පුරවැසි කොලම

ඉන්දියාවේ (රෝ) ඔත්තු සේවය පිළිබඳ කතාබහ දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. ලංකාවේ දේශපාලන සුළි කුණාටු හමායන්නට ළංවන සෑම සමයකම (රෝ) ඔත්තු සේවයේ නමද පුරුද්දට මෙන් කතාබහට ඇදී එන්නකි. අසල්වැසි රාජ්‍යවල දේශපාලනික තට්ටු මාරු තමන්ට හිතවාදී ලෙස පාලනය කරමින් කලාපීය ලොක්කා ලෙස තමන්ගේ පුරාජේරු ප්‍රතිරූපය රැකගැනීම සඳහා ඉන්දීය මහා සම්ප්‍රදායට ක්‍රමෝපායීක ලෙස සහය වෙන ආයතනය ලෙස (රෝ) නමක් දිනා සිටියි.
නවසිය හැට ගණන්වල අගභාගය වනතුරු එනම්. 1968 පමණ වනතුරු ඉන්දියාවට බාහිර රටවල් තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක ඔත්තු සේවාවක්, තිබුණේ නැත. 1962 වසරේ චීනය සමඟ හටගත් දේශසීමා අරගලය සමඟින් ඉන්දියාවට සිදුවූයේ හකුලාගෙන පසුබසින්නටය. මේ සමඟම සිය රටට පරිබාහිරව ක්‍රියාත්මක බලවේග පිළිබඳ සොයා බලන සහ ඒවා පාලනයට සමත්වන ආයතනයක අවශ්‍යතාව ඉන්දියාවට තදින්ම දැනුණේය.

(රෝ) හෙවත් පර්යේෂණ හා විශ්ලේෂණ අංශය ලෙස ආයතනයක් 1968 දී ඇරුඹෙන්නේ ඒ අනුවය. මේ ආයතනයේ මුල්ම සාමාජික සංඛ්‍යාව 250ක් වත් නොවූ අතර එයට වෙන්වූ මුල් මුදල ඩොලර් හාරලක්ෂයක සොච්චමකි. නමුත් එය ඉතා කෙටි කලකින්ම අමෙරිකාවේ සී.අයි.ඒ. මෙන්ම බ්‍රිතාන්‍යයේ එම්.අයි. 16 ඔත්තු සේවා බුද්ධි අංශ හා සමාන නැතහොත් එයටත් වඩා වැඩි තීක්ෂණභාවයකින් යුතු කට්ට සූර උපායමාර්ගික ආයතනයක් ලෙස ලෝක දේශපාලන ආර්ථික ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට සමත් විය. ඒ සිය අසල්වැසි රට රාජ්ජවල භූ දේශපාලනය මත දැඩි කැපීපෙනෙන බලපෑමක් සිදුකරමිනි. 2000 වසරේදී ඊශ්‍රාල මොසාඩ් ඔත්තු සේවා ලොක්කා කියා තිබුණේ ඉන්දියානු ඔත්තු සේවාව ලෝකයේ දක්ෂතම ඔත්තු සේවා 5 අතරින් එකක් බවට පත්ව හමාර බවය. (රෝ) බුද්ධි අංශයේ මුල්ම ප්‍රධානියා වූ රාමේෂ්වර් නාත් කාඕ, එහි ලොකු පුටුව හෙබැවූයේ 1977 වනතුරු වූ නමුත් ඔහු කළ විප්ලවීය මෙහෙයුම් හේතුවෙන් ආයතනයේ ප්‍රබලත්වය අද පවතින තත්ත්වයට නැංවීමට හැකිව තිබේ.

