දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම දේශපාලන පක්‍ෂවල බෝඞ් ලෑලි අත්පත් කරගෙන සිටිය දී 2015 දී ගෙදර යැවූ මහින්ද රාජපක්‍ෂයන් ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවන බව’ අද ඔප්පු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව පැවසුවේ ‘වැඩ කරන ජනතා ඒකාබද්ධ මැයි රැලියට එක්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය, මේ රටේ දේශපාලන සිතියම කණපිට හරවමින් තිබෙනවා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර වෙනසකින් තොරව මේ රටේ වැඩ කරන ජනතාවගේ ලෙයින්, දහඩියෙන් ගොඩනැඟුණු ව්‍යවස්ථා සංශෝධන ගෙන එමින් සිටි මේ ආණ්ඩුව පෙබරවාරි 10 වැනිදා ඡන්දයෙන් තමයි තමන්ට අත් වී තිබෙන ඉරණම දුටුවේ. එම ඡන්දයෙන් ඔවුන්ට ලැබුණු අන්ත පරාජය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගෙනහිර වෙරළට තල්ලු වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද නැඟෙනහිර වෙරළේ ‘සිප්පි කටු’ ඇහිදිනවා (ජනතාවගේ සිනා)

‘රනිල් වික්‍රමසිංහ එළවන්න’ කියලා එජාපයේ සාමාජිකයන් කියන කතාවට පණ ආවේ පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලයට පසුවයි. ඊයේ (06) සුගතදාස ක්‍රීඩංගණයට එකතු වුණු එජාප පිරිස පැවැත්වූයේ මැයි රැලියක් නොවෙයි. ඒක ‘රනිල් වික්‍රමසිංහ කියන බලිය එළවන මැයි වලියක්’ බවට පත්ව තිබුණා. ඒ අනුව පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලය, එජාපය ගෘහස්ථ ක්‍රීඩාංගණයක මැයි රැලිය පවත්වන තැනට ඇද දැමුවා.

‘පාණ්ඩුවක්’ ජනපති කරගෙන ආණ්ඩුවක් කිරීම

මේ රටේ වැඩකරන ජනතාවගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරවන මැයි රැලිය තමයි අද මේ විදියට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ලක්‍ෂ සංඛ්‍යාත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පවත්වන්නේ. රට බෙදුම්වාදී ව්‍යවස්ථාවකින් බෙදනවාට විරුද්ධ, ජාතික සම්පත් විකුණා දමනවාට විරුද්ධ, 2015 පබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹි මහින්ද සුළඟ නිර්මාණය කරපු වැඩ කරන ජනතාවගේ මැයි රැලිය තමයි මේ අප පවත්වනු ලබන්නේ. දැන් බලන්න පාසල් දරුවාට පෙළ පොත් ටික නැතිව හූල්ල හූල්ල ඉන්න වුණු, ගොවියාට තම වගාවන් විකුණාගන්න බැරිව වහ ටිකක් කන්න වුණු පාලනයක් අද තිබෙන්නේ. ‘පාණ්ඩුවක්’ ජනාධිපති කර ගෙන ආණ්ඩුවක් කරන්නේ කොහොමද?

‘දැනටමත් විශ්‍රාම යවලා ඉවරයි’

සිරිසේන ජනාධිපතිතුමා අද මඩකලපුවේදී කියනවා, ‘මම 2020 දී විශ්‍රාම යන්නේ නැහැ’ කියලා. නමුත් ජනාධිපතිතුමනි මතක තබා ගන්න ‘මේ රටේ ජනතාව දැනටමත් ඔබතුමා විශ්‍රාම යවලා ඉවරයි’ කියා. ඔබ දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක්. පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව විසින් පෙන්වා දුන්නා ‘මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ජනවරම කල් ඉකුත් වූ ඒකක්’ කියලා. 13%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තු කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?

‘තරඟයට හොරකම් කිරීම’

මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අද තරඟයට හොරකම් කරනවා. එක්කෙනෙක් මහ බැංකුව කෙල්ලකන කොට අනෙක් කෙනා කෝටි දෙකක් හොරකම් කරනවා. එක්කෙනෙක්ගේ හොරකම් අනෙක් කෙනා ‘ලීක්’ කරන කොට අනෙක් කෙනාත් ඒ දෙයම කරනවා. මේ ජනාධිපතිතුමා මේ අවුරුදු තුනේ රටට මොනවද කරලා තිබෙන්නේ? කැබිනට් සංශෝධන කරලා තිබෙනවා. ඒක හරක් පට්ටියක හරක් ටික තණකොළ කන්න බදින කණුවල මාරු කරමින් ගැට ගැසීමට සමානයි. ඒ කෙහෙල්මලට අමතරව එතුමා මේ අවුරුදු තුනේ මේ රටට වෙන මොනවාද කළේ?

‘රුපියල අද මස්තබාල්දු කරලා ඉවරයි’

ඩොලරයක් සඳහා අද රුපියල් 165 ගෙවන්න ඕනෙ. කිරිපිටි, ගෑස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ දැමීම හැර මෙයාලට වෙන විසඳුම් නැහැ. රාජපක්‍ෂ පාලනයට වඩා අඩු මිලට බඩු ගන්න බලාගෙන හංසයාට කතිරය ගහපු අයියලා අද ලැජ්ජාව නිසා කණ්නාඩියෙන් මූණ බලා ගන්න විදියක් නැතිව ඉන්නවා. නීති විරෝධීව සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරපු මේ ආණ්ඩුව සිංගප්පූරු ජාතික වෘත්තිකයන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ වෘත්තීයමය සේවාවන් සපයන ඉන්දියානුවන්ටත් මේ රටේ රැකියා කරන්න ඉඩකඩ හදලා දීලා ඉවරයි. මේ අය මේ රටේ දූ දරුවන්, අනාගත පරපුර ගැන වද වෙන පිරිසක් නොවෙයි. ඔවුන් වද වෙන්නේ තමන්ගේ බටහිර – ඉන්දියානු හාම්පුතුන්ගේ න්‍යාය පත්‍රය ගැන විතරයි.

