පුරවැසි කොලම

උපන් බිමේ ගන්ධබ්බයකු නොවන ඕනෑම කෙනෙක් තම උරුමක්කාර පරපුර වෙනුවෙන් වන සම්පත සහ රටේ සොබා සෞන්දර්ය කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. එය පුරවැසියකුගේ ඇට මිඳුළු ලේ මස් නහර විනිවිද නිතැතින් එන හැඟීමක් මිස පිටතින් එන්නත් කළ හැකි දෙයක් නොවේ. එසේම එවැනි ආදරයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන කඩදාසිවල දැක්වූ පමණින් සිදුනොවන්නා සේම එයින් මේ රටේ වන සම්පත මතු පරපුරට රක්ෂා නොවේ. අපි එතැන් සිට මේ කතාව අරඹමු.

මෑතක සිට රැල්ලක් බවට පත්ව ඇති රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් එළි පෙහෙළිකර විනාශ කිරීම ගැන යළිත් අසන්නට ලැබේ. ඒ මුග්ධ ක‍්‍රියාවට නතු වූ අලූත්ම වනජීවී පරිසර කලාපය වන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද දහයියාගල අභය භූමියයි. එය මේ වන විට වන සම්පත කොල්ලකන දේශපාලන හෙන්චයින්ගේ ගොදුරු බිමක් බවට පත්වෙමින් තිබෙන්නේ පාරම්පරික ගොවීන්ට වගා කටයුතු කිරීමට අභය භූමි සතු ඉඩම් නිදහස් කිරීමේ කඩතුරාවට මුවාවෙමිනි. පසුගිය 30 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලූත්වැව ග‍්‍රාම නිලධාරී වසමේ පැවැත් වූ ගම සමග පිළිසඳර වැඩසටහනේදී ලබාදෙන තීන්දුවේ මහිමයෙන් සිදුවන මේ විනාශය එම ප‍්‍රදේශයේ උග‍්‍ර අලි මිනිස් ගැටුමකට පසුබිම සැකසෙමින් ඇත. එය කෙසේ සිදුවන්නේද යන්න දැනගැනීමට දහයියාගල අභය භූමිය එම ස්ථානයේ නිරුපද්‍රිතව පැවැතීමේ වටිනාකම අවබෝධ කරගත යුතු වන්නේය.

දහියායගල අලි කොරිඩෝවේ වැදගත්කම

උඩවලව ජාතික වනෝද්‍යානය සහ බෝගහපිටිය යෝජිත අභයභූමිය අතර පවතින දහයියාගල වන අලින්ගේ ගමන් මගක් ලෙස තීරණාත්මක වැදගත් කමකින් යුතු අභය භූමියකි. එම අලි මංකඩ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින වන අලින්ට මෙන්ම ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට වටහිරකන්ද අලි මංකඩ භාවිතා කරමින් පැමිණෙන අලින්ටද වැදගත් වන්නේ බෝගහපිටිය යෝජිත අභය භූමියට පිවිසීමේ එකම මග එය බැවිනි. එසේම උඩවලව සිට රජවක වන රක්ෂිතය, සමනල වැව වන රක්ෂිතය සහ බදුල්ල සොරගුණේ වනාන්තරය දක්වා ඇති අලි වාසභූමිය ඛණ්ඩනය නොවී පවතින්නේ දහයියාගල අභය භූමිය අලි ඇතුන්ගේ ගමන් මගක් ලෙස මේ තාක් ආරක්ෂා වී පැවතීම හේතුවෙනි. එපමණක්ද නොව කිසිදු උපද්‍රවයකින් තොරව කරමැටිය ප‍්‍රදේශයේ ඇති ලවණ නිධියට පැමිණීමට අලි ඇතුන්ට හැකි වී තිබෙන්නේ දහයියාගල අලි මංකඩ ආරක්ෂා වීම නිසාය. තවත් අතකට උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටීම සැළකීමේදී දිවයිනේ අනෙකුත් ජාතික වනෝද්‍යානයන්ට සාපේක්ෂව එය වටා ඇති ජනාවාස සංඛ්‍යාව ඉහළ අගයක පවතී. එම ගම්මානවල ගවයන් ඇතිකරන්නන් උද්‍යානය තුළට ගව පට්ටි ඇතුල් කිරීමත් නිසා එහි සිටින අලි ඇතුන් ආහාර හිඟයකට මුහුණ දෙන බවද කාලයක සිට පරිසර සංවිධාන පෙන්වා දී තිබේ. මේ නිසා උඩවලව ජාතික වනෝද්‍යානය වාස භූමිය කරගෙන සිටින අලි ඇතුන්ට තම පැවැත්ම ආරක්ෂාකර ගැනීම සඳහා ඇති පහසුම ම`ග වී ඇත්තේ දහයියාගල අභය භූමිය ඔස්සේ බෝගහපිටියටත් ඉන් එහා ඇති වනාන්තරවලටත් ගමන් කිරීමයි. මේ සියලූ හේතුන් සැලකිල්ලට ගනිමින් දීර්ඝ කාලයක සිට පරිසර සංවිධාන, වනජීවීය කළ අරගලයක ප‍්‍රතිඵලක් ලෙස 2002 ජුනි 07 වැනිදා නිකුත් වූ 1239/28 දරන විශේෂ ගැසට් පත‍්‍රය මගින් දහයියාගල වනපෙත අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කෙරේ. ඊට හෙක්ටයාර 2685.07 භූමි භාගයක් අයත් වේ. ගොවීන් බව පවසන දේශපාලන හෙන්චයියන් පිරිසක් අනතුරට ලක්කරමින් සිටින්නේ එවැනි වැදගත් කමකින් අනූන පරිසරයකි.

