පුරවැසි කොලම

දේව බලෙන් යළි ගයන වික්ටර්

January 31, 2021 7:37 pm | Lanka Lead News

ජීවත්ව සිටියදීම මියයෑම පිළිබඳව සාක්ෂියක් බවට වික්ටර් රත්නායකයන් මේ වන විට පත්ව තිබේ. මිථ්‍යාවේ උල්පත වූ යාඥා ශාලාවක, වික්ටර් රත්නායක නම් අද්විතීය පෞරුෂය, සිය ගෙල පිරි මැදගත් ආකාරය නොව, ගෙල සිඳගත් ආකාරය, සමාජ මාධ්‍ය ජාල මාර්ගයෙන්, පසුගිය දින කිහිපයේදී මුළු රටම දැන කියා ගත්තේය. මේ වික්ටර් රත්නායක මහතා පිළිබඳව ඛේදවාචකයක් පමණක් නොවේ. ආගමික ආක‍්‍රමණය පිළිබඳව නව ආකෘතියක් එළි දැක්වීමකි. ඇත්ත වශයෙන්ම මෙය සිංහල කලා කෙතේ, ආක‍්‍රමණික කුරුස පැළ කිරීමේ එක් සන්ධිස්ථානයක් පමණක් විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස, චන්දික හතුරුසිංහ පැමිණෙන විට, කුරුස යුද්ධයක් සඳහා එම ආගමනය හේතු වනු ඇතැයි කවුරුත් සිතුවේ නැත. චන්දික හතුරුසිංහ ක‍්‍රිකට් කණ්ඩායමෙන් නික්ම ගොස් දැන් වසර ගණනකි. දේව උමතුවෙන් පසු, ලැබූ ජයග‍්‍රහණයක් නැතත්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම, දැන් ක‍්‍රිකට් වලට වඩා ගසන්නේ කුරුසය.
මෙයට දශක ගණනාවකට පෙර සිට රටේ ප‍්‍රභූ පිරිස් අන්‍යාගමිකකරණය සඳහා අතිශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත්ව තිබුණි. එම වැඩපිළිවෙළ හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ භාර්යාවන් සහ දරුවන් ඇතුළු ප‍්‍රභූ තන්ත‍්‍රයේ සහ දේශපාලනයේ ඉහළ පුටු ගණනාවක් දැන් අදහන්නේ, අමුතු තාලයේ කුරුස ආගමකි.

බෝනගේන් යන නාමයෙන් යුක්ත මේ ආගම සඳහා, 1985 වසරේ ලෝක විවාහක රූ රැජන කිරුළ හිමිකරගත් රෝසි සේනානායක ද බඳවා ගත්තේය. ඉන් පසු ඇය දිගටම කටයුතු කරන ලද්දේ, එම ආගමේ තානාපතිනියක් ලෙසය. නීති, බැංකු, පරිපාලන ආදී ක්‍ෂේත‍්‍ර ගණනාවක් සඳහා මෙම කුරුස කල්ලි සිය ආක‍්‍රමණය මේ වන විට දියත් කර තිබේ. අතිශය අවදානම් කාරණාව වන්නේ, සාමනේර භික්ෂුන් වහන්සේ සිවුරේ තබාගෙනම, සිය කුරුස කල්ලිය සඳහා බදවා ගැනීම, මොවුන්ගේ නවතම ව්‍යාපෘතිය වීමය.

මේ ආගමික නිදහස හෝ හදවතේ සාක්ෂිය සඳහා අවනත වීමේ ප‍්‍රශ්නයක් නොවේ. “සුදු ජාතිකයන් අප‍්‍රිකාවට එන විට අපේ අතේ ඉඩම් තිබුණා. ඔවුන්ගේ අතේ බයිබලය තිබුණා. ඔවුන් අපිට ඇස් වසා යාඥා කරන්න කිව්වා. අප ඇස් හැර බලන විට, අපේ අතේ බයිබලය තිබුණා. අපේ ඉඩම් ඔවුන්ගේ අතේ තිබුණා.’’ යැයි දකුණු අප‍්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ පියතුමා සඳහන් කළේය. මේ ආක‍්‍රමණය එවැනි පන්නයේ, ක‍්‍රියාවකි. එය බලහත්කාර ප‍්‍රයත්නයකි. උපාය මාර්ගික ප‍්‍රවේශයකි.
ලොව විශාලතම කතෝලික රාජ්‍යය වූ බ‍්‍රසීලය මේ කුරුස කල්ලි ආක‍්‍රමණය බිලිවිය. 1970 දී එරට ජනගහනයෙන් 90% ක් ප‍්‍රකාශ කළේ තමන් කතෝලික ආගමිකයන් බවය. 2000 වසර වනවිට එරට කතෝලිකයන්ගේ ප‍්‍රතිශතය 73.9% දක්වා පහළ බැස ගියේය. 2009 දී එම ප‍්‍රමාණය 68.4 දක්වාත් පහළ බැස්සේය. බ‍්‍රසීලයේ අගරදගුරු කාදිනල් පෙඞ්රෝ ෂෙරර් විසින් මෙම කුරුස කල්ලි, සිය කතෝලික ජනග‍්‍රහණය ආක‍්‍රමණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කළේය.

