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුව තුල සුවිශේෂී බලයක් ගොඩනැගීමට හෝ එම බලය යොදා ගනිමින් කේවල් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ඉරණම තීරණාත්මකව වෙනස් කිරීම සඳහා පුද්ගල චරිත ලෙස සුවිශේෂී භූමිකාවක් ඉටු කළ නායකයින් අතර විමල් වීරවංශයන්ට ප්‍රමුඛස්තානය හිමිවේ. එම ක්‍රියාවලියේ කූඨප්‍රාප්තියක් ලෙස 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විමල් වීරවංශයන් විසින් ඉටු කළ භූමිකාවේ වැදගත්කම ඔහුගේ සතුරන් විසින් හෝ අභියෝගයට ලක් කරන්නේ නැත.

එදා 165,000ක් වැනි ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලබන්නේ විමල් වීරවංශයන්ගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ දියුණු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට පිං සිදු වන්නටය. එදා 1988 දී සිදු කළ වරද නැවත සිදු කරමින් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ තුල පැවති මතවාදය පරාජයකොට මැතිවරණ ව්‍යාපාරය සක්‍රීය ලෙස ඉදිරියට ගෙන යාමට මුල් වූයේ විමල් වීරවංශයන්මය. ඔහු නොසිටියානම් සෝමවංශ අමරසිංහයන්ගේ උපායමාර්ගික තේරීම් යතාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වූ බහුජන සහාය අවශ්‍ය පරිමාණයට වර්ධනය කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේම මහින්ද රාජපක්ෂ රජය විසින් බෙදුම්වාදී න්‍යායපත්‍රයට එරෙහිව දියත් කළ යුදමය ක්‍රියාන්විතයට අවශ්‍ය බහුජන සහාය සහ හමුදාවේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා මානෙල් මල් ව්‍යාපාරය සහ දේශහිතෛශී ජාතික ව්‍යාපාරය හරහා මහා වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවන්නේ විමල් වීරවංශයන්ගේ කැපවීම නිසාය. අද එම අතීත මෙහෙයුම් දෙස ආපසු හැරී බැලීමේදී එතරම් වැඩ කොටසක් ඉටු කිරීම සඳහා හැකියාව සහ ශක්තිය ලැබුණේ කෙසේ දැයි දැන් මවිතයක් ඇතිවේ.

ඒ පිළිඳව පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ගෞරවයෙන් වැඩි කොටස ලැබෙන්නේ නායකයෙකු ලෙස සෝමවංශ අමරසිංහයන්ට සහ විමල් වීරවංශයන්ට බවට විවාදයක් නැත. ඒ සියල්ලට අමතරව එදා 2007 දී ජනතා වාමුක්ති පෙරමුණ තුල දියත් වූ කුමන්ත්‍රණයක් හරහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුවේ අය වැය පරාජය කිරීම මගින් යුද ක්‍රියාන්විතය අඩාල කිරීම සඳහා සැලසුම් කළ ක්‍රියාන්විතය පරාජය කළ හැකි වූයේ විමල් වීරවංශයන් නායකයෙකු ලෙස දැ ඩි සහ සෘජු තීන්දු ගනු ලැබූ වැවිනි. එහි අවසන් ප්‍රථිපලය ලෙස පක්ෂය හැර යාමට සිදුවන බව ඔහු ඉතා හොදින් දැන සිටියටද රට සහ පක්ෂය යන සාධක දෙක අතරින් රට තෝරා ගැනීමට ඔහුට දේශපාලන උපායමාර්ගික ඥානය සහ ධෛර්යය තිබුණි. එසේ නොවූවානම් යුදමය ක්‍රියාන්විතය අඩාල කිරීමේ ජාත්‍යන්තර කමන්ත්‍රණයට ජනතා විමුක්ති පෙරමුණ ගොදුරු වන බවට කිසිදු සැකයක් නැත.

යුද ජයග්‍රහනය සඳහා විමල් වීරවංශයන් විසින් ඉටු කළ සුවිශේෂී භූමිකාව එම ජයග්‍රහණයෙන් පසුව දියත් වූ මානව හිමිකම් කුමන්ත්‍රණයට ගොදුරු නොවී සිටීම සඳහා බහෙවින් උපකාරී විය. යුද්ධය සඳහා නොපැකිලව දායකත්වය ලබා දීම මගින් ජාතික ව්‍යාපාරය විසින් ලබා ගත් සදාචාර බලය යුද්ධයෙන් පසුව මානව හිමිකම් කෙවිට යොදා ගනිමින් දියත්වූ බලය බෙදීමේ බෙදුම්වාදී කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා බෙහෙවින් උපකාරී විය. එම සදාචාර බලය මහා දේශපාලන බලයක් බවට පරිවර්ථනය කොට ආණ්ඩුවට අඟලක් හෝ ආපසු හැරීමට ඉඩක් නොලැබෙන ලෙස දේශපාලන මතවාදී බලයක් සමාජය තුල වර්ධනය කරනු ලැබුවේ විමල්වීරවංශයන් විසිනි. ඔහු විසින් ඉටු කළ එම සුවිශේෂී භූමිකාව නොවන්නට දයාන් ජයතිලකලා විසින් ඇරඹූ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන මර උගුලට ආණ්ඩුව විසින් පය තැබීමට බොහෝ දුරට ඉඩ කඩ තිබුණි.