දහයියාගල අභය භූමියේ ඉඩම් කොල්ල කෑමට දේශපාලන බත් බැලයන් දත කට නියවූයේ මේ වතාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් ඒ සඳහා උත්සහ ගත් අවස්ථා අප දැක තිබේ. 2008 වසරේ සිදුවූ එවැනි උත්සහයක් ව්‍යාර්ත කිරීමට පරිසර සංවිධානවල අප‍්‍රමාණ කැපවීමත් ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ කවයේ සුපුන් ළහරු ප‍්‍රකාශ් වැනි පරිසරවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන ගිය සටනත් පිටුවහලක් විණි. විශේෂයෙන් 2008 සැප්තැම්බර් 21 දින එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු, පළාත් සභා මන්ත‍්‍රීවරයකු සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුගේ උසිගැන්වීම මත උඩවලව ජාතික උද්‍යානය මායිමේ විදුලි වැටක් ඉදිකර මෙම දහයියාගල අභයභූමියේ ඉඩම් නීති විරෝධී ලෙස අත්පත්කර ගැනීමට පිරිසක් උත්සාහ කළේය. නමුත් ප‍්‍රදේශයේ ජනතාව, වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ පරිසර ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය. එසේම මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, ශ‍්‍රී ලංකා පාරිසරික පදනම හා වනපෙත් හා රක්ෂිත ප‍්‍රදේශ ආරක්ෂා කිරීමේ පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ දහයියාගල අභයභූමිය සුරැකෙන අයුරින් හා අලි ඇතුන්ට බෝගහපට්ටියට ගමන් කළ හැකි අයුරින් අභය භූමි මායිමෙන් විදුලි වැට ඉදිකරන ලෙසය. එහි අවසන් තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුණේ 2010 ඔක්තෝබර් 4 දින ය. එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උත්සාහ දැරූ අවස්ථාවේද නැවතත් ඉහත කී දේශපාලකයන්ගේ හෙන්චයියන් විසින් ඊට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණේය. නමුත් කෙසේ හෝ එම සියලූ උත්සාහයන්ද පිටු දකිමින් අභයභූමිය ආරක්ෂාවන පරිදි විදුලි වැට ඉදිකර මෙම වටිනා පරිසර පද්ධතිය සුරක්ෂිත කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.

ගම සමඟ පිළිසඳරේදී ජනාධිපතිවරයා රැවැට්ටීම

ගමට ගොස් ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම ජනාධිපතිවරයා සද්භාවයෙන් සිදුකරන ප‍්‍රශංසනීය වැඩපිළිවෙලකි.නමුත් පසුගිය සමයේ වන ජීවියට අයත් ඉඩම්වල සහ අභය භූමිවල වගා කටයුතු සිදුකිරීමට ඉඩ ලබා දුන් ආකාරය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්විය. එසේ වීමට බලපැවේ ජනාධිපතිවරයා පැමිණෙන විට ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලකයන් විසින් සැලසුමකට අනුව තමන්ගේ හෙන්චයියන් ලවා ජනතා ගැටලූ ලෙස හුවා දක්වමින් තමන්ගේ කූට ව්‍යාපාරවලට විසඳුම් සෙවීමේ උත්සහය නිසාය. දහයියාගලදී සිදුව ඇත්තේද එයමය. පාරම්පරික ගොවීන් බව පවසමින් දහයියාගල අභය භූමියේ ඉඩම් වගා කටයුතු සඳහා ලාබා දෙන ලෙස හ`ඩන`ගා ඇත්තේ කාලාන්තරයක් තිස්සේ දහයියාගලට කෙළ හලමින් සිටි දේශපාලකයන්ගේ හෙන්චයියන් බව පරිසර සංවිධාන එක හඬින් පෙන්වා දෙන්නේය. එහෙත් ඒ පිළිබඳ සොයා බැලීමකින් තොරව ඉකුත් ජනවාරි 30 දින පැවති ”ගම සමග පිළිසඳර’’ ට සහභාගි වූ ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශ හේතුවෙන් දහියාගල ආක‍්‍රමණිකයන්ට නව පණක් ලැබී ඇත. ”පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගි කරගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක‍්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක‍්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නැයි’’ ඔහු විසින් නිලධාරීන්ට උපදෙස් දීමත් සමග මෙම තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. පසුගිය 30 දින, සෙනසුරාදා දින පස්වරුවේ සහ ඉරිදා දින විශාල වශයෙන් ජනතාව අභය භූමියට ඇතුළුවී එහි ඉඩම් කට්ටි මායිම් සලකුණු කරගැනීම සහ වන වැස්ම විනාශ කිරීම සිදුකර ඇතත් ජනාධිපතිවරයාද අන්දවා ලබාගත් එම ප‍්‍රකාශයේ මහිමයෙන්ය.