මේ ලෙසම කුරුස කල්ලි පිළිබඳව විරෝධය පාන්නේ, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමාය. 2011 වසරේ නොවැම්බර් මස ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශයක් කරමින්, කදිනල්තුමා සඳහන් කරන ලද්දේ, ඇමරිකාවෙන් කැඞී බිඳී ගිය ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට පටන් ගැනීම නිසා එම සංවිධාන දීප ව්‍යාප්ත කිරීමට ඉඩ නොදී, වහාම පාලනය කරදෙන ලෙසය. ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන බෞද්ධ ජනතාවට මෙන්ම රෝමානු කතෝලික සභාවට ද විශාල ප‍්‍රශ්නයක් වී ඇති බවත්, මෙම සංවිධාන රට පුරා නියෝජිතයන් පත් කරමින් විශාල වශයෙන් මුදල් වියදම් කර, බෞද්ධ බැතිමතුන් මෙන්ම කතෝලික බැතිමතුන් පවා ඔවුන්ගේ ඊනියා ක‍්‍රිස්තියානි දහමට හුරු කරගෙන ඇති බවද කාදිනල්තුමා එහිදී ප‍්‍රකාශ කළේය.
කාදිනල්තුමා ප‍්‍රකාශ කළ පරිදි, ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කළ ඊනියා ක‍්‍රිස්තියානි සංවිධාන දෙව්මැඳුරු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීමට ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට එවන ලද දේවස්ථාන ඉදිකිරීමේ ලැයිස්තුවක් ශ‍්‍රී ලංකා රාජගුරු මණ්ඩලය මැදිහත්වී වරක් අවලංගු කළේය. එසේ වුවද වික්ටර් රත්නායක වැනි ජාතියට හිමි මහා කලා පෞරුෂයක්, බිමට පාත් කර, ඒ මත කුරුසය සිටවන්නට තරම් මේ කල්ලි සුක්ෂමව සිටිති.
වික්ටර් රත්නායකයන්ගේ උරුමය සහ ඔහුගේ සදාතනිකභාවය රැඳුනේ මේ පොළොවේ උරුමය මතය. ඔහු සැබෑ දේශපේ‍්‍රමියෙක් විය. අකලංක බෞද්ධයෙක් විය. ඔහුගේ තත් ස්වර, සහ හඬ ස්වර කුළු ගන්වන ලද්දේ, සිංහල ජාතියේ උදානය සහ ආනන්දය වෙනුවෙනි. බුදු සිරිත, ගියෙන් ගැයීම සඳහා ඔහු දැක්වූ සමර්ථභාවය අසම සමය. සිය කලා ජීවිතයේදී, ගීයෙන් ඔහු බුදුන් පිදු වාර ප‍්‍රමාණය විශාලය. එසේ බුදුන් වෙනුවෙන් කම්පිත වූ, ඔහුගේ ස්වර නල, මෙදා පාස්ටර් ගඩුවෙකුගේ, අතකට යටවූයේ කෙසේද…?
මෙය අමුතු කතාවකි. ඒ නොගැළපෙන පේ‍්‍රමය ඔහු වෙත පැමිණියේ, අමුතු ආකාරයකටය. ඇය සේවය කරන බැංකුවට, ඔහු පැමිණි විට, තමන් ඒ පෞරුෂය, කෙසේ හෝ දැලේ දාගන්නා බව ඇය සිය වටපිටාවට කියා සිටියාය. විවාහ වී මෙන්ම හතර අතේ ණය වී, වංචාවන් සඳහා සැකකාරිනියක් වී සිටි ඇයට වික්ටර් ‘රස මසුළුවක්’ විය. වික්ටර් ‘තැනට’ ගෙන්වා ගත් පසු, සිය සැමියා සමග ඇය නිතර ඔහු හමුවට ගියෝය. සැමියා කොළඹින් පිටට යන්නේ නම්, දින කිහිපයකට ඇය නවතා යන්නේ, තනිකඩ වික්ටර්ගේ නිවසේය.
