පුරවැසි කොලම

බි‍්‍රතාන්‍ය කිරීටයට සිංහලේ රටවල භාර දීමෙන් පසු සිංහල ජාතිය ක‍්‍රමයෙන් පරාධීන වීය. එම වේදනාව අපට තවමත් දැනේ. 1948 වසරේ දී නිදහස් රාජඥා පනතෙන් දේශපාලන අයිතිය ස්වදේශිකයන් වෙත සතු කර ගැනීමට යම් උත්සාහයක් ගත්හ. 1972 වසරේදී එම දේශපාලන නිදහස පූර්ණ වශයෙන් දිනා ගැනීමට ඔවුන් සමත් වූහ. 1815 දී සිංහලේ රාජ්‍යය බි‍්‍රතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුළු මොහොතකට පෙර සිංහල රජතුමාගේ රාජකීය කොඩිය ඉංග‍්‍රීසි හේවායෙකු විසින් බිම හෙළන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන්වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යළි ඔසවන ලදහ. සිංහල රදළයන් විසින් සහ බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින් අත්සන් කරන ලද ගිවිසුම අනුව 1815 මාර්තු 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ මහ රජු බවට පත්විය. ඔහු ලංකාවේ සම්ප‍්‍රදායානුකූල ආගම ධර්මයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කළ යුතු බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මේ වගන්තිවලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලාගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී සහ 1972 දී යළි නිදහස ලබා ඇත්තේ අප භාර දුන් සිංහලේ රටවල්වල ස්වාධීනත්වය අරභයා නොවේ යැයි මේ වන විට තහවුරු වී තිබේ.

1945 වර්ෂයේ දී පමණ ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ ප‍්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන කල්හි සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසවිය යුතු බවයි. ඒ අනුව 1948 ජනවාරි 16 දිනදී මඩකලපු මන්ත‍්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදී ඞී.එස්. සේනානායක මහතා ප‍්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි ජී. ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුළු දෙමළ නායකයන් මේ කොඩිය එසවීමට සපුරා විරුද්ධ වූහ. දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයාට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළිබඳව ප‍්‍රශ්නය සමහන් කිරීම උදෙසා ඞී. එස්. සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් දුනි. ඒ නම් නිදහස් දින උත්සවයෙන් පසු නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කරලීමට කොඩි කාරක සභාවක් පත් කරන බවයි. පොරොන්දු වූ ප‍්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ. ආර්. ජයවර්ධන, ලලිත රාජපක්ෂ ටී. බී. ජයා, සෙනරත් පරණවිතාන, ජී. ජී. පොන්නම්බලම් සහ එස්. නඬේසන් යන මහත්වරුය. මෙම කමිටුව 1948 පෙබෙරවාරි 15 ජූනි 12 ජූනි 22 සහ අගෝස්තු 15 -22 යන දිනයන්හිදී ද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො 22 දෙසැ. 09 යන දිනයන්හිදී ද 1950 ජන. 20 සහ පෙබ. 13 යන් දිනයන් වලදීද රැස්වී තිබේ.

එහිදී මහජනතාව වෙත ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඇත. ලංකාව බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලේ රටක් වශයෙන් ඩොමීනියන් තත්ත්වය ලබා ඇති බැවින් බි‍්‍රතාන්‍ය කතිර කොඩියට වෙනස්වූ රටේ අනන්‍යතාවය සහතික කරන ජාතික කොඩියක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනකුගෙන් පමණ මේ පිළිබඳ සාක්ෂි ලබා ගෙන තිබුණි. එහිදී 159 දෙනකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනකු ඉංග‍්‍රීසි භාෂාවෙන්ද යෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ වන විට සකස් කර තිබූ ජාතික කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්. නඬේසන් මහතා අදහස් ප‍්‍රකාශ කරන ලද්දේය.

ඔහු තර්ක කරන ලද්දේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයේ අනන්‍යතාවය බැහැරට දමා ඇති බවයි. ඔවුන්ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ තර්කය විය. (In Our national life We do not Want create Water tight compartments) මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනකුගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කරගත යුතු බවයි. ඔවුන් සියල්ල සිංහලයන් වෙති. සිංහල ජනතාව අතරින් කීප දෙනකු ශ‍්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ගත යුතු බවද සූර්යා සහ ශ‍්‍රීපාදය ගත යුතු බවද දක්වා තිබුණි. ඒ මයාලන් නම් පුද්ගලයකු කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ (නන්දි) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස් විය යුතු බවයි. ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අදහස් කීපයක් ඉරිදිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩියයෙන් සිදුවිය යුතු බව දක්වන ලදී. ඇතැම් අය මෙතෙක් පැවති යුනියන් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යෝජනා කර තිබුණි. වැදගත්ම කාරණය වශයෙන් ස`දහන් කළ හැක්කේ කොළඹ ආනන්ද විදුහලේ ගුරුමග නම් සංවිධානය කියා සිටි මතයයි. ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි. මෙහි අදහස් නම් ලංකාව බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

