පුරවැසි කොලම

කොවිඩ් 19 වසංගතය ගැන බටහිර වෙදකමට එතරම් දෙයක් කියන්න නැහැ. ලෝකයේ විවිධ රටවල එන්නත් කිහිපයක් නම් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ සමහර ඒවා අලුත් ක්‍රමයක් කියන RNA සම්බන්ධ ඒවා. එහි අතුරු ආබාධ තිබේ දැයි දැන ගැනීමට තව කාලයක් බලා ඉන්න වෙනවා. ඒ අතර නෝර්වේ රටේ දහතුන් දෙනකු එන්නත ගැනීමෙන් පසු මිය ගිහින් තියෙනවා. එක්සත් රාජ්‍යවල බටහිර වෙද මහතකුත් මිය ගිහින්.

මා ඒ කරුණු කියන්නේ එන්නතට විරුද්ධ ව නො වෙයි. මා ධම්මික වෙද මහතාගේ පැණිය මියන්මාරයට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. ඒ පැණිය හැරෙන්නට තවත් පැණි තියෙනවා. ද්‍රව අපනයනය කිරීමේ දී ලංකාවේ රේගුව දැඩි නීති පනවා ඇති බවක් පේනවා. එමෙන් ම ආයුර්වේදයේ හා පාරම්පරික වෙදකමේත් තවත් ප්‍රතිකාර රාශියක් ඇති බවත් කියැවෙනවා. මා දන්නා විධියට ධම්මික වෙද මහතාගේ පැණිය පමණක් බටහිර වෙද මහත්තුරු තම ක්‍රමය අනුව පරීක්‍ෂාවට ලක් කරනවා. එය සම්පූර්ණයෙන් ම ආචාරධර්ම විරෝධී වැඩක්. අනුන්ගේ බෙහෙතක් තමන්ගේ ක්‍රමයට පරීක්‍ෂාවට ලක් කරන්නේ එය හරි ගියොත් නියම කිරීමට බලාපොරොත්තුවක් තියෙන බැවින් ද? බටහිර වෙද මහත්තුරු හරියට නොකිව්වත් බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා ධම්මික වෙද මහතාගේ පැණිය හරි ගියොත් බටහිර වෙද මහත්තුරුන්ටත් ඕන නම් ඒක නියම කරන්න පුළුවන්.

මෙරට ඉන්න බටහිර වෙද මහත්තුරුන්ට තරමක් කේන්ති ගියත් ඔවුන්ට මතක් කරල දෙන්න ඕන පහුගිය අවුරුදු 150ක පමණ කාලයක ඔවුන් බටහිර වෙදකමට කේන්ද්‍රීය වශයෙන් යමක් එකතු කර නැති බව. එබැවින් ඒ අතින් ගත් කළ ධම්මික වෙද මහතා කවුරුන් වුවත් ඔහු යමක් පාරම්පරික වෙදකමට එකතු කර තියෙනවා. අප දැනුම ලබා ගන්නා ආකාරයක් පිළිබඳ ව ධම්මික වෙද මහතා නිදර්ශනයක් සපයල තියෙනවා.

ධම්මික වෙද මහතා මෙන් ම තවත් පාරම්පරික වෙද මහත්තුරු තම බෙහෙත් රෝගය නොවැළඳුණු අයටත් නියම කරනවා. එය මට නම් අලුත් අත්දැකීමක් ම නොවෙයි. මා බටහිර වෙදකමවත් පාරම්පරික වෙදකමවත් දන්නේ නැහැ. රෝගය නොවැළඳුණු අයට නියම කරන්නේ බෙහෙතක් ප්‍රතිකාරයක් හැටියට ද රෝගය වැළැක්වීමේ ක්‍රමයක් හැටියට ද යන්න තේරුම් ගැනීම තරමක ප්‍රශ්නයක්. තේරුම් ගන්නවා කියන්නේ මොකක් හරි කතන්දරයක් හදන එක. මට කතන්දරයක් තවම හදා ගන්න බැරි වුණා. මා කැමති නැහැ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරනවා වගේ කතාවකට. ආයුර්වේදයේ හරි පාරම්පරික වෙදකමේ හරි ඒ සම්බන්ධ කතාවක් තියෙන්න පුළුවන්. රත කල්කය දෙන්නේ කුමක් සඳහා ද? මෙය එන්නත සමග පටලවා ගන්න එපා.

ඇතැමුන් කියනවා අහවල් අහවල් අය ධම්මික වෙද මහතාගේ පැණිය බීමෙන් පසුවත් කොවිඩ් රෝගීන් වෙලා කියල. එක වතාවක් ගත් පමණින් පැණිය ගැනීමක් වන්නේ නැහැ. ධම්මික වෙද මහතාගේ කොන්දේසිවලට අනුකූල ව පැණිය ගැනීමෙන් පසු රෝගාතුර වී ද යන්න සොයා බලන්න ඕන. එහෙම වුණත් එය එතරම් ප්‍රශ්නයක් නොවෙයි. එය දහසකට එකක් ද සීයකට එකක් ද ආදී වශයෙන් සොයා බලන්නත් ඕන.