‘විවාහ වෙන්න අදහස ආවේ බොහොම පස්සේ. අපේ සම්බන්ධය හරිම ශක්තිමත්. විවාහය කියන්නේ එක කොන්දේසියක් මත පමණයි කියන සංකල්පයේ තමයි අපි දෙන්නම හිටියේ. නමුත් අර විවිධ විවිධ ප‍්‍රශ්න සමාජයෙන්, වික්ටර්ගේ ඥාතීන්ගෙන් එල්ලවීමෙන් පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. අපි දෙන්නාම කැමැත්තෙන් තමයි විවාහ වුණේ. එතකම් අපි ‘ලිවිං ටු ගෙදර්’ ලෙස තමයි ජීවත් වුණේ.’’ යනුවෙන් ඇය විසින් වරක් පුවත් පතකට ප‍්‍රකාශ කර තිබුණාය.
මේ ‘ලිවිං ටු ගෙදර්’ කාලය හමාර වන්නේ වික්ටර්ගේ දරුවන් විසින් රටටම, මේ සිද්ධිය හෙළිකිරීමෙන් පසුවය. එහිදී වික්ටර්ගේ බාල පුත් ලෙලූම් රත්නායක සිය පියාව, අසීමිත ආකාරයට විවේචනය කළේය. පිය – දරු උරුමය කටු ගා, සිය දියණියට වඩා බාල ගැහැනියක් සමග වික්ටර් නව ජීවිතයකට පිවිසුණේය.
නොගැළපෙන ඒ විවාහයේදී වික්ටර්ගේ රසික කලාපය ද සලිත විය. මුලදී මේ රසික ගණයා වික්ටර් සම්බන්ධයෙන් දෙකට බෙදී සිටියහ. පසුව ඔවුහු සිය ආදරණීය කලා පෞරුෂය ඉදිරියේ, සියල්ල ඉවසා සිටියහ. වික්ටර් වෙත විවේචන එල්ල කළ, පුත් ලෙලූම් වෙත, රසිකයෝ විවේචන කරන තරමට, ඔවුන් වික්ටර් වෙනුවෙන්, නොගැළපීම දැන දැනම පෙනී සිටියහ. වික්ටර් ගර්හාවට ලක් කරමින් ඉරාජ් වීරරත්න විසින් මියුසික් වීඩියෝ නිපදවා ප‍්‍රසිද්ධ කළ විට, රසිකයෝ ඉරාජ්ට බැන වැදී, වික්ටර්ගේ පැත්ත ගත්හ.
වික්ටර්ගේ දෙවැනි බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රිමාන්ඞ් ගත කරන ලෙස තංගල්ල මහෙස්ත‍්‍රාත් මහීල් විජේවීර 2018 ජනවාරි නම වැනිදා නියෝග කළේය.
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාරවූ ඇය තංගල්ල ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012 වසරේ නොවැම්බර් 14 සිට 2016 වසරේ අපේ‍්‍රල් 22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරිය රුපියල් ලක්ෂ හයක මුදලක් නැවත රාජ්‍ය බැංකුව වෙත ගෙවා ඇතත්, වංචාවේ ඉතිරි කොටස එසේම පවත්වාගෙන ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් තංගල්ල පොලිස් ස්ථානයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු නොවීම නිසා වහාම ක‍්‍රියාක්මක වූ තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ නියෝගයක් මත විශේෂ වංචා විමර්ශන ඒකකය වෙත භාර දී එමගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමෙන් පසු, හෂිනි, මෙසේ අත්අඩංගුවට පත්විය. ඇය දෙමසක කාලයක් රිමාන්ඞ් ගත වී සිටියාය. මේ කාරණා ද, රටක් වටිනා, වික්ටර්ගේ ස්වර නාල පද්ධතිය, පාස්ටර් ගඞ්ඬේකු පිරිමදින තත්ත්වයට කරා ළඟා කළ බව සිතිය හැකිය.