1971 වසරේ පාකිස්තානයේ නැගෙනහිර භූමිය බෙදා වෙන්කර බංග්ලාදේශය නමින් වෙනම රටක් ගොඩනැගීමේ ආන්දෝලනාත්මක ව්‍යාපෘතිය (රෝ) වැඩක් ලෙස ලොව සුපතලය. 1975 දී සිකීම් රාජ්ජයේ ඊසානදිග කොටස ඉන්දියාවට ඈඳාගැනීමේ උප්පරවැට්ටියද (රෝ) ක්‍රියාන්විතයකි. ඇෆ්ගනිස්ථානය පාකිස්ථානයට හිසරදයක් වන මට්ටමට ගෙන ඒමට සමත් සන්නද්ධ ක්‍රියාන්විතයද බැරවී ඇත්තේ (රෝ) ගිණුමටය. දැන් බලුකිස්ථානය තුළ මතුව ඇති ආයුධ සන්නද්ධ පාකිස්ථාන විරෝධී ක්‍රියාන්විතයද (රෝ)- වැඩක් හැටියට ප්‍රසිද්ධය. ඒ සියල්ලටම වඩා ලෝක ප්‍රකට කාරණාව වන්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය මගින් ගෙනගිය වර්ණ භේදවාදය හෙවත් සුදු-කළු ජාතිකත්ව විරෝධී අරගලය පසුපස සිටි බලවේගය (රෝ) බවයි.

මුලින්ම චීනය හා සමඟ දේශසීමා ගනුදෙනු සහ කලාපීය නායකත්වය සඳහා වූ අරගලයේදී ඉන්දියාවට වාසිදායක වටපිටාවක් තනාගැනීමේ අභිලාෂයෙන් ඇරැඹුණු (රෝ)- දැන් අමු අමුවේම අසල්වාසී රටවල දේශපාලනික, ආර්ථික, භෞමික සහ සංස්කෘතිමය අලකලංචි රැසකට කෙළින්ම අතපොවන සටකපටි ජාත්‍යන්තර බලවේගයක් ලෙස හිස ඔසොවා හමාරය. ලොව පුරා තානාපති කාර්යාල, ප්‍රධාන පෙළේ සමාගම්, මෙහෙයුම් ආයතන තුළ මෙන්ම පෞද්ගලික ආයතන තුළද එපමණක්ද, සාමාන්‍ය වීදි වෙළෙන්දන් ලෙස පවා (රෝ) ඔත්තුකරුවන් සිටින බව දැන් ප්‍රකට කරුණකි.

2008 වනවිට (රෝ) බුද්ධි අංශයට සිය රට තුළින් මෙන්ම පිටත රටවලින්ද සම්බන්ධව සිට ඇති නියෝජිත පිරිස දස දහසකට අධික බව වාර්තා වී තිබේ. එසේම ආරක්ෂක පිරිවැය යටතේ (රෝ) සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 145ක් ඒ වසරේදී වෙන්කර තිබූ බව වාර්තාගතය. වත්මන් මෝදී අගමැතිවරයාගේ රජය (රෝ) සඳහා අත දිගහැර වියදම් කරන බවද නොරහසකි.

ලෝකයේ වෙනත් බොහෝ ඔත්තු සේවා ආයතන හා සමානව (රෝ) ඔත්තු සේවයේ ප්‍රධානීන් හැර අවශේෂ නිලධාරීන් පිළිබඳ ස්ථිර සටහන් වාර්තා කිසිවක් නැත. එසේම ලෝකයේ වෙනත් ඔත්තු සේවාවන් මෙන් නොව (රෝ) ක්‍රියාත්මක වන්නේ කෙළින්ම එරට අගමැතිවරයාට පමණක් වගකියන ස්වාධීන ආයතනයක් හැටියටය. මුලින් චීනය හා සීතල යුද්ධයේදී බලපෑම් කළ හැකි ආයතනයක් වූ (රෝ) පසුව පාකිස්ථානය සමඟ සිය එදිරිවාදී ගනුදෙනු පුළුල් කළේය. දැන් එහි අරමුණු එයටත් එහා ගිය තත්ත්වයකට පත්ව තිබේ.

