දේශීය පුවත්

ජවිපෙ චෝදනා කළ පරිදි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීමට පමණ ඉක්මවා කැපවීම, ජවිපෙ ආණ්ඩුව වට්ටවා මානුෂීය මෙහෙයුමට බාධා කරන විට 2008 දී ජවිපෙන් ඉවත්ව මානුෂීය මෙහෙයුම කරගෙන යාමට සහයෝගය ලබාදීම, 2015 දී “මහින්ද සුළඟ” නිර්මාණයට පුරෝගාමීව දායකවීම, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්ෂත්වයට පත් කළ යුතු යැයි කියමින් එය යථාර්ථයක් කිරීමට කැපවීම වැනි කරුණු ජාතියෙන් සමාව ගතයුතු දේවල් නම් තමන් ජාතියෙන් සමාව ගැනීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (09) මීගමුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ඔබ ජාතියෙන් සමාව ගත යුතුද”?

2005 ජනාධිපතිවරණයෙන් පසුව විවේචනයක් ආවා, මා පමණ ඉක්මවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා කැපවුණා කියා. ඒ 2005 ජනාධිපතිවරණයෙන් පමණ ඉක්මවා මහින්ද රාජපක්‍ෂ මහතාව ජයග්‍රහණය කරවන්න කැපවීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනෙ. ඒ වගේම යුද්ධය යන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වට්ටන්න කැස කවන කොට, ඒ පිළිබඳව ඇති වූ මතභේදවල ප්‍රතිඵලයක් ලෙස ජවිපෙන් එළියට ඇවිල්ලා යුද්ධය කරගන්න අවශ්‍ය සහයෝගය ලබාදීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනෙ.

2015 ජනවාරි මාසයේ 08 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පරාජය වූවාට පසුව යළි ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් 2015 පෙබරවාරි 18 වැනිදා ඇරඹුණු “මහින්ද සුළගේ” පුරෝගාමීන් වූ හතරපස් දෙනා අතුරින් මමත් එක් අයෙකුවීම වරදක් නම් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගත යුතුයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගැන ඇයි කතා කළේ”?

සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ඉහළ තනතුරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිටිය යුතුයි, කියන ස්ථාවරයයි අපි ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. එතුමා නායකත්ව තනතුරේ සිටින ගමන් තවත් එම පක්ෂයේ ඉහළ තනතුරක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සිටියා නම් මේ රටේ දේශපාලන බලවේග සමඟ තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. ඒක ආණ්ඩුවේ ඉදිරි ගමනටත් රටේ උන්නතියටත් උපකාරී වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් කියලා නැහැ වෙනත් පක්ෂ ගැන කතා කරන්න බැහැ කියලා. එහෙනම් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සන්ධානයේ වෙනත් පක්‍ෂ ගැන අපට කතා කරන්නත් බැහැනෙ.

“ආණ්ඩු පක්‍ෂයේ නවක මන්ත්‍රීවරු තමයි ඔබට මේ වාග් ප්‍රහාර එල්ල කරන්නේ”?

පොඩි ළමයි සමහර වෙලාවට බඩුමුට්ටු පොඩි කර ගන්නවා. ඒවාට අපි කලබල විය යුතු නැහැ.

“ඔබතුමාලාගේ පක්‍ෂයේ විදේශ බුද්ධි අංශවලින් වැටුප් ගන්න අය ඉන්නවාද”?

ඔවුන් මගේ පක්ෂයේ ඉන්නවා කිව්වා, විදෙස් බුද්ධි අංශවලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනෙක්. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට උපදෙස් දෙන්න දෙන්න කියලා ඒ සම්බන්ධයෙන් චෝදනා කළ අයගෙන්ම ප්‍රකාශයක් අරගෙන සිදුවීම ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ඔය සියලු දේවල් බොරු අවලාද” යනුවෙන් අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021-02-09



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More