පුරවැසි කොලම

මීට කලකට ඉහතදී හම්බන්තොට නගරය හැරුණු විට ඉතිරි ප‍්‍රදේශ සියල්ලකම පාහේ වන අලින් යහමින් ගැවසුණු අතර, ඒ සඳහා යහමින් වනාන්තරද එහි පැවතිණි. නමුත්, හම්බන්තොට තරම් වනාන්තර ඉඩම්, පසුගිය කාලයේදී සංවර්ධන කටයුතු සඳහා යොදාගත් තවත් දිස්ත‍්‍රික්කයක් නැති බව අපගේ විශ්වාසයයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති හා අගමැති තනතුරු දරන්නට පෙර, මෙහි මහා පරිමාණ වනාන්තර විනාශයකට මුල පිරුණේ වලව වම් ඉවුර නමැති ඊනියා සංවර්ධන ව්‍යාපාරය මුල්කර ගනිමිනි. මේ හේතුවෙන් සූරියවැව සිට අඩි සීයේ පාර දිගේ මිරිජ්ජවිල දක්වා තිබූ වන අලින් ඇතුළු වන සතුන්ගේ වාසභූමි අක්කර සිය දහස් ගණනක් හෙළි පෙහෙළිකර ජනතාවට බෙදා දුන්නේය. එනිසා වනාන්තර තුළ තිබූ කුඩා වැව් රැසකින් තම ජල අවශ්‍යතා පිරිමසා ගනිමින් හා පැත්තකින් ගොන්නෝරුවත්, තවත් පැත්තකින් මදුනාගල සහ කරඹගල දක්වාත් සුවිසල් ප‍්‍රදේශයකින් ආහාර අවශ්‍යතා සපුරාගනිමින් නිදහසේ දිවි ගෙවූ වන අලින්ට උන්හිටි තැන් අහිමි විය.

අනතුරුව පැමිණි ආණ්ඩු මගින් හම්බන්තොට වන අලින් ලූණුගම්වෙහෙර වනෝද්‍යානය දක්වා පලවාහරින දැවැන්ත අලි වෙඩි මෙහෙයුම් දියත්කර, උන් කම්පනයට හා කැළඹීමට ලක් කරමින් ඉතා අමානුෂික හා ප‍්‍රායෝගික නොවන ක‍්‍රියාමාර්ග ගන්නා අයුරුද අපට දකින්නට ලැබිණි.

වන ජීවී නිලධාරීන්ට තේ සඳහා ලබාදුන් සීනි බනිස් සඳහා පමණක් රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය කරන ලද මෙම ඓතිහාසික අලි පලවා හරින ලද මෙහෙයුමෙන් සිදු වූ ප‍්‍රතිපලය නම් ලූණුගම්වෙහර ජාතික උද්‍යානය තුළදී ආහාර නැතිව අලි විසි ගණනක් කුසගින්නේම මිය ඇදීම පමණි. තම නිජබිම් දමා යන්නට අකමැති වූ දඩබ්බර තනි අලින් යළිත් විදුලි වැට කඩාගෙන මදුනාගලට, කරඹගලට, ගොන්නෝරුවට පැමිණියා පමණක් නොව, මත්තල ගුවන් තොටුපළේ වැඩ නිමවා, ඊට පළමුව පකිස්ථානයේ සිට පරීක්‍ෂණ ගුවන් ගමනක් (Test Run) සිදු කළ ගුවන් යානයක් පැමිණ ගිය පසුවත්, දැවැන්ත දැල් වැට කඩාගෙන එහි ආ මේ බිමේ සැබෑ උරුමක්කාරයෝ ගුවන් පථය (Runway) හරහා අනිත් පැත්තටම ගමන් කර තිබිණි.

හම්බන්තොටත්, වන අලින් අතරත් පවතින ගහට පොත්ත මෙන් වූ මෙවන් සබඳතා ගැන ඕනෑතරම් කතා කියන්නට අපට හැකිය. නමුත්, මේ ඒ සඳහා කාලය නොවේ. එකල වන අලින් මෙන්ම, හම්බන්තොට ගොවීන් අතර ද පැවතියේ අපූරු බැඳීමක් මිස, අද වගේ යුද්ධයක් නොවේ. ඉතිරිව පවතින සොච්චමක් වූ වනාන්තර අතලොස්සෙන් තම අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි වූ කල, ගොවීන්ගේ භව භෝගවලට ඉව ඇල්ලීම අරුමයක් නොවේ.

හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග සංකීර්ණය, සූර්‍ය විදුලි බලාගාර, වියළි කලාපීය උද්භිද උද්‍යානය, සෆාරි උද්‍යානය ආදී මෙකී නොකී දැවැන්ත සංවර්ධනයක් සිදුවී ඉතිරිව ඇත්තේ ද අලින්ගේම නිජ බිම් මිස අනිකක් නොවේ. එසේ නම් ඉතිරිව පවතින වනාන්තර ටික හෝ ජාල ගතකර අලින් ඇතුළු වනසතුන්ගේ ප‍්‍රයෝජනයට ලබාදීම ජෛව විවිධත්ව සම්මුති ඇතුළු එක්සත් ජාතීන්ගේ හැට හුටහමාරක් සන්ධාන, සම්මුති සඳහා අත්සන් තබා ගිවිසගෙන සිටින වගකිව යුතු ජනතා රජයක යුතුකමය. එනිසා ආණ්ඩුව මගින්ම 2010 වර්ෂයේදී නිර්මාණය කර, 2011 දී ක‍්‍රියාත්මක කරන්නට නියමිත වූ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත්වනවා දැකීම අපගේද බලවත් කැමැත්තයි.

ලූණුගම්වෙහෙර – බුන්දල – උඩවලව ජාතික වනෝද්‍යාන ත‍්‍රිත්වය ත‍්‍රිකෝණාකාරව යාකරමින්, ඒ තුළ ඇති වනාන්තර ජාල ගතකරමින් ඉහත වන ජීවී අභය භූමි අතර අලින්ට සංචරණයට, ආහාර හා ජලය සොයාගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම මෙම අලි කළමනාකරණ රක්ෂිතයේ කාර්ය භාරයයි. මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත්කිරීම වහා සිදුකරන ලෙස ගොවීන්ගේ ඉල්ලීමයි. එසේ වන්නේ නම්, අලින්ගෙන් බැටකන ගොවීන්ට අසීමිත සැනසීමක් ලැබෙනු ඇත. අටු කොටු සරු වෙනු ඇත.

එනමුත්, මේ රක්ෂිතය ප‍්‍රකාශ කළහොත් ප‍්‍රදේශයේ දේශපාලකයින්ට හිතුමතේ ඉඩම් බෙදාගන්නට එය මහත් බාධාවකි. දැනටමත් රක්ෂිතයට අයත් ඉඩම් අක්කර සිය ගණනක් දේශපාලන හිතවතුන්ට බෙදා දී ඇති බව වාර්තා වන අතර, අනවසර ඉඩම් අල්ලාගෙන වගා කරන බොහෝ පිරිසක් ද වෙති.

එබැවින් අලි කළමනාකරණ රක්ෂිතය දැන් ඇතැමෙකුට වාතයක් බවට පත්වී ඇති බව සැබෑවකි. නමුත්, උපවාස කරන ගොවීන් පසක් කරන්නේ ඔවුන්ගේ හදවතට දැනෙන භූමියේ සත්‍යයයි. එබැවින් තවත් කතන්දර නැතිව අලි කළමනාකරණ රක්ෂිතය වහා ගැසට් කළ යුතුය.

(දිවයින කතුවැකියෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More