යුද ජයග්‍රහණයෙන් පසුව රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් දියත් වූ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳව මහජන අවධානය යොමු වන්නේ විමල් වීරවංශයන් විසින් තෝරන ලද ගරිල්ලා සටන් උපක්‍රම නිසාය. ඒ අතුරින් උපවාස සටන ප්‍රමුඛ වේ. ඔහුට සතුරු බලවේග ඊට අදාලව බොහෝ අපහාසාත්මක ප්‍රකාශ කරනු ලබන්නේ එම ක්‍රියාන්විතය මගින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දු වලට ප්‍රභල බලපෑමක් සිදු වූ බැවිනි. මහින්ද රාජපක්ෂ පාලනය ජාතයන්තර බලපෑම් වලට ගොදුරු නොවූ බැවින් ඔහු බලයෙන් පහ කිරීම සඳහා දියත්වූ අභ්‍යන්තර සහ බාහිර කුමන්ත්‍රණ වලට එරෙහිව ඔහු ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි විරහිතව ඉදිරිපත්වූ දේශපාලන නායකයින් අතුරින් විමල් වීරවංශයන්ට ප්‍රමුඛස්ථානය හිමිවේ. එම කුමන්ත්‍රණ වල ප්‍රථිපලයක් ලෙස මහින්ද රාජපක්ෂයන් බලයෙන් පහ කිරීමට දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන් සමත් වුවද ඔවුන්ගේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ජයග්‍රහනය කිරීමට නොහැකි විය.

මහින්ද රාජපක්ෂයන් පරාජය කිරීමෙන් පසුව දියත් වූ නව ඊළාම් සැලසුම පරාජය කිරීම සඳහා උපාය මාර්ගික තේරීම් කරනු ලැබ්වේ විමල් වීරවංශයන්ගේ පුද්ගලික මැදිහත්වීම මුල්කරගෙනය. මහින්ද සුළඟ හෙවත් මහින්ද සමග යළි නැගිටිමු නම් වූ උපාය මාර්ගික තේරීම ඔහු විසින් තම සමීපතමයන්ට එලිදරව් කරනු ලැබුවේ පරාජිත මහින්ද රාජපක්ෂයන් අරලියගහ මැදුර හැර යාමටත් පෙරය. ඒ සඳහා සෙසු දේශපාලන නායකයන් පොළඹවා ගැනීම සඳහා විමල් වීරවංශයන් ඉටු කළ දුෂ්කර භූමිකාව පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැතත් දේශපාලන ක්‍රියාධරයන්ට රහසක් නොවේ. එම භූමිකාවේ දිගුවක් ලෙස ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීම සඳහාද විමල් වීරවංශයන් ප්‍රභල භූමිකාවක් ඉටු කරනු ලැබීය. එය මහජනයා හොඳින් දන්නා කරුණකි.

පසුගිය ජනාධිපතිවරණ සටන තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ භූමිකාව සිංහල බෞද්ධ ජන පදනම තුල ස්ථානගත කිරීම සඳහා විමල් වීරවංශයන් විසින් ප්‍රභල මෙහෙයක් ඉටු කළ බව රටේ ජනතාවට රහසක් නොවේ. එම භූමිකාව නිසා රට තුල වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් ආගමික අන්තවාදයට ප්‍රභල අභියෝගයක් එල්ල විය. එම නිසා එම අන්තවාදී බලවේග වල වෛරය ඔහුට එල්ල වන බවට සැකයක් නැත. එවැනි තත්වයක් තුල ආගමික අන්තවාදීන්ගේ සහයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බලවේග විමල් වීරවංශයන්ට එරෙහිව අවි එසවීම ද සොභාවික තත්වයකි. ඒ අනුව විවිධ කඳවුරු වල සිටින විවිධ හේතු මත විමල් විරෝධී ස්ථාවරයන් දරණ පිරිස් එකට එකතුවීමද සොභාවික තත්වයකි.

ජාතික සංවිධානවල දේශපාලන කියවීම අනුව විමල් වීරවංශයන්ට එරෙහිව දියත්වන ප්‍රහාරය මේ රටේ ජාතික බලවේගයන්ට සහ එම බලවේගය නියෝජනය කරන මතයට එරෙහි ප්‍රහාරයක් ලෙස සැලකිය යුතුය. රටට එරෙහිි බලවේග වල ඉදිරි මාවත ඉදි කිරීම සඳහා විමල් වීරවංශනම් වූ ශ්‍රී ලංකාවට ආවේනික වූ දේශපාලන වෘක්ෂය ගලවා දැමීමට හෝ මුලින් උදුරා වෙනත් තැනක සිටුවීමට ගන්නා වූ උත්සාහය පිළිබඳව ජාතික බලවේග ගැඹුරින් සිතා බැලිය යුතුය. එම උත්සාහය පරාජය කිරීම ජාතික නිදහස් සටනේ පූර්ව කොන්දේසියකි. ඒ නිසා පැන නැගී ඇති තත්වය එක්තරා ආකාරයකට ආශිර්වාදයක් ලෙස සලකමින් ජාතිකවාදී , වාම වාදී බලවේග ශක්තිමත් ලෙස එකතු කොට සතුරු ප්‍රහාරයට මුහුණ දීම ජාතික බලවේග වල වගකීමකි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More