දේශීය පුවත්

ජාතිකවාදීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන් මේ හැමෝම එකට එකතුවී වරාය විකිණීමට එරෙහිව ගොඩනගා ගත් යම්කිසි ආකාරයක එකඟතාවය බිඳ දමන්නට වියත් මඟ වැනි සංවිධාන ගේන වැඩපිළිවෙලට කවුරුත් ඉඩ නොදෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඊයේ (30) දින පැවති වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකර තිබේ. දුමින්ද නාගමුව පැවසුවේ වරාය වෘත්තීය සමිති හෝ එකතුවී සිටින බහුජන සංවිධානවත් ආණ්ඩුවේ පාවා දෙන යෝජනාවලට එකඟ නැති බවයි.

දුමින්ද නාගමුව දැක්වූ අදහස් පහත දැක්වේ.

“වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මේ අරගලය ආරම්භ වුණේ වෘත්තීය සමිති 23ක් මුල් වෙලා. මේ වෙනකොට බහුජන සංවිධාන, වෘත්තීය සමිති සිවිල් සංවිධාන ගණනාවක් ඒකරාශී වෙලා තියෙනවා. මේ වේදිකාවේ විශේෂත්වයක් තියෙනවා. මේ වේදිකාවෙ එක පැත්තකින් වාමාංශික බලවේග ඒකාබද්ධ වෙලා තියෙනවා. තව පැත්තකින් ජාතිකවාදී මතවාදය උඩ ඉඳිමින් මේ රටේ සම්පත් ගැන කතා කරන බලවේග මේකත් එක්ක ඒකරාශී වෙලා ඉන්නවා. ඒ වගේම වෘත්තිකයන් ඒකරාශී වෙලා ඉන්නවා. සාමාන්‍ය අරගලයකදී නොවන පරිදි වරායේ සියලු වෘත්තීය සමිති මේකත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අරගලය කම්කරු ව්‍යාපාර ඉතිහාසයේ වෙච්ච සුවිශේෂී අරගලයක්.

අපේ ප්‍රස්තුත කාරණය නැගෙනහිර ජැටිය. නමුත් මේ ප්‍රස්තුත කාරණයට එරෙහිවෙන මූලික පදනම් කිහිපයක් තියෙනවා. ඒ පදනම් එකිනෙක ගත්තොත් එහෙම පොදුවේ 1978 ඉඳලා මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච පෞද්ගලීකරණය. රාජ්‍ය ආයතන සියයට 49 නමින් හෝ ආයෝජනය කිරීම යන පදනමින් හෝ කොටස් වෙළඳ පොළට දැමීම හෝ යන නමින් ක්‍රියාත්මක වුණු පෞද්ගලිකරණය මේ රටේ කම්කරු පන්තියට මේ රටේ සාමාන්‍ය ජනතාවට ඇත්ත අත්දැකීමක් තියෙනවා.

මේ අවුරුදු 40ක් තිස්සේ මේගොල්ලෝ තොරොම්බල් කරපු පෞද්ගලීකරණය රටට හොඳක් වුණේ නෑ කියන එක ගැන. පෞදගලිකරණයට එරෙහිව තියෙන ජනතාවගේ පදනම මේ අරගලයේ මූලික කාරණයක් බවට පත්වෙනවා. ඒ වගේම ඊට එහා ගිය බරපතල දේශපාලන කාරණයක් තියෙනවා. අපි රටක් විදිහට ඉන්නේ එක්සත් ජනපද, චීන, ඉන්දියානු බල ව්‍යාපෘතියක් අස්සේ කොටුවෙලා. අද අපි කියනදේ තව වසර 5ක් 10ක් යනකොට ජනතාවට පැහැදිලි වේවි.

චීනය සහ එක්සත් ජනපදය අතර තියෙන ප්‍රශ්නය ලෝක යුද්ධයක් දක්වා ගමන් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. චීනය 2028 ලෝක ආර්ථික බලවතා වෙනවනම් ඒ ගමනත් එක්ක විශාල උපාය මාර්ගික ගැටුමක ලංකාව හිරවෙනවා ලංකාවේ පිහිටීමත් එක්ක. ඒක නිසා හම්බන්තොට වරාය විකිණීම මේකෙ කොටසක්. වරාය නගර ව්‍යාපෘතිය මේකෙ කොටසක්. ඒවගේම නැගෙනහිර ජැටිය මේකෙ කොටසක්. අපි කම්කරු අරගල මධ්‍යස්ථානය විදිහට මේකට එකඟ වෙන්නෙ මෙන්න මේ ලෝක බලවතුන්ගේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අතපෙවීම රටේ කුමන හෝ කොටසකට එනවනම් ඒකට එරෙහි වෙනවා කියන පදනමින්.

ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ටික විකුණනවට අපි එරෙහි වෙන්නෙත් ඒ පදනමින්. ඒවගේම මේක එනවනම් මත්තල ගුවන් තොටුපොළ විකුණන්න අපි ඒත් එරෙහි වෙන්නෙ මේ පදනමින්. මේ එන බලපොරයට මේ රටේ ඉඩ දුන්නොත් රටේ ජනතාවට යුද්ධෙකට මැදිවෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශාල බලපොරයකට මැදි වෙන්න සිද්ධ වෙනවා. මේ ගෙවිච්ච දශකය හෝ ඊට පෙර දශකය නෙමෙයි ඉදිරි දශකය. මේ කරුණු මත ඉදිරි දශකයේ දේශපාලනය ඉතාම තීරණාත්මකයි.

තුන්වන කාරණය මේක ඉතා වැදගත් ආර්ථික මර්මස්ථානයක්. වරාය කියන්නෙ ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභ ලබන තැනක්. නැගෙනහිර ජැටිය විකිණීමට විරුද්ධ වෙන්නෙ මෙන්න මේ පදනම් මත ඉඳලයි. මෙන්න මේ පදනම් උඩ අපි හිතනවා අපි අරගලය සැළකිය යුතු දුරක් අරගෙන ඇවිල්ලා තියනවා.

මේ සංවිධාන සියල්ලගේ ශක්තිය තුළින් අද ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න වෙන තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඊයේ කරපු උද්ඝෝෂණයට වියත් මගෙන් ආවා. මම හිතන්නේ මේ වියත්මගෙන් ඡන්දෙන් පස්සෙ පළවෙනි පාරට එළියට ආපු අවස්ථාවක්. හූ සංග්‍රහයකුත් හම්බුනා.ඒගොල්ලො මේ අතරමැදි යෝජනා දාන්න පටන් අරන් තියෙනවා. මේ අරගලයේ ආරම්භයේ ඉඳලා තිබුණා ඉන්දියාවෙ අදානි තමයි ප්‍රශ්නෙ. අදානිට නොදී වෙන කාටහරි දුන්නට ප්‍රශ්නයක් නැහැ. නැහැ වැරදියි.

අපි වාමාංශික වෙන්න පුළුවන් , ලිබරල්වාදීන් වෙන්න පුළුවන්, ජාතිකවාදීන් වෙන්න පුළුවන් මේක රටේ සම්පතක් කියන එක අදාළ නම් මේක පෞද්ගලිකරණය නමින් කුමන ව්‍යාපාරිකයාට දුන්නත් මේ ජාතික සම්පත අපිට නැතිවෙනවා. අපි ඒකට එකඟ නැහැ. ඒ වගේම මේක කොටස් වෙළඳ පොළට දානවා කියල යෝජනාවක් ආවා. ඒ කොටස් වෙළඳපොළට දැම්මත් වෙන්නෙ මේ සන්තෑසියමයි. දැන් සාකච්ඡාවක් ඇවිත් තියෙනවා බටහිර ජැටිය දෙනවනම් නැගෙනහිර ජැටිය ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. ඒක ගැන ගන්න තියෙන ස්ථාවරය අපි ඒ ප්‍රශ්නය ආවට පස්සෙ ගමු.

නමුත් පැහැදිලිව එක එක ආකාරයේ යෝජනා ඉදිරිපත් කරමින් අපි ගොඩනගා ගත්ත ජාතිකවාදීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන් මේ හැමෝම එකට එකතුවෙලා ගොඩනගා ගත්ත යමිකිසි ආකාරයක එකඟතාවය බිඳ දාන්න වියත් මඟ වගේ සංවිධාන ගේන වැඩපිළිවෙලට අපි කවුරුත් ඉඩ දෙන්නෙ නැහැ. වරාය වෘත්තීය සමිතිවත් එකතුවෙලා ඉන්න බහුජන සංවිධානවත් එවැනි පාවා දෙන යෝජනාවලට අපි කව්රුවත් එකඟ නැහැ. මේ අරගලය ඉස්සරහට යනවා. අපි සංවිධානයක් විදිහට සූදානම් වෙලා ඉන්නවා ඉදිරි සති කිහිපයේ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ නගරයේ පවත්වන්න. වැඩවර්ජනයක් සම්බන්ධ සාකච්ඡාවක් තිබුණා.

අපි ආණ්ඩුවට අවධානරණය කරනවා එක එක ජාතියේ පිල්ලි එවලා මේ අරගලය දියාරු කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. ජනතාවගේ අයිතිවාසිකම්, මේ රටේ ජාතික උරුමයන්, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් මෙතන සඳහන් වෙච්ච ආකාරයට ජාතියේ සම්පත් උදුරගන්න ලෑස්ති වෙන්න එපා. නැගෙනහිර ජැටියට අපි අත තියන්න දෙන්නෙ නෑ. මේ සාකච්ඡාව පුළුල් වුණා අපේ තව සම්පත් රැකගන්න තියෙනවා කියලා. ඒ හැම සම්පතක්ම රැකගන්න වෙච්ච පුළුල් අරගලයකට අපි මැදිහත්වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More