(රෝ)- ප්‍රමුඛකොට සලකන අරමුණු කිහිපයක්ම පවතියි. ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය රැකගැනීම යන කාරණාව ඉදිරියට දමමින් අසල්වැසි රාජ්‍යවල දේශපාලනික සහ හමුදාමය වර්ධනයන් පිළිබඳ ඇසගසා සිට ඒවා තමන්ට සුවදායක පරිදි පාලනය (රෝ) සතු එක් අරමුණකි. ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලේ පූර්ණ ආරක්ෂාව සඳහා මුළුමනින්ම වාගේ අතගසා ඇත්තේ (රෝ)ය.

චීනය මෙන්ම අමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ රටවලින් පාකිස්ථානය වෙත යුද ආයුධ ලැබීම පාලනය හා සීමාකිරීමට කටයුතු කිරීම ඔවුන්ගේ තවත් ක්‍රියාන්විතයකි.
ඉන්දියාව අසල්වැසි රට රාජ්ජයන් හා පවත්වාගන්නා විදෙස් ප්‍රතිපත්තියට බලපෑම් කිරීමේ ඍජු හැකියාවක් (රෝ) සතුය.
කාලයකට පෙර (රෝ) සහ ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවය අතර රහසිගත සබඳතා පැවැති අතර එමගින් ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් හා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් පිළිබඳ මොසාඩ් පුහුණුව සහ අත්දැකීම් බෙදාහදාගන්නට (රෝ) සමත් වූ බව වාර්තාගතය. එම සංවිධානය සී.අයි.ඒ., එම්.අයි.16, මොසාඩ් අතර තැනකට උසස්වීම් ලබාගත්තේ එලෙසිනි.

අලුත් දේශයක් ලෙස බංග්ලාදේශය ගොඩනැගීමේ කාර්යය කලාපීය වශයෙන් (රෝ) බලපෑම් කැපීපෙනුණු අවස්ථාවකි. පාකිස්ථානයෙන් වෙන්වීම සඳහා අරගල කළ නැගෙනහිර (මුක්ති බහීනි) බෙදුම්වාදීන්ට ආයුධ සටන් පුහුණුව, බුද්ධි තොරතුරු සහ ප්‍රහාර මෙහෙයුම් සඳහා උපකාර (රෝ) වෙතින් ලද බව ප්‍රකටය. ඒ අතර 1975 වසරේ ඊසානදිග සීකිම් ප්‍රාන්තය ඉන්දියාවට ඈඳාගැනීමේ රහස් මෙහෙයුම්කරැවා (රෝ) සංවිධානයයි. බුරුමයේ චීන හිතවාදී ආණ්ඩුවට එරෙහි කණ්ඩායම සඳහා මිලිටරි පුහුණුව ලබාදීම ගැනද (රෝ) නම කියැවේ. බුරුමයේ (කචීන්) නිදහස් හමුදාව එබඳු එක් සටන් කල්ලියකි. ඔවුන්ට පුහුණුව ලබාදීම (රෝ) හඳුන්වාදී තිබුණේ (කූඩලු මෙහෙයුම) (Operation Leech) ලෙසටය.
අසල්වැසි රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය වෙත ඍජුව බලපෑම් කරමින් ලෝකයම භීෂණයෙන් තැතිගැන්වීමට සමත් වූ ම්ලේච්ඡ ත්‍රස්ත හමුදාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් (රෝ) වෙත නැගී ඇති චෝදනාව මේ සියල්ල අතරින් බරපතළම වූ දෝෂාභියෝගයයි. මේ වෙන කිසිවක් නොව, ශ්‍රී ලංකාව වසර 30ක කුරිරැ යුද්ධයකට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්තයන් වන එල්.ටී.ටී.ඊ. සම්බන්ධ වූ සිද්ධියයි.

