පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගම සමඟ පිළිසඳරක් ආරම්භ කර තිබේ. ගම්වල ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. ජනාධිපතිවරයා මෙතෙක් ගම සමඟ කළ පිළිසඳරවලදී අප නිරීක්‍ෂණය කළ එක් කාරණයක් වූයේ ඉතා පහසුවෙන් විසඳිය හැකි ප‍්‍රශ්න නිලධාරීන් විසින් හිතමතාම මගහැර ඇති බවයි. ගම්මු ප‍්‍රශ්න අසද්දී නිලධාරීන් ලොක් වෙන අවස්ථා කීපයක් අපි දුටුවෙමු. එම අවස්ථාවලදී ඇතැම් ප‍්‍රශ්නවලට ක්‍ෂණිකව පිළිතුරු සොයාගත හැකි බව ජනාධිපතිවරයා විසින් ඔප්පු කළ අවස්ථා ද තිබේ. ඊට අමතරව ගමේ ඇතැම් ප‍්‍රශ්න ඉතාමත් කෙටි කාලයක් ඇතුළත විසඳීමට හැකියාව ඇති බවත් ඊට විසඳුම් දුන් අවස්ථාත් ගම සමඟ පිළිසඳරේදී අප දුටු ඉතාමත් යහපත් ලක්‍ෂණයක් බව සඳහන් කරනු කැමැත්තෙමු.

ගමේ ජනතාවගේ ප‍්‍රශ්න නිසි ලෙස හඳුනා ගැනීමට කොළඹ ශීත කාමරවල සිට කළ නොහැකි බව ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උගන්වා ඇති අලූත් පාඩම ලෙස හඳුන්වා දිය හැකිය.

කාලයක් තිස්සේ අපේ රට දියුණු නොවීමට හේතු වන ප‍්‍රධාන කාරණා කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ අප රටට දීර්ඝකාලීන ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති වීමයි. දෙවැන්න වන්නේ අදාළ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම සඳහා නිසි දේශපාලන නායකත්වයක් නොලැබීමයි. තෙවැනි ප‍්‍රධාන කාරණය වන්නේ මර නින්දක වැටී සිටින අප රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන් ගෙන් රටට අවශ්‍ය දායකත්වය නොලැබීමයි.

අප රට ගොඩගැනීමට නම් රාජ්‍ය යාන්ත‍්‍රණයේ කාර්යක්‍ෂමතාව වැඩි කළ යුතුය. ප‍්‍රාදේශීය ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල ඇතුළු රටේ සියලූම ආයතනවල සිටින සියලූම රාජ්‍ය නිලධාරීන්ගෙන් අප රටට යළි වැඩක් කළ හැකි අයුරින් මෙම සේවාව ප‍්‍රතිසංවිධානය කළ යුතුව ඇත. විශේෂයෙන් තමන්ගේ වගකීම හඳුනාගෙන, රටට ආදරයෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරීන් අපට අවශ්‍ය කර තිබේ.

මේ රට ගොඩනැගීමේදී රාජ්‍ය නිලධාරීන්ට වැඩි වගකීමක් පැවරෙන්නා සේම අප රටේ පුරවැසියන් ද ඊට නිසි අයුරින් සිය දායකත්වය ලබාදිය යුතුව ඇත.

අප රටේ අභයභූමි අතරින් දහයියාගල අලිමංකඩට අත්වනුයේ සුවිශේෂී ස්ථානයකි. උඩවලව සිට ලූණුගම්වෙහෙර ජාතික උද්‍යනය දක්වා ගමන්කරන වන අලින්ගේ ප‍්‍රධාන ගමන් මාර්ගය පිහිටා ඇත්තේ මෙම දහයියාගල අභය භූමිය හරහාය. මෙම අභයභූමියේ ඇති තවත් සුවිශේෂ ලක්‍ෂණයක් වන්නේ වන අලින්ට ඖෂධයක් ලෙස ගත හැකි ලූණු මිශ‍්‍ර පන් වර්ගයක් මෙහි තිබීමයි.

මෙම අභයභූමිය විනාශයට ලක් වුවහොත් ජාතික වන උයන් දෙකක් අතර ඇති අලින්ගේ ගමන් මග හා අලිමංකඩ සම්පූර්ණයෙන් අවහිර වන බව පරිසරවේදීහු පෙන්වා දෙති. එය උඩවලව ප‍්‍රදේශයේ අලි මිනිස් ගැටුම් කීප ගුණයකින් ඉහළ යෑමට එය හේතුවක් විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

පාරිසරික වශයෙන් ඉතා සංවේදී කලාපයක් වන දහයියාගල අලිමංකඩ අභයභූමිය ප‍්‍රදේශවාසීන් විසින් විනාශ කිරීමට උත්සහ කරන බවට ඊයේ (01 දා) අප පුවත්පතේ මුල් පුවතකින් වාර්තා කර තිබිණි.

ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳරක් වැඩසටහනදී ගොවීන්ට ලබාදුන් සහනයකට මුවාවී මෙම වන විනාශය කරන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ පාරම්පරිකව කෘෂි කර්මාන්තය සඳහා උපයෝගී කරගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි. තණමල්විල කුකුල්කොටුව වැව් ඉස්මත්තේදී පැවති පිළිසඳරකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඉඩම් සම්බන්ධයෙන් ඇති නඩු ඉල්ලා අස්කරගෙන නව නීති සකසා ගොවීන්ට සහන ලබාදිය යුතු බවයි.

ජනපතිවරයාගේ ස්ථාවරය හිතාමතාම විකෘති කරමින් ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ද සහය ඇතිව අප ඉහත සඳහන් කළ වන විනාශය වන බව ද වැඩිදුරටත් සඳහන් වේ. ජනාධිපතිවරයා සද්භාවයෙන් ගම සමඟ පිළිසඬ්හ්රක යෙදෙද්දී ඊට මුවාවී කවුරුන් හෝ වන විනාශයක් කරන්නේ නම් එය වහා නතර කළ යුතුය. වාර්තා වන අන්දමට ඇතමුන් මෙම අභයභූමියේ මායිම් ලකුණු කර ඉඩම් අත්පත් කර ගැනීමේ කූට උත්සාහයක නිරත වන බව ද පැවසේ.

වනාතවිල්ලූවේ අනවසර ඉදිකිරීම් සිදුකරමින් සිදු කළ මහා වන විනාශය අප රටේ ඉතිහාසයට එක්වූ විශාල කළු පැල්ලමකි. එවන් විනාශයක් දහයියාගල අලිමංකඩ තිබෙන අභයභූමියට සිදු නොවිය යුතුය.

පෙබරවාරි 02වෙනිදා දිවයින කතුවැකිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More