අනෙක් අතට දහයියාගල අනතුරේ හෙළන එම

නියෝගයේ වක‍්‍ර බලපෑම වන්නේ ප‍්‍රදේශයේ අලි මිනිස් ගැටුම තවදුරටත් උග‍්‍ර කරවීමට අත වැනීමය. දහයියාගල අභය භූමියට අයත් ඉඩම් මිනිස් ක‍්‍රියාකාරකම් සඳහා යොදාගතහොත් එම අලි මංකඩ අවහිර වීමෙන් අලි මංකඩ දෙපසම ප‍්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග‍්‍ර වීම නොවැළැක්විය හැකි හේතුවක්ය. එයින් ඉදිරියේදී පීඩා විඳින්නේ වේලිඔය, කන්ඩියපිට වැව, මහපැලැස්ස, අලූත්වැව, පොකුණුතැන්න, කුකුල්කටුව, හම්බෙගමුව, ඇඳගල, පොතුපිටිය, දම්වැල් ඕඩය, දහයියාගල, ලගිනගල, කරමැටිය වැනි ගම්මානවල ජීවත්වන අහිසංක ජනතාවය. එසේම සෙවනගල, බලන්ගොඩ, වැල්ලවාය, බුදුරුවගල, බෙරගල, දියලූම හා හල්දුම්මුල්ල දක්වාද අලි ඇතුන්, විශේෂයෙන් තනි පිරිමි අලින් ගමන් කිරීමට මෙම තත්ත්වය ඉදිරියේදී හේතුවිය හැකි බව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේය.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට අත තැබීමේ සූදානම

ජනාධිපතිවරයා බිම් මට්ටමට ගොස් ජනතා ප‍්‍රශ්නවලට සංවේදී වීම මෙසේ අවභාවිතා කිරීමට ඉදිරියේදීද සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව පරිසර සංවිධානවලින් අපට දැනගන්නට ලැබිණ. ඒ ලබන 13 වැනිදා මීමුරේදී ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත ගම සමග පිළිසඳර වැඩසටහනේදීය. එහිදීද ගමෙන් ඉදිරිපත්වන යෝජනාවක් ලෙස ලෝක උරුම නකල්ස් රක්ෂිතය මැදින් නව මාර්ග දෙකක් ඉදිකිරීමේ යෝජනාවක් ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඒ මීමුරේ ගමේ සිට ලග්ගල පල්ලේගම දක්වා ලකේගල පාමුලින් නව මාර්ගයක්ද දන්දෙනි කුඹුර හරහා කඳු මුදුණක පිහිටා තිබෙන ගල මුදුණ ගම්මානයට එතැන් සිට උඩත්තව ගම්මානයටද තවත් මාර්ගයක්ද වශයෙනි. මේ වන විට මීමුරේ ගම සමග පිළිසඳර වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කැඞී බිඳී මාර්ග පිළිසඳර කිරීමද සිදුවේ. එහිදී පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේදී ගම්මුන් පෙළන ගැටලූවක් ලෙස පෙන්වා දෙමින් ජනාධිපතිවරයා ඒ සඳහා පෙළඹවීමට ඔවුන් මේ වන විට තිර පිටපත සකසමින් තිබෙන බවට වාර්තා වේ.

ජනතා ප‍්‍රශ්න ලෙස එන මේ කුමන සංවර්ධන යෝජනාවලියක් කි‍්‍රයාත්මක කළද එය සිදුවිය යුත්තේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ෙඡ්දයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ”තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙහි සඳහන් වන්නේ ”මිනිසාට මෙන්ම අනෙක් සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක‍්‍රියා කළ යුතු බව ය. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ”වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන විනාශය අති විශාල බවය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ’’ යනුවෙන් දක්වා ඇත. තමන් වෙනුවෙන් හඬක් නැ`ගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක‍්‍රියා කළ යුතු ය’’ යන්න එහි අවධාරණය කර ඇත. ජනතාවට සංවේදීව ගැටලූ විසඳීමේදී එම කරුණු මත පදනම්ව තීන්දු තීරණ ගන්නේ නම් නිත්‍ය විධායකය වන රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට ලක්වන්නේද නැත.

තිස්ස ගුණතිලක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More