‘අලුත් උසාවියට යවන්න හදපු අලුත් හොරු’

දැන් අලුුතෙන් හොරු අල්ලන උසාවි හදනවා. ඒ උසාවිවලට ඉස්සේල්ලාම යවන්න වෙන්නේ කෝටි දෙකේ අල්ලස් සිදු වීමට අදාළව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ලේකම් පී. දිසානායක. මහ බැංකු මංකොල්ලයට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහවත් යවන්න පුළුවන්. ලස්සන වචන ටිකක් ඉස්සරහට දාගෙන ආපු මේ අය මේ හදන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමටයි. ආර්ථික වශයෙන් අසමත් වුණාම කොටින්ගේ කළු සල්ලි ටික මේ රටට ගේන්න පුළුවන්. විදේශ සමාගම්වලට මව් පොළොව අපෙන් උදුරා ගන්න පුළුවන්. දේශපාලනමය වශයෙන් අසමත් කරන්න හදන්නේ ව්‍යවස්ථා සංශෝධන හරහායි. ගෙන එන්න හදන ව්‍යවස්ථා සංශෝධනවලින් කවර ආණ්ඩුවක් ආවත් මේ රට ඇද වුටුණු තැනින් ගොඩගැනීමට නොහැකි තත්වයක් හදනවා. මේ දවස්වල නීතිඥ නෝනා කෙනෙක් දමාගෙන මේ රටේ විනිසුරුවරුන්ට පහර දෙන්නේ, ‘මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ’ කියලා බටහිරට ඒත්තු ගන්වන්න. එවිට ජාත්‍යන්තර විනිසුරන්ව මේ රටට රැගෙන එන්න පාර කැපෙනවා. මේ සියල්ල අවසානයේ ඉතිරි වන්නේ ‘ශ්‍රී ලංකාව නැමති අසමත් රාජ්‍යයයි’.

‘උතුරේ පන්සල් හදන්න දෙන්නේ නැහැ’ කියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියනවා. මේ රටේ සභ්‍යත්වය, ඉතිහාසය නිර්මාණය කළේ බුද්ධාගම ද නැතිනම් සුමන්තිරන්ලා ද? සුමන්තිරන්ලාට එහෙම කියන්න හයිය ලැබුණේ මේ ජාතිවාදී, බෙදුම්වාදී, ද්‍රෝහී ආණ්ඩුවට සහ මේ තක්කඩි පාලකයන් දෙදෙනාට පිං සිද්ධ වෙන්න. මේ පොළොවේ බෞද්ධ විහාරස්ථාන හදන එක තහනම් කරන කෙනෙකුට මේ පොළොවේ ජීවත් වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැහැ. අපි කියනවාද ‘මෙහෙට කෝවිල්, දේවාල එපාෟ’ කියලා. මේ රටේ බෞද්ධ සභ්‍යත්වය තමයි හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමිකයන්ට එකට ජීවත් වීමේ වාතාවරණය හදලා දීලා තිබෙන්නේ.

‘සජිත් යාල විතරක් නොවෙයි…’

සජිත් ප්‍රේමදාස, සුමන්තිරන් එහෙම කියද්දි දුටුගැමුණු රජතුමා, එළාර සමඟ අන්තිම සටන කරපු තැන, විජිතපුර පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරලා නිදන් ටිකට වැඬේ දෙන්න ගියා. ‘ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි’ කියනවානේ. මෙයා පුරුද්ද අත හරින්නෙම නැහැ. යාලට විතරක් නොවෙයි දැන් අනුරාධපුරයටත් යනවා. ඒ නිසා මේ රටේ ඉතිහාසය, සභ්‍යත්වය, උරුමය මරන, මේ රට අසමත් රාජ්‍යයක් කරලා බටහිරට සිත් සේ කොල්ල කන්න දෙන මේ තක්කඩි ආණ්ඩුවට ඉදිරියට යාමට ඉඩ දී නිහඬව බලා ඉන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ පක්‍ෂවල බෝඞ් ලෑලි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින විට 2015 ගෙදර ගිය මහින්ද රාජපක්‍ෂ ඔප්පු කර පෙන්වූවා ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවෙයි’ කියා. ඒ නිසා මේ ද්‍රෝහී පාලකයන්ට මේ අපේ මව් පොළොව පාපන්දුවක් කර ගැනීමට නොදී එය ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටන ඔබ අතට ගත යුතුයි. මහින්ද රාජපක්‍ෂයන්ගේ නායකත්වයෙන් ඒ සටනට උරදෙමු. ඒ සඳහා පෙරට එමු. ඔබගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වුවත් මේ රාජ්‍යය, ඒකීය රාජ්‍යය නොනැසී පැවතිය යුතුයි. ඒ නිසා ‘පළමුව ඒකීය රාජ්‍යය – දෙවැනිව අයිතිවාසිකම්’ කියන තැනට එමු. ඒ මහා සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ඔබට ධෛර්යෟ, ශක්තියෟ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More