1970 අවසාන භාගයේ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී කණ්ඩායම්වලට ඉන්දීය භූමිය තුළ නිල්ගිරි කඳු පාමුල සටන් පුහුණුව ලබාදෙමින් ඔවුන් ආයුධ සන්නද්ධ කිරීමට (රෝ) ගෙන ගිය ක්‍රියාන්විතය ලොව පුරා මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්විය. (රෝ) සංවිධානය තමන් කොටි පැටවුන් ඇතිකිරීමේ ප්‍රතිවිපාකයට වැඩි කලක් නොගොස්ම මුහුණදුන්නේ නවසිය ^80 ගණන්වල කොටි තමිල්නාඩුව තුළ ඩෙඟා නටන්නට වූ කල්හීය. ඒ වනවිට ඔවුන් රූකඩ ලෙස පාලනය කිරීමේ රැහැන්පට (රෝ) අතින් ගිලිහී ගොස් තිබුණි.

(රෝ) කොටි පුහුණුව ආරම්භ කළේ ලංකාවට පාඩමක් ඉගැන්වීමටය. අන්තිමේදී පාඩම් ඉගෙනීමට සිදුව තිබුණේ ඉන්දියාවටමය.

1987 දී දිල්ලි රජය ලහිලහියේ ඉන්දීය සාමසාධක හමුදා ශ්‍රී ලංකාව වෙත එවීමට ගිවිසුම් අස්සන් කළේ තමන් කිරිපෙවූ කොටි තමන්ව හපාකෑමට එරෙහිව පියවර ගැනීමටය. නමුත් එය ලෝකයම කම්පා කළ ඛේදවාචකයකින් අවසන් වූයේ 1991 දී ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි මරාගෙන මැරෙන කොටින්ගේ බිල්ලක් වීමත් සමඟය. ලංකාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතන සිද්ධිය සම්බන්ධ චෝදනාවන් එල්ලවී ඇත්තේද (රෝ) වෙතටය. ක්‍රමක්‍රමයෙන් චීන හිතවාදී බවක් පෙන්නුම් කළ ලංකාවේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමේදී විපක්ෂ සංවිධානය ගොඩනැගීමේ සිට දමිළ ජනතා ඡන්ද එකතු කරදීමේ මෙහෙයුම දක්වා වූ තීරණයන් පසුපස (රෝ) සිටි බව වාර්තා වී තිබේ.

ඉන්දියාවේ අනුදැනුමකින් තොරව 2014 දී චීන සබ්මැරීන 2ක් ලංකාවට සේන්දු වූ අතර ඉන්දියාව එය දැක්කේ තම බලප්‍රදේශය ආක්‍රමණයක් ලෙසටය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව තුළ බල පෙරුළියක් සිදුවීමට පාරකැපීමයි. එහෙත් ඉන්දීය රජය මේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ. දැන් වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නැගී ඇති කසුකුසුව පසුපසද (රෝ) සංවිධානයේ නම කරළියට පැමිණ හමාරය. (රෝ) මෙතෙක් ක්‍රියාත්මක කර ඇති උප්පරවැට්ටි හා සලකා බැලූ කල එවැනි සැකයක් මතුවීම සාධාරණය.

(රෝ) සංවිධානයේ සියුම් ක්‍රියාකාරීත්වය ගැන හොඳම උදාහරණය වන්නේ මේජර් රවින්දර් කෞෂික්ගේ කතාවය. කුඩා කල සිටම සිනමාවට ආශා කළ ඔහු විවිධ චරිත රඟපෑවේය. උපතින් හින්දුවරයකු වුවද උර්දු බස සහ මුස්ලිම් ආගම හොඳින් උගත්තේය. (රෝ) සංවිධානයේ උකුසු ඇස ඔහු වෙත යොමුවන්නේ මේ අතරය. (රෝ) සඳහා පාකිස්ථානයේ වෙස්වලාගත් ඔත්තු සේවා නිලධරයකු ලෙස කටයුතු කිරීමට රවීන්දර් එක්වන්නේ වයස 23 තරම් ලාබාල වයසකදීය. ඔහු පාකිස්ථානයට යවනු ලබන්නේ වෙනත් නමකිනි. නබී අහ්මද් ෂකීර් ලෙසටය. ඉන්දියාවේ ඔහු පිළිබඳ තිබූ වාර්තා සියල්ල විනාශ කර දැමෙන අතර, ෂකීර් හෙවත් රවීන්දර් මුස්ලිම්වරයකු ලෙස කරච්චි සරසවියට එක්වී නීති උපාධිය හැදෑරීමට කටයුතු කරයි.