හලාවත බිෂොප්වරයා ප‍්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය. ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි. කපුකොටුව දොළපිහිල්ල කැප්පෙටිපොළ උනම්බුව ආදී උඩරට ප‍්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගැනීමට මැලිකමක් දැක්වූහ. ඔවුහු තමන්ගේ උගත්කම දක්වාලමින් සියලූ ජනවර්ගයා නියෝජනයට පටි අවශ්‍ය බව ප‍්‍රකාශ කර සිටි අතර හැට නව දෙනකු සිංහයා ඉවත් කර ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනකු සිංහලයන් නොවෙති. ඔවුහු සිංහයා යෙදීමට එකහෙලා අකමැති වූහ. මෙයින් තේරුම් ගත යුතුව පවතින්නේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා ජාතික කොඩිය සකස් කර ගැනීමට තිබූ උනන්දුවයි. එසේම ඔවුහු තම හෘද සාක්ෂියට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි. නමුත් සිංහල බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රීය අදහස්වලට ගරු නොකළ කාරක සභාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක් කිරීමට තීරණය කොට සම්මත කරගෙන ඇත.

මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස 01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සැසි වාරයේ දී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත‍්‍රීවරුන් දෙදෙනකු කතා කළහ. මතුගම මන්ත‍්‍රීවරයාව සිටි විල්මට් පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය. ගරු කථානායකතුමනි සිංහ කොඩිය ගැන වාද කරන අවස්ථාවේ දී සිංහලයකු හැටියට මගේ අදහස් සිංහලෙන් ප‍්‍රකාශ කිරීම යෝග්‍ය යැයි මම සිතමි. අතීතයේ සිට පැවත එන ත‍්‍රී සිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි. එහෙත් මා න`ගන එකම ප‍්‍රශ්නය නම් විල්බාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට ජාතිත වීරයන් මේ ලාංඡුනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනී සිටින මැති ඇමැතිවරුන් ඒ ශ්‍රේෂ්ඨ ලාංඡුනය කෙළසන්නට එහි ඉරි අඳින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමත කරන්නේ ද යන්න සිංහලයකු හැටියට මට නම් නොවැටහේ.

සිංහ කොඩියට පටි ගසා බෙදුම්වාදී මානසිකත්වයක් දේශපාලනය තුළ ඇති කොට දැන් වසර හැත්තෑවක් ගත කර තිබේ. මේ කාලය තුළ මේ බෙදුම්වාදීන් තමන්ගේම වූ ඊලාම් දේශයක් සඳහා වෙනම භාෂා අයිතියක් දිනා ගෙන තිබේ. එම ප‍්‍රදේශ සඳහා දෙමළෙන් කතා කරන නිලධාරීන්, විනිසුරුවරුන් පමණක් යෙදවීමට වග බලාගෙන තිබේ. ඒ අතර භූමිය අත්පත් කර ගැනීමට වසර තිහක ත‍්‍රස්තවාදී යුද්ධයක් ද දියත් කෙරුණි. එම ත‍්‍රස්තවාදය පරාජය කරනු ලැබූවද බෙදුම්වාදය සඳහා උදව් උපකාර කළ විදේශීය හාම්පුතුන් විසින් ලංකාවේ යුධ හමුදාමව වෙත යුද අපරාධ චෝදනා ගොනු කරමින් මානව හිමිකම් දඬුකඳේ හිර කර තිබේ. මේ අමාරුවේ වැටීම විහින් ළඟාකර ගත්තකි. සිංහලේ දේශය සිංහලයන් ගේ භූමියයි. එයට විදෙස්වලින් විවිධ ජන වර්ග පැමිණියද ඒ කිසිවකුට මේ භූමිය හිමි නැත. ඔවුන්හට මෙහි ගෞරවනීය පුරවැසියන් ලෙසට ජීවත්ව සිටි හැකි වුවද භූමිය බෙදා වෙන් කර ගැනීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකිය. සැබවින්ම මෙරට දේශපාලනය තුළ මෙකී සම්මුතිය නැත. පක්ෂවලට බෙදී යෑම නිසා සිංහල ජාතිය සම්මුතියෙන් ඉවත්ව ගොස් තිබේ. ජිනීවාවලදී ලක් රජය අමාරුවේ වැටෙන්නේ මේ සම්මුතිය නැති බැවිනි. එම තත්ත්වය තුළ සිංහලේ සිංහ කොඩියට නැවත ගෞරවනීය ඓතිහාසික තත්ත්වය ලබා දෙමින් මෙරට බෙදුම්වාදී මතවාදය සහමුලින්ම පැරදවීමට අදිටන් කර ගැනීමට කාලය එළඹ ඇත. වාරියපොල සුමංගල හිමියන් එදා සිහලේ කොඩිය අභීතව එසවූයේ නම් ඒ ජාන පරම්පරාවෙන් පැවත එන අප හට එය කිරීම අපහසු නොවනවා ඇත.

මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More