වික්ටර්ගේ වැඩිමහල් පුත් ජයන්ත පිළිකා රෝගියෙකු බවට පත් වන්නේ මේ අතරේය. ජයන්ත වෙනුවෙන් සියලූ ගායක ගායිකාවෝ වාද්‍ය ශිල්පීහු එක්ව, පිළිකා අරමුදලක් ආරම්භ කළහ. ඒ වෙනුවෙන් පැවති ප‍්‍රසංගයට සියලූ ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන් නොමිලේ එක්වෙද්දී වික්ටර් පැමිණියේ නැත. වසරකට ආසන්න කාලයේ ජයන්ත සිටියේ මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින්ය. ‘මට උඹලා ඕන නෑ’ යැයි දැඩිව ප‍්‍රකාශ කර තිබූ වික්ටර්, සිය ලෙයින් උපන් පුතුගේ රෝගී තත්ත්වය බලන්නට, දුක සැප අසන්නට පැමිණියේ නැත. අවසානයේ ජයන්ත මියැදුනේය. වික්ටර් ඒ මළගමට ද පැමිණියේ නැත. ඒ ගැහැනියක විසින් මහා පෞරුෂයක් හීලෑ කර සිටි තරමය.
පළමු පද කිහිපය නිමාවී අන්තරා කොටස පැමිණ තිබුණි. රසිකයෝ ඒ වන විට වික්ටර්ගේ විවාහය පිළිබඳ මතබේදය සහමුලින්ම ඉවතලා, ජයන්තගේ අසනීපය සහ මළ ගෙදර සිද්ධිය ද අමතක කර, ඔහුගේ ගීතය සහ සංගීතය දෙසට තවදුරටත් හැරී සිටියහ. ‘අන්තරා කොටස නිමාවී’ වික්ටර් යළි මතු වන්නේ මොරටුව ප‍්‍රදේශයේ මඩුවක, පාස්ටර් කට්ටඬියෙකු ළගය. ‘ඊළඟ කොටස’ වික්ටර් යළි ගයනවා සමගම, ඔහුගේ පෞද්ගලික ජීවිතය ලෙස සියල්ල ඉවසා සිටින්නට රසික සහ ප‍්‍රබුද්ධ ජනයා සූදානම් නැත. යාඥාවෙන් ලෙඩ සුව කරනවා යන විකාරය පිළිබඳව පොත් පිටින් පළවී තිබේ. ඒවා දොළුකන්දේ වුවද, මොරටුවේදී සිදු කළ ද මිථ්‍යාවන් මිස ආගම් නොවේ. වික්ටර් රත්නායක දැන් ඒ අසම සම ගාන්ධර්වයා නොවේ. පාස්ටර් ගඞ්ඩෙකුගේ තාලයට නටන රූකඩ පැංචෙකි. වික්ටර් මේ උගුල කරා ගෙන ගියේ, ඔහුගේ නොගැළපෙන කසාදයය.
මොරටුව පැත්තේ මඩුවකදී වික්ටර් රත්නායකයන් සිය දෙවැනි බිරිය සමග යාඥා මඩුවක සිටිනාකාරය, හොර රහසේ නිකුත් කරන ලද වීඩියෝවක් නොවේ. එය එම පල්ලිය විසින් සිය හපන්කම් රටට පෙන්වීම සඳහා නිපදවා ප‍්‍රසිද්ධ කරන ලද්දකි.
වීඩියෝවේ සැකෙවින් ඇත්තේ මෙයය. වික්ටර් රත්නායක යම් ශාලාවක් බඳු ස්ථානයක සිටගෙන සිටියි. ඔහුගේ භාර්යාව ද ඒ අසල සිටගෙනය. පාස්ටර්වරයා වික්ටර්ගේ බෙල්ල ප‍්‍රදේශය අත ගාමින් ” මාගේ පුත‍්‍රය, නැවත වතාවක් ඔබ, අද සිට ලෝකයට ඇහෙන්නට ගයන්නේය. මෙතැන් පටන් නුඹ වර්ෂ තුනක් එක දිගට නැවත ගයනවා. මෙතැන් පටන් නුඹ, නුඹගේ ශක්තියෙන් නොව මාගේ ශක්තියෙන් ගයනා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, ඔබට එරෙහිව කර තිබෙන ශාපය, ඔබට කටු ගසා කර තිබෙන වද බන්ධනය, නුඹ විනාශ වෙන්නට කර තිබෙන හූනියම, නුඹට එරෙහිව ක‍්‍රියාත්මක කර තිබෙන, සියලූ ශක්ති… පෑව්ව්ව්ව්ව්ව්ව්ව්ව්….(මේ ලෙස මහා හඬින් පාස්ටර්වරයා කෑ ගසන්නේය.)