උපාධිය සමත්වන ඔහු පාකිස්ථාන හමුදාවට බැඳෙන අතර එහි කොමිසම්ලත් නිලධරයෙක් බවට පත්ව මේජර් ධුරය දක්වා උසස්වීම් ලබයි. ෂකීර් අමානාම් නමැති තරුණියක හා විවාහ වන අතර ඔහුට දියණියකද ලැබේ. (රෝ) ඔත්තුකරුවන් අතර සජීවී ජේම්ස් බොන්ඩ් චරිතය වන ඔහුට ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අපූරු අන්වර්ථ නාමයක්ද ලබාදී තිබුණි. ඒ (කළු කොටියා) යන නමය.

1979 සිට 1983 අතර කාලයේදී රවීන්දර් හෙවත් ෂකීර් නැතිනම්, (කළු කොටියා) පාකිස්ථාන ආරක්ෂක හමුදා පිළිබඳ ඉතා වැදගත් ප්‍රමුඛ පෙළේ රහස් තොරතුරු රැසක් ඉන්දියාවට ලබාදීමට සමත් වෙයි. පාකිස්ථානයට එරෙහි ඉන්දියානු මෙහෙයුම් රැසක් සාර්ථක කරගැනීමට හැකිවන්නේ අන්තිම තත්ත්පරයේදී ලැබෙන කළු කොටියාගේ නිවැරැදි රහස් ඔත්තු අනුවය. 1983 දී (රෝ) සංවිධානය කළු කොටියා හා සම්බන්ධ වන්නට පාකිස්ථානය වෙත යවනා ඉන්යාන් මාෂියා පාකිස්ථානු ආරක්ෂක අංශයට කොටුවන අතර ඔහු කළු කොටියා පිළිබඳ රහස හෙළිදරව් කරයි.

අත්අඩංගුවට ගත් කළු කොටියාට එරෙහි නඩු විභාගය ජාත්‍යන්තරය කැළඹූ සංසිද්ධියකි. ඔහුට 1985 දී මරණ දඬුවම නියම වුවද පසුව එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්වෙයි. කළු කොටියා වසර දෙකක කාලයක් දස වධයට ලක්වෙමින් සියැල්කෝට් සිරගෙදරදී ප්‍රශ්න කිරීම්වලට ලක්වන අතර, අනතුරුව මියැන්වාලී සිරගෙදර 16 වසරක් මියයන තුරුම රඳවා තැබෙයි. ඔහු පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය සහ හෘදය රෝගයක් හේතුවෙන් 2011 නොවැම්බරයේදී නිව්සෙන්ට්‍රල් මුල්තාන් සිරගෙදරදී මියයයි.

(රෝ) සංවිධානයේ ක්‍රියාකාරකම් සහ එහි ඔත්තු සේවා නිලධරයන්ගේ කැපවීම පිළිබඳ ප්‍රායෝගික සජීවී උදාහරණය ලෙස බුහුමණට ලක්ව සිටින්නේ කළු කොටියාය. වත්මන් අගමැතිගේ ජාතික ආරක්ෂක උපදේශකයා වන අජිත් දෝවාල් ද එලෙසම වසර 7කට ආසන්න කාලයක් පාකිස්ථානය තුළ පාකිස්තානුවකු ලෙස දිවිගෙවමින් ඔත්තු බැලූ නිලධරයෙකි. (රෝ) නිලධාරීන් ඒ තරම්ම සූක්ෂ්මය. ඔවුන්ගේ මුළු ජීවිතයම ඔත්තු සේවාව හා බැඳී පවතී. ශ්‍රී ලංකාව තුළ මෙහෙයුමක් කිරීමට ඔවුන්ට අවශ්‍ය නම් එය ඔවුනට අපහසු කටයුත්තක් නම් නොවේ.
♦ සුගත් පී කුලතුංගආරච්චි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More