දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ 30/1 සහ 40/1 යෝජනාවලින් ඉවත් වීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පැසසුම් කටයුතු බවත් ඉන් නොනැවතී, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවන්ට මුහුණ දීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවන බල අධිකාරිය යටතේ කැඳවූ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තා මත පදනම්ව ජාත්‍යන්තරය හමුවේ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද (05) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ චෝදනාවලට ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සිය ස්ථාවරය පැවසීම පිණිස ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමට සමත්වූ මානුෂීය මෙහෙයුම 2009 මැයි 19 වැනිදාන් අවසන් වී සතියක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට එරෙහි සිය ප්‍රථම යෝජනාව ගෙන ආ බව මෙහිදී සිහිපත් කළ ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා, ජාත්‍යන්තර බලවතුන් සහ දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකා රාජ්‍යය බෙදා වෙන් කිරීමට කොටි ත්‍රස්තවාදීන්ගේ තුවක්කු හා මෝටර් උණ්ඩවලට බැරිවුණු තැන සිය උවමනාව වෙනුවෙන් ‘මානව හිමිකම් අවිය’ යොදා ගත් බව ද සඳහන් කළේය.

එම මානව හිමිකම් අවියට යටවූ පසුගිය ආණ්ඩුව, ශ්‍රී ලංකාවට එරෙහිව රැගෙන ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමට එකඟ වීමත් සමග එමඟින් එල්ලකළ යුද අපරාධ චෝදනාවන්ට විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමේ ඉඩකඩ පවා අහිමි වූ බව ද මෙහිදී මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහෙත් කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුමට එරෙහි චෝදනාවන්ට ජාත්‍යන්තර හමුවේ නිසි පිළිතුරු දීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතිශය විශිෂ්ට ක්‍රියාමාර්ග රැසක් ගත් බවත් ඒ අනුව ‘මැක්ස්වෙල් පරණගම කොමිසම’ පිහිටුවා එහි දෙවන බල අධිකාරිය යටතේ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් 05 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳ වාර්තා කැඳවීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යුද අපරාධ විශේෂඥයෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා 2014.02.23 දින ඉදිරිපත් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති දරුස්මාන් වාර්තාව අසත්‍ය එකක් බව තහවුරු කර ඇති බවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජාත්‍යන්තර මානුෂීය නීතියට පටහැනිව කටයුතු කර නොමැති බව පෙන්වා දී ඇති බවත් මොහොමඩ් මුසම්මිල් මහතා එය උපුටා දක්වමින් පවසා සිටියේය.

එසේම සර් ජෙෆ්රි නයිස් හා සර් රොඩ්නි ඩික්සන් යන යුද අපරාධ විශේෂඥයන් සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා රණවිරුවන්ට යුද අපරාධ චෝදනා රැසක් එල්ල කර ඇති යස්මින් සුකාගේ වාර්තාවෙහි අඩුපාඩු පෙන්වා දී ඇති බවත් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් මහතා සිය වාර්තාවෙන් මානුෂීය මෙහෙයුමක මූලධර්ම රකිමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද වැදුණු බව චන්ද්‍රිකා ඡායාරූප පවා යොදාගෙන තහවුරු කර ඇති බවත් එම වාර්තා උපුටා දක්වමින් ඒ මහතා කීවේය.

මේ සියලු ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු නොකළ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය නොකළ බවත් තහවුරු කර ඇති බැවින් ඒවා ඇසුරින් ජාත්‍යන්තරය හමුවේ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීම ආණ්ඩුව ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගය බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා යළි අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
https://www.facebook.com/Muzammil/videos/401694697594016



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More