නිදහස්…. ඔබ මෙතැන් සිට සුවයි…(තවත් යමක් කියයි) විශ්වසයිද…?’’ පාස්ටර් ගඞ්ඩා එසේ අසනවාත් සමගම වික්ටර් ඔළුනමා ”විශ්වාසයි’’ යනුවෙන් ප‍්‍රකාශ කර, පසුව වේදිකාවට නැග ‘ආදරයේ උල්පත වූ අම්මා… යන ගීතය ගායනා කළේය. ඒ සඳහා ගිටාරයෙන් සංගීතය සපයන ලද්දේ, කපිල පූගලආරච්චි විසිනි. ඔහුගේ භාර්යාව වූ, නෙලූ අධිකාරි ඒ අවස්ථාවේ වේදිකාවේ සිට දෑත් ඔසවමින් අමුතුම මෙහෙයක නිරත වූවාය. දැනට ලැබී ඇති ආරංචි අනුව වික්ටර්ගේ දෙවැනි බිරිය සමග වික්ටර් මෙම ද්‍රෝහී මිථ්‍යාව කරා රැගෙන ගොස් ඇත්තේ, නෙලූ අධිකාරි සහ කපිල පූගලආරච්චි යුවළය. නෙලූ සහ කපිල, මේ ආගමික කල්ලිය සමග එක්ව ජයටම වැඩ කරගෙන ගොස් තිබේ. ඔවුන් විසින් සිය උගුලට අල්ලා ගත් ලොකුම සහ හොඳම මෝරා වික්ටර්ය. කපිල – නෙලූ යුවළ, දරුවන් සඳහා සංගීත පන්ති පවත්වන බැවින් තම දරුවන් ගැන සිතන, මිථ්‍යාවට එරෙහි දෙමව්පියන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය බව මෙහිදී අතුරු කතාවක් ලෙස සඳහන් කළ යුතුය.
වික්ටර්ගේ රසික ජනයා සලිත වී සිටින්නේ, ජාතිය, ආගම වෙනුවෙන් ගැයූ වික්ටර් මේ උගුලට වැටුණේ කෙසේද යන්න තවමත් අදහා ගත නොහැකිවය. ඔහු තවමත් පමා වී නැත, තමා ජාතිය සතු වස්තුවක් බව තේරුම් ගෙන දැන් වුවද ඔහුට මේ පිළිබඳව ජාතියට ඇත්ත කියා, එදා සිටි අදින වික්ටර් බවට පත්විය හැකිය. රසික ජනයා ඒ මොහොතේ සිට යළිත්, ඔහු සමග වනු ඇත.
2017 මාර්තු මස පළමු වෙනිදා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්, වික්ටර් රත්නායකගේ බාල පුත්, ලෙලූම් පවසා තිබුණේ ”මගේ පියා මිය ගියා’’ කියාය. එසේ වුවත් වික්ටර්ගේ රසික ජනයාට ඔහු එදා මිය ගියේ නැත. මෙදා නම් ඒ රසික ජනයා, සිය හද ගී පොතේ, ඒ සටහන තබා ඇති බව කිව හැකිය.
මනෝජ් අබයදීර
2021 ජනවාරි 31 දිවයින ඉරිදා සංග්‍රහය



2 thoughts on “දේව බලෙන් යළි ගයන වික්ටර්”

  1. birth certificate buddhist keneki .ma dhanna tharamin pansil pada 5 raki ayek nowe. sindu kiyu pamanin api ohuwa oluwa matha thaba gatha yuthu nowe.

  2. වික්ටර් හරහා මේ දෙන පනිටිඩය හොදින් තේරුම් ගත යුතුය. නැතහොත් අපගේ ගෙල අතගාන දවස වැඩි ඈතක නොවේ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More