එහෙත් මට එයට වඩා ප්‍රශ්නයක් තියෙනවා. අද බටහිර වෙද මහත්තුරුන්ගෙ අධීක්‍ෂණය යටතෙ ධම්මික වෙද මහතාගේ පැණිය පරීක්‍ෂා කෙරෙන බව ප්‍රසිද්ධ කරුණක්. ඒ සඳහා අවශ්‍ය ආචාර්ධර්මී අවසරය ලබා ගෙන. එමෙන් ම බටහිර විද්‍යාව අනුව පැණියේ වසක් විසක් නැති බවටත් පරීක්‍ෂාවලින් තහවුරු වෙලා. එහෙත් දැන ගැනීමට ඇති තොරතුරු අනුව ඒ රෝහල්වල හරි අදාළ ආයතනවල හරි ඉන්න රෝගීන් පැණිය වස කියල ඒ ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කරල. අද වන විට සති කිහිපයක් ගත වෙලත් රෝගීන් විසි දෙනකුට පමණ තමයි පැණිය දීල තියෙන්නෙ.

ධම්මික වෙද මහතාගේ පැණිය ගන්න මිනිසුන් පෝළිමේ යද්දි ඔය කියන රෝගීන් පැණිය ගැනීම ප්‍රතික්‍ෂෙප කරන්නේ ඇයි? එයටත් මට පැහැදිලි කතන්දරයක් නැහැ. කලකට පෙර විවිධ කතන්දර පැතිර ගියා. සාදික්කා වස කියල කිවුව. ඒත් සාදික්කා ගෙඩි ගහෙන් කඩන් කන අය මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ඉන්නවා. සාදික්කා ව්‍යංජන හදලා කන අයත් ඉන්නවා. කොහොමත් පැණියෙ වසක් විසක් නැහැ කියල බටහිර විිද්‍යාවෙ ම පරීක්‍ෂණවලින් තහවුරු වෙලා තියෙනවා.

තවත් කතන්දරයක් පැතිර ගියා ලංකාවට සාදික්ක ගෙනල්ල තියෙන්නෙ දහසයවැනි සියවසේ නිසා පාරම්පරික වෙදකමේ සාදික්ක තියෙන්න බැහැ කියල. පාරම්පරික වෙදකම කියන්නෙ අලුතෙන් යමක් එකතු නො වෙන වෙදකමක් නො වෙයි. කාලි අම්ම හින්දු කියලත් කතාවක් කිවුව. මිථ්‍යාදෘෂ්ඨික කිවුව. කාලි අම්ම ගැන බෞද්ධ සාහිත්‍යයෙත් තියෙනවා. ඒ බෞද්ධ දෙවඟනක් හැටියට. ඒ ගැන දන්න කියන අය ඉන්නවා. ඒ කොහොම වුණත් සාදික්ක ලංකාවට ගෙනාවෙ කවදා වුණත් අද සාදික්ක බෙහෙතට ගන්න බැරි කමක් නැහැ. පාරම්පරික වෙදකමට අලුත් අලුත් දේ එකතු වෙනවා.

කලකට පෙර අප බෙහෙත් ගන්න ගියේ රත්මලානෙ බොරුපන වෙද මහත්තය ළඟට. ඔහු සමහර දාට කියනව අපි මේ බෙහෙත අරන් බලමු කියල. ඒක අලුත් බෙහෙතක්. ඒ වෙද මහතාට නිර්මාණාත්මක හැකියාවක් තිබුණ. අපට බෙහෙත දුන්නෙ අත්හදා බලන්න නො වෙයි. එය හරියන බව වැඩ කරන බව වෙද මහතා දැන සිටියා.

මට තියෙන ප්‍රශ්නය ඔය ආයතනවල ඉන්න රෝගීන් පැණිය වසක් බව කියන්නෙ කොහොම ද යන්න. චන්න ජයසුමනට පුළුවන් ද ඒ රෝගීන් ඒ බව දැන ගත්තෙ කොහොමද කියල අහන්න. එහෙම නැත්තන් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියකුට පුළුවන් ද? ඒ මොනව වුණත් පැණිය ඖෂධයක් බව ආයුර්වේ ද සූත්‍ර කමිටුව තීරණය කරල තියෙනවා. එහෙම නම් බටහිර වෙද මහතුන් මොන තීරණයක් ගත්තත් පැණිය නියම කිරීමේ හරි ආහාර පරිපූරකයක් ලෙස නිර්දේශ කිරීමේ හරි ප්‍රශ්නයක් නැහැ. ඔය පරීක්‍ෂාවල ප්‍රතිඵල එනතුරු බලා නොසිට වහාම පැණිය ජනතාව අතට පත් කිරීමේ ක්‍රමයක් හදා ගන්න ඕන.

ආචාර්ය නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More